කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
ළිඳට වැටුණු සතකු ගොඩට ගෙන ළිඳ නොමිලයේම ඉසීමට අපූරු උපක්‍රමයක් භාවිත කළ අයකු පිළිබඳව කතාවක් බලපිටියේ ගමකින් අසන්නට ලැබේ.
මේ ගමේ කොල්ලො කුරුට්ටන්ගෙන් කැලෑ සතුන් බේරා ගැනීම දුෂ්කර කාර්යයකි. ඔවුහු එම සතුන් මස් කර ගෙන කෑහ. ඒ මත්වතුර වල රහ බලමින්ය. ඒ අනුව ගමේ මීමින්නෙක්, විල් මුවෙක්, තලගොයෙක්, ඉබ්බෙක්, කලවැද්දෙක් තියා ඌරු මීයෙකුටවත් ඔවුහු ඉඩ නොදුන්හ. මේ කවර සතකු වුවද ගමේ ඔවුන්ට පෙනෙන්නට ගියහොත් එම සතාට බුදු සරණය. නැතහොත් අබ සරණය. නැහතොත් ඌ ඉවරය.
මෙහෙව් ගමක ගැමියෙකු එහෙව් කොල්ලන්ට අපූරු පණිවිඩයක් කනේ තිබ්බේය. ඒ ළිඳට වැටුණු සතා ගොඩ ගෙන ළිඳ නොමිලයේම හිස් කරවා ගැනීමටය. දරුවනේ අපේ ළිඳට අද හිමිදිරියේ කැලෑවට යමින් සිටි කලවැද්දෙක් වැටුණා. සතා මට එපා. නුඹලා දඩ මසට ගනිල්ලා. හැබැයි මට ළිඳ ඉහලා දීපල්ලා යයි කීවේය.
ඒ යෝජනාවට කොල්ලන් එක පයින්මය. ළිඳ ගැඹුරුය. හැබෑ නේන්නම් ළිඳ පතුලේ කලවැද්දෙක් නේන්නම් කියමින් කොල්ලන් රෑන කඩි ගුලක් ඇවිස්සුණාසේ දැන් ළිඳ ඉසීමේ කාර්යයේය.
ඒ අල්ලපනල්ලේ එකෙක් පාන් ගෙඩි තුනහතරක්ම ගෙනෙන්නට ගියේය. තව එකෙක් ඇඟ රත් කර ගන්නා දිවිය ඖෂධය සොයා ගෙන ගියේය. ළිඳේ වැටුණයි කියන කලවැද්දා ළිඳේ වතුර කොල්ලන්ගේ ශ්‍රමයෙන් අඩුවෙන විට එහි බිත්තියේ තිබූ ගුලකට රිංගා ගත්තේය. මූ නම් කලවැද්ද තමයි කියමින් කොල්ලෝ ළිඳම හිස් කළහ.
හිස්වූ ළිඳ තුළට කොල්ලෙක් ඉනිමගක් ආධාරයෙන් බැස්සේ ළිඳේ බිත්තියේ ගුලකට රිංගූ කලවැද්දා කුදලාගෙන ගොඩට ගැනීමටය. ඒ සඳහා මේ කොල්ලා පොහොර උරයක් ගෙන ගියේ කලවැද්දා එයට දමා ගැනීමටය.
වැඩේ හරිය. ඉතා අධික ලෙස මහන්සිය නිසා හති හරිමින් සිටි කලවැද්දා කොල්ලාට අල්ලාගෙන උරයට දමා ගැනීම කජ්ජක් මෙන් විය. දැන් අනෙක් කොල්ලන්ගේ කටට කෙළ ඉනූවේය. බොහෝ අය මනසින් කලවැදි මස් වල රහස බැලූහ. ඒ අතරයේදී පෝර උරයේ සිටි මේ සතා කඹයක ආධාරයෙන් ගොඩට කොල්ලෝ කෑකෝ ගසමින් ගත්තෝය.
එසේ ගොඩට ගත් කලවැද්දා කොල්ලන් පරීක්ෂා කළේ ඌ ඤාව්, ඤාව් ගැසීමෙන් වූ සැකය නිසාය. කලවැද්දන් එසේ සද්ද නොකරන නිසා කොල්ලන් තවදුරටත් ඒ පිළිබඳව විමසිලිමත්වීමේදී ඌ නිවෙස් හිමියාගේ කළුම කලු බළල් තඩියා බවට අනාවරණය විය. පෝර උරයෙන් ඌ නිදහස් වූ විට නිවස තුළට දිව ගියේ නිවෙස් හිමියාගේ කපටි සිනහාවෙන් කොල්ලන්ට සංග්‍රහ කරමින් තිබියදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd