කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත



කොල්ලකු සමග කුලී ගමනක් ගිය කුලී යතුරු පැදිකරුවකුට ඇඟපත රත් වෙන්න කන්න සිදුවූ කතාවක් ගාලු‍ දිසාවේ නගරයකින් අසන්නට ලැබේ.
 රැකියා විරහිත කොල්ලෝ ටිකක් සිය යතුරු පැදිවලින් කුලී ගමන් සේවාවක් ආරම්භ කළහ. ඒ එදිනෙදා නිවසට බරක් නොවී තමන්ගේ කටයුතු ටිකවත් කර ගැනීමට මුදලක් උපයා සපයා ගැනීම ඔවුනගේ ඒකායන අරමුණ විය. මේ නිසාම ඔවුහු එළි රෑවෙනකම්ම නිදි මැරූහ. කහට කෝප්පයකින් කුස පුරවාගෙන මහ රෑ කුලී ගමන් ගියහ.
එදා රෑ ද මේ අයගෙන් එක් අයකුගේ ජංගම දුරකතනයට ඇමතුමක් ආවේය. ඒ කොල්ලෙකුගෙනි. තමාට කුලී ගමනක් යාමට අවශ්‍ය බවත් ඒ සඳහා තමා රැගෙන යාමට ඒමට අවශ්‍ය තැනත් එයින් කියවිණ. මේ සමගම කුලී යතුරු පැදිකරුගේ මුවගට සිනහවක් ආවේය. කාලයක් නගරයේ තැපගෙන සිටි තමාට එදා දවසේ ලැබුණු මුල්ම කුලී ගමන එය නිසාය.
 කොල්ලා දුරකතනයෙන් කී තැනට ඔහු ගියේය. කියූ පරිදි කොල්ලා එහි රැදී සිටියේය. ඔහු කොල්ලා යතුරු පැදියේ නංවාගෙන ඔහු කීතැනට යාමට පටන් ගත්තේය. ප්‍රධාන මාර්ගයෙන් හැරී අතුරු මාර්ගයට ඔහු යතුරු පැදිය පැදවීය. ඒ කොල්ලාගේ විධානය අනුවය. තැන පාළුය. කොල්ලාගේ විධානය අනුව යතුරු පැදිය නතර කෙරිණ. ඒ විදුලි පහන් කණුවක් යටය. යතුරු පැදිය හරවා තබා ගන්නා ලෙස ඔහුට කොල්ලාගෙන් අණක් ලැබිණ. ඒ අනුව ඔහු යතුරු පැදිය හරවා ගත්තේය.


ඔහු යතුරු පැදියේ පැති කණ්ණාඩියෙන් කොල්ලා කරණුයේ කුමක්දැයි බලා සිටියේය. කොල්ලා විදුලි පහන් කණුව යට හාරා පාර්සලයක් ගත්තේය. ඒ සැනින් අපි යමු යයි කියමින් කොල්ලා යතුරු පැදියට ගොඩවිය. කොල්ලාගේ විධානය අනුව ඔහු යතුරු පැදිය ධාවනය කිරීම ආරම්භ කළේය. යාමට ලැබුණේ ටික දුරකි.
ඔහු එන මග යතුරු පැදියක් හරස් කොට නැවැත්තුවේය. ඒ සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් දෙදෙනෙකි. පොලිස් නිලධාරීහු දෙදෙනා මේ දෙදෙනාම පරීක්ෂා කළහ. කොල්ලා ළඟ කුඩුය. පොලිස් නිලධාරීන් දෙදෙනාට ලැබුණු ඔත්තුව හරිය. ඒ ළඟට පොලිස් නිලධාරීන් දෙදෙනා ඔහුට සහ කොල්ලාට නෙළුවේ කුඩු ගත්තේ කොයින්දැයි අසමිනි. ඔහු තමා කුලී යතුරුපැදි සේවකයකු යැයි කෑගසා කීවත් එය නෑසූකන්ව පොලිස් නිලධාරීන් දෙදෙනාට ඒ අවස්ථාවේදී එය ඔප්පු කිරීමට තිබූ ප්‍රමාදය නිසාමය.
 දෙන්නාම පොලීසියට ගෙන ගියේය. කුලී යතුරු පැදිකරුට නැණස පෑදුණේය. තමාගේ ජංගම දුරකතනය ක්‍රියාත්මක කොට කොල්ලා සම්බන්ධවූ හැටි විස්තර කළේය. ඔහු සිය ජංගම දුරකතනයට එවූ ගමන් මාර්ගය පෙන්නුවේය. දන්නා හඳුනන අයද කොල්ලා කුඩුකාරයකු නොවන වග පොලීසියට ගතු කීවෝය.
ඒ අනුව ඔහු පැය කිහිපයක්ම රස්තියාදුවී නිදහස් කෙරුණත් ඇඟපත රිදෙන එක නම් ඔහුගෙන් නිදහස් නොවී තිබුණේය.