කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත



සුද්දාට වැඩි මිලකට පැණි කොමඩු කවන්න ගිය පලතුරු මුදලාලිට පැණි කොමඩු නීරසවූ පුවතක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
සුද්දා ජර්මන් ජාතිකයෙකි. ඔහු ත්‍රීරෝද රථයකින් ගමනක් ගොස් එමින් ගමන පාර අයිනේ ගොඩ ගසා තිබූ පැණි කොමඩු ගොඩක් දැක එතනට හොස්ස පෙව්වේය. ඒ ලාබයට යමින් ගමන පැණි කොමඩු මිලදී ගැනීමෙන් කාලයත්, ශ්‍රමය හා අමතර වියදමත් ඉතිරි කර ගැනීමට හැකි වෙතැයි සිතූ නිසාය. ඒ නිසාම නතර කෙරුණු ත්‍රීරෝද රියෙන් බැස්ස ඔහු පැණි කොමඩු මුදලාලිගෙන් දුර තියාම හව් මච් කියා පැණි කොමඩුවල මිල ඇසුවේය.


සුද්දා දිහා බලා පැණි කොමඩු දිහා නොබලා මුදලාලි වන් කිලෝ ටූහන්ඩර්ට් (රුපියක් දෙසීය) යයි කීවේය. සුද්දාගේ ඇහි බැමි ඉහළ ගියේය. මුදලාලි දිගා දවා යන සුලු බැල්මක් හෙලු‍වේය. කීයද කැඩිච්ච්  සිංහලෙන් සුද්දා නැවතත් පැණි කොමඩු ගෙඩියක මිල ඇසුවේය. එවිට මුදලාලී රුපියල් දෙසීයයයි කීවේය. මගේ විලා එක ළඟ තියෙන නගරයේ පැණි කොමඩු කිලෝවක් රුපියල් අනූවට තියෙනවා යයි සුද්දා සුද්ද සිංහලෙන් කීවිට පලතුරු මුදලාලිට උතුර දකුණ අමතකවී ගියේය.
මුගේ අප්පා සිංහලද කොහේද යයි කියාගත් මුදලාලි ඉදිරියට තැබූ පය අාපස්සට ගෙන සැඟවී ගිය අතර සුද්දාද ඉදිරියට පය තැබූ පය ආපස්සට ගෙන ත්‍රීරෝද රථය වෙත ආවේය. මේ සුද්දා දැන් ලංකාවේ පදිංචි වෙලා අවුරුදු ගණනාවක් වෙනව. ඌට අපිට වඩා සිංහල හොඳට පුළු‍වන් යයි සුද්දා පැමිණි ත්‍රීරෝද රථයේ රියැදුරු කීවේ පැණි කොමඩු ගන්න එතැනට පැමිණි අයට ඇහෙන්නත් එක්කය.