වියලු‍ව වාර්තාකරු 



විශ්‍රාමික ඉස්කෝල හාමිනේගේ ගැටයට හසු වූ පොල් කඩන්නකු පිළිබඳ පුවතකි.
සිද්ධිය මෙසේය.
ඔහු ගමේ වතුවල කුලියට පොල් කඩන්නෙකි. පොල් ගස් නැගීම හැමෝටම කළ නොහැකිවීම නිසාත් පොල් කඩන්නන්ගේ හිඟය නිසාත් ඔහුට තිබුණේ ඉහළ ඉල්ලු‍මකි.
පොල් කැඩුවේ එක්කෝ බාගේ පොරොන්දුවටය. නැත්නම් ගසකට රුපියල් තුන්සීයක් හාරසීයක් අය කළේය. පොල් ගහට ගොඩවී පොල් කැඩීම හැර එහි අත්තක් හනස්සක් බිමට දමා ගන්නට නම් ඔහුට දස වැඳුම් වැඳිය යුතු විය. නැතිනම් අමතර මුදලක් ගෙවිය යුතුවිය.


පොල් කැඩීම එකක් බවත් ගස සුද්ද කිරීම තවත් එකක් බවත් හෙතෙම පවසමින් වතු හිමියන්ගෙන් විශාල මුදලක් අයකර ගත්තේය.
මාස තුන හතරකට වරක් ගමේ ඉස්කෝල හාමිනේගේ වත්තට පැමිණෙන ඔහු වත්තේ ඇති පොල් ගස් ටිකේ පොල් කඩා සැලකිය යුතු මුදලක් උපයා ගත්තේය. 
ගෙඩි තුන හතරක් ඉල්ලා ගනු ලැබූවද පොල් ගසක දිරාගිය අත්තක් හනස්සක් හෝ ඉවත් කිරීමට කටයුතු නොකළේය. එසේ කළහොත් ඒ වෙනුවෙන්ද අමතරව තවත් රුපියල් තුන් හාරසීයක මුදලක් ගත්තේය.
හැමදාම පොල් කඩන්නට තියෙනවා පැමිණෙන්නැයි කියන ඉස්කෝල හාමිනේ පසුගිය දිනෙක පොල් ගස් ටික සුද්ද කර ගන්නට එන්නැයි ඔහුට පණිවිඩයක් යැව්වේ ඇයට සිය සමකාලීන මිතුරියක දුන් උපදේශයක් ක්‍රියාවට නංවමින්ය.
එදින ඔහුට බාරවූයේ පොල් කැඩීම නොව ගස් සුද්ද කිරීමය. ගසකට රුපියල් තුන්සීයක් බැගින් පොරොන්දු වූ හෙතෙම පොල්ගසට ගොඩ වී දිරාගිය හනසු පොල් අතු ඉවත් කොට ගස ශුද්ධ කළේය. වියළී ගිය පොල් ගෙඩි ටික ද බිමදැම්මේය.
ඉස්කෝල හාමිනේගේ ගැටයට අසු වූ පොල් කඩන්නා කිසිවක් කර කියා ගන්නට නොහැකිව වෙනදා මෙන්ම පොරොන්දු මුදලට අමතරව පොල් ගෙඩි දෙක තුනක් ඉල්ලාගෙන වත්තෙන් පිටව ගියේ ‘හිටපන් උඹට ඊළඟ සැරේ හොඳ වැඩක් කරන්නම්’ යැයි තමුන්ටම කියා ගනිමින්ය.