දුම්රිය ස්ථානයේ ප්‍රවේශ පත්‍ර කවුන්ටරයට පැමිණි මඟියෙකි. හෙතෙම අනුරාධපුරයට යෑමට රුපියල් දෙසීයක් ගෙවා තුන්වැනි පන්තියේ ප්‍රවේශ පත්‍රයක් මිලදී ගත්තේය. 


දුම්රිය ස්ථානයට ඇතුළු වූ ඔහු එහිවූ වතුර කරාමය ඇර, අත සෝදා සබන් කැබැල්ලක් නොතිබූ නිසා තම ගමන් බෑගයෙන් සබන් කැබැල්ලක් ගෙන, අත සෝදා දැමීය. ඔහුට දුරකතන ඇමතුමක් ලැබිණි.


ටිකට් පත අලෙවි කළ නිලධාරියා වෙත පැමිණි ඔහු ‘‘මහත්තයා මට අනුරාධපුර යන්න වෙන්නේ නැහැ. ටිකට් එකේ සල්ලි ගන්න පුළුවන්දැයි’’ කාරුණිකව විමසීය.


‘‘එහෙම ආපහු සල්ලි දෙන්න බැහැනේ’’ නිලධාරියා පැවසුවේ අනෙක් කවුන්ටරයේ නිලධාරියාට ඇසක් ඉඟි කරමිනි. ‘‘කොරෝනා නිසා කෝච්චිවල සෙනග යනවත් අඩුයි. දුම්රිය දෙපාර්තමේන්තුවටත් පාඩුයි.’’ හෙතෙම පැවසීය. මගියා පිටතට පැමිණ දුරකතනයෙන් කාවදෝ ඇමතීය.


අනුරාධපුරයට ටිකට් නිකුත් කරන කවුන්ටරය වෙත පැමිණි අව් කණ්ණාඩියක් පැළඳි යොවුන් තරුණියකි. ඇය ‘‘එක්ස්කියුස්මී’’ යනුවෙන් නිලධාරියා ඇමතුවාය. ‘ඇයි මිස්’ ඔහු ඇසීය. මම ටිකට් එකක් ගත්තා ගමන කැන්සල්. ටිකට් එක රිෆන්ඩ් කරන්න පුළුවන්ද?’’ ඇය කොමළ හිනාවක් පෑවාය. 


‘‘මිස් කොහාටද ටිකට් ගත්තේ’’ ඇසුවේ නිලධාරියාය. අනුරාධපුරේට තරුණිය පැවසුවාය. ‘‘ඔතන රතුපාට ෂර්ට් එක්ක ඇඳපු අන්කල් කෙනෙක් ඉන්නවාද?’’ හෙතෙම විමසීය. වටපිට බැලූ තරුණිය හිස දෙපසට වැනුවාය. ‘‘එයත් ආවා ටිකට් එක රිෆන්ඩ් කරන්න මම බැහැ කීවා’’ පැවසූ නිලධාරියා ප්‍රවේශ පත්‍රය ගෙන රුපියල් දෙසීය ඇය අත තැබීය. 


‘‘අනේ තෑන්ක්ස් යැයි පැවසූ තරුණිය පාර පැන රතු කමිසය හැඳ සිටි තම පියා වෙතට ගියාය.
(ක්‍රිස්ටෝපර් සීපියන්)