

හොර්මුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) නිල වශයෙන් වසා දමා නැතත්, ඉරානයේ හමුදා තර්ජන සහ වෙළෙඳ නෞකාවලට එල්ල විය හැකි ඍජු ප්‍රහාර හමුවේ ප්‍රධාන ජාත්‍යන්තර ප්‍රවාහන සේවා සඳහා එය දැන් “යා නොහැකි” (no-go) කලාපයක් බවට පත්ව ඇත. ඕමානයේ කසාබ් (Khasab) වරායට සැතපුම් පහක් උතුරින් පිහිටි ‘ස්කයිලයිට්’ (Skylight) තෙල් නැවට ඉරානය හිතාමතා එල්ල කළ ප්‍රහාරයෙන් නාවිකයන් සිවුදෙනෙක් තුවාල ලැබූහ. මෙය හුදු ප්‍රචණ්ඩ ක්‍රියාවකට එහා ගිය බරපතළ අර්බුදයක් නිර්මාණය කර තිබේ. සමුද්‍ර සන්ධිය මගහරින ලෙස ඉරානය ලබා දුන් නියෝග නෞකාව නොසලකා හැරීමෙන් පසු එල්ල වූ මෙම ප්‍රහාරය ගෝලීය බලශක්ති සැපයුම ක්‍රමානුකූලව අඩාල කිරීමේ සමාරම්භක පියවරක් ලෙස සැලකේ.
දැනට පවතින තත්වය අනුව, ගෝලීය ආර්ථිකයට අත්‍යවශ්‍ය තෙල් සහ ගෑස් ප්‍රවාහන නෞකා 150ක් ඇතුළුව නෞකා 200ක් පමණ හොර්මුස් සමුද්‍ර සන්ධියෙන් පිටත සිරවී ඇත. වාණිජ නාවික ගමනාගමනය සියයට 70 කින් පමණ කඩා වැටී ඇති අතර බහාලුම් නෞකා 170ක් සමුද්‍ර සන්ධියෙන් පිටතට යාමට නොහැකිව ඇතුළත සිරවී ඇත්තේ ඉරානය ජාත්‍යන්තර නාවික මාර්ගවල පාලනය තමන් සතු කර ගැනීමට උත්සාහ කරන බැවිනි.
ලොව විශාලතම නෞකා සමාගම් වන Maersk, MSC, CMA CGM සහ Hapag-Lloyd යන සමාගම් දැනටමත් මෙම තීරණාත්මක මුහුදු මාර්ගය හරහා ගමන් කිරීම අත්හිටුවා තිබේ. සඳුදා දිනයේ වෙළෙඳපොළවල් විවෘත වන විට මෙහි ප්‍රතිඵලයක් ලෙස ඇතිවන මිල කම්පනය තාවකාලික උච්චාවචනයක් නොවනු ඇත. එය ලොව වැදගත්ම බලශක්ති මර්මස්ථානය අවියක් ලෙස භාවිත කිරීමට ටෙහෙරානය ගත් තීරණයේ සැබෑ පිරිවැය වනු ඇත.
ඉරිදා දින ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි ‘අල් ජසීරා’ පුවත් සේවයට ප්‍රකාශ කළේ, මේ මොහොතේ හොර්මුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමේ හෝ නාවික ගමනාගමනයට බාධා කිරීමේ අදහසක් තම රටට නොමැති බවයි. කෙසේ වෙතත් මෙය දැන් තවදුරටත් කලාපීය යුද්ධයක් නොව, ගෝලීය මට්ටමේ ආර්ථික යුද්ධයකි.
හොර්මුස් සමුද්‍ර සන්ධිය එහි පටුම ස්ථානයේ දී කිලෝමීටර් 21-33 ක් පමණක් පළල වන අතර, ලොව මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කරන බොරතෙල් ප්‍රමාණයෙන් සියයට 20-30 ක් (දිනකට බැරල් මිලියන 20-21 ක් පමණ) මෙම මාර්ගය හරහා ගමන් කරයි. සෞදි අරාබිය, ඉරාකය, කුවේටය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ කටාර් වැනි ප්‍රධාන අපනයනකරුවන් ගෝලීය වෙළෙඳපොළට සැපයුම් ලබා දීම සඳහා මෙම තනි මාර්ගය මත රඳා පවතී. මෙම මාර්ගය දින කිහිපයක් හෝ වසා දැමුවහොත්, තෙල් මිල බැරලයක් ඩොලර් 100 සීමාව ඉක්මවා ශීඝ්‍රයෙන් ඉහළ යාම වැළැක්විය නොහැකිය. එබැවින් එළැඹෙන සඳුදා දිනය සාමාන්‍ය වෙළෙඳපොළ විවෘත වීමක් නොව දැවැන්ත අවුල් ජාලයක ආරම්භයක් වනු ඇත.
ඓතිහාසික පසුබිම
හෝර්මුස් සමුද්‍ර සන්ධිය පර්සියානු බොක්ක සහ අරාබි මුහුද සම්බන්ධ කරන ලෝක බලශක්ති වෙළෙඳාමට අතිශයින් වැදගත් සමුද්‍ර මාර්ගයකි. ශතවර්ෂ ගණනාවක් පුරා මෙම මාර්ගය වෙළෙඳ හා යුදමය වශයෙන් ප්‍රධාන ස්ථානයක් ගෙන ඇත. පුරාණ කාලයේ පටන්ම මැදපෙරදිග, දකුණු ආසියාව සහ යුරෝපය අතර වෙළෙඳාම මෙම මාර්ගය හරහා සිදු විය. 20 වැනි සියවසේදී මැදපෙරදිග තෙල් සම්පත් ලෝක ආර්ථිකයේ මූලික බලශක්ති මූලාශ්‍ර බවට පත්වීමත් සමග මෙම සන්ධියට තිබූ වටිනාකම තවත් වැඩි විය. 1970 දශකයේ තෙල් අර්බුද සමයේදී ද, 1980-1988 අතර සිදුවූ ඉරානය-ඉරාක යුද්ධය සමයේ ද හෝර්මුස් සන්ධිය ආරක්ෂාව සහ ගෝලීය සැපයුම් පිළිබඳ විශාල අවධානයකට ලක් විය. එම සමයේ “නාවික නෞකා යුද්ධය” ලෙස හඳුන්වන නාවික ප්‍රහාර මාලාවක් සිදු වූ අතර තෙල් නෞකා ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කෙරිණි.
21 වැනි සියවසේ දී විශේෂයෙන් IRGC විසින් මෙම සන්ධිය වසා දැමිය හැකි බවට කළ ප්‍රකාශ සහ සම්මුති විරහිත ගැටුම් හේතුවෙන් ලෝක බලවතුන්ගේ අවධානය නැවතත් මෙයට යොමු විය. ඇමරිකාව සහ එහි මිත්‍ර රටවල් මෙම මාර්ගයේ නාවික ආරක්ෂාව ශක්තිමත් කළේ ලෝක බලශක්ති සැපයුම අඛණ්ඩව පවත්වා ගැනීමේ අරමුණෙනි. එබැවින් හෝර්මුස් සන්ධිය සම්බන්ධ අර්බුදයක් යනු හදිසි සිදුවීමක් නොව දශක ගණනාවක් පුරා පවතින භූ-දේශපාලනික තරගයක නව අදියරක් ලෙස සැලකිය හැක.
ගෝලීය ආර්ථිකයට එල්ල කරන බලපෑම
හෝර්මුස් සන්ධිය වසා දැමීම ගෝලීය ආර්ථිකයට එල්ල කරන බලපෑම ප්‍රබල වේ. හෝර්මුස් සමද්‍ර සන්ධිය වැසී යාමෙන් සිදුවන්නේ හුදෙක් ඉන්ධන මිල ඉහළ යාමක් පමණක් නොව, ලෝක ආර්ථික පද්ධතියේ මූලික සම්පාදන ජාලයටම එල්ල වූ පහරක් ලෙස සැලකේ. ලෝකයේ මුළු තෙල් පරිභෝජනයෙන් සියයට 20-30ක් සහ ද්‍රව ස්වාභාවික වායුවලින් (LNG) සියයට 20ක් පමණ මෙම මාර්ගය හරහා ප්‍රවාහනය වේ. එම ප්‍රවාහය නතර වීමත් සමග ගෝලීය බලශක්ති හිඟයක් නිර්මාණය වී කර්මාන්ත, ගමනාගමන සහ විදුලිබල නිෂ්පාදන ක්ෂේත්‍ර බරපතළ පීඩනයකට ලක් විය හැකිය. අර්බුදය ආරම්භ වී පැය 48ක් ඇතුළත බොරතෙල් බැරලයක මිල ඩොලර් 82 දක්වා ඉහළ ගිය අතර, ඉදිරියේදී එය ඩොලර් 150 සීමාව ඉක්මවා යා හැකි බව ආර්ථික විශ්ලේෂකයෝ අනාවැකි පළ කළහ. ලෝකයේ තෙල් සහ ද්‍රව ස්වාභාවික වායු (LNG) සැපයුමේ විශාල කොටසක් මෙම සන්ධිය හරහා ගමන් කරන බැවින් එහි ගමනාගමනය නතර වීමෙන් බලශක්ති වෙළෙඳපොළේ හදිසි හිඟයක් මතු වේ.
මේ හේතුවෙන් බොරතෙල් මිල වේගයෙන් ඉහළ යාමත් සමග විදුලිබල නිෂ්පාදන පිරිවැය, ප්‍රවාහන වියදම් සහ කර්මාන්තශාලා මෙහෙයුම් වියදම් සියල්ලම ඉහළ යයි. බලශක්ති වියදම් ඉහළ යාම ඍජුවම නිෂ්පාදන මිලට බලපාන බැවින් ගෝලීය උද්ධමනය නැවතත් තිව්‍ර වීමේ අවදානමක් පවතී. ඉන්ධන මිල ඉහළ යාම ප්‍රවාහන ක්ෂේත්‍රයට දැඩි පහරක් එල්ල කරයි. ගුවන් ගමනාගමනය, නාවික ප්‍රවාහනය සහ ගොඩබිම් ප්‍රවාහන සේවා සියල්ලම ඉන්ධන මත යැපෙන බැවින් ගුවන් ගාස්තු මිල සහ භාණ්ඩ ප්‍රවාහන ගාස්තු ඉහළ යයි. එමගින් ආහාර, ඖෂධ, කාර්මික උපකරණ සහ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාම ස්ථිරවම වේ. විශේෂයෙන්ම ආනයන මත යැපෙන දකුණු ආසියාව, අප්‍රිකාව සහ ලතින් ඇමරිකා රටවල් මෙම පීඩනයට වැඩි වශයෙන් මුහුණ දෙනු ඇත.
මූල්‍ය වෙළෙඳපොළවලද දැඩි අස්ථාවරතාවක් මතු වේ. ආයෝජකයන් ආරක්ෂිත ආයෝජන වෙත මාරුවීම නිසා කොටස් වෙළෙඳපොළ පහත වැටීමක් දක්නට ලැබේ. රටවල් බහුතරයක මුදල් ඒකක අවප්‍රමාණය වීමේ අවදානමක් පවතින අතර විදේශ ණය ගෙවීමේ පීඩනය වැඩි වේ. විශේෂයෙන්ම ඉන්ධන ආනයන වියදම් ඉහළ යාම නිසා විදේශ විනිමය සංචිත වේගයෙන් අඩුවිය හැක. රක්ෂණ වාරික හා නාවික ගාස්තු විශාල ලෙස ඉහළ යාම නිසා ගෝලීය සැපයුම් දාම කඩා වැටීමේ අවදානමක් පවතී. අවදානම හේතුවෙන් නැව් සමාගම් ගමන් මාර්ග වෙනස් කිරීම හෝ සේවා අත්හිටුවීමෙන් කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය හිඟයක් පවා මතුවිය හැක. විශේෂයෙන්ම ඉලෙක්ට්‍රොනික, රසායනික සහ වාහන නිෂ්පාදන කර්මාන්තය මෙවැනි සැපයුම් බාධාවලින් දැඩි ලෙස පීඩාවට පත් වේ.
ඉන්පසු, රටවල් අතර දේශපාලනික සහ ආර්ථික සම්බන්ධතා ද නැවත සැලසුම් කිරීමට සිදු වේ. බලශක්ති සුරක්ෂිතතාව ප්‍රමුඛ ජාතික ප්‍රතිපත්තියක් බවට පත්වන අතර පුනර්ජනනීය බලශක්ති ආයෝජන, විකල්ප නළ මාර්ග හා කලාපීය බලශක්ති ගිවිසුම් වඩාත් ශක්තිමත් කිරීමට රටවල් පෙළඹේ. මෙවැනි අර්බුදයක් ලෝක ආර්ථිකය කෙටි කාලීනව කම්පනයකට ලක් කළත් දිගුකාලීනව බලශක්ති විවිධාංගීකරණය හා නව ආර්ථික ව්‍යුහයක් බිහි කිරීමට ද මග පාදනු ඇත. තවද හෝර්මුස් අර්බුදය ලෝකයට උගන්වන පාඩම වන්නේ එක් භූගෝලීය චෝක්පොයින්ට් (chokepoint) එකක් මත අධික ලෙස යැපීම ගෝලීය ස්ථාවරත්වයට දැඩි අවදානමක් බවයි. එබැවින්, මෙම සිදුවීම ලෝක ආර්ථිකයේ දිගුකාලීන ප්‍රතිසංවිධානයකට සහ බලශක්ති ආරක්ෂාව පිළිබඳ නව යුගයක ආරම්භයකට හේතු වන හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස සැලකිය හැක.
මෙම අර්බුදයෙන් වැඩිම බලපෑමට ලක්වන්නේ ආසියාවේ දැවැන්ත ආර්ථික වන චීනය සහ ඉන්දියාවය. චීනයේ තෙල් අවශ්‍යතාවෙන් සියයට 40-50ක් පමණ ලැබෙන්නේ පර්සියානු බොක්ක ප්‍රදේශයෙන් වන අතර, සමුද්‍ර සන්ධිය වැසීම නිසා නිෂ්පාදන පිරිවැය ඉහළ ගොස් ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ල විය හැකිය. ඒ අනුව, චීනයේ වාර්ෂික දළ දේශීය නිෂ්පාදිතය (GDP) සියයට 0.8 සිට සියයට 1.5 දක්වා ප්‍රතිශතයකින් පහත වැටිය හැකි බව විශ්ලේෂණ පෙන්වා දෙයි. ඉන්දියාව ද බොරතෙල් ආනයනය මත දැඩි ලෙස යැපෙන රටක් වන අතර තෙල් මිල ඉහළ යාමත් සමග ඉන්දියානු රුපියලේ අගය පහත වැටීමේ අවදානමක් මතු විය. විශේෂයෙන්ම ඉන්දියාවේ ගෘහස්ථ භාවිතයට යොදාගන්නා ගෑස් (LPG) වලින් සියයට 80ක් පමණ මෙම මුහුදු මාර්ගය හරහා පැමිණීම නිසා සාමාන්‍ය ජනතාවට ඉන්ධන සහ ගෑස් මිල දරාගත නොහැකි මට්ටමකට ඉහළ යා හැකිය. එමගින් උද්ධමනීය පීඩනය තවත් වැඩිවීමේ අවදානමක් මතු විය.
ලංකාවේ ආර්ථිකයට වන බලපෑම
හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම හෝ එහි ගමනාගමනයට බාධා වීම ශ්‍රී ලංකා ආර්ථිකයට බරපතළ ප්‍රතිවිපාක ගෙන දිය හැක. ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම පාහේ ඉන්ධන ආනයනය මත යැපෙන රටක් වන බැවින්, මැදපෙරදිගින් තෙල් සැපයුම කඩා වැටීම හෝ මිල ඉහළ යාම ඍජුවම දේශීය ආර්ථිකයට බලපායි. පළමුව ඉන්ධන මිල ඉහළ යාම විදුලිබල නිෂ්පාදනයට සහ ප්‍රවාහන ක්ෂේත්‍රයට දැඩි පීඩනයක් ඇති කරයි. ඩීසල් සහ ෆර්නේස් ඔයිල් මත යැපෙන විදුලිබල ස්ථානවල නිෂ්පාදන වියදම් ඉහළ යාම නිසා විදුලි ගාස්තු වැඩිවීමේ අවදානම පවතී. එමගින් කර්මාන්තශාලා, සුළු හා මධ්‍ය ව්‍යවසාය (SMEs), සහ සේවා අංශයේ පිරිවැය ඉහළ යාම අනිවාර්ය වේ.
දෙවනුව, ගෝලීය බොරතෙල් මිල ඉහළ යාම ශ්‍රී ලංකාවේ උද්ධමනය තවත් උග්‍ර කරයි. ප්‍රවාහන වියදම් වැඩිවීම නිසා ආහාර, ඉදිකිරීම් ද්‍රව්‍ය, ඖෂධ හා දෛනික භාණ්ඩ මිල ඉහළ යයි. මෙය විශේෂයෙන්ම මධ්‍යම හා අඩු ආදායම් පවුල්වල ජීවන වියදම ඉතා වැඩි කරයි. තෙවනුව, ඉන්ධන ආනයනය සඳහා අවශ්‍ය විදේශ විනිමය ප්‍රමාණය ඉහළ යාම නිසා රටේ විදේශ විනිමය සංචිත මත පීඩනය වැඩි වේ. ශ්‍රී ලංකාව දැනටමත් ණය සහ විනිමය අර්බුද අත්විඳ ඇති බැවින් තවත් මිල ඉහළ යාම රුපියලේ අගය පහත වැටීමට හේතු විය හැක. එය විදේශ ණය ගෙවීමේ බර වැඩි කරයි. ඊට අමතරව නාවික රක්ෂණ ගාස්තු සහ ගෝලීය ප්‍රවාහන වියදම් ඉහළ යාම නිසා ශ්‍රී ලංකාවේ ආනයන-අපනයන ක්ෂේත්‍රය ද පීඩාවට පත් වේ.
විශේෂයෙන්ම ඇඟලුම් කර්මාන්තය වැනි අපනයන මත යැපෙන අංශවලට අමුද්‍රව්‍ය ප්‍රමාද වීම හෝ වියදම් වැඩිවීම හේතුවෙන් ලාභාංශ අඩුවිය හැක. මැදපෙරදිග කලාපයේ ආරක්ෂාව ශ්‍රී ලංකා ආර්ථිකයට සංඛ්‍යාත්මකව ද දැඩි බලපෑමක් ඇති කළ හැක. විදෙස්ගතව රැකියා කරන ලාංකිකයන්ගෙන් සියයට55-60 කට ආසන්න ප්‍රමාණයක් සේවය කරන්නේ සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර්, කුවේට් සහ ඕමානය වැනි මැදපෙරදිග රටවලය. විදෙස්ගතව රැකියා කරන්නන්ගේ මුදල් ප්‍රේෂණ වාර්ෂිකව ඇමරිකානු ඩොලර් බිලියන 5-6 අතර පරාසයක පවතින අතර, එය ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ (GDP) සියයට 7-9ක් පමණ වේ. මැදපෙරදිග ආර්ථික ක්‍රියාකාරකම් සියයට 10-15කින් පමණ මන්දගාමී වුවහොත්, විදේශ ප්‍රේෂණ ප්‍රමාණය අවම වශයෙන් සියයට 15-20කින් පහත වැටීමට ඉඩ ඇත. එවැනි අවස්ථාවක, ශ්‍රී ලංකාවට වාර්ෂිකව ඩොලර් බිලියනයක් පමණ අහිමි විය හැක. එය විදේශ විනිමය සංචිත (දැනට ඩොලර් බිලියන 6.5 පමණ වන) මත දැඩි පීඩනයක් ඇති කරයි.
එමෙන්ම, තෙල් මිල බැරලයකට ඩොලර් 80 සිට ඩොලර් 120-150 දක්වා ඉහළ ගියහොත් ශ්‍රී ලංකාවේ ඉන්ධන ආනයන වියදම සියයට 30-50කින් ඉහළ යා හැක. ශ්‍රී ලංකාව වාර්ෂිකව ඩොලර් බිලියන 3-4ක් පමණ ඉන්ධන ආනයනය සඳහා වැය කරන බැවින්, අමතර ඩොලර් බිලියන 1-1.5ක් පමණ වියදම් විය හැක. මෙය රුපියලේ අගය පහත වැටීමට සහ උද්ධමනය සියයට 3-5 ප්‍රතිශතයකින් පමණ වැඩිවීමට හේතු විය හැක.
අවසානයේ මැදපෙරදිග කලාපයේ ආරක්ෂක අර්බුදයක් ශ්‍රී ලංකාවට රැකීරක්ෂා අහිමිවීම, වාර්ෂික විදේශ ප්‍රේෂණ ඩොලර් බිලියන 1කට ආසන්න ප්‍රමාණයකින් අඩුවීම, ඉන්ධන වියදම් බිලියන ගණනින් වැඩිවීම, සහ විදේශ විනිමය සංචිත හා රුපියලේ ස්ථාවරත්වය මත දැඩි පීඩනයක් ඇති කිරීම වැනි සංඛ්‍යාත්මකව මැනිය හැකි බලපෑම් දැඩි අවදානමක් ලෙස සැලකිය හැක. කෙසේ වෙතත්, මෙම අර්බුදය ශ්‍රී ලංකාවට දිගුකාලීන පාඩමක්ද ලබා දෙයි. බලශක්ති විවිධාංගීකරණය, පුනර්ජනනීය බලශක්ති ආයෝජන සූර්ය, සුළං, ජල විදුලිය සහ බලශක්ති කාර්යක්ෂමතාව වැඩි කිරීම අත්‍යවශ්‍ය වශයෙන් ඉදිරියට ගෙන යා යුතු බව මෙය පැහැදිලි කරයි. එසේ නොමැති නම් ගෝලීය භූ-දේශපාලනික අර්බුද සෑම වතාවකම ශ්‍රී ලංකා ආර්ථිකයට බරපතළ කම්පනයක් එල්ල කරනු ඇත.
විකල්ප සෙවීම
හෝර්මුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධ අර්බුදය හමුවේ ලෝක ආර්ථිකය තවත් කඩා වැටීමෙන් රැක ගැනීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික හා යුදමය විකල්ප කිහිපයක් යෝජනා වී ඇත. එක් ප්‍රධාන විකල්පයක් වන්නේ උදාසීන නෞකා ආරක්ෂක බලකායක් (Neutral Convoy System) පිහිටුවීමයි. මෙය එක්සත් ජාතීන්ගේ සංවිධානය අනුදැනුම යටතේ ක්‍රියාත්මක කරමින්, තෙල් හා වෙළෙඳ නෞකා ආරක්ෂිතව සන්ධිය හරහා ගමන් කරවීම අරමුණ වේ. මෙවැනි වැඩපිළිවෙළක් ජාත්‍යන්තර සහයෝගිතාව මත පදනම් වූ සාමකාමී විසඳුමක් ලෙස සැලකේ.
තවත් විකල්පයක් ලෙස, චීනය විසින් රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමක් සිදු කිරීම යෝජනා වී ඇත. ඉරානයේ විශාලතම තෙල් පාරිභෝගිකයන් අතරින් කෙනකු වන චීනයට ඉරානය සමග ඇති ආර්ථික සහ දේශපාලනික සබඳතා යොදා ගනිමින් සාමකාමී සාකච්ඡා මගින් ගැටුම නිරාකරණය කිරීමට හැකියාවක් ඇතැයි විශ්වාස කෙරේ. මෙය කලාපීය යුද්ධයක් වළක්වා ගත හැකි ආර්ථික වශයෙන් අඩු අවදානම් විකල්පයක් ලෙස සැලකේ.
එමෙන්ම එක්සත් ජනපදය ප්‍රමුඛ මිත්‍ර හමුදා විසින් යුදමය බලය යොදා සමුද්‍ර සන්ධිය බලහත්කාරයෙන් විවෘත කිරීමේ විකල්පය ද සාකච්ඡාවට ලක් වී ඇත. කෙසේ වෙතත්, මෙවැනි ක්‍රියාමාර්ගයක් කෙටි කාලීනව නාවික ගමනාගමනය යථා තත්වයට පත් කළ හැකි වුවද දිගුකාලීන ප්‍රාදේශීය යුද්ධයකට හෝ වඩා විශාල භූ-දේශපාලනික ගැටුමකට මඟ පෑදිය හැකි බවට දැඩි අනතුරු ඇඟවීම් පවතී. එබැවින්, මෙම විකල්ප අතර තීරණය ගැනීම ලෝක ආර්ථිකයේ ස්ථාවරත්වය, කලාපීය ආරක්ෂාව සහ ජාත්‍යන්තර නීති පද්ධතිය පිළිබඳ සම්මුති මත පදනම් විය යුතු අභියෝගාත්මක ක්‍රියාවලියකි.
අවසාන වශයෙන් 2026 හෝමුස් අර්බුදය ලෝකයට උගැන්වූ ප්‍රධාන පාඩම වන්නේ ගෝලීය බලශක්ති සුරක්ෂිතතාවේ අස්ථාවරත්වයයි. එක් පටු මුහුදු මාර්ගයක් මත අධික ලෙස යැපීම ලෝක ආර්ථිකයට දැඩි අවදානමක් බව මෙයින් පැහැදිලි විය. එබැවින්, බොහෝ රටවල් මැදපෙරදිග තෙල් මත යැපීම අවම කරමින්, පුනර්ජනනීය බලශක්ති මාර්ග, විකල්ප සැපයුම් ජාල සහ බලශක්ති විවිධාංගීකරණය කෙරෙහි දැඩි අවධානය යොමු කිරීමට ඉඩ ඇත. මෙම අර්බුදය අනාගතයේ ආර්ථික හා ආරක්ෂක ප්‍රතිපත්ති නැවත සැලසුම් කිරීමට ලෝකයට බල කළ තීරණාත්මක සිදුවීමක් බවට පත්වනු ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd