ආදායම් බදුවලට පෙර ලාබය රුපියල් බිලියන 19.6 දක්වා සියයට 22.3 කින් ඉහළට 


බදු පසු ලාබය රුපියල් බිලියන 12.1 දක්වා සියයට 20.5 කින් ඉහළට 


සමස්ත ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය සියයට 17.89ක්


සෙලාන් බැංකුව 2025 දෙසැම්බර් 31 දිනයෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා මූල්‍ය ප්‍රතිඵල ප්‍රකාශයට පත්කර ඇති අතර, එම ප්‍රතිඵල අනුව බැංකුවේ ලාබදායීත්වයේ කැපී පෙනෙන වර්ධනයක් වාර්තා වී තිබේ. බැංකුවේ බදු පෙර ලාබය රුපියල් බිලියන 19.6 ක් වූ අතර, එය පෙර මූල්‍ය වර්ෂයේ වාර්තා වූ රුපියල් බිලියන 16.0 ට සාපේක්ෂව සියයට 22.3 ක වර්ධනයකි. 

මෙම සමාලෝචනයට අදාළ කාලපරිච්ඡේදය තුළ බැංකුවේ බදු පසු ලාබය රුපියල් බිලියන 12.1 ක් වූ අතර, එය පෙර වසරේ වාර්තා වූ රුපියල් බිලියන 10.0 ට සාපේක්ෂව සියයට 20.5 ක වර්ධනයකි. රුපියල් බිලියන 12.1 ක් වූ මෙවර බදු පසු ලාබය සෙලාන් බැංකුව සිය වසර 37 ක ඉතිහාසය තුළ වාර්තා කළ ඉහළම බදු පසු ලාබය ලෙස සැලකේ. මෙය සෙලාන් බැංකුවේ තිරසාර වර්ධනය සහ ශක්තිමත් මූල්‍ය ක්‍රියාකාරීත්වය මැනවින් පිළිබිඹු කරන සාධකයකි.

මූල්‍ය කාර්යසාධන ප්‍රකාශය 

2024 වසරේදී රුපියල් බිලියන 36.7 ක් වූ ශුද්ධ පොලී ආදායම 2025 වසරේදී රුපියල් බිලියන 38.3 දක්වා සියයට 4.21 ක් වැනි සාමාන්‍ය මට්ටමකින් ඉහළ ගොස් ඇති අතර, නිකුත් කළ ණය ප්‍රමාණය වර්ධනය වීම, වෙළෙඳපොළේ පොලී අනුපාත පහළ යාම සහ ණය, තැන්පතු හා රජයේ සුරැකුම්පත් ප්‍රතිමිළකරණය කිරීම යනාදිය මීට ප්‍රධාන වශයෙන් බලපා ඇත. බැංකුවේ ශුද්ධ පොලී ආන්තිකය ද 2024 වසරේදී වාර්තා වූ සියයට 4.90 ට සාපේක්ෂව 2025 වසරේදී සියයට 4.50 දක්වා සාමාන්‍ය වශයෙන් පහළ ගොස් තිබේ. බැංකුවේ ගාස්තු පදනම් කරගත් ආදායම රුපියල් බිලියන 7.2 සිට රුපියල් බිලියන 8.3 දක්වා සියයට 16.34 කින් වර්ධනය වී ඇති අතර, කාඩ්පත්, ප්‍රේෂණ, වෙළෙඳ සේවා සහ අනෙකුත් මූල්‍ය සේවා මගින් ලැබුණු ගාස්තු ආදායම මීට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත. බැංකුවේ සමස්ත මෙහෙයුම් ආදායම 2024 වසරේ වාර්තා වූ රුපියල් බිලියන 42.6ට සාපේක්ෂව 2025 වසරේදී සියයට 13.00 කින් ඉහළ ගොස් රුපියල් බිලියන 48.1 ක් ලෙස වාර්තා වී තිබේ. ගාස්තු පදනම් කරගත් ආදායම්, ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම සහ වෙනත් මෙහෙයුම් ආදායම් ඉහළ යාම මීට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත. 

සමස්ත මෙහෙයුම් පිරිවැය 2024 වසරේදී වාර්තා වූ රුපියල් බිලියන 19.7 ට සාපේක්ෂව 2025 වසරේදී රුපියල් බිලියන 21.4 දක්වා සියයට 8.53 කින් වර්ධනය වී තිබේ. කාර්ය මණ්ඩලය සම්බන්ධ වියදම් ඉහළ යාම හේතුවෙන් මානව සම්පත් පිරිවැය රුපියල් බිලියන 10.2 සිට රුපියල් බිලියන 11.3 දක්වා සියයට 10.40 කින් ඉහළ ගොස් ඇත. අදාළ කාලසීමාව තුළ භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ යාම හේතුවෙන් වෙනත් මෙහෙයුම් පිරිවැය සහ ක්ෂයවීම් පිරිවැය ද සියයට 6.54 කින් ඉහළ ගොස් තිබේ. විවිධ පිරිවැය පාලන ක්‍රමවේද ඔස්සේ මෙම පිරිවැය අවම කිරීම සඳහා බැංකුව පියවර ගනිමින් සිටී. 

2024 වසරේ වාර්තා වූ රුපියල් බිලියන 6.3 ට සාපේක්ෂව 2025 වසරේදී බැංකුවේ ණය හා අත්තිකාරම් හානිකරණ වියදම රුපියල් බිලියන 0.6 දක්වා විශාල ලෙස අඩු වී තිබේ. මූල්‍ය ප්‍රකාශන තුළ ප්‍රමාණවත් ප්‍රතිපාදන ඇතුළත් බව සහතික කිරීම සඳහා බැංකුව විසින් ගෝලීය සහ දේශීය ආර්ථිකයේ වෙනස්කම්, ගනුදෙනුකරුවන්ගේ ණය අවදානම් පැතිකඩ සහ බැංකුවේ ණය කළඹේ ගුණාත්මකභාවය ග්‍රහණය වන පරිදි හානිකරණ ණය ප්‍රතිපාදන සලසා ඇති බවට සහතික කරගැනීමට පියවර ගෙන ඇත. බැංකුවේ වත්කම් ගුණාත්මකභාව අනුපාත වන හානිකරණ ණය (අදියර 3) අනුපාතය සියයට 1.03 ක් වූ අතර (2024 - 2.10%), අදියර 3 ප්‍රතිපාදන ආවරණ අනුපාතය 2025 දෙසැම්බර් 31 දින වන විට සියයට 86.33 ක් ලෙස බැංකු ක්ෂේත්‍රයේ ඉහළම මට්ටමක පැවතිණි. 

ආදායම් බදු පිරිවැය පෙර වසරේ වාර්තා වූ රුපියල් බිලියන 6.0 ට සාපේක්ෂව සියයට 20.47 කින් ඉහළ ගොස් රුපියල් බිලියන 7.5 ක් ලෙස වාර්තා විය. මූල්‍ය සේවා මත එකතු කළ අගය මත බද්ද 2024 වසරේ වාර්තා වූ රුපියල් බිලියන 4.7 සිට රුපියල් බිලියන 5.6 දක්වා සියයට 17.69 කින් ඉහළ ගොස් තිබේ. සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද රුපියල් බිලියන 0.7 සිට රුපියල් බිලියන 0.8 දක්වා ඉහළ ගිය අතර මෙය පෙර වසරට සාපේක්ෂව සියයට 17.70 ක වර්ධනයකි. 

2025 වසර සඳහා බැංකුව රුපියල් බිලියන 12.1 ක බදු පසු ලාබයක් (PAT) වාර්තා කළ අතර එය 2024 වසරට සාපේක්ෂව සියයට 20.47 ක වර්ධනයක් පිළිබිඹු කරයි. කෙසේ වෙතත්, SLISB ප්‍රතිව්‍යුහගත කිරීමේ බලපෑම සහ 2024 දී එහි ප්‍රතිඵලයක් ලෙස සිදු වූ ආපසු හැරවීමේ බලපෑම සඳහා සිදු කළ යුතු ගැලපීම්වලින් අනතුරුව, 2025 සඳහා සත්‍ය ලාබ වර්ධනය සියයට 32.78 ක් වනු ඇත.

මූල්‍ය තත්ව ප්‍රකාශය 

බැංකුවේ සමස්ත වත්කම් වටිනාකම 2024 වසරේ වාර්තා වූ රුපියල් බිලියන 780 සිට 2025 වසරේ මාස 12 අවසානයේදී රුපියල් බිලියන 921 දක්වා ස්ථාවර වර්ධනයක් අත්කරගෙන තිබේ. එමෙන්ම තම ගනුදෙනුකරුවන් එලෙසින්ම රඳවාගන්නා අතරම බැංකු ණය සහ තැන්පතු සේවා ඔස්සේ නව ගනුදෙනුකරුවන් ආකර්ෂණය කරගැනීමටද බැංකුව පියවර ගෙන ඇත. බැංකුවේ ණය සහ අත්තිකාරම් රුපියල් බිලියන 137 ක ශුද්ධ වර්ධනයක් වාර්තා කරමින් රුපියල් බිලියන 600 ක් ලෙස වාර්තා වී ඇති අතර, තැන්පතු රුපියල් බිලියන 86 ක ශුද්ධ වර්ධනයකින් අනතුරුව රුපියල් බිලියන 733 ක් ලෙස වාර්තා වී තිබේ. ස්ථාවර සහ පිරිමැසුම්දායක අරමුදල් සම්පාදනයක් සහතික කරමින් සිය ජංගම ගිණුම් හා ඉතුරුම් ගිණුම් අනුපාතය (CASA Ratio) සියයට 30 මට්ටමේ පවත්වා ගැනීමට බැංකුව සමත් විය.