කර්මාන්තයේ විශ්වාසය සහ පෞද්ගලික අංශයේ සහයෝගය බිඳ දැමීමට හේතු විය හැකි බව පවසයි


පනත එලෙසින්ම පවත්වාගෙන අවශ්‍ය සංශෝධන සිදු කරන ලෙස ඉල්ලයි


භානුක අමරසිංහ


වසර 20ක් පමණ කාලයක් පුරා සාර්ථක ලෙස ක්‍රියාත්මක වූ සංචාරක පනත් කෙටුම්පත අහෝසි කර ඒ වෙනුවට නව පනතක් ගෙන ඒමට වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සිය විරෝධය දක්වන බව සංචාරක කර්මාන්තය හා සම්බන්ධ පාර්ශ්වකරුවෝ පවසති.
විශේෂයෙන්ම මෙම පනත හරහා සංචාරක කර්මාන්තයේ විශ්වාසය මෙන්ම පෞද්ගලික අංශයේ සහයෝගය යම් බිඳවැටීමකට ලක්විය හැකි බවත්, ඒ හරහා දැනට සංචාරක කර්මාන්තයෙන් හිමිවන ඉතාමත් සුළු ආදායම පවා අහිමිවීමේ අවස්ථාවක් පවතින බවත් ඔවුහු අවධාරණය කරති. 
ඒ අනුව සිදු කළ යුත්තේ සංචාරක පනත අහෝසි කිරීම නොව, එය එලෙසින්ම රැකගෙන සංශෝධනය කළ යුතු කරුණු පමණක් සංශෝධනයට ලක් කිරිම බව ඔවුන්ගේ අදහස වී තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ශ්‍රී ලංකා හෝටල් සංගමයේ (THASL)  හිටපු සභාපතිවරයකු වන අනුර ලොකුහෙට්ටි මහතා, මෙම පනත හරහා මේ දක්වා සංචාරක කර්මාන්තයට කිසිදු හානියක් සිදුව නොමැති බවත් සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා මෙවැනි පනතක් පවත්වා ගෙන යාම අත්‍යවශ්‍ය බවත් පවසා සිටියි.
“2005 අංක 38 දරණ සංචාරක පනත මගින් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය දශක දෙකකට ආසන්න කාලයක් පුරා වර්ධනය, අර්බුද සහ ප්‍රතිසාධනය යන සියලු‍ අදියර පසු කරමින් මඟපෙන්වීම ලබා දී තිබෙනවා. එය සැකසීමේදී සිදු කළ පුලුල් සාකච්ඡා හා එකඟතා මෙම පනත මෙතරම් කාලයක් පැවැතීමට හොඳම සාක්ෂියක්‘  යනුවෙන් පවසයි.
ඔහුට අනුව මෙම පනත මගින් කාර්යභාරයන් පැහැදිලිව වෙන් කරමින්, නියාමනය, ප්‍රචාරණය, පුහුණුකිරීම සහ සම්මේලන /  MICE  සංවර්ධනය සඳහා විශේෂිත ආයතන ස්ථාපිත කර තිබේ. එහිදී මෙම ව්‍යුහය දේශපාලන අතපෙවීම් අවම කරමින්, පාලන සීමා හා සම්මතයන් ස්ථාපිත කිරීමටද සමත්ව ඇත. එසේම ක්ෂේත්‍රයේ විශේෂඥ දැනුම තවදුරටත් ශක්තිමත් කිරීමටත්, ඒ හරහා ආයෝජකයන්ටත් - කර්මාන්තකරුවන්ටත් විශ්වාසය ගොඩනඟා දීමක්ද සිදු වුණු බවත් ඔහු සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සංචාරක නියෝජිත ආයතන සම්මේලනය (SLAITO)  හි සභාපති නලීන් ජයසුන්දර මහතා, ගැටලු‍ව ඇත්තේ පවතින පනතේ නොව එය ක්‍රියාත්මක කෙරෙන ආකාරයේ බව සඳහන් කළේය. SLTDA සහ SLITHM  වැනි ආයතනවල ස්වාධීනත්වය, වෘත්තීයමය නියාමනය සහ මානව සම්පත් සංවර්ධනය සාර්ථකව සිදු කිරීමට මෙම පනත මගින් ඉඩ සලසා දුන්නා. මෙවැනි කරුණු තරගකාරී සංචාරක කර්මාන්තයකට අත්‍යවශ්‍ය මූලික කරුණු ලෙස සැලකෙනවා. ආසන්න කාලසීමාවේදී පමණක් අපි මෙවැනි ආයතනවල මුල් පුටු වරින් වර වෙනස් වෙනවා දැක්කා. එය හොඳ දෙයක් නෙමෙයි.“
මේ අතර, 2005දී ලබාදුන් පාලන සහතිකයත් සමගින් සංචාරක සංවර්ධන බද්ද (TDL)  හරහා වාර්ෂික ආදායමෙන් සියයට 1කින් දායක වීමට එකඟ වූ බවත්, එය අතිවිශාල මුදලක් බවත් ලොකුහෙට්ටි මහතා සඳහන් කළේය.

 “එතැනදී මූලිකවම ස්වාධීන ආයතන, පෞද්ගලික අංශයේ නියෝජනය, මුදල් භාවිතයේ පැහැදිලිතාවය සහ දේශපාලන පාලනය සීමා කිරීම යනාදියට අපි එකඟ වුණා. එහෙත් මෙම රාමුවට ගරු නොකර පනත වෙනස් කිරීම, කර්මාන්තයේ විශ්වාසය සහ පෞද්ගලික අංශයේ සහයෝගය බිඳ දැමීමට හේතු වෙන්න පුළුවන්. මොකද මේ පනත අහෝසි කරන්නේ ඒ අතිවිශාල මුදල් ප්‍රමාණය වෙත පිවිසීමට කියලා අපි හිතනවා.’ ඒ මහතා සඳහන් කළේය.
මෙම පනත සම්බන්ධයෙන් පසුගිය වසරේදී අදහස් දක්වමින් සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා, සංචාරක කර්මාන්තයේ ශීඝ්‍ර වර්ධනයක් ළඟා කරගැනීම සඳහා මෙම පනත සංශෝධනයට පියවර ගන්නා බව සඳහන් කළේය. එහිදී සංචාරක කර්මාන්තය නගා සිටුවීම සඳහා දිගු කාලීන සැලැස්මක් සහ ඉලක්කයක්ද රජයට පවතින බවත් ඔහු සඳහන් කර තිබුණි. විශේෂයෙන්ම සංචාරක කර්මාන්තය වර්ධනය සඳහා සියලු‍ ආයතන ඒකාබද්ධ ව්‍යුහයක් අවශ්‍ය බවත්, ඒ සඳහා ජාතික සංචාරක කොමිසමක් පිහිටුවීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා එම අවස්ථාවේදී සඳහන් කර තිබුණි.
“කාර්යක්ෂමතාව වැඩි කරන සංශෝධන සඳහා අපේ ගැටලු‍වක් නැහැ. එතැනදී මේ යෝජනා යටතේ ඇති SLTPB සහ සම්මේලන කාර්යාංශය සීමිත ලෙස ඒකාබද්ධ කිරීම පිළිබඳව අපට විරුද්ධත්වයක් නැහැ. හැබැයි  එය පහතේ කොන්දේසි රැකගෙන සිදු විය යුතුයි.’ අනුර ලොකුහෙට්ටි මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන හෝටල් සංගමයේ (THASL) වත්මන් සභාපති අසෝක හෙට්ටිගොඩ මහතා, “පනතේ ගැටලු‍වක් නිසා සංචාරක කර්මාන්තයට හානි වෙලා නෑ. 2005 සිටම දේශපාලන ඇගලි ගැසීම් නිසා පනත ක්‍රියාත්මක වීම ප්‍රමාද වෙලා තිබෙනවා. මේ පනතේ ප්‍රධාන හවුල්කරුවන් වෙන්නේ පෞද්ගලික අංශය, අපි ස්වේච්ඡාවෙන්ම අපේ ආදයෙමෙන් සියයට 1ක් රජයට දෙනවා. මේ මුදල් දෙන්නේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරන්න කියලා. ඒත් 2018 ට සාපේක්ෂව පසුගිය වසරේ ලබපු ආදායමෙන් පෙනෙනවා ගත වූ කාලය තුළ කිසිම දෙයක් වෙලා නෑ කියලා. මේ පනත අහෝසි කරලා කොමිෂන් සභා පත් කිරීමෙන් වෙන්නේ කටයුතු තවත් අකාර්ෂයක්ම වෙලා දැන් ලැබෙන ආදායම තවදුරටත් අඩුවීමයි.“ යනුවෙන් සඳහන් කළේය.