- මැයි මාසේ පෝය දෙකක් ආ නිසා වෙසක් ගැන මිනිස්සුන්ගේ උනන්දුව අඩුයි
- වෙසක් කොලේ පටන් දැන් හැමදේම ගණන්
- පිටරට කූඩු ආපු එකෙන් අපිට පාඩුයි
- නින්දක් නැතිව මහන්සි වුණත් මේ පාර වෙළෙඳාමක් නෑ
- මිනිස්සුන්ට වෙසක් සමරන්න අතේ සල්ලි නෑ
බුල්නෑව ප්‍රදීප් රණතුංග
වර්තමානයේ නිවසේදීම විසිතුරුව වෙසක් කූඩු හැදීමේ සම්ප්‍රදායෙන් බැහැරව වෙළෙඳපොළෙන් කූඩු මිලදී ගැනීම දක්වා කටයුතු වෙනස් වී තිබේ. මේ අන්දමින් විවිධ, විසිතුරු පහන් කුඩු සමග මහ මග ජීවිත සටනට පිවිසෙන උදවියගේ කතාව අපුර්ව එකකි. දවස් කිහිපයකට සීමාවෙන රස්සාවට ඔවුහු ලක ලෑස්ති වනුයේ මාස ගණනක සිටය. වසරකට වරක් උදාවන මේ වෙසක් කූඩු අලෙවියෙන් මහ මග රැඳෙමින් කීයක් හෝ උපයා ගැනීමට ඔවුහු වෙහෙසෙති.
මේ වෙළෙන්දෝ අටපට්ටම්, තරු, නෙලුම් මල්, දහඅට පට්ටම් ආදි නේක කූඩු වර්ග සමග මහ මගට එති. අනුරාධපුරය, ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ කූඩු වෙළෙඳාමේ යෙදෙන එස්. මහින්ද කලක පටන් සියැතින් හැදු විවිධ කුඩු මහ මග තබා අලෙවියේ යෙදෙන අයෙකි. පනස් එක් වියැති ඔහු මෙසේ අප හා කරුණු කීවේය.
“දැන් ගොඩක් අයට කූඩු හදන්න, අලවන්න වෙලාවක් නෑ. මේ කාලේ ඉන්න සමහර ළමයින්ටත් මේවා ගැන එච්චර දැනුමක් නෑ. අපෙන් සල්ලිවලට කූඩු අරන් ගිහින් එල්ලනවා. ඇත්තටම මට මතකයි අපි පොඩි කාලේ ගෙදර කට්ටියම එකතුවෙලා කූඩු හැදුවේ. මාසෙකට විතර කලින් ඒකට ලෑස්ති වෙන්නේ. ඒ කාලේ අපි කූඩු හැදුවේ පින්කමක් විදිහට සලකලා. දැන් කූඩු හදලා විකුණන්න වෙලා තියෙනවා. ඒත් වෙන මොනවා කරන්න ද ජීවත් වෙන්න මොනව හරි කරන්න ඕනනේ. මම පුළුවන් විදිහට අපේ දරුවන්ගේ දරුවෝ මේ වැඩවලට එකතු කරගන්න බලනවා.”
පොහොයදාට සිදුකෙරෙන විවිධ පින්කම් සමග වෙසක් පහන් කූඩු දැල්වීම ද අනාදිමත් කලක පටන් මෙරට ජන ජීවිත හා ඈදි පවතින්නකි. පොහොයට නිවසේ, ගම්මැද්දේ දෙවට පාරේ, වීදී දෙපැත්තේ පහන් කූඩුවක් දැල්වීම මේ නූතන සමාජ ක්‍රමය තුළ ද යම් පමණකින් හෝ ඉටුවන්නකි.
වෙසක් කූඩු වෙළෙඳාමේ යෙදෙන තලාව, මොරගොඩ ප්‍රදේශයේ එම්.ඩී. සුමිත්‍රා නන්දනී මහත්මිය මෙසේ පැවසුවාය.
“අපි ළඟ එක එක ගණන්වලට එක එක සයිස්වලට කූඩු තියෙනවා. වර්ග කීපෙකින්ම අපි කූඩු හදනවා. අටපට්ටම් තමයි ගොඩක්ම හදන්නේ. මිනිස්සු ගොඩක් ඉල්ලන්නෙත් අටපට්ටම් තමයි. අපි අටපට්ටම් පැටව් කූඩත් හදනවා. නෙලුම් මල්, තරු එහෙමත් හදනවා. මං පොඩි කාලේ අපේ තාත්තගෙන් තමයි කූඩු හදන්න ඉගෙන ගත්තේ. අපි කූඩු හදාගෙන පාරට ආවට පස්සේ මිනිස්සුන්ට දැනෙන්න ගන්නවා වෙසක් එක ගැන. මමයි මහත්තයිය දැන් අවුරුදු ගාණක් තිස්සේ වෙසක් කාලෙට මේ වෙළෙඳාම කරනවා. මේ වැඩෙන් ලොකු ලාබයක් නැතිවුණත් පාඩුවක් වෙන්නෑ. මේ පාර නම් තාම වෙසක් ගැන ගාණක් නෑ වගේ. වෙසක් සමරන්න මිනිස්සු අතේ සල්ලි නෑ.”
අනුරාධපුර, දෙකේ කණුව හන්දියේ මහ මග පසෙක කුඩා මඩුවකට වී වෙසක් කූඩු අලෙවියේ යෙදෙන චන්ද්‍ර කුමාර දිසානායක ගේ අපේක්ෂාව වී ඇත්තේ සාධාරණ වෙළෙඳාමකින් කීයක් හෝ උපයා ගැනීමය. ඔහු පැවසුයේ මෙවැනි අදහසකි.
“නෝනා තමයි හැම වැඩකටම උදව් කරන්නේ. හැමදාම වැඩ නැති නිසා මේ දවස්වල නින්දක් නැතිව මහන්සි වෙනවා. ඇත්තටම අපි මාස දෙකකට විතර කලින් කූඩු හදන්න ලෑස්ති වෙන්නේ. වෙසක් කාලෙට කූඩු හදලා විකුණන එක දැන් අවුරුදු දහයක් විතර තිස්සේ කරනවා. කවුරු හරි ඇවිල්ලා අලවලා දෙන්න කියලා ඉල්ලුවොත් අලවලා දෙනවා. නැත්නම් කූඩු විතරක් හදලා විකුණනවා. සමහරු මීට අවුරුදු දෙක තුනකට කලින් තිබ්බ ගාණට තමයි තාමත් කූඩු ඉල්ලන්නේ. මේ පාර නම් හැමදේම ගණන්. උණ බම්බු, රබර් පටි, සව්කොළ, පාන් පිටි හැමදේම ගණන්. ඉතිං ඒ හැමදේම ගැන බලලා තමයි කූඩු වල ගාන තීරණය කරන්නේ.”
අතීතයේ දේශීය උණ පතුරු, බට ලී, කූරටියා කෝටු ආදියෙන් පණ ලැබු විචිත්‍රවත් පහන් කූඩු වෙනුවට ආනයනික ප්ලාස්ටික් පහන් කූඩු වත්මනෙහි මෙරට ඈත ගම්මැදිවලට ද පැමිණ තිබේ. එවක පහන් කූඩුවක් හදා, අලවා, පහන් දැල්වීම යනු මුළුමහත් පවුලම එකතු කළ කටයුත්තකි. එකල්හි එය පරිසර හිතකාමී සෞන්දර්යාත්මක ක්‍රියාකාරකමකි. මෙවර වෙසක් පොහොය දෙකක් යෙදීම ද කූඩු වෙළෙඳාමට හිතකර නොවු බව මෙම වෙළෙන්දෝ පවසති.
විවිධ ගැටලු සිය වෙළෙඳාම සඳහා කර ඇති බලපෑම පිළිබඳව අනුරාධපුරය, දෙකේ කණුව හන්දියේ කූඩු වෙළෙඳාමේ නියුතු මේනකා ප්‍රියදර්ශණි මහත්මිය මෙසේ කරුණු කීවාය.
මමයි, මහත්තයයි, පුතාල දෙන්නයි එකතුව තමයි කූඩු හදන්නේ. දැන් අවුරුදු දොළහක් විතර තිස්සේ හැම අවුරුද්දකම වගේ කූඩු හදලා විකුණනවා. පහුගිය කාලේ එක එක ප්‍රශ්න හින්දා වෙළෙඳාමක් තිබුණේ නෑ. මේ පාරත් තාම වෙළෙඳාමක් නෑ. තාම මිනිස්සුන්ට පෝය ගැන ගාණක් නෑ. එකම මාසේ පෝය දෙකක් වැටිච්ච එකත් අපිට ලොකු පාඩුවක්. අපි වෙසක් පෝය කියලා හිතුවේ පහුගියදා තිබ්බ පෝයට. ඒත් වෙසක් පෝය කල්ගිය එකෙන් කල්ඇතිව හදපු කුඩු දැන් ගොඩගැහිලා තියෙන්නේ. ප්ලාස්ටික් කූඩු ආපු එකත් අපිට පාඩුවක්. හැබැයි උණ පතුරුවලින් හදලා සව්කොළ අලවපු කූඩුවක තියෙන ලස්සන ප්ලාස්ටික් කූඩුවක නෑ.”


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd