2022 වර්ෂයේ දී මෙරට ආර්ථිකය අත්දකින ලද අර්බුදයට බලපෑ මූල හේතු කිහිපයක් පැවති අතර ඒ අතරින් දිගින් දිගටම මෙරට ආර්ථිකයේ පැවති ගෙවුම් ශේෂ හිඟය සහ අයවැය හිඟය ප්‍රධාන තැනක් ගන්නා ලදී. ඒ අනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන තුළ මූලිකවම අයවැය හිඟයට පිළියම් සෙවීම සඳහා රාජ්‍ය ආදායම ඉහළ නැංවීමට සහ රාජ්‍ය වියදම්වලට අදාළව නිසි කළමනාකරණයක් ඇති කිරීමට අවශ්‍ය වන ප්‍රතිපත්ති, නීති, සහ ආයතන හඳුන්වාදීම සිදු කරන ලදී. එමෙන්ම, ගෙවුම් ශේෂය ආශ්‍රිතව පැවති අයහපත් තත්ව කෙටිකාලීනව සමනය කිරීම සඳහා ණය ප්‍රතිව්‍යුහගතකරණය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ අනෙකුත් බහුපාර්ශ්වීය ණය පහසුකම් ලබාදීම මෙන්ම කෙටිකාලීනව තෝරාගත් ආනයන සඳහා සීමා පැනවීම සිදුකරන ලදී.
ගෙවුම් ශේෂ ගැටලු‍වට තිරසර විසඳුමක් ලබාදීම සඳහා සහ ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට ආර්ථිකය තුළ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ අඛණ්ඩව සිදුවිය යුතු බව අවධාරණය කරන ලදී. එසේ නොවන තත්වයක් තුළ – අභ්‍යන්තර/ බාහිර කම්පන හේතුවෙන් කෙටිකාලීනව අත්කරගෙන ඇති සාර්ව ආර්ථික ස්ථායීතාව ගිලිහී යාමට වඩා වැඩි ඉඩකඩක් පවතින බව අවධාරණය කළේය. ඒ අනුව, මෙම ලිපියේ අරමුණ වන්නේ, ඉහත සන්දර්භය තුළ මෙරට ආර්ථිකය වර්තමානයේ මුහුණපා ඇති උභතෝකෝටිකය කෙබඳු ද යන්න පිළිබඳ සාකච්ඡා කිරීම වේ. 


2025 ආර්ථික කාර්යසාධනය
පසුගිය වසරේ ආර්ථික කාර්යසාධනයට අදාළ වාර්ෂික ආර්ථික විවරණය ශ්‍රී ලංකා මහ බැංකුව මගින් පසුගිය දා එළිදක්වන ලදී. එම වාර්තාවෙන් 2025 වසර තුළ මෙරට ආර්ථිකය විසින් අත්කරගත් ජයග්‍රහණ මෙන්ම 2026 වසරට අදාළව ඇති ආර්ථික පසුබිම පිළිබඳව ද අවධානය යොමුකර ඇත. එම විවරණයට අනුව, මෙරට ආර්ථිකය, දළ දේශීය නිමවුම සියයට 5ක වර්ධනයක් අත්කරගෙන ඇත. ඒ අනුව, 2025 අවසන් වන විට මෙරට ආර්ථිකයේ දළ දේශීය නිමවුමේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 108.8 ක් නැතහොත් රුපියල් ට්‍රිලියන 32.8 ක් බවට පත්ව ඇත. 2022 වර්ෂයේ ඇතිවූ ආර්ථික අර්බුදය හේතුවෙන් 2022 සහ 2023 වර්ෂවලදී මෙරට ආර්ථික කටයුතු සංකෝචනය වීමක් සිදු වූ අතර 2024 වර්ෂයේ දී සියයට 5ක ආර්ථික වර්ධනයක් අත්කර ගැනීමට සමත් විය. ඒ අනුව අඛණ්ඩව දෙවැනි වසරටත් සියයට 5ක ආර්ථික වර්ධනයක් අත්කර ගැනීමට මෙරට ආර්ථිකය සමත් වීමෙන් පෙන්නුම් කෙරෙනුයේ විවිධ අභ්‍යන්තර සහ බාහිර කම්පනවලට ඔරොත්තු දීමේ හැකියාවක් ආර්ථිකයට පවතින බවයි.
ඉහත ආර්ථික කර්යසාධන සමග මෙරට ඒක පුද්ගල දළ දේශීය නිමවුම ඇමෙරිකානු ඩොලර් 5,000 සීමාව ඉක්මවා යාම 2025 වසරේ දී සිදුවීම එක් සුවිශේෂී සිදුවීමක් වේ. විශේෂයෙන්ම 2025 වසර තුළ පැවති පහළ උද්ධමනකාරී පරිසරය සහ ආයෝජකයන්ට හිතකර පහළ පොලී අනුපාත මෙන්ම ප්‍රතිපත්තිවල අඛණ්ඩතාව ආර්ථික කටයුතුවලට වඩාත් හිතකර පරිසරයක් ඇති කිරීම සඳහා උපකාරී වී ඇති බව වාර්ෂික ආර්ථික විවරණය පෙන්වා දෙයි. 2025 වසරේ දී සාමාන්‍ය වාර්ෂික උද්ධමනය සියයට සෘණ 0.5 ක් ලෙස වාර්තා වූ අතර 2024 වසරේ දී එම අගය සියයට 1.2 ක් විය. ආයෝජනවලට හිතකර පහළ පොලී අනුපාත හේතුවෙන් පෞද්ගලික අංශයේ ණය ප්‍රසාරණය සැලකිය යුතු ලෙස ඉහළ ගිය අතර ආර්ථිකයේ බොහොමයක් අංශවලට අදාළව ප්‍රමාණවත් ණය ප්‍රසාරණයක් සිදු විය. 2024 වසරේ දී වාර්ෂික ණය ප්‍රසාරණය සියයට 10 ක් පමණ වූ අතර 2025 වසරේ දී පෞද්ගලික අංශයේ ණය ප්‍රසාරණය සියයට 25 ක පමණ මට්ටමක් දක්වා වර්ධනය විය.
බාහිර අංශයට අදාළව අඛණ්ඩව තෙවැනි වසරටත් ගෙවුම් ශේෂයේ ජංගම ගිණුම තුළ ධන අතිරික්තයක් වාර්තා කිරීමට මෙරට ආර්ථිකයට හැකියාව ලැබුණු අතර ඒ සඳහා බලපෑ හේතු අතර විදේශගත ශ්‍රමිකයන් මෙරටට එවනු ලබන විදේශ ප්‍රේෂණ ඉහළ යාම මෙන්ම සේවා අපනයනවල විශේෂයෙන්ම සංචාරක කර්මාන්තය ආශ්‍රිත ඉපැයීම් ඉහළ යාම් හේතු වී ඇති බව ප්‍රකාශ කර සිටී. 2024 වසරේ දී විදේශගත ශ්‍රමිකයන් මෙරටට කරනු ලැබූ ප්‍රේෂණ ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 6.6 ක් වූ අතර එම ප්‍රමාණය 2025 වසරේ දී ඇමෙරිකානු ඩොලර් බිලියන 8.1 දක්වා ඉහළ යන ලදී. ඉතා ඉහළ මට්ටමක පැවති වාහන ආනයනය මධ්‍යයේ වුවද ජංගම ගිණුමේ අතිරික්තයක් ඇතිකර ගැනීමට සමත් වීම යහපත් තත්වයකි. මෙරට නිල සංචිත ප්‍රමාණය ද 2025 වසර තුළ ඉහළ ගියේය. 2022 වසරේ ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට මූල්‍ය අංශය තුළ යම් අස්ථාවරත්වයක් ඇතිවනු ඇතැයි අදහස් පළ විය. එහෙත් එවැනි තත්වයකට ඉඩකඩ අහුරාලමින් මූල්‍ය පද්ධතිය ශක්තිමත්ව ස්ථාවර වීමක් දක්නට ලැබිණි. 
2025 වර්ෂය තුළදී මෙරට මූල්‍ය පද්ධතිය තුළ ප්‍රාග්ධන සහ ද්‍රවශීලතා තත්වය (Capital and Liquidity Buffers) වඩාත් යහපත් ලෙස වර්ධනය වී ඇති බව වාර්ෂික ආර්ථික විවරණය පෙන්වා දෙයි. ආර්ථික අර්බුදයක් තුළ දී මූල්‍ය පද්ධතියේ ස්ථායීතාව සහතික කිරීමට සමත් වීම අගය කළ යුත්තක් වන අතර යම් හෙයකින් මූල්‍ය පද්ධතිය අස්ථාවර වූයේ නම් ඒ හරහා සැලකිය යුතු සමාජ ආර්ථික බිඳවැටීමක් ඇතිවීමට හැකියාව පැවතිණි. 2022 වසරේ ආර්ථික අර්බුදයට ඍජුව බලපෑ එක් මූල හේතුවක් වූයේ දිගින් දිගටම පැවති ඉහළ අයවැය හිඟය වූ අතර ඒ සඳහා සැලකිය යුතු පහළ මට්ටමක පැවති රාජ්‍ය ආදායම හේතු විය. 2025 වසර තුළ රාජ්‍ය ආදායම් ඉලක්ක ඉතා සාර්ථක අයුරින් ළඟා කරගැනීමට මෙරට ආර්ථිකය සමත්ව ඇති බව ආර්ථික විවරණය පෙන්වා දෙයි. 2024 වසරේ දී දළ දේශීය නිමවුමේ ප්‍රතිශතයක් ලෙස සියයට 13.6ක්ව පැවති රාජ්‍ය ආදායම 2025 වසරේ දී සියයට 16.7 දක්වා ඉහළ නැංවීමට සමත් වූ අතර ඒ සඳහා වඩාත් වැඩියෙන්ම දායකත්වය දැක්වූයේ ඉහළ ගිය වාහන ආනයනය විය. වාහන ආනයනය සඳහා පැවති සීමා ඉවත් කිරීමත් සමග 2025 වසරේ දී ඇමෙරිකානු ඩොලර් බිලියන 2 ක පමණ වාහන ආනයන සිදුව ඇති බව කියැවේ.
රාජ්‍ය ආදායම ඉහළ යාමට සමගාමීව අයවැය හිඟය දළ දේශීය නිමවුමේ ප්‍රතිශතයක් ලෙස සියයට 2.3 දක්වා පහළ ගියේය. බාහිර සහ අභ්‍යන්තර කම්පන විශේෂයෙන්ම මැදපෙරදිග යුද ගැටුම් 2026 වසරේ දී මෙරට ආර්ථිකය තුළ උද්ධමනයට සහ බාහිර අංශයට අහිතකර බලපෑම් එල්ල කිරීමේ හැකියාවක් පවතින බව මහ බැංකු වාර්ෂික ආර්ථික විවරණය පෙන්වා දෙන අතර අඛණ්ඩව ආර්ථික ප්‍රතිසංස්කරණ කිරීම සහ ප්‍රතිපත්ති සංගත බව සහතික කිරීම සාර්ව ආර්ථික ස්ථායීතාව සහ සංචිත යහපත් මට්ටමක පවත්වාගෙන යාම සඳහා උපකාරී වන බව පෙන්වා දී ඇත.


ගෝලීය අවිනිශ්චිතතා සහ දේශීය අස්ථාවරවීම්
මෙම වසරේ පෙබරවාරි මස අග භාගයේ දී ආරම්භ වූ මැදපෙරදිග යුද ගැටුම් මේ වනවිට තාවකාලිකව නැවතී පැවතියත් එම ගැටුම්වලට අදාළව ස්ථිරසාර විසඳුමකට ළඟාවීමට යුද ගැටුම්වලට මැදහත්ව සිටින පාර්ශවවලට හැකිව නැත. මැදපෙරදිග යුද ගැටුම් ආකාර කිහිපයකින් ගෝලීය ආර්ථිකයට බලපෑම් එල්ල කළ අතර ඒ අතර ගෝලීයව ඉන්ධන මිල ඉහළ යාම ප්‍රමුඛ වේ. ඊට අමතර භාණ්ඩ හිඟවීම මෙන්ම සමස්ත භාණ්ඩ සහ සේවා මිල ගණන් ඉහළ යාම සිදුවිය. මෙම බාහිර කම්පනය මෙරට ආර්ථිකයට ආකාර කිහිපයකින් බලපෑම් එල්ල කර ඇත. එක් පැත්තකින් දේශීයව ඉන්ධන සහ විදුලි ගාස්තු ඉහළ ගිය අතර ඊට සමගාමීව අනෙකුත් භාණ්ඩ සහ සේවා මිල ගණන් ඉහළ යමින් පවතී. අනෙක් අතින් ඉහළ යන ඉන්ධන පිරිවැය, අපනයන අංශයේ පසුබෑම, විදේශගත ශ්‍රමිකයන් මෙරටට කරනු ලබන ප්‍රේෂණ පහළ යාම මෙන්ම සංචාරක කර්මාන්තයේ බිඳවැටීම හේතුවෙන් ගෙවුම් ශේෂය මත අධික තෙරපුමක් ඇතිවෙමින් පවතී. 
එමෙන්ම, මෑත කාලීනව ඇමෙරිකානු ඩොලරය ශක්තිමත් වීමත් සමග වෙනත් රටවල මෙන් මෙරට විනිමය අනුපාතිකය ද අවප්‍රමාණය වෙමින් පවතී. 2022 වසරේ ආර්ථිකය මුහුණ දුන් අර්බුදයට ආසන්නතම හේතුව වූයේ ද ගෝලීය කම්පනය හේතුවෙන් මෙරටට විදේශ විනිමය ඉපැයීම් මාර්ගවලට සිදු වූ අවහිර වීම මෙන්ම යුක්‍රේන - රුසියා යුද්ධය හේතුවෙන් ගෝලීය ඉන්ධන මිල ඉහළ යාම විය. ඒ අනුව දැකගත හැකි පොදු ලක්ෂණයක් වන්නේ අභ්‍යන්තර සහ බාහිර කම්පන හේතුවෙන් මෙරට ආර්ථිකයේ අභ්‍යන්තර සහ බාහිර ස්ථායීතාවට සැලකිය යුතු බලපෑමක් එල්ල වන බවයි. වත්මන් ගෝලීය අවිනිශ්චිතතා තවදුරටත් ඉදිරියට පැවතියහොත් ඒ හරහා ඉතා අහිතකර තත්ව ගෝලීය ආර්ථිකයට සිදුවිය හැකි බව විවිධ ජාත්‍යන්තර ආයතන මගින් පෙන්වා දී ඇත. 
ඊට මුහුණදීම සඳහා රටවල් විවිධ ක්‍රියාමාර්ග දැනටමත් අත්හදා බලමින් සිටී. උදාහරණයක් ලෙස ඉන්දියාව දැනටමත් ක්‍රියාමාර්ග 11කට අදාළව ජනතාවගේ සහයෝගය අපේක්ෂා කරමින් සිටී. ඉන්දියානු අගමැතිවරයාගේ මෙම ක්‍රියාමාර්ග 11 මගින් මූලිකවම අපේක්ෂා කරනුයේ විදේශ විනිමය රටින් පිටතට ගලා යාම හැකිතාක් දුරට කෙටිකාලීනව පහත හෙළීම වේ. විශේෂයෙන්ම, වත්මන් ගෝලීය අවිනිශ්චිත තත්වය තුළ ඉන්ධන පරිභෝජනය සීමා කිරීම, විදේශවල කරනු ලබන සංචාර සීමා කිරීම, රන් මිල දී ගැනීම සීමා කිරීම වැනි ක්‍රියාමාර්ග ඒ අතර වේ. මෙම පියවර සඳහා කොතෙක් දුරට ඉන්දියානුවන් සහයෝගය ලබාදේවිද යන්න ඉදිරියේ දී දැකගත හැකි වනු ඇත. 
ඉන්දියාව මෙවැනි ක්‍රියාමාර්ගවලට එළැඹී ඇත්තේ තම විදේශ සංචිත මට්ටම දුර්වල මට්ටමක පැවතීම නිසා නොවීම සුවිශේෂී තත්වයකි. මේ වනවිට ඉන්දියාව සතුව ඇමෙරිකානු ඩොලර් බිලියන 690 ක් පමණ පවතින අතර එම මුදල මාස 11 ක පමණ ආනයන සඳහා ප්‍රමාණවත් ඉතා ඉහළ අගයක් වේ. 
මෙරට ඉන්ධන සහ විදුලිය මිල ඉහළ දැමීමෙන් ඉන්ධන සහ විදුලි පාරිභෝජනය පහත හෙළීම සඳහා රජය මෑත කාලීනව පියවර ගනු ලැබුවද එමගින් ප්‍රමාණවත් පරිදි ඉන්ධන සහ විදුලි පරිභෝජනය පහළ ගොස් ඇත්ද යන්න සැක සහිත වේ. එබැවින් විදේශ විනිමය වැයවන අත්‍යවශ්‍ය නොවන ආනයන පහත හෙළීම සඳහා යම් ක්‍රියාමාර්ග තවදුරටත් ගැනීම යෝග්‍ය වේ. මෑතකදී වාහන ආනයනයට අධිභාරයක් පැනවීම ඒ අතරින් යහපත් තත්වයක් වන අතර විශේෂයෙන්ම වාහන ආනයනයේ දී මීට වඩා දැඩි ක්‍රියාමාර්ග වෙත ගමන් කළ යුතුව පවතී. වාහන ආනයන සීමා ඉවත් කිරීමත් සමග අතිවිශාල ලෙස වාහන ආනයනය කළ අතර එසේ ආනයනය කළ බොහොමයක් වාහන මේ වනවිට වාහන විකුණුම් ස්ථානවල (වාහන සේල්වල) දක්නට පුළුවන. ඉන් ගම්‍ය වන්නේ වාහන ආනයනය පාරිභෝගික අවශ්‍යතා මත නොව වෙළෙඳ අවශ්‍යතා මත සිදුව ඇති බවයි. ආර්ථිකයේ ඇති සීමිත විදේශ විනිමය සම්පත් උපයෝගී කර ගනිමින් වාහන ආනයනය කර දිගු කාලයක් වාහන සේල්වල තබා ගැනීම සඳහා ඉඩදීම කෙතෙක් දුරට දේශීය ආර්ථිකයට යහපත් ද යන්න ගැඹුරින් කල්පනා කළ යුතුව ඇත.
වාහන ආනයනය ඉහළ යාමත් සමග රජයට තම ආදායම් ඉලක්ක සපුරා ගැනීමට හැකි වුවද එමගින් සිදුව ඇත්තේ ඉතා මහන්සියෙන් උපයනු ලබන විදේශ විනිමය ආර්ථිකයට පලදායී නොවන අයුරින් වැය කිරීමකි. එනම් අභ්‍යන්තර හිඟය පියවීමට යාමෙන් බාහිර හිඟය පුළුල් වීමට/ අස්ථාවර වීමට ඉඩකඩ සැකසීම වේ. මෙම තත්වය මෙරට ආර්ථීකය මුහුණදෙනු ලබන උභතෝකෝටිකයකි. අභ්‍යන්තර සහ බාහිර ස්ථායීතාව එකවර වර්ධනය වන ආර්ථික වටපිටාවක අත්කර ගන්නේ කෙසේද යන්න පිළිබඳව අවශ්‍ය අවධානය යොමුවිය යුතුව පවතී. විශේෂයෙන්ම අර්බුදකාරී තත්ව තුළ මෙවැනි තත්ව වළක්වා ගැනීමට කටයුතු කළ යුතුව පැවතිණි. 


පහසුවෙන් ලැබෙන දෑ පහසුවෙන් අහිමිවේ
ආර්ථික අර්බුදයෙන් පසුව මෙරට ආර්ථිකය යහපත් වීම සඳහා ඉතා ඉහළ දායකත්වයක් දක්වනු ලැබූයේ විදේශගත ශ්‍රමිකයන් මෙරටට කරනු ලැබූ ප්‍රේෂණ සහ සංචාරක කර්මාන්තය ආශ්‍රිත ඉපැයීම් වේ. මෙම විදේශ විනිමය ඉපැයීම් මාර්ග දෙකම ඇතිවිය හැකි අභ්‍යන්තර සහ බාහිර කම්පන හමුවේ නිතර උස් පහත්වීම්වලට ලක්වන බව අප ඉතිහාසය පුරා දැක ඇත. සැලකිය යුතු ප්‍රතිපත්තිමය මැදිහත්වීමකින් තොරව මෙම දෙයාකාර විදේශ විනිමය ලැබීම් අංශ දෙක සක්‍රිය වන අතර ඉතා සුළු කම්පන තුළ පවා එම අංශ බිඳ වැටේ. 
මෙම තත්වය අප තේරුම් ගත යුතුව ඇති අතර ඉතා ශක්තිමත් අපනයන අංශයක් ගොඩනැංවීමට යුහුසුළුව කටයුතු කළ යුතුව ඇත. විශේෂයෙන්ම පවත්නා ගෝලීය තත්වය හමුවේ ශක්තිමත් අපනයන අංශයක් ගොඩනැංවීම පහසු කටයුත්තක් නොවන බව කිව යුතුව ඇත. ඒ සඳහා ආර්ථිකයේ පුළුල් ප්‍රතිසංස්කරණ සිදුවිය යුතුය. එය හුදෙක් වෙළෙඳ සහ ආයෝජන ක්ෂේත්‍ර පමණක් නොව ශ්‍රම වෙළෙඳපොළ, ඉඩම් වෙළෙඳපොළ, අධ්‍යාපනය, ප්‍රවාහන, සහ කෘෂිකර්මාන්තය වැනි ක්ෂේත්‍ර ආවරණය කරන්නක් විය යුතුය. දිගින් දිගටම විදේශගත ශ්‍රමිකයන් සහ සංචාරක ඉපැයීම් මත පමණක් රඳා පැවැත්ම මත සිදුවන්නේ අභ්‍යන්තර සහ බාහිර කම්පනවලදී ආර්ථික කටයුතු නිරන්තරව හැකිලීම වේ. 


ප්‍රමාදය පසුතැවිල්ලට හේතුවකි

විදේශ ආයෝජන මත පදනම් වූ ශක්තිමත් අපනයන අංශයක් ගොඩනැංවීමට නම් ආර්ථික ප්‍රතිසංස්කරණ කඩිනමින් කළ යුතුව ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනේ පළමු භාගය ඉක්ම යාමටත් මත්තෙන් සාර්ව ආර්ථික ස්ථායීතාව අත්කර ගැනීමට මෙරට ආර්ථිකයට ඉඩ ප්‍රස්ථා ලැබුණු අතර දෙවැනි භාගය තුළ දී මූලික අවධානය යොමුවිය යුතුව පැවතියේ අත්කරගත් ආර්ථික ස්ථායීතාව ආරක්ෂා කරගනිමින් අපනයන මත පදනම්ව තිරසාරව ඉහළ ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීමට අවශ්‍ය වන්නා වූ ව්‍යුහාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ කඩිනමින් අඛණ්ඩව කිරීම විය. 
ආර්ථික ස්ථායීතාව ආරක්ෂා කර ගැනීමේ දී එක් ප්‍රවේශයක් වන්නේ පහළ ආර්ථික සමතුලිතතාවක් යටතේ එවැන්නක් පවත්වාගෙන යාම වේ. එවැනි පහළ ආදායම් සමතුලිතයක ආර්ථිකය ක්‍රියාත්මක වුවහොත් අපගේ සංවර්ධන ඉලක්ක ළඟා කරගැනීමට නොහැකි වනවා පමණක් නොව දැනටමත් ඉහළ මට්ටමක පවතින දුගී බව පහත හෙළීමට දිගු කාලයක් ගතවීමට පුළුවන. 
එසේම, ශ්‍රම වෙළෙඳපොළට වාර්ෂිකව එකතු වන පිරිසෙන් සැලකිය යුතු පිරිසකට අවශ්‍ය රැකියා සපයා දීමට මෙරට ආර්ථිකයට හැකියාවක් නොමැති වේ. අනෙක් විකල්පය නම් ආර්ථික වර්ධනය තිරසාරව ඉහළ නැංවීමට අවශ්‍ය වන්නා වූ තීරණාත්මක ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ කිරීම වේ. එවැනි ප්‍රතිසංස්කරණ නිසා කෙටිකාලීනව ආර්ථිකය තුළ යම් වේදනාකාරී තත්ව යම් යම් පාර්ශ්වවලට ඇතිවුවත් දිගු කාලීනව ආර්ථික වර්ධනය තිරසාරව ඉහළ දැමීම සඳහා මහෝපකාරී වේ.
එමෙන්ම සැලකිය යුතු මට්ටමකින් දුප්පත්කම අඩු කිරීමට මෙන්ම ආර්ථිකය තුළ රැකී රක්ෂා නිර්මාණය කිරීමට ද එවැනි ප්‍රතිසංස්කරණ හේතු වේ. සංවර්ධිත රටක් වීමේ සිහිනය සැබෑ වන්නේ එවැනි ප්‍රතිසංස්කරණය ඔස්සේ පමණක් බව අප මතක තබාගත යුතුව ඇත. 2024 වසරේ දී පාර්ලිමේන්තුව මගින් සම්මත කරනු ලැබූ ආර්ථික පරිවර්තන පනත අවධානය යොමුකර පැවතියේ මෙම දෙවැනි ප්‍රවේශයට වන අතර එමගින් ආර්ථිකය අත්කරගෙන ඇති ආර්ථික ස්ථායීතාව ආරක්ෂා කරගනිමින් ඉහළ ආර්ථික වර්ධනයක් අපනයන ප්‍රවර්ධනය හරහා ළඟා කරගැනීම අරමුණු කරන ලදී. 
විශේෂයෙන්ම, ඍජු විදේශ ආයෝජන ප්‍රවර්ධනය, කාන්තා ශ්‍රම සැපයුම ඉහළ නැංවීම, ආර්ථිකයේ පලදායීතාව ඉහළ නැංවීම අරමුණු කරන ලදී. එම අරමුණු අත්පත් කරගැනීමට ක්ෂේත්‍ර ගණනාවක ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ඇති කිරීමට ඉලක්ක කරන ලදී. ඒ අතර දැනට විදේශ වෙළෙඳාම සහ ආයෝජන ප්‍රවර්ධනය සඳහා පවතින ආයතනික රාමුව වඩාත් ආයෝජන සහ අපනයන හිතකර කිරීමට අවධානය යොමුව පැවතිණ. 
ප්‍රතිසංස්කරණ කිරීමෙන් එක් පැත්තකින් අපගේ සංවර්ධන ඉලක්ක ජය ගැනීමට ඉඩකඩ පුළුල් වන අතර අනෙත් පැත්තෙන් වඩාත් පහසු පරිසරයක් තුළ අභ්‍යන්තර සහ බාහිර කම්පනවලට මුහුණදීමේ හැකියාව මෙරට ආර්ථිකයට සහ පුද්ගලයන්ට උදා වේ. එවැනි ප්‍රතිසංස්කරණ ප්‍රමාද වීමේ ඍජු ප්‍රතිවිපාකය වන්නේ අභ්‍යන්තර සහ බාහිර කම්පන හමුවේ නිරන්තරයෙන්ම පීඩිතව කටයුතු කිරීමට වේ. 


සාරාංශය
ශ්‍රී ලංකා මහ බැංකුවේ 2025 වසරට අදාළ ආර්ථික විවරණය මගින් මෙරට ආර්ථිකය 2025 වසර තුළ අත්කරගෙන ඇති ජයග්‍රහණ සහ 2026 වසරට අදාළව ඇති දැක්ම ඉදිරිපත් කර ඇත. ඒ අනුව 2025 වසර තුළ ආර්ථික ජයග්‍රහණ ගණනාවක් අත්කර ගැනීමට සමත්ව ඇති අතර විශේෂයෙන්ම මිල ස්ථායීතාව සහ මූල්‍ය අංශයේ ස්ථායීතාව ආරක්ෂා කරගනිමින් පිට පිට දෙවැනි වසරටත් යහපත් ආර්ථික වර්ධනයක් අත්කර ගැනීමට ආර්ථිකයට හැකියාව ලැබී ඇත. 
විදේශ ප්‍රේෂණ සහ සංචාරක කර්මාන්තයේ යහපත් කාර්යසාධනය හේතුවෙන් බාහිර අංශය ශක්තිමත්ව ඇති අතර වාහන ආනයනය මත පදනම්ව රජයට ලැබුණු ඉතා ඉහළ බදු ආදායම හේතුවෙන් රාජ්‍ය ආදායම් ඉලක්ක ඉක්මවා යන බදු ආදායමක් රැස්කර ගැනීමට හැකියාව ලැබී ඇත. 
2026 වසරේ මුල් කාර්තුව තුළ මැදපෙරදිග කලාපයේ ඇතිවූ යුද ගැටුම් මෙරට ආර්ථිකයට අංශ කිහිපයක් හරහා බලපෑම් එල්ල කරමින් සිටින අතර දිගු කාලීනව මැදපෙරදිග කලාපය තුළ අස්ථාවරත්වයක් පැවතීම මෙරට ආර්ථිකයේ මිල ස්ථායීතාවට සහ බාහිර අංශයට අහිතකර බලපෑම් එල්ල කළ හැකිය. බාහිර අංශය නිරන්තරයෙන්ම විවිධ කම්පන හමුවේ අස්ථාවර වීමට මූලික හේතුව වී ඇත්තේ අපගේ ප්‍රධාන විනිමය ඉපැයීම් මාර්ග වන සංචාරක ඉපැයීම් සහ විදේශ ප්‍රේෂණ වැනි පහසුවෙන් කම්පන හමුවේ බිඳවැටෙන ඒවා වීම වේ. 
අනෙක් අතින් ආනයන හැසිරීම පටු විදේශ විනිමය පරාසයක් සහිත රටකට යෝග්‍ය නොවීම ද ඒ සඳහා බලපෑම් කරනු ලබයි. එබැවින් අවම වශයෙන් කෙටිකාලීනව හෝ ආනයන දේශීය ආර්ථිකයේ අවශ්‍යතාවලට ගැළපෙන අයුරින් සැකසීමට පියවර ගැනීම මෙහිලා ගත යුතු එක් පියවරක් වේ. විශේෂයෙන්ම වාහන ආනයනයේ දී දේශීය ගැනුම්කරුවන්ගේ අවශ්‍යතාව මත පමණක් වාහන ආනයනයට ඉඩ ලබාදිය යුතු අතර වාහන සේල්වල ගාල් කර තැබීමට වාහන ආනයනයට ඉඩ ලබා දිය යුතු නැත. මැදි කාලීනව ශක්තිමත් අපනයන අංශයක් ගොඩනැංවීමට අවශ්‍ය වන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ කඩිනමින් කිරීමට අවධානය යොමු කළ යුතුව පවතී. එසේ නොවන තාක් මෙරට ආර්ථිකයට ගමන් කිරීමට සිදුවන්නේ ඉතාමත් අසීරු ගමනක වේ. මේ පිළිබඳව ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ අවධානය යොමුවෙතැයි අපේක්ෂා කරමි.