2026 වසරේ පළමු කාර්තුවේදී සන්ධිස්ථානාත්මක ජයග්‍රහණ රැසක් සමගින් කොමර්ෂල් බැංකුව සහ එහි අනුබද්ධිත සමාගම් රුපියල් ට්‍රිලියන 3.5ක වත්කම් ඉක්මවා ගිය ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ පළමු බැංකු සමූහය බවට පත් විය.
ණය කේන්ද්‍ර කරගත් 2025 වසරේ වාර්තාගත කාර්යසාධනය මත පදනම්ව, කොමර්ෂල් බැංකු සමූහය 2026 මාර්තු 31 වැනිදාට රුපියල් ට්‍රිලියන 3.61 ක මුළු වත්කම් ප්‍රමාණයක් වාර්තා කර ඇති අතර එය වසරේ මුල් මාස තුන තුළදී අත්කරගත් සියයට 6.81ක නැතහොත් රුපියල් බිලියන 230ක වර්ධනයකි. පසුගිය මාස 12 තුළ වත්කම් වර්ධනය රුපියල් බිලියන 610ක් නැතහොත් සියයට 20.34ක වාර්ෂික වර්ධනයක් විය.
මෙම වර්ධනය අදාළ කාර්තුවේදී දළ ණය සහ අත්තිකාරම් මුදල් රුපියල් ට්‍රිලියන 2.16 දක්වා රුපියල් බිලියන 71.61 කින් ඉහළ යාමත්, තැන්පතු රුපියල් බිලියන 171.14 කින් 2026 මාර්තු 31 වන විට රුපියල් ට්‍රිලියන 2.87 ක් දක්වා වර්ධනය වීම මත පදනම් විය. මෙය ණය පොතේ සියයට 31.35 ක සහ තැන්පතු කළඹේ සියයට 19.04 ක වාර්ෂික වර්ධනයක් නියෝජනය කරයි.
සමූහයේ කාර්යසාධනය පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ සභාපති ෂාර්හන් මුසීන් මහතා මෙසේ පැවසීය. “අපි 2026 වසර සඳහා සුපුරුදු ලෙස හොඳ සමබරතාවකින් යුත් ශක්තිමත් ආරම්භයක් ලබාගෙන තිබෙනවා. 2025 දී ගොඩනැගුණු ශක්තිමත් කාර්යසාධන හැකියාවන්ගෙන් විශාල පිටුවහලක් ලබමින්, ශේෂ පත්‍රයේ ශක්තිමත්භාවය සහ මනා අවදානම් කළමනාකරණය කෙරෙහි අපගේ පැහැදිලි අවධානය යොමු කිරීමෙන් අප ලබාගත් එම ගම්‍යතාව, නව වසර දක්වාත් බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වා ගැනීමට හැකිවීම දිරිගන්වන සුළුයි. ඉදිරි වසර තුළදී ද කොටස් හිමියන්ගේ වටිනාකම් ඉහළ නැංවීමට උපකාරී වන උපායමාර්ගික තීරණ මත අපි එලෙසටම ගොඩනගන්නෙමු.”
කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී, සනත් මනතුංග මහතා මෙසේ සඳහන් කළේය. “සමූහය ප්‍රතිපාදන ආවරණය සියයට 75 ඉක්මවමින් ශක්තිමත් වර්ධනයක් අත්කර ගත්තා. එමගින් අස්ථාවර ගෝලීය ආර්ථිකයෙන් එල්ලවන අවදානම් සමග සමපාත වීමට හැකි ප්‍රතිපාදන මට්ටම් ශක්තිමත්ව පවතිනවා. CASA අනුපාතය සියයට 40 ඉක්මවා බැංකු ක්ෂේත්‍රයේ මේ වන විට වාර්තා වන හොඳම අනුපාතය ලෙස පවතිනවා. තිරසරභාවය, පාලනය, අනුකූලතාව සහ ජාතික ආර්ථික ප්‍රමුඛතා කෙරෙහි අපගේ අවධානය ඉහළ නංවා ගනිමින්, සංවර්ධනය කරා යන ගමනේ දී, අපගේ සියලුම කොටස්කරුවන්ගේ අවශ්‍යතා වෙනුවෙන් නිසි ප්‍රමුඛතාව ලබා දෙන බව සහතික කරනවා.” 
කාර්තුව සඳහා දළ ආදායම සියයට 12.47 කින් වර්ධනය වී රුපියල් බිලියන 99ක් වූ අතර පොලී ආදායම රුපියල් බිලියන 82.89 ක් දක්වා සියයට 14.17 කින් වර්ධනය වී ඇත. එයින් ද වැඩි ප්‍රමාණයක් ජනනය වී ඇත්තේ ණය ලබාදීම හරහාය. පොලී අනුපාත සහ ගනුදෙනු පරිමාවේ වර්ධනය හේතුවෙන් පොලී වියදම් රුපියල් බිලියන 44.07 ක් දක්වා සියයට 14.82 කින් ඉහළ ගොස් ඇති අතර, ඒ හේතුවෙන් සලකා බලන මාස තුන සඳහා ශුද්ධ පොලී ආදායම රුපියල් බිලියන 38.81 ක් විය. එය සියයට 13.44ක වර්ධනයකි.
මුළු මෙහෙයුම් ආදායම සියයට 9.25 කින් වර්ධනය වී රුපියල් බිලියන 50.84 ක් වූ අතර 2025 වසරේ අනුරූප කාල පරිච්ඡේදයේ වාර්තා වූ රු. බිලියන 7.15ට සාපේක්ෂව, සමූහයේ හානිපූර්ණ ගාස්තු සහ අනෙකුත් පාඩු සඳහා වූ ප්‍රතිපාදන වෙන් කිරීම් රු. බිලියන 3.18ක් දක්වා අඩු විය. මෙම අඩුවීම එම කාර්තුවේදී බැංකුව සිදු කළ විචක්ෂණශීලී ප්‍රතිපාදන පිළිබිඹු කරයි. කෙසේ වෙතත්, දේශීය හා ගෝලීය ආර්ථික අවිනිශ්චිතතාවලට ගොදුරු විය හැකි අංශ හඳුනා ගැනීමේදී සමූහය ක්‍රියාශීලීව කටයුතු කරන අතර, විචක්ෂණශීලී කළමනාකරණ ආවරණ හරහා ප්‍රමාණවත් ප්‍රතිපාදන පවත්වාගෙන යන බව ද සහතික කරයි.
එහි ප්‍රතිඵලයක් ලෙස, සලකා බලන මාස තුන සඳහා ශුද්ධ මෙහෙයුම් ආදායම රුපියල් බිලියන 47.66 ක් වූ අතර එය සියයට 21ක වර්ධනයකි. සමූහයේ මෙහෙයුම් වියදම් සියයට 15.81 කින් ඉහළ ගොස් රුපියල් බිලියන 14.83 ක් වූ අතර, ඒ හේතුවෙන් මූල්‍ය සේවා සඳහා බදු ගෙවීමට පෙර මෙහෙයුම් ලාබය රුපියල් බිලියන 32.84 ක් දක්වා සියයට 23.51 කින් වර්ධනය විය.