කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී මුෆාඩල් චූනියා


 

Mahindra Ideal Finance Limited (MIFL), 2026 මාර්තු 31 වැනි දිනෙන් අවසන් වූ මූල්‍ය වසර සඳහා සිය ඉතිහාසයේ සාර්ථකම හා ඉහළම මූල්‍ය ප්‍රතිඵල වාර්තා කිරීමට සමත්ව ඇත. එහිදී සමාගමේ ලාබදායිත්වය, ණය ලබා දීමේ ප්‍රමාණය සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව යන අංශවල කැපී පෙනෙන වර්ධනයක් සනිටුහන් කිරීමට සමාගම සමත්ව තිබේ.
අදාල කාල පරිච්ඡේදයේදී MIFL රු. මිලියන 818 ක බදු පෙර ලාබයක් වාර්තා කර ඇති අතර, එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 193ක කැපී පෙනෙන වර්ධනයකි. මේ අතර සමාගමේ බදු පසු ලාබය පසුගිය වසරට සාපේක්ෂව සියයට 228 කින් රු. මිලියන 478ක් දක්වා වර්ධනය වී ඇත. 2025-26 මූල්‍ය වර්ෂය තුළ සමාගම ලබාදුන් සමස්ත ණය ප්‍රමාණය රු. බිලියන 57.6ක් දක්වා වර්ධනය වී ඇති අතර, එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 98ක කැපී පෙනෙන ඉහළ යාමකි. MIFL සතු විවිධ මූල්‍ය සේවා යටතේ ණය පහසුකම් ලබාදීම අඛණ්ඩව පුළුල් කිරීම මෙම වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු විය.
2025-26 මූල්‍ය වර්ෂයේ මූල්‍ය ප්‍රතිඵල පිළිබඳව අදහස් දක්වමින් Mahindra Ideal Finance හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී මුෆාඩල් චූනියා මහතා මෙසේ පැවසුවේය. “පසුගිය වසරේදී මෙරට ආර්ථික තත්වය යහපත් වීමත්, වාහන ලීසිං ක්ෂේත්‍රයේ ඇතිවූ පිබිදීමත් හේතුවෙන් අපගේ මූල්‍ය පහසුකම් සඳහා ඉහළ ඉල්ලු‍මක් නිර්මාණය වුණා. ඒ සමගම, ණයවල ගුණාත්මකභාවය ඉහළ මට්ටමක පවත්වා ගැනීමට, පිරිවැය කළමනාකරණය සහ පාරිභෝගික සබඳතා ශක්තිමත් කිරීමට අප විශේෂ අවධානයක් යොමු කළ අතර අපගේ ණය ලබාදීම් මෙන්ම ලාබදායිත්වය ඉහළ යාමට මෙය ඍජුවම බලපානු ලැබුවා. සමාගම තවදුරටත් ව්‍යාප්ත වන අතරේදී අපගේ ප්‍රමුඛතාව වන්නේ මෙම සාර්ථකත්වය ඉදිරියටත් පවත්වා ගනිමින් පාරිභෝගිකයන්ට විශ්වාසනීය සහ පහසු මූල්‍ය විසඳුම් ලබා දීමයි.” 
මෙම වසර තුළ සමාගමේ මෙහෙයුම් කාර්යක්ෂමතාව කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කළේය. ආදායමට සාපේක්ෂ පිරිවැය අනුපාතය (cost-to-income) සියයට68.9 සිට සියයට 50.5 දක්වා සැලකිය යුතු ලෙස අඩු වී ඇති අතර මෙහෙයුම් පිරිවැය අනුපාතය (Opex ratio) ද සියයට 8.0 සිට සියයට 5.6 දක්වා පහළ ගොස් ඇත. සමාගමේ ලාබදායිත්වයද තවදුරටත් ශක්තිමත් වී ඇති අතර, පසුගිය වසරේ සියයට 1.88 හා සැසඳීමේදී වත්කම් මත ප්‍රතිලාභ අනුපාතය (ROA) සියයට 3.40 ක් සහ කොටස් හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතය (ROE) පසුගිය වසරේ සියයට 4.85 හා සැසඳීමේදී සියයට 14.40 ක් ලෙස වාර්තා වී ඇත. මෙමගින් සමාගමේ ඉපැයීම්වල ගුණාත්මකභාවය සහ ප්‍රාග්ධනය ඵලදායී ලෙස භාවිත කර ඇති බව මැනවින් පැහැදිලි වෙයි. 
MIFL හි ශක්තිමත් ණය ලබා දීමේ ක්‍රියාවලිය හේතුවෙන් සමාගමේ සමස්ත ණය කළඹ රු. බිලියන 26.95ක් දක්වා වර්ධනය වූ අතර, එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 82ක කැපී පෙනෙන ඉහළ යාමකි. මේ අතර සමාගමේ සමස්ත වත්කම් ප්‍රමාණය ද පසුගිය වසරට සාපේක්ෂව සියයට 81කින් ඉහළ ගොස් රු. බිලියන 30.98ක් දක්වා වර්ධනය වී ඇත.