ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත


 

රටේ පවතින දැඩි ආර්ථික අභියෝග මධ්‍යයේ වුවද, HNB 2026 වසරේ පළමු කාර්තුවේදී රු. බිලියන 9.95ක බදු පසු ලාබයක් (PAT) වාර්තා කිරීමට සමත්ව ඇති අතර විචක්ෂණශීලීව ශේෂ පත්‍රය වර්ධනය කිරීම සහ වත්කම්වල ගුණාත්මකභාවය අඛණ්ඩව ඉහළ නංවා ගැනීමට හැකිවීම මෙම සාර්ථකත්වයට හේතු විය. මේ අතර, HNB සමූහයේ සමස්ත කාර්යසාධනය ද ස්ථාවර මට්ටමක පැවති අතර, පළමු කාර්තුවේදී බදු පසු ලාබය රු. බිලියන 10.35ක් වාර්තා කර ඇත.
2026 පළමු කාර්තුවේදී බැංකුවේ පොලී ආදායම පසුගිය වසරේ අදාළ කාලපරිච්ඡේදයට සාපේක්ෂව සියයට 10.0ක වර්ධනයක් පෙන්නුම් කර ඇත. මෙම කාලසීමාවේදී පොලී වියදම් ඉහළ ගියද පොලී ආදායම අරමුදල් පිරිවැයට වඩා වේගයෙන් වර්ධනය වූ අතර මෙහි ප්‍රතිඵලයක් ලෙස බැංකුවේ ශුද්ධ පොලී ආදායම (NII) රු. බිලියන 26.9ක් දක්වා ඉහළ ගියේය.
අදාල කාර්තුවේදී බැංකුවේ ලාභාන්තිකය කැපී පෙනෙන ලෙස වර්ධනය වූ අතර, එහිදී ශුද්ධ පොලී ආන්තිකය (NIM) සියයට 4.26 සිට සියයට 4.45 දක්වා වර්ධනය විය. මීට සමගාමීව, පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව ශුද්ධ පොලී ආදායම ද සියයට 13.5කින් ඉහළ ගොස් ඇති අතර බැංකුවේ ශේෂ පත්‍රය විචක්ෂණශීලීව වර්ධනය වීම මීට ප්‍රධාන වශයෙන් හේතු විය. එහිදී, ගනුදෙනුකරුවන්ගේ තැන්පතු ප්‍රමාණය වර්ධනය වීම සහ ස්ථාවර අරමුදල් මූලාශ්‍රයන්ගේ දායකත්වය හේතුවෙන් ණය ලබාදීම් සාර්ථකව පුළුල් කිරීමට බැංකුවට හැකි වූ අතර, එමගින් බැංකුවට මෙම කාලසීමාව පුරාවට ලාභාන්තිකය අඛණ්ඩව ඉහළ මට්ටමක පවත්වා ගැනීමට හැකි විය.
2025 වසරේ පළමු කාර්තුවේ වාර්තා වූ රු. බිලියන 4.8 ට සාපේක්ෂව, බැංකුවේ ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම සියයට 40.9 කින් රු. බිලියන 6.8 ක් දක්වා ඉහළ ගොස් ඇත. පසුගිය වසරේ ලබාගත් සාර්ථකත්වය තවදුරටත් ඉදිරියට ගෙනයමින්, ලීසිං ක්ෂේත්‍රය තුළ අත්කරගත් ඉහළ වර්ධනය මීට ප්‍රධාන වශයෙන් හේතු විය. බැංකුවේ සමස්ත ණය කළඹ වර්ධනය වීම, ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්පත් භාවිතය ඉහළ යාම සහ බැංකු ක්‍රියාකාරකම් ඉහළ යාම මෙම ප්‍රගතියට තවදුරටත් දායක වූ අතර බැංකුවේ නවීන ඩිජිටල් සේවා පද්ධති වෙත පාරිභෝගිකයන් වැඩි වශයෙන් යොමුවීම ද මීට හේතු විය. මේ අතර, පාරිභෝගික ගනුදෙනු ඉහළ යාම සහ වෙළෙඳ කටයුතුවල වර්ධනය හේතුවෙන් විදේශ විනිමය ආදායම ද පසුගිය වසරට සාපේක්ෂව සියයට 6.0කින් රු. බිලියන 1.6ක් දක්වා වර්ධනය විය.
සමස්තයක් ලෙස 2025 වසරේ අදාළ කාල පරිච්ඡේදයේදී වාර්තා වූ රු. බිලියන 30.8 හා සැසඳීමේදී, බැංකුවේ සමස්ත මෙහෙයුම් ආදායම 2026 වසරේ පළමු කාර්තුවේදී රු. බිලියන 36.1 ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙය පසුගිය වසරේ අදාළ කාල පරිච්ඡේදයට සාපේක්ෂව සියයට 17.2 ක කැපී පෙනෙන වර්ධනයකි. පසුගිය වසරේ අදාළ පරිච්ඡේදයට සාපේක්ෂව බැංකුවේ සමස්ත මෙහෙයුම් වියදම් සියයට  19.6 කින් වර්ධනය වූ අතර ඉහළ පාරිභෝගික ක්‍රියාකාරකම් මීට ප්‍රධාන වශයෙන් හේතු විය. තවද කාඩ්පත් මගින් සිදුකළ ගනුදෙනු ප්‍රමාණය ඉහළ යාම, අලුතින් ණය ලබාදීම් සහ ණය තක්සේරු කිරීම් වැඩිවීම ද මෙයට ඇතුළත් විය. මේ හේතුවෙන් දෛනික මෙහෙයුම් වියදම් ඉහළ ගිය අතර කෘෂිකාර්මික හා ප්‍රමුඛතා ක්ෂේත්‍ර වෙත ලබාදෙන ණය සඳහා අදාළ වන අනිවාර්ය රජයේ ගාස්තු ඉහළ යාම ද මෙයට බලපෑවේය.
බැංකුව ලබා ගත් මෙම මූල්‍ය කාර්යසාධනය පිළිබඳව අදහස් දක්වමින්හි HNB PLC කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත මහතා මෙසේ පැවසුවේය. ‘’2026 වසරේ පළමු කාර්තුවේදී ගෝලීය දේශපාලනික වර්ධනයන් සහ ඒවායේ බලපෑම දේශීය ආර්ථිකයට එල්ල කිරීම හේතුවෙන් ව්‍යාපාරික වටපිටාව දැඩි අවිනිශ්චිත තත්ත්වයක තිබුණා. මෙවැනි කාලවකවානුවක අපගේ ප්‍රධානතම වගකීම වන්නේ පාරිභෝගික, කුඩා හා මධ්‍ය පරිමාණ, මහා පරිමාණ ව්‍යාපාර මෙන්ම ක්ෂුද්‍ර මූල්‍ය ඇතුළු සෑම ක්ෂේත්‍රයකම සිටින අපගේ පාරිභෝගිකයන් සහ පාර්ශවකරුවන් සමග ඉතා සමීපව කටයුතු කිරීමයි.