රට තුළ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නියාමනය සඳහා ජනාධිපතිවරයාගේ සභාපතිත්වයෙන් යුත් ජාතික නියාමන ප්‍රතිසංස්කරණ කවුන්සිලයක් පිහිටුවීමට කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. 
මෙරට ආර්ථිකයේ මූලිකාංග ශක්තිමත් වුවද, පවතින නියාමන සීමා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය කෙරෙහි අසමාන ලෙස බලපාන අතර, ආයෝජන ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාවේ ආකර්ෂණීය බව කෙරෙහි ද අහිතකර බලපෑම් ඇති කරනු ලබන බව නිරීක්ෂණය කර තිබේ. 
එකී කරුණු සැලකිල්ලට ගෙන එම අමාත්‍යාංශය විසින් ආසියානු සංවර්ධන බැංකුවේ ද සහාය ඇතිව ශ්‍රී ලංකාවේ නියාමන රාමුව පිළිබඳ සවිස්තරාත්මක ඇගයීමක් සිදු කර ඇති අතර, අදාළ පාර්ශ්වකරුවන් සමග පුළුල්ව පවත්වන ලද සාකච්ඡාවලින් අනතුරුව ජාතික නියාමන ප්‍රතිසංස්කරණ ක්‍රියාකාරී සැලැස්ම සහ එහි ක්‍රියාකාරී යාන්ත්‍රණය සකස් කරනු ලැබ ඇත.
එම ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම, මෙහෙයවීම සහ අධීක්ෂණය සඳහා මධ්‍යම ආයතනික යාන්ත්‍රණය ලෙස ජාතික නියාමන ප්‍රතිසංස්කරණ කවුන්සිලයක් පිහිටුවීමට මෙලෙස යෝජනා කර තිබුණි.