ලංකා වැවිලිකරුවන්ගේ සංගමයෙන් ඉල්ලීමක්


මෙරට වැවිලි ක්ෂේත්‍රයේ දිගු කාලීන පැවැත්ම සහ උන්නතිය වෙනුවෙන් තිරසර විදුලි ගාස්තු නියාමන රාමුවක් සහ විදුලි ජනන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන මෙන් ඉල්ලා සිටින අතර යෝජිත විදුලි ගාස්තු සංශෝධනය මත වැවිලි ක්ෂේත්‍රය ඇතුළුව අපනයන ක්ෂේත්‍රය මත ඇති කෙරෙන දැඩි ආර්ථික පීඩනය මෙම කර්මාන්තවල දිගු කාලීන තිරසර පැවැත්මට දැඩි බලපෑමක් එල්ල විය හැකි බව ලංකා වැවිලිකරුවන්ගේ සංගමය විසින් පෙන්වා දෙනු ලබයි. 
ලංකා වැවිලිකරුවන්ගේ සංගමය විසින් මෙම කරුණ කෙරෙහි දැඩි අවධානයක් යොමු කරනු ලබන්නේ 2026 වසරේ දෙවැනි කාර්තුව සඳහා ලංකා විදුලි බල මණ්ඩලය විසින් සියයට 13.6ක විදුලි ගාස්තු ඉහළ දැමීමක් සඳහා මහජන උපයෝගීතා කොමිසමෙන් අවසර ඉල්ලා සිටින පරිසරයක් තුළය.
විදුලි ගාස්තු නියාමනය කරන මහජන උපයෝගීතා කොමිසම විසින් 2026 පළමු කාර්තුව වෙනුවෙන් ලංකා විදුලි බල මණ්ඩලය විසින් ඉල්ලා සිටි විදුලි ගාස්තු සංශෝධනය සඳහා අවසර නොදුන් අතර දෙවැනි ගාස්තු සංශෝධනය තුළ ලංකා විදුලි බල මණ්ඩලයේ යටිතල පහසුකම් සඳහා සිදු වූ අලාබය, සහ මෙහෙයුම් අලාබය යන කරුණු දෙකම සලකා බැලෙන බැවින් අප්‍රේල් මාසයේ සිට විදුලි බිලෙහි සැලකිය යුතු මට්ටමකින් වැඩි වීමේ අවදානමක් ඇති බව ලංකා වැවිලිකරුවන්ගේ සංගමය පෙන්වා දෙයි.
මේ අතර කෘෂි ව්‍යාපාරික ක්ෂේත්‍රයේදී වැවිලි කටයුතුවලදී අවම බලශක්ති අවශ්‍යතාවක් ඇති මුත් වැවිලි මෙහෙයුම් කටයුතුවලදී ඉහළ බලශක්ති අවශ්‍යතාවක් අවශ්‍ය වන්නේ වැවිලි බෝග කර්මාන්තශාලා තුළ සිදු කරෙන අඛණ්ඩ වටිනාකම් එකතුකිරීමේ ක්‍රියාවලියේදීය. 
ලංකා වැවිලිකරුවන්ගේ සංගමය පෙන්වා දෙන ආකාරයට අනෙකුත් අපනයන ක්ෂේත්‍ර මෙන් නොව කලාපීය වැවිලි සමාගම් සහනදායි හෝ වෙනස් ගාස්තු ක්‍රමවලට අයත් නොවන සහ එම සහනවලින් ප්‍රතිලාභ නොලබන බවය. අනෙකුත් අපනයන භාණ්ඩ සඳහා නිරතුරුව සහනදායි යටිතල පහසුකම් හිමි වීම විශේෂයෙන්ම එම අපනයනකරුවන් අපනයන සැකසුම් කලාපවල ක්‍රියාත්මක වීම නිසා ලබන වාසිය සහ යම් යම් අපනයන කාණ්ඩවලට ලැබෙන වාසි හිමි කර ගන්නා මුත් කලාපීය වැවිලි සමාගම් සාමාන්‍ය කර්මාන්ත යටතේ නීතිගතව පවතින හෙයින් සාමාන්‍ය විදුලි ගාස්තුවලට මුහුණ දීමට වැවිලි ක්ෂේත්‍රයට සිදුව ඇත.
තේ සහ රබර් කර්මාන්ත ශාලා පැය 24ම සේවයෙහි පවතින බැවින් කලාපීය වැවිලි සමාගම් ඉහළ විදුලි ඉල්ලුමක් සහිත අවස්ථාවල අය කරන අධිභාරය සඳහා අසමානුපාතික ලෙස බලපෑමට ලක්ව සිටී. කෘෂි අපනයන ක්ෂේත්‍රයට සහනදායි තත්ව අවම හෙයින් වැවිලි ක්ෂේත්‍රය ගෘහාශ්‍රිත නොවන කාණ්ඩය සඳහා දැනට පවතින ඉතා ඉහළ ඒකක ගාස්තු දරා ගැනීමට සිදු ව ඇති බැවින් ගෝලීය තරගකාරීත්වයට මුහුණ දීමට ශ්‍රී ලාංකීය කෘෂි අපනයනකරුවන්ට අසීරු වී තිබේ. 
මෙම මෑත විදුලි ගාස්තු වැඩි කිරීම සම්බන්ධ යෝජනාව, 2026 ජනවාරි මාසයේදී මහජන උපයෝගීතා කොමිසම විසින් පෙර ගනු ලැබූ තීරණයකට අනුව ගනු ලැබූ යෝජනාවක් විය. එහිදී ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කළ සියයට 11.6 ක ගාස්තු වැඩි කිරීමේ යෝජනාවේ ක්‍රියාපටිපාටිමය දෝෂ පවතින බව සඳහන් කරමින්, පළමු කාර්තුව සඳහා විදුලි ගාස්තු වැඩි කිරීමේ යෝජනාව ක්‍රියාවට නැංවීම අත්හිටුවන ලදී.  
එම තීරණය කෙටි කාලීන සහනයක් ලබා දුන්නද, ලංකා වැවිලි කරුවන්ගේ සංගමය අවධාරණය කළේ විදුලි ගාස්තු ඉහළ යාමෙන් තේ සහ රබර් සැකසුම් කර්මාන්තවල දැනටමත් ඉහළ මට්ටමක පවතින නිෂ්පාදන පිරිවැයට දැඩි බලපෑමක් ඇති විය හැකි බැවින්, එය අපනයන තරගකාරීත්වයට ඇතිවන බලපෑම වඩාත් විස්තීරණ අයුරින් සලකා බැලිය යුතු බවයි.
ඉහළ යන බලශක්ති පිරිවැය හේතුවෙන් කෘෂි අපනයන ක්ෂේත්‍රයට තිරසරබව පවත්වාගෙන යෑමේ ප්‍රවේශ සඳහා නැවත ආයෝජනය කිරීමේ හැකියාව සීමා විය හැකි බවත්, එය ජාත්‍යන්තර වෙළෙඳපොළවල තරගකාරීත්වය දුර්වල කිරීමට හේතු විය හැකි බවත් ලංකා වැවිලිකරුවන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළේය. විශේෂයෙන්ම, අඩු බලශක්ති පිරිවැය, වාසිදායක ගාස්තු ව්‍යුහ සහ පරිමාණ ආර්ථික වාසි (economies of scale) හිමි විදේශීය තරගකරුවන් සමග තරග කිරීමට මෙය අභියෝගයක් විය හැකි බවද අවධාරණයයි.


වැඩිවන බලශක්ති පිරිවැය සඳහා වැවිලි ක්ෂේත්‍රයේ ප්‍රතිචාරය
ගාස්තු ඉහළ යෑම මත ඇති කර ඇති බලපෑම හමුවේ වැවිලි ක්ෂේත්‍රය වඩාත් ප්‍රශස්ත උපායමාර්ග කරා එළැඹෙමින් ජාතික විදුලි පද්ධතිය මත වන රඳා පැවැත්ම අවම කර ඇත. ප්‍රධාන පෙළේ කලාපීය වැවිලි සමාගම් හයක් බලශක්ති කාර්යක්ෂමතාව සහ නවීකරණය කළ නවීන පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ගණනාවක් මේ වන විට ක්‍රියාත්මක කර ඇත. මේ යටතේ LED ආලෝකකරණ පද්ධති විශාල වශයෙන් භාවිත කිරීම, ඉහළ කාර්යක්ෂමතාව සහිත බොයිලේරු, මෝටර් සඳහා වේගය නියාමනය කිරීමේ යාන්ත්‍රණ භාවිත කිරීම, සහ කර්මාන්තශාලා සහ තේවතු යායවල නවීන බලශක්ති කළමනාකරණ පද්ධති යොදා ගැනීම ඇතුළත් වේ.
තාක්ෂණික නවීකරණය හේතුවෙන් වැවිලි සමාගම්වලට බලශක්ති භාවිතයේ තීව්‍රතාව ක්‍රමයෙන් අඩු කිරීමට හැකි වී ඇති අතර, එමගින් කාබන් විමෝචන මට්ටම් සහ මෙහෙයුම් පිරිවැය යන සාධක දෙක පහළ දමා ඇත. සමාගම් කිහිපයක් ජාත්‍යන්තර ප්‍රමිතීකරණ සහ සත්‍යාපන වැඩසටහන් සඳහාද සහභාගී වෙමින් සිටින අතර, ඒ අතර ISO ප්‍රමිති සහ විද්‍යාව පදනම්කරගත් ඉලක්කගත ප්‍රවේශ (SBTi) වැනි ක්‍රියාමාර්ග මගින් විමෝචන අඩුකිරීම් ස්වාධීනව තහවුරු කිරීමද ඇතුළත් වේ. සෘජු මෙහෙයුම්වලින් උත්පාදනය වන  Scope  1 විමෝචන සහ මිලදී ගන්නා විදුලියෙන් ඇතිවන  Scope  2 විමෝචන ක්‍රමවත් ලෙස නිරීක්ෂණය කිරීමෙන්, කලාපීය වැවිලි සමාගම් ජාත්‍යන්තර යහ ක්‍රියාපිළිවෙත් සමග ඔවුන්ගේ මෙහෙයුම් අනුකූල කරමින්, පරිසරය, සමාජය සහ පාලනය යන සාධකවල විශ්වාසනීයතාව ශක්තිමත් කරමින් සහ ආයෝජක විශ්වාසය වැඩිදියුණු කරමින් සිටී.


පුනර්ජනනීය බලශක්ති සහ වැවිලි ක්ෂේත්‍රයේ ඵලදායීතා වර්ධනය 
ඇල්පිටිය වැවිලි සමාගම, කැලණි වැලි වැවිලි සමාගම, තලවකැලේ තේ වතු සමාගම, කහවත්ත වැවිලි සමාගම, මල්වත්ත වැවිලි සමාගම සහ බොගවන්තලාව වැවිලි සමාගම යන වතු සමාගම් එකට එක්ව කුඩා ජලවිදුලි බලාගාරයක් සඳහා ආයෝජනය කර ඇති අතර, ගොඩනැගිලි මතුපිට සහ භූමිය මත ස්ථාපිත සූර්ය බලශක්ති පද්ධති, ජීව වායු පද්ධති, ඉහළ කාර්යක්ෂමතාව සහිත මෝටර් සහ බොයිලේරු සහ නවීන බලශක්ති කළමනාකරණ තාක්ෂණ සඳහා විශාල ආයෝජන කර ඇත.
එම අතරින් බොගවන්තලාව වැවිලි සමාගම පමණක් සූර්ය සහ ජලවිදුලි ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 300කට අධික මුදලක් ආයෝජනය කර ඇති අතර, තලවකැලේ තේ වතු සමාගම 2024/25 කාලය තුළ වහල මත ස්ථාපනය කළ සූර්ය බල පැනල් ව්‍යාප්තිය සඳහා රුපියල් මිලියන 59.3ක් ආයෝජනය කර ඇත.
මෙම ව්‍යාපෘති හරහා වාර්ෂිකව කිලෝවොට් පැය මිලියන ගනනක (kWh) පිරිසුදු බලශක්තියක් උත්පාදනය වන අතර, සමහර සමාගම්වලට ඔවුන් භාවිත කරන පුනර්ජනනීය බලශක්ති ප්‍රභව නිසා ජාතික විදුලි පද්ධතියෙන් ලබා ගන්නා විදුලිය සියයට 100කින් ඉතිරි කර ගැනීමට හැකි වී ඇත. සමහර අවස්ථාවලදී ඉතිරිවන විදුලිබලය ජාතික විදුලි ජනන පද්ධතියට  එක් කිරීමෙන්, පිරිවැය ඉතිරිවීම සමග අමතර ආදායම් මාර්ගද උපයාගත හැකි වේ.
ඊට අමතරව, කුඩා ජල විදුලි බල ව්‍යාපෘති විශේෂයෙන් වතු කර්මාන්තශාලා මෙහෙයුම්වල පිරිසුදු බලශක්ති නිෂ්පාදනයට වැදගත් දායකත්වයක් ලබා දෙන අතර, ජීව වායු ඒකක සහ දර ඉන්ධන භාවිතයද දෛනික මෙහෙයුම්වලදී පොසිල ඉන්ධන භාවිතය අඩු කිරීමට උපකාරී වේ.
බලශක්ති කාර්යක්ෂමතා වැඩසටහන් හරහාද සැලකිය යුතු ප්‍රගතියක් ලබාගෙන ඇත. වතු සහ කර්මාන්තශාලා පුරා කලාපීය වැවිලි සමාගම් විසින් විචල්‍ය ධාරා මෙහෙයවීමේ මෙවලම්  90 කට අධික ප්‍රමාණයක් ස්ථාපිත කර ඇති අතර, පැරණි මෝටර් වෙනුවට IE3 බලශක්ති කාර්යක්ෂම මෝටර් භාවිතයට ගෙන ඇත. එසේම ගොඩනැගිලි සහ මෝටර් පද්ධති ප්‍රශස්තිකරණ වැඩසටහන් හඳුන්වා දී ඇති අතර, තෝරාගත් ස්ථාන කිහිපයක ISO 50001 සහතිකය සහිත බලශක්ති කළමනාකරණ පද්ධතිද ක්‍රියාත්මක කර ඇත. මෙම ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයක් ලෙස විදුලි බල භාවිතය සැලකිය යුතු ලෙස අඩුවී ඇති අතර, සමාගම් එකතුවක් ලෙස සැලකූ විට වාර්ෂිකව කාබන්ඩයොක්සයිඩ්වලට සමානව ටොන් දහස් ගණනක හරිතාගාර වායු විමෝචන වල අඩුවීමක් ද වාර්තා වී ඇත.


ප්‍රතිපත්ති අනුකූලවීමේ අවශ්‍යතාව
පිරිසුදු බලශක්තියට දිගුකාලීන ආයෝජන කිරීම, ජාත්‍යන්තර ප්‍රමිති අනුගමනය කිරීම සහ සූර්ය, ජලවිදුලි සහ බලශක්ති කාර්යක්ෂමතා තාක්ෂණය තුළ නවෝත්පාදන හඳුන්වා දීම හරහා කලාපීය වැවිලි සමාගම් ආර්ථිකයේ ඔරෙත්තු දීමේ හැකියාව ශක්තිමත් කරන අතරම, ශ්‍රී ලංකාවේ දේශගුණික කැපවීම්ටද සහාය දෙන, අනාගතයට සූදානම් අපනයන ආකෘතියක් ගොඩනගමින් සිටී. එහෙත්, අපනයන ආදායමට ලබා දෙන දායකත්වය, ග්‍රාමීය ආර්ථිකයට සහ රැකියා අවස්ථාවලට ඇති වැදගත් භූමිකාව, සහ කාබන් විමෝචන අඩු කිරීම සඳහා වැඩිවෙමින් පවතින දායකත්වය තිබියද, වැවිලි කර්මාන්තයට තවමත් එයට අයත් නිසි පිළිගැනීම සහ අවධානය ලැබී නොමැති බව පෙන්වා දිය හැක.
මේ අනුව, ලංකා වැවිලිකරුවන්ගේ සංගමය අවධාරණය කර සිටින්නේ විදුලි ගාස්තු ව්‍යුහය සකස් කිරීමේදී වැවිලි කර්මාන්තය විසින් රටට ලබා දෙන අපනයන ආදායම් දායකත්වයත්, ජාතික තිරසර සංවර්ධන අරමුණු ඉටු කිරීමට වැදගත් දායකත්වයක් ලබාදෙන අංශයක් වීමත් යන ද්විත්ව භූමිකාව සැලකිල්ලට ගත යුතු බවයි. ඒ සඳහා සහනදායී හෝ “හරිත” (green) විදුලි ගාස්තු ව්‍යුහයක් හඳුන්වා දීමෙන් කලාපීය වැවිලි සමාගම් සඳහා හිමිවන මුදල් ඉතිරිය පුනර්ජනනීය බලශක්ති හැකියාව තවදුරටත් පුළුල් කිරීම, බලශක්ති කාර්යක්ෂමතා නවීකරණ වේගවත් කිරීම සහ net-zero ඉලක්ක කරා ඉදිරියට ගමන් කිරීම සඳහා නැවත ආයෝජනය කිරීමට හැකි වනු ඇත. එමගින් ශ්‍රී ලංකාවේ පුළුල් ආර්ථික සහ පාරිසරික අරමුණු සාක්ෂාත් කර ගැනීමටද වැදගත් ප්‍රතිලාභ සැලසෙනු ඇත.