මිලියන 23කට අධික ජනගහනයක් සහිත ශ්‍රී ලංකාවේ සියයට 80කට වැඩි පිරිසක් කොළඹින් පිටත හා ප්‍රධාන නගරවලින් ඈත්ව ජීවත් වෙති. ඉන් බොහෝ පිරිසක් මේවන විටත් අන්තර්ජාල පහසුකම් අත්නොවිඳින බව වාර්තාවලට අනුව දැකිය හැකිය. 2025 වසර වන විටත් ශ්‍රී ලංකාවේ සමස්ත අන්තර්ජාල පරිශීලකයන් සංඛ්‍යාව මිලියන 13.9ක් වූ අතර, ඉන් කියැවෙන්නේ මිලියන 9කට ආසන්න සංඛ්‍යාවක් එම පහසුකම් අත්නොවිඳින බවයි. එනම් අන්තර්ජාලය පරිහරණය කරනු ලබන්නේ සියයට 59.7ක පිරිසකි. ස්ථාවර බ්‍රෝඩ්බෑන්ඩ් සබඳතා පහසුකම්ද බොහෝ දුරට නාගරික පරිසරයට පමණක් සීමා වී ඇති තත්වයක් තුළ බහුතර ග්‍රාමීය ප්‍රජාවකට ඩිජිටල් ආර්ථිකයේ ප්‍රතිලාභ නිසි ලෙස ලබා ගැනීමට හැකි වී නොමැති බව පෙන්වා දිය හැකිය.
ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ පියවරක් අනුව 2025 දෙසැම්බර් මාසයේදී මෙරට වාණිජ 5G ජාලය නිල වශයෙන් ආරම්භ කිරීමට කටයතු කර ඇති බැවින් ඉහත දැක්වූ තත්වයේ සුවිසල් වෙනසක් ඉදිරියේදී අත් විඳීමට හැකි වනු ඇත. ඒ අනුව ෆයිබර් රැහැන් ගෙන යාමට අපහසු හෝ අධික වියදමක් දැරීමට සිදුවන ප්‍රදේශවල පිහිටි නිවාස, පාසල් හා ව්‍යාපාර වෙත රැහැන් රහිත  (Wireless) අධිවේගී අන්තර්ජාල පහසුකම් ලබා දීමට හැකි වේ.
මෙරට වත්මන් ආර්ථික තත්වය තුළ අධිවේගී අන්තර්ජාල සේවාව යනු අත්‍යවශ්‍ය පහසුකමකි. ඉන්ධන හිඟය සහ ගමනාගමන අපහසුතා හේතුවෙන් පාසල් සහ රැකියා ස්ථාන අන්තර්ජාලය ඔස්සේ සිදු කිරීමට කටයුතු කරමින් සිටින අවධියක වේගවත් ෆයිබර් සබඳතා තවමත් කොළඹ හා ප්‍රධාන නගරවලට සීමාවීම ගැටලු‍කාරී තත්වයකි. 
මීට හොඳම විසඳුම වන්නේ ස්ථාවර රැහැන් රහිත (Fixed Wireless Access - FWA)තාක්ෂණයයි. කුලු‍නක සිට නිකුත් කරන 5G තරංග නිවසේ හෝ ව්‍යාපාරික ස්ථානයේ ඇති කුඩා යන්ත්‍රයට ලබා දීම මෙහිදී සිදු වේ. ඒ නිසා පොළොව යටින් රැහැන් ඇදීමට අවශ්‍ය නොවන අතර ඉතා ඉක්මනින් ෆයිබර් සබඳතාවට සමාන අධිවේගී අන්තර්ජාල පහසුකමක් අත්විඳීමට හැකි වනු ඇත.
මීට පෙරද මෙය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වී ඇති අතර එහිදී 2024 සහ 2018 කාලවලදී මෙරට දේශීය සමාගමක් 4G රැහැන් රහිත තාක්ෂණය භාවිතයෙන් නිවාසවල අන්තර්ජාල භාවිතය සියයට 9 සිට සියයට 26ක් දක්වා තෙගුණයකින් ඉහළ නැංවීමට සමත් විය. මීට පෙර අන්තර්ජාල පහසුකම් නොතිබූ නිවාස 800,000කට සබඳතා ලබා දීමට ඒ තුළින් හැකි වූ අතර, සමස්ත අන්තර්ජාල සබඳතාවලින් සියයට 60ක් මේ තාක්ෂණයෙන් ලබා දීමටද හැකි විය. 4G මගින් ආරම්භ වූ එම තාක්ෂණය දැන් 5G හරහා වඩාත් වේගවත් කිරීමට හැකියාව උදා වී තිබේ.
ආර්ථික වර්ධනය සඳහා ද 5G තාක්ෂණය ඉතා වැදගත් වේ. GSMA හි වාර්තාවලට අනුව 2024 වසරේදී ආසියා - පැසිෆික් කලාපීය ආර්ථක වර්ධනයට ජංගම දුරකතන තාක්ෂණය සහ ඒ ආශ්‍රිත සේවා මගින් ඇමරිකානු ඩොලර් බිලියන 950 ක දායකත්වයක් ලැබී ඇත. එය දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 5.6 කි. 5G ව්‍යාප්තියත් සමග 2030 වන විට එය ඩොලර් ට්‍රිලියන 1.4ක් දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරයි.
ගෝලීය වශයෙන් සැලකීමේදී 2030 වසර වන විට 5G ඇතුළු ජංගම දුරකතන තාක්ෂණයෙන් ලෝක ආර්ථිකයට ඩොලර් ට්‍රිලියන 11ක පමණ දායකත්වයක් ලැබෙනු ඇතැයි ඇස්තමේන්තු කර ඇති අතර, අන්තර්ජාල පහසුකම් නොමැති පිරිස් වෙත එම පහසුකම් ලබා දීමෙන් 2023 සහ 2030 කාලය තුළ ලෝක ආර්ථිකයට තවත් ට්‍රිලියන 3.5ක් අලු‍තින් එකතු වනු ඇතැයි පෙන්වා දී තිබේ.
මේ වන විට ලොව බොහෝ රටවල මෙම තාක්ෂණය ඉතා හොඳින් භාවිතයට ගනිමින් සිටින අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අන්තර්ජාල පහසුකම්වලින් සියයට 70ක් පමණ 5G FWA හරහා සපයා ගනු ලබයි. සෞදි අරාබියේ සෑම නිවාස 5කින් 1ක රැහැන් රහිත සබඳතාව පවතින අතර, එය ග්‍රාමීය පාසල්, සායන හා නිවාස වැඩ කටයුතු සඳහා ලබා දෙන්නේ සුවිසල් සහයෝගයකි. කසකස්ථානය හා උස්බෙකිස්ථානය වැනි රටවලද ඩිජිටල් කෘෂිකර්මාන්තය හා දුරස්ථ අධ්‍යාපනය සඳහා මෙම තාක්ෂණය යොදා ගනියි.
ශ්‍රී ලංකාව තුළ 5G තාක්ෂණය ව්‍යාප්ත වීමට පවතින ඇත්තේ ප්‍රායෝගික බාධාය. ස්මාර්ට් ජංගම දුරකතන සහ උපාංගවල මිල අධික වීම. ග්‍රාමීය ප්‍රදේශවල සිදුවන විදුලිය විසන්ධි වීම් සහ අන්තර්ජාලය භාවිතය සඳහා අවශ්‍ය මූලික දැනුම නොමැතිකම එම බාධාවලින් කිහිපයකි. මෙරට ජනගහනයෙන් සියයට 90කට වැඩි පිරිසක් දැනටමත් ජංගම දුරකතන භාවිත කරන බැවින් අන්තර්ජාල පහසුකම් ලබා ගැනීමට අවශ්‍ය මූලික සාධක සපුරාගෙන ඇත. එහෙත් මෙම තාක්ෂණය ග්‍රාමීය ජනතාවට අත්විඳීමට හැකි වන්නේද යන්න තීරණය වන්නේ රජය සහ සමාගම් ඉදිරියේදී ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණ මතය. 
ඒ අනුව 5G, රැහැන් රහිත තාක්ෂණය ඔස්සේ ග්‍රාමීය ජනතාවට ලබා දීමට සමත් වුවහොත් එය ඔවුන්ගේ අධ්‍යාපනය, රැකියා සහ ග්‍රාමීය ආර්ථිකයේ සුවිසල් පරිවර්තනයක ඇරැඹුම බවට පත් වනු නිසැකය.