- ඉන්ධන ප්‍රවාහන නෞකාවක රක්ෂණ වාරිකයත් ඩොලර් ලක්ෂ 10ත් 20ත් අතර ගණනකින් වැඩි වෙලා
විමුක්ති එස්. රුද්‍රිගු
ඇමෙරිකාව සහ ඉරානය දෙපාර්ශ්වයේ නෞකාවලට ප්‍රහාර එල්ල කර ගැනීම හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 100 සීමාව පසුකර ගිය අතර, සිංගප්පූරු ප්ලැට්ස් ඩීසල් මිලද ඊයේ (10) ඉහළ ගොස් ඇත.
ඒ අනුව ලෝක වෙළෙඳපොළේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 101.7ක් දක්වා ඉහළ ගිය අතර, ඩබලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 96.52 දක්වා ඉහළ ගියේය. එසේම සිංගප්පූරු ප්ලැට්ස් ෆියුචර්ස් ඩීසල් බැරලයක මිල ඊයේ(10) ඇමෙරිකානු ඩොලර් 169.88 ක් දක්වා ඉහළ ගොස් තිබිණි.
මැද පෙරදිග යුද්ධය ආරම්භවීමට පෙර සිංගප්පූරු ප්ලැට්ස් ෆියුචර්ස් බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 90 ක් වූවේය. සිංගප්පූරු ඔක්ටේන් 92 පෙට්‍රල් බැරලයක මිල ඩොලර් 128 සිට 133 අතර මට්ටමක පැවති බවද වෙළෙඳපොළ දත්ත වාර්තා පෙන්වා දෙයි.
පසුගිය 5 වැනිදා සිට මේ දක්වා ඇමෙරිකාව ඉරාන තෙල් නැව් 5 කට ප්‍රහාර එල්ල කර තිබූ අතර, එහිදී එක් නැවක් මුහුදුබත් වී තිබිණි. එම කාලයේදී ඉරානය නෞකා 10 කට ප්‍රහාර එල්ල කර තිබූ අතර, ඉන් 8 ක් තෙල් නැව් විය. අනෙක් දෙක ඇමෙරිකානු ප්‍රහාරක යුද නෞකා වූවේය.
මෙම තත්වය හමුවේ ඉන්ධන ප්‍රවාහන නෞකාවක රක්ෂණ වාරිකය ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 10ත් 20ත් අතර ගණනකින් වැඩි වී තිබෙන බවත්, එයද ලෝක බලශක්ති මිලට බලපෑමක් එල්ල කරනු ඇති බවත් විශ්ලේෂකයෝ ප්‍රකාශ කළහ.
ප්ලැට්ස් යනු ලෝකයේ තෙල් සහ බලශක්ති මිල ගණන් දිනපතා නිරීක්ෂණය කර නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ප්‍රධාන ජාත්‍යන්තර ආයතනයකි. ශ්‍රී ලංකාව වැනි රටවල් ඩීසල් ආනයනය කිරීමේදී පදනම් කර ගන්නේ සිංගප්පූරු ප්ලැට්ස් මගින් නියම කරන ඩීසල් ලෝක වෙළෙඳපොළ මිලයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd