මාධ්‍ය හමුවට සහභාගි වූ CMTA සාමාජිකයන් අදහස් දක්වමින්...


  • 2016 හිටපු මුදල් ඇමතිවරයා ගෙන ආ ගැසට් පත්‍රයක් ගැටලු‍වට හේතුවයි
  • පසුගිය වසරේදී පමණක් රැපියල් බිලියන 40 ක ආදායමක් රජයට අහිමි වෙලා
  • ආනයනය කෙරැණු වාහනවලින් භාවිත නොකළ වාහන සියයට 30යි - භාවිත කළ සියයට 70 යි
  • අයවැයෙන් හෝ මෙම සහනය ඉවත් කරන යෝජනාවක් ඉල්ලයි

භානුක අමරසිංහ


භාවිත කරන ලද වාහන ආනයනයේදී එම ආයතන සහ පුද්ගලයන් වෙත දැනට ලබා දී ඇති සියයට 15ක ක්ෂයවීමේ සහනය (depreciation) හේතුවෙන් 2026 වසර තුළ රජයට රුපියල් බිලියන 100ත් - 120ත් අතර ආදායම් අහිමිවීමක් සිදුවනු ඇතැයි සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA) පවසයි.

මෙම ආදායම් අහිමිවීම රජයට මෙන්ම නියමිත බදු ගෙවා නීත්‍යානුකූලව ව්‍යාපාරය සිදු කරන තම සාමාජිකයන්ට මෙන්ම අවසානයේදී පාරිභෝගික ජනතාවටත් දැඩිව බලපා තිබෙන බව එම සංගමය අවධාරණය කරයි. ඒ අනුව ඉදිරි අයවැයේදී හෝ මෙම සහනය ඉවත් කර මෝටර් රථ අලෙවියේ එක සමාන තරගකාරී අවස්ථාවක්  සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසත් එම සංගමය රජයෙන් ඉල්ලා සිටියි.

මෙම සහනය හේතුවෙන් රජයට සිදුව තිබෙන ආදායම් අහිමිවීම සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරිම සඳහා ඊයේ පැවැත් වුණු මාධ්‍ය හමුවකදී මෙම කරුණු අනාවරණය කෙරිණි.

මෙහිදී අදහස් දක්වා සිටි CMTA සභාපති ඇන්ඩෘ පෙරේරා මහතා, “මේ සියයට 15 ක ක්ෂයවීමේ සහනය නිසා 2025 වසරේදී පමණක් රජයට රුපියල් බිලියන 40ක ආදායම් අහිමිවීමක් සිදු වුණා. 2026 ජනවාරි සිට ජූලි දක්වා පමණක් එම අහිමි වීම රුපියල් බිලියන 54කට ආසන්නයි. මේ වසර තුළදී එම අහිමි වීම රුපියල් බිලියන 100ත් 120ත් අතර අගයක් ගනීවි.“ යනුවෙන් සඳහන් කළේය.

එසේම වසර පහක නිහැඩියාවකින් පසුව වාහන ආනයනය යළි විවෘත කිරීමෙන් පසුව මේ දක්වා මෙරටට ආනයනය කර ලියාපදිංචි කළ වාහන අතරින් සියයට 30ක් පමණක් භාවිත නොකළ ඒවා වීමත්, සියයට 70ක් භාවිත කළ වාහන වීමත් ගැටලු‍ව තවත් දරුණු කරණ බවත් මෙහිදී අනාවරණය විය.

අයිඩියල් මෝටර්ස් (පෞද්) සමාගමේ සභාපති නලින් වෙල්ගම මහතා අදහස් දක්වමින්, මෙම ගැටලු‍ව ඇති වූයේ 2016 වසරේ ජූනි මාසයේදී එවකට මුදල් අමාත්‍යවරයාව සිටි රවී කරුණානායක මහතාගේ අත්සනින් නිකුත් කළ අංක 1979/10 ගැසට් නිවේදනයක් නිසා බව සඳහන් කළේය. 

“උදාහරණයක් විදියට මේ සහනයේ වාසිය ලබා ගනිමින් රුපියල් ලක්ෂයක වාහනයක් ආනයයේදී ඔවුන් ගෙවන්නේ රුපියල් 85,000ක් පමණයි. ඒත් අපි සම්පූර්ණ ලක්ෂයම ගෙවනවා. නොවැම්බර් මාසයේ අයවැය යෝජනාවලට මේ ගැන අවධානය යොමු කරන්න කියලා අපි රජයෙන් ඉල්ලනවා. රජය වුණත් මේකට අවධානය යොමු නොකරන්නේ සිදුවෙන බදු ආදායම් අහිමිවීමට වඩා මේ හරහා ලැබෙන ආදායම වැඩි නිසා කියලයි අපිට හිතෙන්නේ. “වෙල්ගම මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙලෙස ලබා දී ඇති සහනය හේතුවෙන් විවිධ මෝටර් රථ මාදිලි යටතේ රජයට අහිමි වන බදු ආදායම සම්බන්ධයෙන්ද මෙහිදී අනාවරණය කෙරිණි. 

ඒ අනුව ස්ටැෆර්ඩ් මෝටර්ස් (පෞද) සමාගමේ අධ්‍යක්ෂ තරින්ද්‍ර කලු‍පෙරුම මහතා අදහස් දක්වමින් සිය සමාගම භාවිත නොකළ නවීනතම හොන්ඩා Vezel HRV  මාදිලියේ රථයක් ආනයනයේදී රුපියල් මිලියන 3.4 ක බද්දක් ගෙවන බවත්, භාවිත කළ එවැනිම වාහනයක් ආනයනයේදී ගෙවන බද්ද රුපියල් මිලියන 1.6ක් බවත් පවසා සිටියේය. ඒ අනුව එක් වාහනයකින් අහිමිවන බදු ආදායම රුපියල් මිලියන 1.8 කි.

KIA මෝටර්ස් සමාගමෙහි ප්‍රධාන විධායක නිලධාරී මහේන් තම්බයියා මහතා අදහස් දක්වමින්, මෙම සහනය හේතුවෙන් ඉන්දියාවේ නිෂ්පාදිත KIA මාදිලියේ මෝටර් රථයක් ආනයනයේදී රුපියල් මිලියන 1.5ක බදු ආදායමක් අහිමි වන බව පවසා සිටියේය.  

DIMO සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ගනනාත් පණ්ඩිතගේ මහතා අදහස් දක්වමින්, “නියමිත බදු ගෙවලා, සේවකයන් නඩත්තු කරමින් පවත්වාගෙන යන අපි වගේ ආයතනවලට එවැනි සහනයක් නැහැ. මේ ආයතන සහ පුද්ගලයන් ඒ බදුවලින් සහනයක් ලබා ගන්නවා වගේම ආදායම් බදු ගෙවන්නෙත් නැහැ. අඩුම තරමින් මේ සහනය හරහා ලැබෙන ලාබයවත් ජනතාවට ලබා දෙන්නේ නෑ.”  

එසේම 2025-26 කාලසීමාවේදී වෙනත් පිරිස් රට වෙත මර්සිඩීස් බෙන්ස් රථ 260ක් ආනයනය කර තිබෙන බවත්, ඒ හරහා රජයට අහිමි වී ඇති ආදායම රුපියල් බිලියන 1.6ක් වන බවත් සඳහන් කළේය.

මේ අතර ටොයොටා ලංකා සමාගම මෙරටට ගෙන්වන ප්‍රසිද්ධ මාදිලියක් වන TOYOTA RAIZE  මාදිලියෙන් රුපියල් මිලියන 2ක බදු අහිමිවීමක් සිදුව තිබෙන බවත්, ඒ අනුව මෙතෙක් ආනයනය කර ඇති එවැනි මෝටර් රථ 8,900ක් හරහා රුපියල් බිලියන 18.7ක ආදායමක් රජයට අහිමි වී ඇතැයිද මෙහිදී අනාවරණය විය. එසේම TOYOTA YARIS හරහා අහිමි වී ඇති ආදායම රුපියල් බිලියන 12 කට ආසන්නය.

“අපි රජයට යෝජනා කරන්නේ මේ භාවිත කළ වාහන ආනයනයේදී ලබා දෙන සියයට 15ක ක්ෂයවීමේ සහනය වහාම ඉවත් කරන්න කියලයි. අපි පසුගිය කාලයේදී මේ ගැන වරින්වර දැනුවත් කළා. ඒත් තවමත් යහපත් ප්‍රතිචාරයක් නැහැ. මේ හරහා සෑම දෙනාටම එක සමාන තරගකාරීත්වයක් ඇති කරන්න ඕනේ. ඇතැම් අය කියන්න පුළුවන් මේ සහනය හරහා ජනතාවට වාසියක් ලැබෙනවා කියලා. මේ ගෙන්වන වාහන මිලියන 12ත් 22ත් අතර වටිනාකමක් තියෙන වාහන. සාමාන්‍ය ජනතාවට අවශ්‍ය නම් ඊට වඩා අඩු මිලට වාහන තිබෙනවා.“ CMTA සභාපති ඇන්ඩෘ පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.