ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ


  • විදේශ සංචිත යනු සුඛෝපභෝගී සම්පතක් නොව රටක සමස්ත සාර්ව ආර්ථික ස්ථාවරත්වයේ අත්‍යවශ්‍ය අංගයක්
  • ආර්ථිකයේ ඔරොත්තු දීමේ හැකියාව සහ විදේශ අංශය සැලකිය යුතු ලෙස ශක්තිමත්
  • බාහිර කම්පනවලට මුහුණදීමට ප්‍රමාණවත් සංචිත පවත්වාගෙන යාම අත්‍යවශ්‍යයි

විමුක්ති එස්. රුද්‍රිගු


විදේශ සංචිත යනු රජයට හෝ මහ බැංකුවට අයත් සම්පතක් නොව සමස්ත ජාතියේ ඉතුරුම් බැවින් ඒවා කළමනාකරණය කිරීම මහ බැංකු සතු විශාල වගකීමක් බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ (10) ප්‍රකාශ කළේය.

විදේශ සංචිත රටකට විශ්වාසය, ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය අවකාශය සහ අත්‍යවශ්‍ය ආර්ථික අවශ්‍යතා සපුරාලීමේ හැකියාව ලබාදෙන බවත්, අර්බුදකාරී අවස්ථාවකදී ආර්ථිකයට හදිසි හා පීඩාකාරී යොමුවීමකින් තොරව ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය කාලය ලබාදෙන බවත් ඔහු පැවසීය.

මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ පැවැති 2026 වසරේ විදේශ සංචිත කළමනාකරුවන්ගේ සමුළුව අමතමිනි. එම සමුළුව කොළඹ කිංග්ස්බරි හෝටලයේදී ඊයේ (10) සහ අද (11) පැවැත්වේ.

භූ දේශපාලනික බෙදීම්, උපායමාර්ගික තරගකාරීත්වය, වෙළෙඳ ආතති, සම්බාධක, ජාත්‍යන්තර මූල්‍ය පද්ධතියේ බෙදීම්, භාණ්ඩ මිලෙහි අස්ථාවරත්වය, පොලී අනුපාත චක්‍රවල වෙනස්වීම් සහ වේගවත් තාක්ෂණික පරිවර්තනය හේතුවෙන් අද වන විට විදේශ සංචිත කළමනාකරණය වඩාත් සංකීර්ණ වී ඇතැයිද ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා එහිදී සඳහන් කළේය.

එක් රටක ඇතිවන ගැටුමක් ලෝකයේ බලශක්ති මිල ගණන් කෙරෙහි බලපෑම් එල්ල කළ හැකි බවත්, ප්‍රධාන නාවික මාර්ගයක සිදුවන බාධාවක් තවත් කිලෝමීටර් දහස් ගණනක් ඈතින් පිහිටි රටක උද්ධමනයට බලපෑම් කළ හැකි බවද ඔහු පෙන්වා දුන්නේය. මෙරට ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදය විදේශ සංචිත ප්‍රමාණවත් නොවීමෙන් ඇතිවන බලපෑම් පිළිබඳ පැහැදිලි පාඩමක් ලබාදුන් බවද මහ බැංකු අධිපතිවරයා පැවසීය.

එම අවස්ථාවේදී ආනයන සීමා වීම, ණය ගෙවීම දුෂ්කර වීම, විනිමය අනුපාතයට ඇති පීඩනය සහ උද්ධමන පීඩනය ඉහළ යාම මෙන්ම රටේ ආර්ථිකය පිළිබඳ විශ්වාසය පහළ යාම සිදුවූ බවද ඔහු සඳහන් කළේය. එබැවින් විදේශ සංචිත යනු සුඛෝපභෝගී සම්පතක් නොව රටක සමස්ත සාර්ව ආර්ථික ස්ථාවරත්වයේ අත්‍යවශ්‍ය අංගයක් බවත්, අර්බුදයක් ඇතිවූ පසුව සංචිත ගොඩනැගීම ආරම්භ කිරීම ප්‍රමාද වැඩි වන බවත් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අවධාරණය කළේය.

ශ්‍රී ලංකාව, ආර්ථික අර්බුදයෙන් පසුව සාර්ව ආර්ථික මූල්‍ය ස්ථාවරකරණ සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කළ බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස ආර්ථිකයේ ඔරොත්තු දීමේ හැකියාව සහ විදේශ අංශය සැලකිය යුතු ලෙස ශක්තිමත් වී ඇති බවත් ඔහු පැවසීය. 

රටකට ප්‍රමාණවත් විදේශ සංචිත ප්‍රමාණයක් තිබේ දැයි යන්න තීරණය කිරීම ඉන් මාස කීපයක ආනයන ආවරණය වන්නේද යන කරුණ මත පමණක් තීරණය කළ නොහැකි බවද ඔහු ප්‍රකාශ කළේය.

කෙටිකාලීන විදේශ වගකීම්, ණය සේවාකරණ අවශ්‍යතා, ප්‍රාග්ධන ගලායෑම්වල අස්ථාවරත්වය, අවශ්‍ය අවස්ථාවක හදිසි මූල්‍ය පහසුකම් ලබාගැනීමේ හැකියාව සහ අනාගත බාහිර කම්පන ඇතිවීමේ සම්භාවිතාව හා ප්‍රමාණයද සංචිත ප්‍රමාණවත්ද යන්න තීරණය කිරීමේදී සැලකිල්ලට ගත යුතු බව ඔහු පැවසීය.

ලෝක වෙළෙඳපොළේ බලශක්ති මිල ගණන් තියුණු ලෙස ඉහළ යාමෙන් විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වැනි බලශක්ති ආනයනය කරන රටක ආනයන වියදම් වේගයෙන් ඉහළ යා හැකි බවත්, භූ දේශපාලනික ආතතීන් හේතුවෙන් සංචාරක ආදායම් ඇතුළු විදේශ විනිමය ආදායම්වලටද බලපෑම් ඇතිවිය හැකි බවත් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කළේය.

එවැනි තත්වයකදී විදේශ විනිමය පිටතට ගලායාම ඉහළ යන අතරම විදේශ විනිමය ආදායම් පහළ යා හැකි බැවින්, එවැනි බාහිර කම්පනවලට මුහුණදීම සඳහා ප්‍රමාණවත් සංචිත පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය බවද ඔහු පැවසීය. 

එමෙන්ම විදේශ සංචිත කළමනාකරණයේදී ඇමෙරිකානු ඩොලරයේ ප්‍රමුඛ භූමිකාව තවදුරටත් පවතින නමුත්, එක් මුදල් ඒකකයකට හෝ එක් අධිකරණ බල ප්‍රදේශයකට අධික ලෙස සංකේන්ද්‍රණය වීමේ අවදානම සම්බන්ධයෙන්ද සංචිත කළමනාකරුවන් අවධානය යොමු කළ යුතු බව ඔහු පැවසීය. සංචිතවල රන් ප්‍රමාණය ඉහළ නැංවීම පිළිබඳව පමණක් අවධානය යොමු නොකර, සමස්ත සංචිත තුළ රන් සඳහා තිබිය යුතු භූමිකාව තීරණය කළ යුතු බවද ඔහු සඳහන් කළේය.

තිරසාර විදේශ සංචිත ගොඩනැගීමට කෙටි මාර්ගයක් නොමැති බවත්, ප්‍රමාණවත් සංචිත, විවිධාංගීකරණය, ශක්තිමත් ද්‍රවශීලතාව, ශක්තිමත් ආයතන, නම්‍යශීලී ප්‍රතිපත්ති සහ ජාත්‍යන්තර සහයෝගීතාව යන කරුණු ඒ සඳහා අවශ්‍ය බවත් මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය.