- 2025 දී ගුවන් මගීන් ලක්ෂ 36 සිට 34ක් දක්වා අඩුවෙලා
- ජාත්‍යන්තර ගුවන් සේවා මෙරටට සිදු කරන ගුවන් මෙහෙයුම් තවදුරටත් පුළුල් කිරීමත් හේතුවයි
ශ්‍රී ලංකන් ගුවන් සේවය 2025 දී සිය ගුවන් යානා හරහා සේවය සැලසූ ගුවන් මගීන් ගණන ලක්ෂ 34.6ක් (3,466,000ක්) ලෙස සටහන්ව තිබේ. ඒ අනුව මෙය 2024 දී සේවය සැලසූ ගුවන් මගීන් ලක්ෂ 36.1 (3,616,000) හා සැසඳීමේදී මගීන් 153,000ක එනම් සියයට 4.22 ක අඩුවීමකි.
ශ්‍රී ලංකා මහ බැංකුව පසුගියදා නිකුත් කළ සමාජ ආර්ථික දත්ත වාර්තාව - 2026 තුළ මෙම කරුණු සටහන්ව තිබේ. පසුගිය වසර 10ක කාලය සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ දත්ත එහි ඇතුළත්ව තිබේ.
එසේම මෙම දත්ත අනුව 2025 දී සේවා සැලසූ මගීන් සංඛ්‍යාව 2023 මගීන් ලක්ෂ 34.8 ට (3,484,000ට) සාපේක්ෂවත් මගීන් 18,000 ක අඩුවීමකි.
විශේෂයෙන්ම ජාත්‍යන්තර ගුවන් සේවා සමාගම් මෙරට වෙත සිදු කරන ගුවන් මෙහෙයුම් තවදුරටත් පුළුල් කිරීම සහ අඩු මිල ගුවන් සේවා මෙහෙයුම් ඇරඹීම මෙලෙස ශ්‍රී ලංකන් හරහා සේවය ලබා ගන්නා මගීන්ගේ අඩුවීමට හේතුව බව වාර්තා සඳහන් කරයි.
දත්ත අනුව ශ්‍රී ලංකන් ගුවන් සේවය වැඩිම මගීන් පිරිසක් රැගෙන ගොස් ඇත්තේ 2018දී වන අතර, එය ලක්ෂ 58.3 ක් (5,839,000ක්) වෙයි. එය 2017 දී රැගෙන ගිය ලක්ෂ 44.4 ට සාපේක්ෂව කැපී පෙනෙන වර්ධනයකි.
මෙම වර්ධනය එලෙසින්ම පවත්වාගෙන යමින් 2019 සහ 2020 වසරවලදී පිළිවෙළින් මගීන් ලක්ෂ 56.6ක් සහ ලක්ෂ 52.5 ක් රැගෙන යාමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම සමත්ව තිබේ.
කෙසේ වෙතත් කොවිඩ් 19 සමගින් 2021දී එම මගීන් ගණන 167,000ක් දක්වා දරුණු කඩා වැටීමකට ලක්විය. 2022 දී එය යම් තරමකට වර්ධනය වෙමින් මගීන් ලක්ෂ 14.6ක් හැසිරවීමට ගුවන් සමාගම සමත් විය. එම ප්‍රවණතාව තවදුරටත් පවත්වාගෙන යමින් 2023 දී සහ 2024 දී පිළිවෙළින් ලක්ෂ 34.8 ක සහ 36.1 ක මගීන් රැගෙන ගොස් තිබේ.
මේ අතර ශ්‍රී ලංකන් හරහා සිදු කළ භාණ්ඩ ප්‍රවාහනයද 2025 දී අඩුවී තිබේ. දත්ත අනුව එම වසරේදී ප්‍රවාහනය කළ භාණ්ඩවල බර ටොන් 83,801 කි. එය 2024 සිදුකළ ටොන් 84,210 ට සාපේක්ෂව සියයට 0.4 ක අඩුවීමකි.
ගත වූ වසර 10 තුළ ශ්‍රී ලංකන් ගුවන් සමාගම වැඩිම භාණ්ඩ ප්‍රමාණයක් රැගෙන ගොස් ඇත්තේ 2018 දීය. එය ටොන් 132,958කි. එසේම අඩුම ප්‍රමාණය වන ටොන් 56,406 ක ප්‍රමාණ 2021 වසරේදී රැගෙන ගොස් තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd