IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


මෙවර අයවැය ආර්ථිකයට කෙසේ බලපාවිද ?

 


2028 වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන අවසාන වෙද්දී, රාජ්‍ය ආදායමෙන් සියයට 40 කට වඩා නැවත ණය ගෙවීම් උදෙසා වැය වන බවට ප්‍රක්ෂේපණය කර තිබේ. මෙය මේ හා සමාන අනෙක් රටවල් සමූහය හා සන්සන්දනය කර බැලූ විට ඉහළම අනුපාත වලින් එකකි. අවම වශයෙන් ශ්‍රී ලාංකිකයින් මිලියන අටක් දරිද්‍රතාවයෙන් පෙළෙන්නන් ලෙස වර්ගීකරණය කර තිබියදී ස්ථාවරයට පත්වීම ගැන කියන කතා හරයක් නැති ඒවාය. රාජ්‍ය අංශයේ සේවාවල යෙදෙන සංඛ්‍යාව ඉහළ නැංවීම හා වැටුප් වැඩි කිරීම සෞඛ්‍ය හා අධ්‍යාපනය වෙනුවෙන් මුදල් හිඟව පවතින විට, පරස්පර කතා වන්නේය. ආර්ථිකය විස්තාරණය වන විට සාර්ව සම්බන්ධතා බැඳුම්කර යටතේ ඇති නැවත ගෙවීම් වැඩි වන්නට පටන් ගන්නා අතර බාහිර අංශයේ නිරතුරුව පවතින ව්‍යුහාත්මක දුර්වලතා සහ දුර්වල සෘජු විදේශ ආයෝජන ගලා ඒම් ඔස්සේ ඉහළ පොලී ගෙවා වාණිජ ණය ගැනීම මත රඳාපැවැත්ම තව තවත් වැඩි වේ. මේ අතරතුර සංචිත ඒකරාශි කිරීම සහ මූල්‍ය විනය ඔස්සේ. දේශීය ද්‍රවශීල වත්කම්, ඉහළ වර්ධනය සහ උද්ධමන පීඩනය අවදානමට ලක්වේ.
 ජාතික ජන බලවේග ආණ්ඩුවේ 2025 පළමු අය වැය යෝජනාවලින් සියයට 24 සහ සියයට 50 අතර මූලික වැටුප් වැඩි කිරීම් දළ වශයෙන් මිලියන 1-1 ක් පමණ වූ රාජ්‍ය සේවකයන් සඳහා යෝජනා වූයේය. වර්තමාන මූල්‍ය වර්ෂයේදී වැටුප් වැඩි කිරීම් සඳහා රුපියල් බිලියන 100 ක් වෙන් කරන ලද අතර වාර්තාවලින් පැවසෙන්නේ සමස්ත රාජ්‍ය සේවක වැටුප් සඳහා රුපියල් බිලියන 330 ක් පමණ වැය වෙන බවයි. වෙනම ජීවන වියදම් දීමනාවක්ද 2025 ජනවාරි මාසයෙන් පටන් ගන්නා අවුරුද්ද සඳහා අනුමත කෙරිණි. 2025 අගෝස්තු මාසයේදී රාජ්‍ය දෙපාර්තමේන්තු, අමාත්‍යාංශ ඇතුළු රාජ්‍ය ආයතනවල  අත්‍යාවශ්‍ය ඇබෑර්තු පිරවීම සඳහා තවත් රාජ්‍ය සේවකයන් 60,000 ක් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය පිරිනමන ලදී. මෙම බඳවාගැනීම් අග්‍රාමාත්‍ය ලේකම් මූලික මුදල් අමාත්‍යාංශය හා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය හා සම්බන්ධිත විශේෂ කමිටුවකින් අධීක්ෂණය කෙරිණි. ඒ වන විට ජාතික ජනබලවේග ආණ්ඩුව දළ ජාතික නිෂ්පාදිතයේ සියයට 1.4 ක් සෞඛ්‍ය සඳහා ද 0.9% ක් අධ්‍යාපනය සඳහා ද ඓතිහාසික වශයෙන් අවම වෙන් කිරීමක් කිරීම නිසා මූල්‍ය අවකාශය මද කම ගැන දෝෂාරෝපණයට ලක්විය. ප්‍රාග්ධන වියදම් සඳහා වාර්තාගත රුපියල් ට්‍රිලියන 1.3 ක් 2025 මූල්‍ය වර්ෂය සඳහා පරිපාලනයෙන් වෙන් කරන ලදී. කලින් පැවැති සෑම ආණ්ඩුවක් මෙන්ම එම ඉලක්කය සපුරාගත හැකි නොවන්නේය.
 ලෝක බැංකුවේ 2025 සැප්තැම්බරයේ Towards a Balanced Fiscal Adjustment (තුලිත රාජ්‍ය (බදු) ආදායම් සැකසුමක් උදෙසා) නම් වූ ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය විශ්ලේෂණයේ, ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ වැටුප් සඳහා යන වියදම් මේ හා සමාන රටවලට සාපේක්ෂව පහළ මට්ටමක පවතී.’ යනුවෙන් සඳහන් වේ. මධ්‍යම කාලයේ සිට දීර්ඝ කාලය දක්වා ඉතා හොඳින් ඉලක්ක කළ අඩු කිරීමේ ප්‍රතිපත්තියක් ඔස්සේ රාජ්‍ය අංශයේ සේවක සංඛ්‍යාව තර්කාන්විත කිරීමේ අවශ්‍යතාව එම වාර්තාවෙන් අවධාරණය කර තිබේ. අර්බුදය ආරම්භයේදී හඳුන්වා දුන් බඳවාගැනීම් නතර කිරීම්, පුද්ගල සංඛ්‍යාව අඩුවීමට හේතු වුවද, ඊළඟ අවුරුදු 2-3 ඇතුළත තවදුරටත් සේවක සංඛ්‍යාව අඩු කිරීමකින් සේවා සැපයීමේ හැකියාව පහත වැටෙන බව එයින් නිරීක්ෂණය කර තිබිණි. එම නිසා කාර්ය මණ්ඩල වැඩි අංශ සහ වෘත්තිකයන් නිවැරැදි ප්‍රමාණයට ගෙන ඒම ක්‍රමයෙන් ටිකෙන් ටික ඉදිරියට ගෙන යමින්, අලුත් සේවකයින් බඳවා ගැනීම විශ්‍රාම යෑමේ තරමට වඩා අඩු වේගයකින් කළ යුතුවේ. රාජ්‍ය අංශයේ වැටුප් වැනි විචක්ෂණශීලී නොවන වියදම් සෑහෙන තරමකින් කපා හැරීමක් නොකළහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් කියා සිටින ණය තිරසරකරණය වෙත යන මාවත  තවදුරටත් පටුවී අවහිර වන්නේය.
 ලෝක බැංකුව මෙය වටහාගත් බව පෙනී යන්නේ එම වාර්තාව, ගෘහ ආශ්‍රිත වියදම් තවමත්, බදු ඉහළ දැමීම්, ඉහළ මිල ගණන් සහ රැකියා අහිමිවීම් ඔස්සේ සීමාවන් බැව් සඳහන් වන බැවිනි. පෞද්ගලික හා රාජ්‍ය අංශවල සැබෑ වැටුප් තවමත්, අර්බුදයට පෙර පැවැති මට්ටමට වඩා පිළිවෙළින් සියයට 14 ත්, 24 ත් අතර අඩු මට්ටමේ පවතින අතර ශ්‍රම හමුදා දායකත්වය 2023 දෙවැනි කාර්තුවේදී සියයට 48.6 පටන් 2024 දෙවැනි කාර්තුවේදී සියයට 47.8 දක්වා අඛණ්ඩව සංකෝචනය වී තිබේ.


 සැබෑ වැටුප සෑහෙන තරම් ක්ෂයවීම නිසා සහනය සීමා වීම:-
වාර්තාවෙන් කියා සිටින්නේ හිටි හැටියේ එකවර වැය කපා හැරීම නොකර, කාර්ය මණ්ඩල සංඛ්‍යාව ක්‍රමයෙන් අඩු කරමින් කාර්යක්ෂමතාව වර්ධනය හා ශ්‍රම බළකා කළමනාකරණය කරන ලෙසයි. කෙසේ වුවද ආණ්ඩුව කළේ රාජ්‍ය අංශයේ සේවක සංඛ්‍යාව වැඩි කරන අතරතුර වැටුප් වර්ධකද ප්‍රදානය කිරීමය. ලෝක බැංකුව ඇස්තමේන්තු කරනුයේ 2020 සහ 2023 අතරතුර සැබෑ වැටුප් හා විශ්‍රාම වැටුප් පහත වැටී ඇත්තේ පිළිවෙළින් සියයට 33 කින් හා සියයට 26 කින් බවයි. යම් අංශයක පුළුල් වැටුප් වැඩි කිරීමක්, මධ්‍යම ප්‍රමාණයේ ඵලදායිතාවක් තිබියදී ක්‍රියාත්මක කිරීමෙන් ව්‍යුහාත්මක අභියෝග විසඳීම සිදු නොවන්නේය. ලෝක බැංකුව ව්‍යංගාර්ථයෙන් අඟවා සිටින්නේ, රාජ්‍ය අංශයේ සමහර කොටස්වල දේශපාලන වශයෙන් අභිප්‍රේරණය වූ පමණට වැඩි සේවක බඳවා ගැනීම් කපා හරින අතරතුර වඩාත් හොඳ ක්‍රමයක් තුළ සමස්ත රාජ්‍ය සේවාව වර්ධනය කිරීම සඳහා රාජ්‍ය සේවකයන්ට වැඩි වැටුප් ලබා දෙන ලෙසයි. ගුණාත්මක කාර්ය මණ්ඩලයක් රඳවා ගැනීම පිණිස, වර්තමාන වැටුප් පරිමාණයන් ප්‍රමාණවත් නොවීම ඊට හේතුවිය.


 ශ්‍රී ලංකාවේ ස්වෛරී බැඳුම්කර ණය ප්‍රතිව්‍යුහගත කරණය- 
සංකීර්ණ ක්‍රියාදාමයකින් පාඩම්’ යන හිසින් 2025 සැප්තැම්බරයේදී පීටර් බෘවර් සහ අනිකුත් අය ඉදිරිපත් කොට ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ක්‍රියාකාරී පත්‍රිකාවේ, ශ්‍රී ලංකාවේ රාජ්‍ය ප්‍රතිපත්ති ගනුදෙනු සම්මුතීන් සහ එහි මූල්‍ය තත්වය හා අසමතුලිත තාවයේ අන්තර් ක්‍රියාව පරීක්ෂාවට ලක්කෙරේ. රටේ සැබෑ ඵලදායි හුවමාරු අනුපාතය (REER) 2005 සහ 2015 අතරතුර සියයට 30 කින් පමණ වර්ධනය වූ බවත්, 2018 දී එය 2005 මට්ටමට වඩා සියයට 20 කින් වැඩි වී තිබුණ බවත් එහි රචකයින් සඳහන් කරයි. මූලිකාංග සමග මෙම එකේලි නොවීම තුළින් රාජ්‍ය ණය අවදානම ඉහළ යාම අවධානයට ලක් වූ බවත්, මුදලේ අගය පමණට වඩා ඉහළ යෑම නිසා අපනයන තරගකාරිත්වය අඩු වී දේශීය පාරිභෝගිකයින් පරිභෝජනය කරන ආනයන භාණ්ඩවල මිල සාපේක්ෂව පහළ වැටුණේය. මෙයින් ගෙන එන පුළුල් පණිවිඩය නම් සැබෑ ඵලදායි හුවමාරු අනුපාතය පමණට වැඩි අගයක් ලෙස නිරන්තරව පැවතීමෙන් විදේශ සමග තරගකිරීමේ හැකියාව අඩු වී වෙළෙඳ ශේෂ පීඩනය පුළුල් කරන්නේය යන්නයි.
 ශ්‍රී ලංකාවේ ශුද්ධ ජාත්‍යන්තර ආයෝජන තත්වය (Net Iuternational Investment Position – NIIP) 2012 සහ 2018 කාලය අතරතුර ඩොලර් බිලියන ඍණ 36 සිට ඩොලර් බිලියන ඍණ 49 දක්වා පිරිහී තිබෙන බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරයි.  NIIP ශුද්ධ ජාත්‍යන්තර ආයෝජන තත්වයෙන්, නියෝජනය වන්නේ රටේ විදේශ වත්කම්වල ශුද්ධ අගය එහි විදේශ වගකීම් වලින් අඩු කළ විට ලැබෙන ප්‍රතිඵලයයි. වෙනත් වචනවලින් කිවහොත් ශ්‍රී ලංකාවට විදේශවල හිමිව තිබෙන දෑ සහ රටේ පෞද්ගලික හා රාජ්‍ය අංශ ඇතුළුව විදේශ ණය හිමියන්ට ණය වී තිබෙන ප්‍රමාණය අතර වෙනසයි. (NIIP හි අගය)  ශුද්ධ ජාත්‍යන්තර ආයෝජන තත්වයේ ඍණ අගය විශාල මෙන්ම රට විදේශීය (බාහිර) වශයෙන් අවදානමට ගොදුරුවීමේ ප්‍රවණතාව වැඩිවන බවට සන් කෙරේ. මන්දයත් අනාගතයේ සිදුවන මුදලේ අගය අඩු වීමකින් එම විදේශ වගකීම්වල දේශීය පිරිවැය ඉහළ දමන බැවිනි. එම මුදලේ අගය පහත වැටීමට පිළියම් ලෙස විශාල වශයෙන් මුදල් යොදවන ලද්දේ විශේෂයෙන් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර තුළින් ඉහළ පොලියට ගන්නා විදේශ ණය ලබා ගැනීමෙනි. එයින් ඇඟවෙන්නේ එකල සිදුවූ දළ දේශීය නිෂ්පාදනයේ විස්තාරණය සමග එක්ව විදේශ ශේෂ පත්‍රයේ තත්වය නරක අතට හැරීම සිදුවූ බවයි.
 මූලික වශයෙන් වර්ධනය සිදුවී ඇත්තේ වැඩිපුර කරන ලද ආනයනයන් සහ විදේශ විනිමය ණය ප්‍රමාණය අපනයනයන් හා ඵලදායිතා ප්‍රතිලාභවලට වැඩිවීම නිසාය. අවම වශයෙන් ශ්‍රී ලංකාව ඍජු විදේශ ආයෝජන වඩාත් ඵලදායි අංශවලට ඇද ගැනීම හෝ වඩාත් සහනදායි මූල්‍ය යෙදවුම් ආකර්ෂණය කරගැනීම අවශ්‍ය වේ. මෙසේ නොවන තාක් දුරට, දීර්ඝකාලයේදී තිරසාර බව නිතරම අභියෝගයට ලක්වේ.


සර්ව සම්බන්ධතා බැඳුම්කර (MLM)  
රටක ආර්ථික කාර්ය සාධනය හෙවත් දළ දේශීය නිෂ්පාදනයේ වෙනස් වීම අනුව ණය පියවන ආකාරය වෙනස් වන බැඳුම්කර මේ නමින් හැඳින්වේ) අපේක්ෂා කළ හැකි තත්වයන් හයක් ඇසුරින් මෙම සර්ව සම්බන්ධතා බැඳුම්කර ව්‍යුහගත කර තිබේ. එම අපේක්ෂිත තත්වයන් S1 සිට S6 දක්වා වර්ග කර ඇත
 S1 සිට  S2 තත්ත්වයන්ගෙන් නියෝජනය වන්නේ ආර්ථිකය පිරිහීමට නැඹුරු වන තත්වයයි. S3 න් නියෝජනය වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපේක්ෂා කළ ප්‍රතිඵලය දැක්වෙන පාදක රේඛාවයි.
S/4 හා S/6 අතර බලාපොරොත්තු වූ වර්ධනයට වඩා ශක්තිමත් භාවයෙන් වැඩි තත්වය නියෝජනය කෙරේ.
2025 - ජූලි මාසයේ (Verite Research) වෙරිට් රිසර්ච් ආයතනයේ ණය යාවත් කාලීන වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පාදක රේඛාව අබිබවා යන බව ප්‍රක්ෂේපණය කර තිබේ. 2026 හා 2028 අතර දළ ජාතික නිෂ්පාදනය අපේක්ෂිත රේඛාවට ඉහළින් යන බවට බලාපොරොත්තු තබා ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස දළ වශයෙන් ඩොලර් බිලියන 5ක් පමණ සාර්ව සම්බන්ධතා බැඳුම්කර ණය හය වැනි වර්ගයට වැටෙන සෙයක් පෙනී යයි. එහිදී වර්තමාන ශුද්ධ අගයේ මට්ටම සියයට 39 සිට සියයට 33 දක්වා අඩුවී අනාගත බැඳුම්කර ණය ගෙවීමට ඇති බැඳියාවේ අගය ඉහළ නැංවේ. එම නිසා මුලින් බලාපොරොත්තු තැබූ ආකාරයට ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලසුමේ කපා හැරෙන ණය ප්‍රමාණය හෙවත් ‘‘හෙයාර් කට්’’ එක තවත් අඩුවේ.
මාධ්‍යවලින් ‘‘හෙයාර්කට්’’ ගැන කීවද ශ්‍රී ලංකාව ප්‍රමාණවත් ණය කපා හැරීමක් ලැබුවේ නැත. ඒ වෙනුවට ගෙවීම්, කල්පිරීම්, කල් දැමීම් තුළින් වාරිකවලට වෙන් කළා මිස මුලුමනින්ම නිෂේධ කිරීමක් සිදු නොවීය. දැනටමත් එකතු වී තිබෙන පොලී, මුළු මුදලම එක් කිරීම හෝ මැනිලා බැඳුම්කර (වඩාත් සරල බැඳුම්කර) බවට පරිවර්තනය කෙරිණි. ඒ ආකාරයට ශ්‍රී ලංකාව දිනාගත්තේ තද බල ණය සහන ක්‍රමයකට වඩා ණය නැවත හැඩගැස්වීමකි.
වෙරිටේ (Verite) සඳහන් කරනුයේ ‘‘ශ්‍රී ලංකාවේ ස්වෛරී බැඳුම්කර වැඩපිළිවෙළට ණය ගෙවීම් අත්හිටවූ, 2022 අප්‍රේල් සිට අවසාන හුවමාරු දිනය වූ 2024 දෙසැම්බර් දක්වා දින 983ක දීර්ඝ කාලයක් ගෙවුණු බවයි. එය මෑත දශකයේ එවැනි සිදුවීම් 17කින් ඉතිහාසගතවූ දීර්ඝතම කාලයයි’’ යනුවෙනි. වඩාත් දීර්ඝ කාලපරිච්ඡේදයක් අත්විඳ ඇත්තේ සැමිබියාව හා මොසැම්බික් රාජ්‍යය පමණකි. එම කාලපරිච්ඡේදය තුළ ශ්‍රී ලංකාවේ බැඳුම්කරවලට අමතරව ඇමරිකානු ඩොලර් 1.9ක පොලියක් අලුතෙන් එකතු විය. ශ්‍රී ලංකාවේ විවිධ ණය හිමි පදනම සහ G 20 පොදු සැලසුමට දායකවීමට සුදුසුකම් නොමැති තත්වය තුළ එසේ දිග්ගැස්සීම බොහෝ සෙයින් බලාපොරොත්තු වූ කාරණයකි. එම නිසා බහු පාර්ශවික ආයතන, පැරිස් ක්ලබ් (සහ පැරිස් නොවන වෙනස් සමූහ) වැනි ද්විපාර්ශවික ණය සැපයුම්කරුවන්, ස්වාධීන බැඳුම්කර හිමියන් සහ විශාල දේශීය ආයතනික ආයෝජකයන් සමග එක විට සමාන්තරව සාකච්ඡා පැවැත්වීමේ අවශ්‍යතාවය මතුවිය.
2024 දී බෘවර් සහ අනෙක් අය නිරීක්ෂණය කළ ආකාරයට ආණ්ඩුව අනුගමනය කළේ විවිධ සාකච්ඡා මාර්ගයන්ය. එහිදී නිල ණය හිමියන්, වාණිජ ණය හිමියන් සහ දේශීය ණය වෙනුවෙන් ඒකාබද්ධ ප්‍රවේශයකින් සාකච්ඡා කරනු වෙනුවට වෙන වෙනම සාකච්ඡා පැවැත්විණි. මේ නිසා නිර්මාණය වූයේ එකිනෙකා අනුකරණය කරමින් කළ මන්දගාමී සම්මුතීන්ය. අලුත්ම උපායමාර්ගයක් හඳුන්වා දුන් බවට තර්ක කරමින් නිලධාරීහු එම ක්‍රියාදාමය ආරක්ෂා කරමින් කතා කළහ. විශේෂයෙන් රාජ්‍ය අස්ථාවර සාර්ව සබඳතා බැඳුම්කර සහ දේශීය ණය ප්‍රතිසංස්කරණය වෙනම කිරීමට, මෙම බහු විධ ක්‍රියාමාර්ගය සැලසුම් අවශ්‍ය වූයේය. එකට බැඳුණු කල්පිරීම්, ස්වෛරී බැඳුම්කරවල පමණට වඩා නිරාවරණය වීම් ප්‍රතිව්‍යුහගතකරණය පමාකරනු ලැබ, ණය හිමි සම්මුතිය සංකීර්ණත්වයට පත්ව සියලු කාරණා ප්‍රශස්ථ මට්ටමින් සිදු නොවී, විවිධ පරිපාලනයන් පුරා විහිදී ගිය අවධිමත් කළමනාකරණ උපායමාර්ගයක් බවට පත්විය. 
යුරෝපීය මධ්‍යම බැංකුව විසින් එවැනි බැඳුම්කර ණය ප්‍රතිව්‍යුහගතකරණයන් 180කට වඩා ආවරණය වන පරිදි කළ අධ්‍යයනයකට අනුව 1978-2015 අතරතුර එවැනි අවස්ථාවල වර්තමාන ශුද්ධ අගය අඩු කිරීම සාමාන්‍යයෙන් සියයට 37ක් විය. ඒ හා සසඳා බැලූ විට ශ්‍රී ලංකාව ලබා ඇත්තේ ඓතිහාසික සාමාන්‍යයට වඩා අඩු ණය සහනයකි.
නැවත ලෝක බැංකු වාර්තා වෙත අවධානය යොමු කරන විට ණය ගෙවීම් ගැන අවධාරණය කර ඇති සටහන වැදගත්ය.
‘‘වියදම් දැරීමේදී විශාල කොටසක් පොලී ගෙවීම සඳහා වැය වෙන බැවින් මානව හා භෞතික ප්‍රාග්ධන යෙදවුම් උදෙසා ඵලදායි ආයෝජන සිදු කිරීමට ඇත්තේ අඩු අවකාශයකි.
ඇතැම් ඇස්තමේන්තුවලට අනුව රාජ්‍ය ආදායමෙන් සියයට 40කට වඩා ශ්‍රී ලංකාව වැය කරනු ඇත්තේ ණය ගෙවීම්වලටයි. එය අපගේ සමූහයේ රටවල් අතර ඉහළම අනුපාතය වේ. පොලී ගෙවීම් උදෙසා ඉහළ වියදමක් දරන්නට වන නිසාත්, රාජ්‍ය බදු ආදායම් ප්‍රමාණවත් නොවීම නිසාත් රටේ වර්ධනය සීමා වේ. ලෝක බැංකු සඳහන් කරන අන්දමට 2023 වසරේදී ප්‍රාග්ධන වියදම්, දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 3.4ක් තරම් පහත වැටී ඇත. එයින් ප්‍රාග්ධන ඒකරාශි කරණය අහිතකර ඵලයක් ඇති කොට අනාගත ආර්ථික වර්ධනය මොට කරනු ලබයි.
මෙය තීරණාත්මක කාරණයක් බවට පත්වේ. රට වර්ධනය වීම අවශ්‍ය වන අතර, ආර්ථිකය වර්ධනය වීම සඳහා ඵලදායි අංශවල ආයෝජන සිදු විය යුතුවේ. තිරසාර වර්ධනයක් උදෙසා විශේෂයෙන් යටිතල පහසුකම් උදෙසා සහ මානව ප්‍රාග්ධනය උදෙසා රාජ්‍ය වියදම් දැරීම අනිවාර්යයෙන් කළ යුත්තකි.
ශ්‍රී ලංකාවේ මූල්‍ය වියදම් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් ගත් විට විශාල නොවන බවට ලෝක බැංකුව පැහැදිලිව කියයි. 2023 මධ්‍යම ආණ්ඩුවේ සමස්ත වැය ශ්‍රී ලංකා රුපියල් ට්‍රිලියන 5.7ක් වූ අතර, එය ද.ජා. නිෂ්පාදිතයෙන් සියයට 20.6කි. රාජ්‍ය වියදම් 2017 - 2021 කාලයේ සාපේක්ෂ වශයෙන් සියයට 19.5ක ස්ථාවර මට්ටමේ පැවතිණි. රටේ ආර්ථික වර්ධන මට්ටම සහ දකුණු ආසියා කලාපයේ අනෙක් රටවල් හා සැසඳූ විට මෙය විශාල ප්‍රමාණයක් නොවේ.
2025 අයවැයෙන් රජය ප්‍රාග්ධන වියදම් උදෙසා වාර්තාගත රුපියල් ට්‍රිලියන 1.3ක් වෙන් කර තිබේ. වාර්තාවලින් පැවසෙන්නේ ජූලි අග වන විට එයින් සියයට තිහක්වත් මුළුමනින් වියදම් කර නැති බවකි. එයින් පෙන්නුම් කෙරෙන්නේ කාර්ය සම්පාදනයේ සෑහෙන තරම් ප්‍රමාදයකි. ශ්‍රී ලංකාවේ ආණ්ඩු නිතරම විශාල ප්‍රාග්ධන වැඩසටහන් සඳහා වැය වෙන් කරන මුත් ඒවා මුළුමනින්ම නිමා නොකරන ලද බව ඉතිහාසය පෙන්වා දෙයි. 2026 අයවැය නිවේදනය කරනා විටත් විශාල මූල්‍ය වෙන් කිරීම් සිදු කිරීමේ ලක්ෂණ පෙන්නුම් කරන බව පෙනී ගියත්, ඒ සෑහෙන පමණින් ආදායම් ඉහළ නොගියහොත් රටේ මූල්‍ය අවකාශය සීමා වනුයේ ණය ගෙවීම් සහ අනෙකුත් බැඳියාවන් අඛණ්ඩව ඉහළ යන බැවිනි. 
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන් යටතේ වූ සංචිත ඉලක්ක කරා යන නිසි මාර්ගයට ශ්‍රී ලංකාව අවතීර්ණ වී ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙන්ම ස්වාධීන විශ්ලේශකයෝද පවසති. 2024 නොවැම්බර් සහ 2025 දෙසැම්බර් අතර ශ්‍රී ලංකා මහ බැංකුව විදේශ විනිමය ඩොලර් බිලියන 2.65 මිලදී ගැනීමට යොමුවී තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තාවට අනුව 2025 සැප්තැම්බර් වන විට ඩොලර් බිලියන 1.9ක් ඒකරාශි කරගෙන ඇත. වර්තමානයේ පවතින ඩොලර් බිලියන 5ක් වූ දළ නිල විදේශ සංචිත සමග 2027 වන විට එය ඩොලර් බිලියන 14 දක්වා යා හැකි වන්නේ, වැඩි වන විදේශ ප්‍රේෂණ හා සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම් ණය ගෙවීමේ සහන මධ්‍යයේ ලැබෙන නිසාය.
කෙසේ වුවද මෙම සංචිත ඒකරාශිකරණයේදී යම් කැප කිරීම් කරන්නට සිදුවේ. දේශීය වෙළෙඳපොළ තුළට අඛණ්ඩව ද්‍රවශීලතා ගලා යන විට රුපියලේ අගය කෙරේ නැවත පීඩනය එල්ල වේ. එවිට මූල්‍ය දුර්වලතා හා උද්ධමන ආතතිය වෙත නැවත ආර්ථිකය තල්ලු වී යයි. දේශීය වශයෙන් ජනයා පීඩාවට පත්වීම නිතරම දේශපාලන අස්ථාවරභාවය බවට පරිවර්තනය වන මුත්, මෙම වැඩසටහන සැලසුම් කොට ඇත්තේ, දේශීය සදාචාරාත්මක භාවයේ පැවැත්ම මත ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර මූල්‍ය විශ්වාසවන්තභාවය රැඳෙන ආකාරයටය.
මෙය සෑම පාලනයක් විසින්ම කළමනාකරණය කර ගත යුතු තුළිත කිරීමේ කාර්යයකි.
ජාතික ජනබලවේග ආණ්ඩුවට උරුම වූයේ ප්‍රතිව්‍යුහගතකරණය විසින් නිර්මාණය කරනු ලැබූ සාපේක්ෂ වශයෙන් ස්ථාවර කාලපරිච්ඡේදයකි. එය බාහිර බලවේගවලින් තාවකාලිකව ලැබූ සහනයකි. එහෙත් මුළුමනින් නැවත ණය ගෙවීම් පටන් ගත් විට, නැවත බැඳුම්කර වෙළෙඳපොළට අවතීර්ණ වූ විට එම පීඩනය යළි මතු වනු ඇත. මෙය ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසයේ වඩාත්ම තීරණාත්මක කාලපරිච්ඡේදය ලෙස බොහෝ නිරීක්ෂකයන් දකින්නේ මේ නිසාය. ප්‍රතිව්‍යුහගතකරණය ඔස්සේ 2026 අයවැයෙන් පාදාදෙන මූල්‍ය අවකාශය හා ප්‍රාථමික ගිණුමේ අතිරික්තය විසින් රටේ ජනතාවගේ අනාගත ආර්ථිකය තීරණය වනු ඇත.

 



අදහස් (0)

මෙවර අයවැය ආර්ථිකයට කෙසේ බලපාවිද ?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 91 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2026 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1564 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site