
2022 වසරේ අත්දකින ලද ආර්ථික අර්බුදයෙන් පසු වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ, කෙටිකාලීනව සමාජයට මහත් පිරිවැයක් ඇති කළත්, ආර්ථිකය තුළ යම් සාර්ව ආර්ථික, රාජ්‍ය මූල්‍ය සහ මූල්‍ය අංශයේ ස්ථායීතාවක් ඇති කිරීමට හැකියාව ලැබිණි. එය රට ලද මහත් ජයග්‍රහණයකි. අර්බුදය හමුවේ කෙටිකාලීනව ඉතා වේදනාකාරී තීන්දු තීරණ ගැනීමට සිදු වූ විය. එවැනි තීරණ දේශපාලනීක වශයෙන් ජනප්‍රිය නොවුණත්, එමගින් ආර්ථිකය ඉක්මනින් යථාවත් කිරීමට හැකි විය.
විවිධ පාර්ශ්ව එවැනි තීන්දු තීරණ විවේචනය කළද, එම ආර්ථික ප්‍රතිපත්තියම තවදුරටත් ක්‍රියාත්මක වීමෙන් කියවෙන්නේ අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ක්‍රියාවට නංවනු ලැබූ ප්‍රතිපත්තිමය ප්‍රවේශය හැර ඒ වනවිට වෙනත් විකල්පයක් නොමැති වූ බවයි. අද වනවිට ආර්ථිකය මුහුණ දෙන අභියෝග තවදුටත් තීව්‍ර වී ඇති බවක් පෙනෙන්නට තිබේ. මෙම ලිපියේ ප්‍රධානතම අරමුණ වන්නේ මෙරට ආර්ථිකය දැනට මුහුණ දී ඇති ප්‍රධානතම අභියෝග තුනක් පිළිබඳව කෙටියෙන් අවධානය යොමු කිරීම සහ එම අභියෝග ජය ගැනීමට කුමක් කළ යුතුද යන්න පිළිබඳව අවධානය යොමු කිරීමය.
රාජ්‍ය ආදායම ඉහළනැංවීම නිසා පහසු වූ ආපදා සහන
සත්‍ය වශයෙන්ම 2022 දී මුහුණදුන් අර්බුදයෙන් ගොඩඒම සඳහා ගනු ලැබූ තීන්දු තීරණ ආර්ථිකය අර්බුදයෙන් පසු යම් ආර්ථිකය ස්ථායීතාවක් අත්කර දීමට මෙන්ම දිට්වා සුළිකුණාටු හේතුවෙන් ආපදාවට ලක්වූවන්ට සහන දීමට අවශ්‍ය රාජ්‍ය මූල්‍ය හැකියාව ද ලබා දී ඇති බවක් ද පෙනේ. රජයේ බදු ආදායම ඉතා කෙටි කලක් තුළ දළ දේශීය නිමවුමේ ප්‍රතිශතයක් ලෙස සියයට 7.5 (2022) සිට සියයට 14 (2025) දක්වා ඉහළනංවා ගැනීමට හැකියාව ලද්දේ අන් කිසිවක් නිසා නොව 2023/24 වර්ෂවල බදු ආදායම වැඩි කිරීමට පියවර ගැනීම හේතුවෙනි. යම් හෙයකින් දිට්වා ආපදාවට ලක්වන අවස්ථාවේ දී රජයේ ආදායම පහළ මට්ටමක පැවතියේ නම් සහ රාජ්‍ය මූල්‍ය සංචිතයක් (Fiscal buffer) නොපැවතියේ නම් රටක් ලෙස අප ඉතා අසරණ තත්වයකට ඇද වැටීමට හැකියාව තිබිණි.
2024 වසර මුල් භාගයේ සිට රාජ්‍ය මූල්‍ය ඉතිරියක් පවත්වාගෙන යාමට කටයුතු කළ අතර එවැන්නක් වත්මන් ආපදාව වැනි හදිසි කම්පන නිසා රාජ්‍ය මූල්‍යයට ඇති කරනු ලබන අහිතකර තත්වය වළක්වාලීමට ඇති කරන ලද්දක් විය. ඒ අනුව, එදා බදු ආදායම ඉහළනංවා ගැනීමට කටයුතු කිරීම අර්බුද දෙකකින්, අවම වශයෙන් කෙටි කාලීනව, මෙරට ආර්ථිකය රැකගැනීමට හැකියාව ලැබී ඇති බවක් පෙනේ. පසුගියදා රු. බිලයන 70ක මුදලක් ආපදාවෙන් බලපෑමට ලක් වූ පුද්ගලයන්ට ලබාදීම සඳහා වෙන් කළ අතර, ඊට අමතරව බලපෑමට ලක් වූ ව්‍යාපාර සඳහා අඩු පොලී පහසුකම් යටතේ ණය පහසුකම් ලබාදීමට යෝජනා වී ඇත. එමෙන්ම තවත් රු. බිලියන 100 පරිපූරක ඇස්තමේන්තුවක් මගින් හානියට පත්වූ සහ විනාශ වූ සමාජ, ආර්ථික යටිතල පහසුකම් ගොඩනැංවීම සඳහා යෙදවීමට අපේක්ෂා කරන බව සඳහන් වේ. මෙවන් පහසුකම් ලබාදීමට හැකියාව ලැබී ඇත්තේ 2023/24 කාලය තුළ රජයේ බදු ආදායම ඉහළ නංවා ගැනීමට දරන ලද ප්‍රයත්නයේ සාර්ථකත්වය නිසාය.
ආර්ථිකය මුහුණදෙන අභියෝග
දිට්වා ආපදාව මෙරට ආර්ථිකයට දැවන්ත පිරිවැයක් එක්කර ඇති බව පෙනේ. තවමත් නිල වශයෙන් අදාළ ඇස්තමේන්තු ඉදිරිපත්ව නැතත්, රජයේ දළ තක්සේරුවට අනුව, ආපදාව හේතුවෙන් සමස්ත ආර්ථිකයට ඇ. ඩොලර් බිලියන 6-7ක අලාභයක් සිදුව ඇති බව පසුගියදා ප්‍රකාශ කරන ලදී. කෙසේ වෙතත් මා විසින් කරනු ලැබු දළ ඇස්තමේන්තුවට අනුව එම අලාභය ඇ. ඩොලර් 1.5-2 ත් (රු. බිලියන 450-600ත්) අතර එකක් වෙතැයි අපේක්ෂා කළ හැකිය. දැනට මෙරට ආර්ථික ප්‍රතිපත්තිකරණය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම්ගතව ඇති වැඩසටහනේ ඉලක්ක සපුරා ගැනීම ප්‍රමුඛ කරගනිමින් මෙහෙයවන අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන් අවසාන අදියරයට පැමිණ තිබේ. ණය ප්‍රතිව්‍යුහගතකරණයට අනුව 2028 සිට ණය ආපසු ගෙවීම ආරම්භ කළ යුතුය. ඒ අනුව බලන කළ එක් පැත්තකින් ආපදාවෙන් විනාශ වූ සමාජ, ආර්ථික යටිතල පහසුකම් මෙන්ම නිෂ්පාදන කටයුතු කඩිනමින් යළි නගාසිටුවිය යුතුව ඇත. අනෙක් පැත්තෙන් එම තත්වයට මැදිහත්වීම සඳහා යොදාගත හැකි ප්‍රතිපත්ති උපකරණ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන හේතුවෙන් නිදහසේ භාවිත කිරීමට හැකියාවක් නොමැත. වෙනත් වචනවලින් පවසතොත්, එම ප්‍රතිපත්ති උපකරණ භාවිතය එකඟ වී ඇති ඉලක්ක ළඟාකර ගැනීමට හැකිවන පරිදි සිදුකළ යුතුය. අනෙක් පැත්තෙන් 2028 සිට ණය ගෙවීමට හැකියාව ලබාගැනීමට මෙන්ම ආර්ථික අර්බුදය සහ ආපදාව හේතුවෙන් බිඳවැටී ඇති ජන ජීවිතය යථාතත්වයට පත් කිරීම සඳහා ආර්ථික කාර්ය සාධනය කඩිනමින් යථාවත් කළ යුතුව ඇත. මෙරට ආර්ථිකය වර්තමානයේ දී මුහුණ පා ඇති තත්වය පහත කවියෙන් මනාව කැටිකර දැක්විය හැකි වේ.
වනේ ගිජිඳාය දුටුවොත් වනසාය - ළිඳේ පනිදාය වැටුණොත් ඌ කාය
අතකින් කරවැලකි අතකින් දඬු බෑය - මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑය
මෙහි එන මරණ තුන මොනවාද? එනම්, විදේශ ණය ආපසු ගෙවීමට අදාළව ඇති අභියෝගය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම්ගතව ඇති වැඩසටහන තුල ඇති ඉලක්ක සපුරා ගැනීමේ අභියෝගය සහ ආපදාව නිසා බිඳවැටී ඇති සමාජ, ආර්ථික, යටිතල පහසුකම්, ආර්ථික ක්‍රියාකාරකම් සහ ජන ජීවිතය යථාවත් කිරීමේ අභියෝග වේ.
වනේ ගිජීඳාය දුටුවොත් වනසාය - විදේශ ණය ගෙවීම 2028 ආරම්භ කළ යුතුව ඇත
මෙරට ආර්ථිකය හමුවේ ඇති එක් ප්‍රධානතම අභියෝගයක් වන්නේ 2028 සිට යළි විදේශ ණය ආපසු ගෙවීමට හැකියාව ඇති කර ගැනීම වේ. මෙහිදී විශේෂයෙන්ම වැදගත් වන්නේ ආර්ථික කටයුතුවලට බලපෑමක් නොවන අයුරින් එම ගෙවීම් සිදුකිරීම වේ. ණය ගෙවීමට හැකියාව ඇති කරගැනීම සඳහා ආර්ථිකය තුළ යම් යම් සීමා පැනවීමක් සිදු නොවිය යුතු අතර, සාමාන්‍ය පරිදි එය කළ හැකි වාතාවරණයක් ඇති කරගත යුතුව ඇත. 2025 සැප්තම්බර් අවසානය වනවිට ශ්‍රී ලංකාවේ මුළු විදේශ ණය ප්‍රමාණය ඇ. ඩොලර් බිලියන 37.238ක් වූ අතර එම ප්‍රමාණය එම වසරේම ජුනි මසට වඩා ඇ. ඩොලර් මිලියන 100 කින් ඉහළ අගයක් විය. මුළු විදේශ ණය වලින් සියයට 37 ක් බහු පාර්ශ්වික (ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි) ණය වන අතර සියයට 34ක් වාණිජ (ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර වැනි), ඉතිරිය ද්විපාර්ශ්වික (චීනය, ජපානය, ඉන්දියාව වැනි) ණය වේ.
2027 දක්වා වූ කාලයට අදාළව ලංකාව වාර්ෂිකව ගෙවිය යුතු විදේශ ණය ප්‍රමාණය ඇ. ඩොලර් බිලියන 2.75ක සාමාන්‍යයක් වන අතර එම ප්‍රමාණය ඉන්පසුව වසරවලදී ඇ. ඩොලර් බිලියන 3.25-3.5 ක සාමාන්‍යයක් දක්වා ඉහළ යයි. මෙම අගයෙන් පැවසෙන්නේ දැනට ලබාගෙන ඇති ණයවලට අදාළව වන අතර ඉදිරියේ දී ලබාගනු ලබන විදේශ ණය යටතේ මෙම අගය තවදුරටත් ඉහළ යනු ඇත. විශේෂයෙන්ම, ආපදා තත්වය හේතුවෙන් විනාශ වූ සහ හානියට පත් වූ සමාජ, ආර්ථික, යටිතල පහසුකම් යළි ගොඩනැංවීමට මෙන්ම ඉදිරි ආපදා තත්ව යටතේ ඇති වන හානි අවම කිරීමට ද විදේශ ණය ලබාගැනීමට රජයට සිදුවනු ඇත. එමෙන්ම අනෙකුත් සංවර්ධන ව්‍යාපෘති සඳහා ද විදේශ ණය ලබාගැනීමේ අවශ්‍යතාවක් පවතී. රජය මෑතකදී ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව සමග ණය යෝජනාක්‍රම කීපයකට එකඟ වූ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ද හදිසි මූල්‍ය පහසුම් යටතේ අමතර ඇ. ඩොලර් මිලියන 200ක ණය පහසුකමක් ඉල්ලා ඇත. ඒ අනුව ගත් කළ 2028 සිට ආපසු ණය ගෙවීම අභියෝගයක්ව පවතින බව බැහැර කළ නොහැක.
විශේෂයෙන්ම අපනයන ප්‍රවර්ධනයක් මත පදනම් වූ ආර්ථික වර්ධනයක් ළඟාකර ගැනීමට අපොහොසත් වුවහොත් විදේශ ණය ගෙවා දැමීමට සිදුවන්නේ විවිධ වූ අපහසුකම් මධ්‍යයේ බව සිහිපත් කළ යුතුව ඇත. එමෙන්ම, සංචාරක කර්මාන්තයේ සහ විදේශගත ශ්‍රමිකයන්ගේ විදේශ විනිමය ලැබීම් මත දැඩි රැදියාවක් පැවතීම යෝග්‍ය නොවන බව ආපදාව මගින් නැවතත් අපට සිහිපත් කර ඇත. විදේශ ණය ගෙවීම් අපහසුතා මැද්දේ සිදු කරන්නේ නම් හෝ යළිත් වරක් ණය පැහැර හැරීමකට ගමන් කළහොත් එවැන්නක් ආර්ථිකයේ ඉදිරි ගමනට දැඩි බලපෑමක් විය හැකිය. විදේශ ණය ගෙවීම පැහැර හැරීමක් නැවත වරක් සිදු වුවහොත් ලංකේය ආර්ථිකයට අත්වන ඉරණම හරියට කැළය මැද දී තනි අලියකු මුණගැසුණු අසරණ මිනිසා අත්දුටු භයන්කාර තත්වයකට ආර්ථිකය ඇද දමනු නිසැකය.
ළිඳේ පනිදාය වැටුණොත් ඌ කාය: දුර්වල වූ ආර්ථිකය සහ ජන ජීවිතය
ආර්ථික අර්බුදය සහ කෙටි කාලීනව ආර්ථික ස්ථායීතාව ඇති කිරීම සඳහා ගනු ලැබූ ක්‍රියාමාර්ග හේතුවෙන් පහළ ආදායම් ලබමින් සිටි පිරිස් පමණක් නොව මැදි ආදායම් කාණ්ඩයේ පිරිස් ද දැඩි ආර්ථික අපහසුතාවලට ලක් වූහ. ලෝක බැංකු අධ්‍යයනවලට අනුව මෙරට දුප්පත්කම සියයට 25 ආසන්න මට්ටමකට ළඟා වී ඇත. එනම් සෑම පුද්ගලයන් සිව් දෙනකුටම එක් අයෙක් දුප්පතෙකු වේ. තවත් සියයට 10 ක් පමණ ඇති විය හැකි කම්පනයක් හේතුවෙන් දුප්පත් වීමේ ඉහළ සම්භාවිතාවක් පවතින බව කියවේ. එමෙන්ම, ආර්ථික අර්බුදය හේතුවෙන් සැලකිය යුතු සුළු සහ මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ ව්‍යාපාර බිඳවැටුණු අතර, තවත් පිරිසක් දැඩි අපහසුතා මැද්දේ ආර්ථිකය තුළ කටයුතු කරමින් සිටිති. දිට්වා ආපදාව නිසා ඉහත තත්ව තවදුරටත් උග්‍ර අතට පත්කර ඇත. ආපදාව නිසා පවුල් ලක්ෂ 5ක පමණ පුද්ගලයන් මිලියන 1.7කට බලපෑම් එල්ල කර ඇති අතර, නිවාස 5,000කට වඩා පූර්ණ වශයෙන් හානි වී ඇත. අර්ධ වශයෙන් හානි වූ නිවාස ගණන ලක්ෂය ඉක්මවන අතර පුද්ලයන් 600කට වඩා මිය ගොස් තවත් 200 වඩා වැඩි පිරිසක් තවමත් අතුරුදන්ව සිටිති.
කෘෂිකාර්මික, කර්මාන්ත සහ සේවා අංශයේ සෘජු සහ වක්‍ර රැකියා කරනු ලබන සැලකිය යුතු පිරිසකට ආපදාව නිසා දුෂ්කරතාවලට මුහුණ පෑමට සිදුව ඇත. සමාජීය, ආර්ථික, යටිතල පහසුකම්වලට එල්ල වී ඇති හානිය අති විශාල වේ. දුප්පත්කම සහ විරැකියාව පහත හෙළීම ඉක්මනින් කළ යුතු අතර ආර්ථික අර්බුදය සහ ආපදාව නිසා බලපෑමට ලක්ව ඇති ආර්ථික කටයුතු මෙන්ම ආපදාව හේතුවෙන් විනාශ වූ සහ හානියට පත්ව ඇති සමාජ, ආර්ථික, යටිතල පහසුකම් ගොඩනැංවීම ඉක්මනින් කළ යුතුව ඇත. එසේම, ඉදිරි ආපදා නිසා ඇති විය හැකි හානි අවම කිරීම සඳහා ද වියදම් දැරිය යුතුය. ඒ අනුව, 2026 වසරේ සිට ඉදිරි වසර 2-3 තුළ ආර්ථිකය යළි ගොඩනැංවීම සඳහා ඩොලර් බිලියන 10ක පමණ මුදලක් අවශ්‍ය වන අතර, ඉන් හරි අඩකට ආසන්න ප්‍රමාණයක් 2026 වසර තුළ දැරිය යුතු වේ. ආර්ථිකය සහ ජන ජීවිතය යළි ගොඩනැංවීමට අවශ්‍ය වන අරමුදල් සපයා ගැනීමට පවතින මූලාශ්‍ර ඉතා සීමිත වේ. විශේෂයෙන්ම ආර්ථික අර්බුදය හේතුවෙන් තවමත් ලංකාව ණය ශ්‍රේණිගත කිරීම්වල පහළ මට්ටමක සිටින අතර ඒ නිසා ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳ පොළෙන් ණය ලබාගැනීමට ඇති ඉඩකඩ සීමිත වේ.
එමෙන්ම ද්විපාර්ශ්වික මූලාශ්‍ර ඔස්සේ ණය/අධාර ලබාගැනීම දුෂ්කර වේ. ඊට බලපා ඇති ප්‍රධානතම සාධකය වන්නේ ණය හිමියන් තවමත් ලාංකීය ආර්ථිකය ණය ලබා සංවර්ධන ව්‍යාපෘතිය දියත් කළ හැකි මට්ටමේ නොපවතින බව විශ්වාස කිරීමයි. එනමුත් ආර්ථිකය සහ ජන ජීවිතය නගාසිටුවීම කල්ගත වත්ම රට තුළ සමාජ, දේශපාලන අස්ථාවරත්වයක් නිර්මාණය වීමට ඇති ඉඩකඩ ඉහළය. මේ නිසා මෙම අභියෝගය ඉතා තීරණාත්මක වූ එකකි. විශේෂයෙන්ම, නව රැකියා අවස්ථා නිර්මාණය නොවන තත්වයක් තුළ තරුණ අසහනය ඇතිවීමට ඇති ඉඩකඩ ඉහළ වේ. එසේම, ආර්ථිකය ඉක්මනින් යථාවත් කිරීමකින් තොරව ණය ආපසු ගෙවීමේ හැකියාව ළඟාකර ගැනීම දුෂ්කර වනු ඇත. එම තත්වය තනි අලියා මගහැර ළිඳට පැනීමට තැත්කළ අසරණ මිනිසා අත්දකින තත්වය වැනිය. ආර්ථික අර්බුදය සහ ආපදාව නිසා අසරණව සිටින ජනයා සහ ව්‍යාපාරිකයන් රජය ඉක්මනින් තමන්ගේ ජන ජීවිතය/ ආර්ථිකය යළිනගා සිටුවනු ඇතැයි අපේක්ෂාවෙන් සිටීමක් බඳුය.
අතකින් කරවැලකි අතකින් දඬු බෑය: ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉලක්ක සපුරා ගැනීම
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග දැනට පවත්නා වැඩසටහනේ ඉලක්ක සපුරා ගැනීමට කටයුතු කළ යුතුව ඇත. ඒ යටතේ රජය විසින් ප්‍රථමික ගිණුමේ ධන ශේෂයක් (ද.දේ.නි. සියයට2.5) පවත්වා ගෙන යා යුතු අතර, රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතට අනුව රජයේ ප්‍රථමික වියදම් ද.දේ.නි සියයට13 නොඉක්මවිය යුතුය. එමෙන්ම, රජයේ විදේශ ණය සේවාකරණය ද.දේ.නි. සියයට 4.5ක මට්ටමේ පවත්වාගෙන යා යුතු අතර, ණය බර 2032 වනවිට ද.දේ.නි. සියයට95ක මට්ටම ළඟාකර ගත යුතුව ඇත. ආයෝජන දිරිමත් කිරීම සඳහා හෝ ආපදාව නිසා බලපෑමට ලක්වූ ව්‍යාපාර සඳහා බදු සහන ලබාදිය නොහැකි වේ. ඉහත කොන්දේසිවලට අමතරව තවත් ඉලක්ක කීපයක් සපුරා ගැනීමට රජය කටයුතු කළ යුතුය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන යටතේ ආර්ථික ස්ථායීකරණයක් ළඟාකර ගැනීමට හැකි වූ අතර එම වැඩසටහන සාර්ථකව ඉදිරියට ක්‍රියාත්මකවීම ණය හිමියන්ගේ සහ අයෝජකයන්ගේ විශ්වාසය ආරක්ෂා කර ගැනීමට මෙන්ම ඉදිරියේදී ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳපොළට යළි ඇතුල්වීම සඳහා අතිශය වැදගත් වන්නකි.
විශේෂයෙන්ම ණය ග්‍රේණිගත කිරීම්වලදී යහපත් ග්‍රේණියක් ලබාගැනීම පහළ පොලී අනුපාත යටතේ ණය ලබාගැනීමට අත්‍යවශ්‍ය වූවක් වේ. ළිඳට වැටීමෙන් මිදීමට වැලක එල්ලී සිටින මිනිසාට කරවලා සමග අල්ලාගෙන සිටින වැල අත්හැරීමට නොහැකි සේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟවී ඇති ගිවිසුම සමග ඉදිරියටත් කටයුතු කළ යුතුව ඇත. එසේ නොවුණහොත් ලාංකේය ආර්ථිකයට අත්වන්නේ ඛේදජනක ඉරණමකි. මෙවර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවේ සහායට පැමිණියේ දැඩි කොන්දේසි මත වන අතර, යම් හෙයකින් දැනට එකඟව ඇති රාමුවට පිටතින් ලංකාව කටයුතු කිරීමට උත්සාහ කළහොත් ඉදිරියේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දෙසි තවදුරටත් තීව්‍ර කරනු නිසැකය.
මරණ තුනක් මැද දිවිගෙවන ආර්ථිකය
2028 සිට ණය ආපසු ගෙවීම සහතික කිරීම සඳහා අපනයන ප්‍රවර්ධනය ප්‍රමුඛ කරගත් තිරසර ඉහළ ආර්ථික වර්ධනයක් අත්කර ගත යුතුව ඇත. ණය ආපසු ගෙවීම තිරසරව කිරීමට නොහැකි වුවහොත් ආර්ථිකය යළිත් වරක් අර්බුදයට යනු ඇත. එසේම, දුප්පත්කම පහත හෙළීම සහ පලදායී රැකියා ඇති කිරීමට ද ඉහළ ආර්ථීක වර්ධනයක් අත්කර ගැනීම අත්‍යවශ්‍යව පවතී. ඒ සඳහා ආර්ථික ප්‍රතිසංස්කරණ මෙන්ම ආපදාව නිසා විනාශ වූ/ හානි වූ සමාජ, ආර්ථික යටිතල පහසුකම් මෙන්ම ආර්ථික කටයුතු ද ප්‍රවර්ධනය කළ යුතුව ඇත. බිඳවැටී ඇති ආර්ථිකය සහ ජන ජීවිතය නගාසිටුවීමට ඉහළ ආයෝජනයක් ආර්ථිකය තුළ ඇති කළ යුතුවේ. විශේෂයෙන්ම ණය ආපසු ගෙවීම සහතික කිරීම සඳහා බිඳවැටී ඇති ආර්ථිකය ගොඩනැංවීම කළ යුතුම කටයුත්තකි.
එහෙත් ආර්ථිකයට අවශ්‍ය වන්නා වූ අයෝජන කිරීමට රජයට ඇති අවකාශය ඉතා පටුවේ. එක් පැත්තකින් විදේශ ණය/ අධාර ලබාගැනීම දුෂ්කර කටයුත්තක් වන අතරම අනෙක් පැත්තෙන් අයවැය හිඟය පුළුල් කරමින් රාජ්‍ය ආයෝජන ඉහළනැංවීම කළ නොහැකි වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම්ගතව ඇති වැඩසටහන යටතේ සපුරාගත යුතු ඉලක්ක පැවතීම නිසාය. ආපදාවේ බලපෑමට ලක්ව ඇති ව්‍යාපරවලට මෙන්ම නව ආයෝජන දිරිමත් කිරීමට ද බදු සහන ලබාදීමක් කළ නොහැක. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට එරෙහිව ගමන් කිරීමේ හැකියාවක් නොමැති අතර, එවැනි ගමන් කිරීමක් ණය හිමියන් මෙන්ම ජාත්‍යන්තර ආයෝජකයන්ට ද ලබා දෙන්නේ යහපත් පණිවිඩයක් නොවේ. එසේම බිඳවැටී ඇති ආර්ථිකය සහ ජන ජීවිතය ඉක්මනින් නගාසිටුවීමට කටයුතු නොකළහොත් රජයට දේශපාලනික වශයෙන් මහත් අපහසුතාවලට පත්වීමට සිදුවන අතර, ඒ නිසා සමාජ අසහනය මෙන්ම දේශපාලන අස්ථාවරත්වය ඇතිවීමට වැඩි ඉඩකඩක් පවතී.
නිගමනය
රජය ඉහත අභියෝග තුන කළමනාකරණය කළ යුතුව ඇත. එහිදී ආර්ථිකයට දරාගත හැකි අයුරින් සහන ලබාදීමට කටයුතු කළ යුතු අතර 2026 වසරට අදාළව ඉදිරිපත් කරන ලද රාජ්‍ය අයවැයට සංශෝධන ඉදිරිපත් කළ යුතුව ඇත. විශේෂයෙන්ම අත්‍යවශ්‍ය නොවන පුනරාවර්තන සහ ප්‍රාග්ධන වියදම් නතර කළ යුතු අතර ප්‍රාග්ධන වියදම් ප්‍රමුඛතා යටතේ කළ යුතුව ඇත. විවිධ බහුපාර්ශ්වික ආයතන සහ සංවිධාන මගින් දේශගුණික ආපදා අවම කිරීමට ලබාදෙන දිගුකාලීන ආයෝජන පහසුකම්වලට අවධානය යොමු කළ යුතුය.
විශේෂයෙන්ම දේශීය, පෞද්ගලික අංශය මෙන්ම විදේශගත ලාංකීකයන්ගේ මූල්‍යමය සහාය රට යළි ගොඩනැංවීමට උපයෝගී කරගත යුතු වේ. රටේ ආර්ථික සංවර්ධනයට මෙන්ම විදේශ ණය ආපසු ගෙවීමට විදේශගත ලාංකීකයන්ගේ සහාය ලබාගැනීම පිළිබඳව මැතිවරණ සමයේ දී නිතර අසන්නට ලැබුණි. එවැනි අදහස්/ යෝජනා ප්‍රායෝගිකව මෙවැනි අවස්ථාවක දී ක්‍රියාවට නැංවීමට කටයුතු කළ යුතුව ඇත. අවසාන වශයෙන්, නමුත් වඩාත්ම වැදගත් වන, ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා කඩිනම් අවධානය යොමු කිරීම කළ යුතුව ඇත. ආර්ථික පරිවර්තන පනතෙන් යෝජනා කර ඇති ආර්ථික ප්‍රතිසංස්කරණ පෙරටත් වඩා වර්තමානයේ දී වැදගත් වන අතර විදේශ ආයෝජන ප්‍රවර්ධනයෙන් ඉහළ අපනයන වර්ධනයක් ළඟාකර ගැනීමට කටයුතු කළ යුතුව ඇත.
රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීමට දැනට එම අංශයේ සිටින අතිරික්ත සේවකයන් ස්ව කැමැත්තෙන් විශ්‍රාම ගැන්වීම සඳහා වූ වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු අතර, එසේ කිරීමෙන් අනතුරුව රාජ්‍ය සේවයට බඳවා ගනු ලබන සේවකයන් සඳහා තරඟකාරී ඉහළ වැටුප් ලබාදිය යුතුව ඇත. දැනට පවත්නා අයුරින්ම රාජ්‍ය සේවය පවත්වාගෙන යාමෙන් සිදුවන්නේ තවදුරටත් රාජ්‍ය සේවය දුර්වල කිරීමක් වේ. එමෙන්ම, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ සඳහා ද අවධානය යොමු කළ යුතු අතර එවැනි ප්‍රතිසංස්කරණ විදේශ ආයෝජන ප්‍රවර්ධනය සඳහා හේතු විය යුතුව ඇත. ආපදා හේතුවෙන් ආර්ථිකයට දැඩි බලපෑම් එල්ලවන තත්වයක් යටතේ විදේශ ආයෝජන පමණක් නොව දේශීය ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ හැකියාවක් නොමැති අතර ආයෝජන පරිසරය යහපත් කිරීමට ගනු ලබන ඉදිරි පියවරවල දී ස්වාභාවික ආපදා නිසා ආර්ථිකයේ සිදුවන හානි වැළැක්වීමට ද ආයෝජනය කිරීම වැදගත් වේ.
2025 දෙසැම්බර් මස 18
33
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
123
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මරණ තුනක් මැද කල්ගෙවන ලාංකික ආර්ථිකය