
ඇමරිකාව සහ ඊශ්‍රායලය අත්තනෝමතික ලෙස ඉරානයට පහරදීමත් සමග ආරම්භ වූ මැදපෙරදිග යුද ගැටුම් මේ වනවිට පුරා සති තුනකට අධික කාලයක් තිස්සේ ක්‍රියාත්මකව පවතී. යුද උණුසුම ක්‍රමයෙන් ඉහළ යත්ම එහි බලපෑම ලෝක ආර්ථිකයට තදින් දැනෙන්නට පටන් ගත්තේය. ඒ සඳහා බලපා ඇති ප්‍රධානතම හේතුව වන්නේ ලෝක ඉන්ධන සැපයුම (තෙල් සහ ගෑස්) අඩාල වීමත් සමග මිල ගණන් ඉහළ යාම විය. දැනටමත් මෙරට තෙල් මිල සියයට 35-40ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇත. ඊට අමතරව යුද ගැටුම් හේතුවෙන් ඉහළ ගොස් ඇති අවදානම/අවිනිශ්චිතතා නැව් සහ ගුවන් ගමන්වලට අදාළ රක්ෂණ ගාස්තු ද ඉහළ යාමට හේතු වී ඇත.
ඉන්ධන පමණක් නොව පොහොර, ඉලෙක්ට්‍රෝනික් උපකරණ ඇතුළු බොහෝ නිෂ්පාදන අමුද්‍රව්‍යවල සැපයුම මෙන්ම සැපයුම් ජාල ද අඩපණව ඇති අතර යුද්ධයේ සමස්ත බලපෑම හේතුවෙන් ලෝක ආර්ථිකය තුළ අවපාතෝත්ධමනයක් (staginflation) ඇතිවීමට ඉහළ සම්භාවිතාවක් පවතින බව දැනට පුරෝකථනය කර ඇත. අවපාතෝත්ධමනයක් යනු එකම අවස්ථාවේ දී ආර්ථිකයක් තුළ ආර්ථික කටයුතුවල බිඳවැටීමක් සහ උද්ධමනකාරී තත්වයක් හටගන්නා තත්වයක් වේ. මීට පෙර අවස්ථා දෙකක දී එවැනි තත්වයකට ලෝක ආර්ථිකයට මුහුණදීමට සිදු වූ අතර ඉන් එක් අවස්ථාවක් වන්නේ 1970 මුල්භාගයේ දී ඔපෙක් සංවිධානය එවකට පැවති ඛනිජ තෙල් මිල ගණන් සිව් ගුණයකින් ඉහළ දැමීමට තීරණය කිරීමය. අනෙක් අවස්ථාව වූයේ 1979 වසරේ දී ඇතිවූ ඉරාන විප්ලවය හේතුවෙන් 1980 මුල් කාලයේ දී ඇතිවූ අවපාතෝත්ධමනය විය. 2020 වසරේ දී ඇතිවූ කොරෝනා වසංගතය නිසාද ලෝක ආර්ථිකය අවපාතෝත්ධමනයකට 2022 වසරේ දී මුහුණපෑ බව සමහර ආර්ථික විශේෂඥයන්ගේ මතය වේ.
ගෝලීය මට්ටමේ අවපාතෝත්ධමනයක් දියුණු වෙමින් පවතින රටවල ආර්ථිකවලට මහත් බලපෑමක් කරන්නක් වන අතර විශේෂයෙන්ම මෙරට ආර්ථිකයට එවැන්නක් කොතෙක් දුරට දරාගත හැකිද යන්න අවිනිශ්චිත වේ. ඒ මක්නිසාද යත් පසුගිය වසර කිහිපය තුළ මෙරට ආර්ථිකයට අභ්‍යන්තර සහ බාහිර කම්පන කිහිපයකට මුහුණදීමට සිදුවීම හේතුවෙන් එහි දරාගැනීමේ හැකියාව බරපතළ ලෙස බිඳවැටී තිබීම වේ. පාස්කු ඉරිදා ප්‍රහාරය, කොරෝනා වසංගතය, 2022 ආර්ථික අර්බුදය, සහ පසුගිය වසර අවසානයේ ඇතිවූ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් සමාජ ආර්ථික ජන ජීවිතය බරපතළ ලෙස බිඳවැටුණු අතර විශේෂයෙන්ම සුළු සහ මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්, ගොවීන්, ධීවරයන්, මෙන්ම සමාජයේ පහළ ආදායම් ලබන ජන කොටස්වලට මෙම කම්පන දැඩි බලපෑමක් එල්ල කරන ලදී. දිට්වා සුළි කුණාටුවට ප්‍රථමව ලෝක බැංකුව විසින් කරනු ලැබූ අධ්‍යනයකට අනුව සෑම පුද්ගලයන් සිව් දෙනකුගෙන් එක් අයෙක් දුගී බවෙන් පෙළෙන බව වාර්තා විය. 2022 වසරේ අත්දකින ලද ආර්ථික අර්බුදය හේතුවෙන් සහ ආර්ථික අර්බුදය කළමනාකරණය කිරීමට අනුගමනය කරන ලද මූල්‍ය (monetary) සහ රාජ්‍ය මූල්‍ය (fiscal) ප්‍රතිපත්තිවල බලපෑම හේතුවෙන් ආර්ථිකයේ සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර මෙන්ම පහළ සහ මධ්‍යම ආදායම් ලබන ජන කොටස්වලට දැඩි ආර්ථික අපහසුකම්වලට මුහුණදීමට සිදුවිය.
මෙරට ආර්ථිකය 2022 මුහුණදුන් අර්බුදය දේශීය සහ විදේශීය ණය තිරසර නොවීම පිළිබඳ වූවක් වන අතර ඒ හේතුවෙන් මෙරට දේශීය මෙන්ම විදේශීය ණය ද ප්‍රතිව්‍යුහගතකරණයකට ලක් කිරීමට සිදුවිය. ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසුව යළිත් වරක් ක්‍රමිකව විදේශීය ණය ආපසු ගෙවීම (වාණිජ සහ ස්වෛරීත්ව බැඳුම්කර ණය) ආරම්භ වීම 2028 වසරේ සිට සිදුවීමට නියමිතය. ඒ අනුව, විදේශයන්ට ආපසු ගෙවනු ලබන ණය ප්‍රමාණය දැනට ගෙවනු ලබන ප්‍රමාණයට අමතරව වාර්ෂිකව ඩොලර් බිලියන 2-2.5ක පමණ මට්ටමකින් ඉහළ යතැයි අපේක්ෂා කළ හැකිය. ණය ප්‍රතිව්‍යුහගත කිරීම යටතේ මූලික වශයෙන්ම කරුණු දෙකක් අවධානයට යොමු වූ අතර ඉන් එකක් වන්නේ ආපසු ගෙවීමට ඇති ණය (මූලික මුදල සහ පොලී) යම් මට්ටමකට පහත හෙළීම සහ දෙවනුව, ණය ආපසු ගෙවීමට අමතර කාලයක් ලබා ගැනීම විය. ඒ අනුව, විදේශ ණයවලට අදාළව මෙම පහසුකම් දෙකම ලබා ගැනීමට හැකි විය.
ණය ආපසු ගෙවීමට අමතර කාලයක් ලබාගැනීමෙන් අපේක්ෂා කරනු ලැබුයේ එසේ ලබාගත් කාලය තුළ ආර්ථිකය ශක්තිමත් කිරීම විය. එසේ ආර්ථිකයේ ධාරිතාව පුළුල් කිරීමෙන් ණය ගෙවීමේ හැකියාව ඇතිකර ගැනීම අරමුණු කරන ලදී. කෙසේ වෙතත්, ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් පසු කාල පරිච්ඡේදය තුළ මෙරට ආර්ථිකය අභ්‍යන්තර සහ බාහිර කම්පනවලට ලක්වීමට සිදුවිය. ඒ අතර ඇමරිකානු නව තීරුබදු, දිට්වා සුළි කුණාටුව, සහ වත්මන් මැදපෙරදිග යුද ගැටුම් සඳහන් කළ හැකිය. ඒ අනුව, විශේෂයෙන්ම වත්මන් අර්බුදය තවදුරටත් පැවතියහොත් එය මෙරට ණය ආපසු ගෙවීමේ හැකියාවට කුමන බලපෑමක් කරාවිද යන්න විමසා බැලීම ඉතා කාලෝචිත වූවකි. මෙම ලිපියේ ප්‍රධාන අරමුණ වන්නේ ඉහත තත්වය විමසා බැලීම වේ.
සාර්ව ආර්ථික ස්ථායීතාව අවදානමට ලක්වීම
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන යටතේ ප්‍රමුඛතම අවධානය යොමු වූයේ සාර්ව ආර්ථික ස්ථායීතාව ඇති කිරීම සහ පවත්වාගෙන යාම විය. අර්බුදය හමුවේ ආර්ථිකය තුළ ඉහළ උද්ධමනයක් පැවති අතර ඊට අමතරව අයවැය හිඟය මෙන්ම ගෙවුම් ශේෂ හිඟය ද ඉහළ මට්ටමක පැවතිණ. විනිමය අනුපාත ශීඝ්‍ර ලෙස අවප්‍රමාණය වී තිබූ අතර පොලී අනුපාත ඉහළ මට්ටමක පැවතිණ. මෙවන් පසුබිමක් තුළ මූල්‍ය සහ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති මෙන්ම අනෙකුත් ක්‍රියාමාර්ග/ අණපනත් හඳුන්වාදීමෙන් ක්‍රමානුකූලව සාර්ව ආර්ථීක ස්ථායීතාව ඇතිකරලීමට අරමුණු කරන ලදී. ඒ අනුව 2024 වසර අවසාන වනවිට රාජ්‍ය ආදායම සැලකිය යුතු ආකාරයෙන් ඉහළ නංවා ගැනීමට සමත් වූ අතර ඒ හේතුවෙන් අයවැය හිඟය ක්‍රමානුකූලව පහත වැටිණි.
මූල්‍ය ප්‍රතිපත්තිය ඉලක්කගත පහළ උද්ධමනයක් අත්කර ගැනීමට යොමු වූ අතර එහි සාර්ථකත්වය හේතුවෙන් සියයට 70 පමණ මට්ටමක පැවති උද්ධමනය ඉතා කෙටි කලක් තුළ සියයට 1-2 වැනි මට්ටමකට පහත වැටිණි. එමෙන්ම, සංචාරක ඉපැයීම සහ විදේශගත ශ්‍රමිකයන් මෙරටට කරනු ලබන ප්‍රේෂණ යථාවත් වීම සහ ඉහළ යාම හේතුවෙන් විදේශ විනිමය ඉපැයීම් ඉහළ ගිය අතර පැවති යම් යම් ආනයන පාලන තත්ව යටතේ යහපත් ගෙවුම් ශේෂ තත්වයක් අත්කර ගැනීමට හැකියාව ලැබිණ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන තුළ එක් පැත්තකින් විදේශ සංචිත ඉහළ නංවා ගැනීමට මෙන්ම අනෙක් පැත්තෙන් රාජ්‍ය මූල්‍ය ඉතිරියක් ඇතිකර ගැනීම ද ඉලක්කගත කරන ලදී. ඊට ප්‍රධානතම හේතුව වූයේ අර්ථික අර්බුදයෙන් යළි ගොඩනැගෙමින් පවතින පසුබිමක යම් අභ්‍යන්තර හෝ බාහිර කම්පනයක් හේතුවෙන් යළිත් වරක් ආර්ථිකය අර්බුදයකට යාමෙන් වළක්වා ගැනීම විය.
වත්මන් යුද ගැටුම් තවදුරටත් පැවතුණහොත් සහ ගෝලීයව පැතිර ගියහොත් එවැනි තත්වයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන යටතේ අත්කරගත් සාර්ව ආර්ථික ස්ථායීතාවට අහිතකරව බලපෑම් එල්ල කිරීමට වඩා වැඩි ඉඩකඩක් පවතින බව කිවයුතු වේ. දැනටමත් තෙල් මිල ඉහළ යාම හේතුවෙන් භාණ්ඩ සහ සේවාවල මිල ගණන් ඉහළ යමින් පවතින තත්වයක් තුළ ඉදිරියේ දී උද්ධමනය ඉහළ යතැයි අපේක්ෂා කළ හැකිය.
එමෙන්ම, ගෙවුම් ශේෂයට සහ විනිමය අනුපාතයට අදාළ යහපත් තත්ව ක්‍රමයෙන් ගිලිහීමට වඩා වැඩි ඉඩකඩක් පවතී. ඊට හේතුව වන්නේ දැනටමත් යුද ගැටුම්වල ඍජු සහ වක්‍ර බලපෑමේ ප්‍රතිඵලයක් ලෙස සංචාරක පැමිණීම් සියයට 30 කින් පමණ පහළ ගොස් ඇති අතර ඉදිරියේ දී විදේශ ප්‍රේෂණ ගලාඒම් පහත වැටෙතැයි අපේක්ෂා කළ හැකිය. මෙරටින් විදේශ රැකියා සඳහා වාර්ෂිකව පිටත්වන පිරිසෙන් සියයට 70 ක් පමණ මැදපෙරදිග කලාපය වෙත යොමුවන අතර වාර්ෂික විදේශ ප්‍රේෂණ ලැබීම්වලින් සියයට 50ක් පමණ ලැබෙන්නේ එම කලාපයෙනි. වත්මන් තත්වය යටතේ මැදපෙරදිග රැකියා සඳහා යොමුවන පිරිස පහත වැටී ඇති අතර ඉදිරියේ දී දැනට එම කලාපයේ රැකියාවල නියුතු පිරිස සිය රට බලා ආපසු පැමිණීමේ අවදානමක් ද පවතී. විශේෂයෙන්ම යුද ගැටුම් තුළ ආර්ථික කටයුතු කඩාවැටීම මීට හේතු විය හැකි වේ.
එමෙන්ම විදේශ ඍජු ආයෝජන පහත වැටීම ද අපේක්ෂා කළ හැකිය. අනෙක් අතට මෙරට අපනයනයෙන් සියයට 10 ක පමණ ප්‍රතිශතයක් මැදපෙරදිග කලාපයට කෙරෙන අතර එම කලාපයට කරනු ලබන අපනයන පහත වැටෙතැයි අපේක්ෂා කළ හැකිය. අවසාන වශයෙන් ගෝලීයව මිල ගණන් ඉහළ යාම මෙන්ම නැව් ගාස්තු, රක්ෂණ ගාස්තු ඉහළ යාම හේතුවෙන් මෙරටින් ලෝකයේ වෙනත් කලාපවලට කරනු ලබන අපනයන ද පහත වැටෙතැයි අපේක්ෂා කළ හැකිය. මෙහි සමස්ත ප්‍රතිඵලයක් ලෙස ගෙවුම් ශේෂය මත අධික පීඩනයක් එල්ල කෙරෙන අතර විනිමය අනුපාතය අවප්‍රමාණය වේගවත් වීමට වඩා වැඩි ඉඩකඩක් පවතී. එම තත්වය තවදුරටත් උග්‍ර වන්නේ තෙල් මිල, පොහොර මිල සහ අනෙකුත් ආනයනවල මිල ගණන් ඉහළ යාම හේතුවෙන් මෙරට සමස්ත ආනයන බිල ඉහළ යාමට වඩා වැඩි ඉඩකඩක් පැවතීම වේ.
මෙරට විදේශ විනිමය වෙළෙඳපොළේ ද්‍රවශීලතාව පහළ යාමට වැඩි ඉඩකඩක් පවතින අතර ඒ හේතුවෙන් විදේශ සංචිත කෙරෙහි ද අහිතකර බලපෑම් ඇතිකළ හැකිය. ඉහළ ගොස් ඇති බලශක්ති මිල ගණන් සහ අනාගත ඉහළ උද්ධමන අපේක්ෂා මෙන්ම සැපයුම් ජාල බිඳවැටීම හේතුවෙන් ආනයනික අමුද්‍රව්‍ය ලබාගැනීමට ඇති දුෂ්කරතා හේතුවෙන් ආර්ථික කටයුතුවල බිඳවැටීමක් සිදුවෙතැයි අපේක්ෂා කළ හැකිය. එවැනි තත්වයක් රජයේ බදු ආදායමට අහිතකරව බලපෑ හැකි අතර අනෙක් අතින් රාජ්‍ය වියදම් ඉහළ යාම හේතුවෙන් (යම් යම් ඉලක්කගත සහනාධාර වැඩසටහන් නිසා සහ සමස්ත මිල මට්ටමේ ඉහළ යාම හේතුවෙන්) අයවැය හිඟය පුළුල්වීමට අදාළව යම් තෙරපුමක් ඇතිවෙතැයි අපේක්ෂා කළ හැකිය. ඒ අනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යටතේ මෙරට අත්කරගත් සාර්ව ආර්ථික ස්ථායීතාව යම් අවදානමකට ලක්වෙතැයි අපේක්ෂා කළ හැකිය.
ආර්ථික වර්ධනය අවදානමට ලක්වීම
ජන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් මෑතක දී පළකරන ලද දත්තවලට අනුව 2025 වසරේ ආර්ථික වර්ධනය සියයට 5 ක් විය. ඒක පුද්ගල ආදායම ඇ. ඩොලර් 4900 දක්වා ඉහළ යන ලදී. මෙම දත්ත මගින් පෙන්නුම් කෙරෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන යටතේ මෙරට ආර්ථිකය ඉතාමත් කෙටි කාලයක් තුළ ප්‍රකෘති තත්වයට පත්වීමට සමත්ව ඇති බවයි. එසේ වුවත් ආර්ථික කටයුතුවල ප්‍රකෘතිමත් වීම විශාල වශයෙන් නාගරික කලාපවලට සීමාවී පැවතීම යම් ගැටලුකාරී තත්වයක් ඇති කරනු ලැබුවත් කෙටි කාලයක් තුළ ආර්ථික ප්‍රකෘතිතාව අත්කර ගැනීමට සමත් වීම මහත් අස්වැසිල්ලකි.
එහෙත් වත්මන් මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ආර්ථික වර්ධනයට අහිතකර බලපෑම් එල්ල කරනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. ඉන් ප්‍රධානතම හේතුව වන්නේ රට තුළ උද්ධමනය ඉහළ යාමය. මේ හේතුවෙන් නිෂ්පාදන පිරිවැය ඉහළ යාම සහ ගෝලීයව තරගකාරීත්වය පහත වැටීමට හේතු වේ. අනෙක් පැත්තෙන් ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව පහත වැටීම හේතුවෙන් ආර්ථිකයේ සමස්ත ඉල්ලුම පහත වැටෙනු ඇත. එසේම ආනයනික භාණ්ඩ සහ සේවා මිල ගණන් ඉහළ යාම යම් යම් කේෂ්ත්‍රවලට අහිතකරව බලපානු ඇත. විශේෂයෙන්ම ගොඩනැගිලි කේෂ්ත්‍රයට අදාළ අමුද්‍රව්‍යවල මිල ඉහළ යාම එම අංශයේ නිෂ්පාදන කටයුතු යළිත් වරක් බිඳවැටීමට හේතු වනු ඇත. පොහොර මිල ගණන් ඉහළ යාම සහ පොහොර හිඟයක් කෙටිකාලීනව ඇතිවන තත්වයක් යටතේ කෘෂිකාර්මික අංශයේ නිෂ්පාදන කටයුතුවලට අහිතකරව බලපෑම් එල්ල කරතැයි සිතිය හැකිය.
කාර්මික අංශයේ නිෂ්පාදන කටයුතු ද වත්මන් යුද තත්වයේ අහිතකර බලපෑමකට ලක්වෙතැයි අපේක්ෂා කළ හැකිය. විශේෂයෙන්ම, ඉන්ධන මිල ඉහළ යාම, අමුද්‍රව්‍ය ලබාගැනීමට අදාළ සැපයුම් දාම බිඳවැටීම සහ ප්‍රමාදය අහිතකරව බලපෑම් එල්ල කළ හැකිය. සේවා අංශයේ නිෂ්පාදනය බිඳවැටීමට ද පවතින යුද තත්වය හේතු විය හැකි යැයි සිතිය හැක. දැනටමත් සංචාරක කර්මාන්තයට එම බලපෑම එල්ල වී ඇති අතර ඊට අමතරව ප්‍රවාහනය, රක්ෂණ, බැංකු, වරාය සහ නාවුක කටයුතු ආශ්‍රිත නිෂ්පාදන කටයුතු බිඳවැටීමට හේතු විය හැක. මෙහිද ඉතා අහිතකර තත්වයට මුහුණදීමට සිදුවන්නේ සුළු සහ මධ්‍ය පරිමාණ නිෂ්පාදකයන්ට වේ. ඉදිරි උද්ධමන අපේක්ෂා හේතුවෙන් වෙළෙඳපොළ පොලී අනුපාත ඉහළ යාමට වැඩි ඉඩකඩක් පවතින අතර එවැනි තත්වයක් ඉදිරි ආයෝජන පහත වැටීම සඳහා හේතු විය හැකිය. පවත්නා ගෝලීය අවිනිශ්චිතතාව තුළ ඍජු විදේශ ආයෝජන පහත වැටීමට ඇති ඉඩකඩ ඉතා ඉහළ වේ. ඒ අනුව සමස්තයක් ලෙස ගත්කල ආර්ථික වර්ධනය අඩාල විය හැකිය. මෙම තත්වය ණය ආපසු ගෙවීමට අදාළව අප ඇතිකර ගත යුතුව පවතින ආර්ථික ශක්තිය හීන කරන්නක් වන අතර දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස ණය බර යළිත් වරක් ඉහළ යාමට හේතු විය හැකිය.
සංවර්ධනයට අවදානමට ලක්වීම
වත්මන් යුද ගැටුම් හේතුවෙන් ලෝක ආර්ථිකය තුළ ඇතිව තිබෙන්නා වූ තත්වය මෙරට ආර්ථික සංවර්ධනයට ද ඉතා අහිතකර කෙටිකාලීන සහ මැදිකාලීන ප්‍රතිඵල ඇති කරනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. 2022 වසරේ දී මුහුණ දුන් ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට දුප්පත් ජනගහනය ඉහළ ගිය අතර ලෝක බැංකු ඇස්තමේන්තුවලට අනුව 2024 වසර අවසන් වනවිට මෙරට සෑම පුද්ගලයන් සිව් දෙනකුගෙන් එක් අයකු දුප්පතකු ලෙස සැලකිය හැකිය. ආර්ථිකය ක්‍රමයෙන් යථාවත් වීමත් සමග පහළ ආදායම්ලාභීන්ගේ රැකියා තත්වය සහ ආදායම් තත්වය යහපත් වෙතැයි අපේක්ෂා කළ ද 2025 වසර අවසානයේ දී ඇතිවූ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් යළිත් වරක් පහළ ආදායම්ලාභීන්ට දැඩි අපහසුතාවකට ලක්වීමට සිදුවිය.
විශේෂයෙන්ම, තම වත්කම් අහිමිවීම මෙන්ම නිෂ්පාදන කටයුතු බිඳවැටීම ද සිදුවිය. වත්මන් යුද ගැටුම් හේතුවෙන් වෙළෙඳපොළේ සිදුවෙමින් පවතින මිල ඉහළ යාම්වල දැඩි බලපෑමට පහළ ආදායම්ලාභීන් ලක්වෙතැයි අපේක්ෂා කළ හැකිය. විශේෂයෙන්ම ඉන්ධන මිල ඉහළ යාමත් සමග ආර්ථිකය තුළ සිදුවිය හැකි සමස්ත භාණ්ඩ සහ සේවාවල මිල ඉහළ යාම මෙන්ම ආර්ථික කටයුතු අඩාල වීම ද පහළ ආදායම්ලාභීන්ට ඉතාමත් අහිතකරව බලපානු බලයි. යම් හෙයකින් මෙම පිරිස් ආරක්ෂා කර ගැනීමට ඉලක්කගත සහනාධාර ක්‍රමයක් මගින් රජය යම් මැදිහත්වීමක් කරනු නොලැබුවහොත් කෙටිකාලීනව යම් සමාජ-දේශපාලන අස්ථාවරත්වයක් වුව සිදුවිය හැකිය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යටතේ යම් රාජ්‍ය මූල්‍ය ඉතිරියක් පවත්වාගෙන යාමේ මූලිකතම හේතුව වූයේ අභ්‍යන්තර සහ බාහිර කම්පන මගින් ආර්ථිකයට සිදුවිය හැකි තත්වයන්ට සාර්ථකව මුහුණදීමය. වර්තමානය වනවිට ඉන්ධන මිල ගණන් සියයට 35-40 අතර ප්‍රමාණයකින් ඉහළ නංවා ඇති තත්වයක් යටතේ විශේෂයෙන්ම පොදු ප්‍රවාහනයට, ගොවීන්ට, ධීවරයන්ට මෙන්ම කුඩා නිෂ්පාදකයන්ට ඉන්ධන සහනාධාර ලබාදීම කළ යුතුව ඇත. එසේ නොවන පරිසරයක් තුළ දැඩි සමාජ-ආර්ථික පීඩනයක් ඇතිවීම වැළැක්විය නොහැකිය. ඒ හේතුවෙන් දේශපාලන අස්ථාවරත්වයක් ද හටගනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.
ණය ආපසු ගෙවීමේ හැකියාවට කෙරෙන බලපෑම
වත්මන් යුද ගැටුම් හේතුවෙන් දැනමත් ලෝක ආර්ථිකය තුළ සිදුවී ඇති සහ ඉදිරියේ දී සිදුවෙතැයි අපේක්ෂිත තත්ව මෙරට ණය ආපසු ගෙවීමේ හැකියාවට සැලකිය යුතු ඍණාත්මක බලපෑමක් එල්ල කරනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. විශේෂයෙන්ම, විදේශ විනිමය ගලා එන මාර්ග අවහිරවීම සහ ආනයන සඳහා ඉහළ විදේශ විනිමය අවශ්‍යතාව යන තත්ව මෙන්ම ආර්ථික වර්ධනය අඩාල වීම ද ණය ආපසු ගෙවීම කෙරෙහි අහිතකරව බලපෑම් එල්ල කළ හැකි තත්ව වේ. වත්මන් යුද ගැටුම් කොතෙක් කලක් පවතීවි ද යන්න සහ එම යුද ගැටුම් කොතෙක් දුරට වෙනත් කලාපවලට පැතිර යාවි ද යන්න මත ඉහත අවදානම් තත්වයේ තරම තීරණය කරනු ඇත.
ණය ආපසු ගෙවීමේ හැකියාව ඇතිකර ගැනීම සඳහා අපනයන ප්‍රවර්ධනය මූලික කරගත් ඉහළ තිරසර ආර්ථික වර්ධනයක් ඇතිකර ගැනීමේ අවශ්‍යතාව බොහෝ දෙනා පෙන්වා දුන් කරුණක් වුවද ඒ කෙරෙහි මෙතෙක් ලබාදී ඇති අවධානය කොතෙක් දුරට ප්‍රමාණවත්ද යන්න පැහැදිලි නැත. විශේෂයෙන්ම, ඍජු විදේශ ආයෝජන මත පදනම්ව අපනයන ප්‍රවර්ධනයට කළ යුතු ආයතනික වෙනස්කම් 2024 වර්ෂයේ අගෝස්තු මස පාර්ලිමේන්තුව මගින් සම්මත කරන ලද ආර්ථික පරිවර්තන පනතේ හඳුන්වා දී ඇත. ඒ අනුව විදේශ ආයෝජන සහ වෙළෙඳාම ප්‍රවර්ධනයට දැනට පවතින ආයතන ව්‍යුහය වෙනුවට නවතම ආයතන ව්‍යුහයක් සැකසීම යෝජනා කරන ලදී. එමෙන්ම, ද්විපාර්ශ්වික සහ කලාපීය වෙළෙඳ ගිවිසුම් ඇතිකරලීම සඳහා නව ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාංශයක් ඇති කිරීමට ද යෝජනා විය. ඊට අමතරව, දේශීය නිෂ්පාදන දිරිගැන්වීම, කාන්තා ශ්‍රම සහභාගීත්වය ඉහළ නැංවීම මෙන්ම ආර්ථිකයේ ඵලදායීතාව ඉහළ නැංවීමට අවශ්‍ය වන ආයතන ව්‍යුහය පිහිටුවීම ඉහත පනත මගින් යෝජනා කරන ලදී.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද අවධාරණය කර සිටි කරුණක් වූයේ සාර්ව ආර්ථික ස්ථායීතාව ඇති කිරීමෙන් අනතුරුව, එම ස්ථායීතාවට බාධාවක් නොවන අයුරින් දිගුකාලීන ඉහළ තිරසර ආර්ථික වර්ධනයක් ලබාගැනීමට පාදක වන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ කඩිනමින් සිදුවිය යුතුව පවතින බවයි. එමෙන්ම, ආර්ථික පරිවර්තන පනතෙන් යෝජනා වී ඇති ආයතනික ව්‍යුහය පිහිටුවීම සහ එමගින් යහපත් ව්‍යාපාරික පරිසරයක් ඇති කිරීමට පියවර ගැනීමේ අවශ්‍යතාවයි.
ආර්ථික ස්ථායීතාව ලබා ගැනීමේ දී සංචාරක කර්මාන්තයේ සිදු වූ පිබිදීම මෙන්ම විදේශගත ශ්‍රමිකයන් මෙරටට කරනු ලබන විදේශ ප්‍රේෂණ ද ඉතා ඉහළ කාර්යභාරයක් ඉටුකරන ලදී. එහෙත් මෙම විදේශ විනිමය මූලාශ්‍ර අභ්‍යන්තර සහ බාහිර කම්පනවලට ඉතාමත් පහසුවෙන් ගොදුරු වන ඒවා වේ. මේ නිසාම අප ශක්තිමත් විදේශ විනිමය ඉපැයීම් මාර්ග පුළුල් කිරීම කළ යුතුය. සංචාරක කර්මාන්තය සෑම වසර 2-3 කට වරක් එක්කෝ දේශීය නැතහොත් ගෝලීය කම්පන හේතුවෙන් බිඳවැටී පවතී. මේ නිසා එවැනි අංශ මත ඉහළ රැඳියාවක් ඇතිකර ගැනීම යෝග්‍ය නොවේ. ඒ අනුව මෑත කාලයේ සිදු වූ සහ වත්මන් ගෝලීය ආර්ථික අස්ථාවරත්වය මගින් යළිත් වරක් අවධාරණය කරනු ලබන මූලික කරුණක් වනුයේ ශක්තිමත් අපනයන අංශයක් ඇතිකළ යුතු බවයි. ඒ සඳහා අවශ්‍ය වන ආයතනික ප්‍රතිසංස්කරණ මෙන්ම ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ කඩිනමින් කිරීම අත්‍යවශ්‍ය වන්නකි.
එසේ කිරීමෙන් විවිධ ආර්ථික කම්පන යටතේ වුවද සැලකිය යුතු බාධාවකින් තොරව ණය ආපසු ගෙවීම කළ හැකිවනු ඇත. බොහෝ රටවල් යළි යළිත් ණය පැහැර හැරීම්වලට ගමන් කිරීමට එක් මූලික හේතුවක් වූයේ එම ආර්ථිකවලට ශක්තිමත්ව විවිධ අභ්‍යන්තර සහ බාහිර කම්පනවලට මුහුණදීමට හැකියාවක් නොමැතිවීම නිසාවෙනි. මේ සඳහා උදාහරණ ගණනාවක් ලතින් ඇමරිකානු සහ අප්‍රිකානු කලාපයෙන් සොයාගත හැකිය. එබැවින්, යළිත් වරක් ණය ආපසු ගෙවීමට අදාළව දුෂ්කරතාවලට මුහුණපෑම වළක්වාලීමට නම් අප නිවැරදි තීන්දු තීරණ ඉක්මනින් ගත යුතුව ඇත. ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ නිසි අවධානය යොමුවෙතැයි අපේක්ෂා කරමු.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd