යුද ගැටුම්වල වත්මන් තත්වය 
පසුගිය මස 28 වන දින ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාර එල්ල කිරීමත් සමග ආරම්භ වූ වත්මන් මැදපෙරදිග යුද ගැටුම් කලාපීය රටවල් ද ගොදුරු කරගනිමින් දින 10කට වැඩි කාලයක් තිස්සේ ක්‍රියාත්මක වෙමින් පවතී. රාජ්‍යතාන්ත්‍රක ක්‍රියාමාර්ග ඔස්සේ විසඳුම් සොයනවා වෙනුවට ඇමරිකාව සහ ඊශ්‍රායලය ඉරාන න්‍යෂ්ටික වැඩපිළිවෙළ අත්හිටුවීමට යැයි කියමින් ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට කටයුතු කළ අතර යුද්ධයේ ආරම්භක අවස්ථාවේදීම ඉරාන අධ්‍යාත්මික නායකයා මරා දැමීමට කටයුතු කළේය. පවත්නා ජාත්‍යන්තර නීති ද උල්ලංඝණය කරමින් ඇමරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාර එල්ල කිරීමත් සමග ඉරානය ද ඊට ප්‍රති ප්‍රහාර එල්ල කිරීමට කටයුතු කළේය. 
ප්‍රති ප්‍රහාර එල්ල කිරීමේදී ඊශ්‍රායල් යුද මධ්‍යස්ථාන සහ ආර්ථික යටිතල පහසුකම් ඉලක්ක කළ අතර මැදපෙරදිග කලාපයේ බොහෝ රටවල පිහිටි ඇමරිකානු හමුදා කදවුරු ද ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල විය. ඒ හේතුවෙන් මේ වනවිට ඉරානය මැදපෙරදිග කලාපයේ රටවල් ගණනාවක පිහිටි ඇමරිකානු යුද කදවුරුවලට මෙන්ම එම රටවල ආර්ථික යටිතල පහසුකම් ද ඉලක්ක කරමින් ප්‍රහාර දියත් කර පවතී. ඒ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේන්, කටාර්, කුවේට්, ජෝර්දාන්, සෞදි අරාබිය, ඕමානය සහ ඉරාකය යන රටවල් අයත් වන අතර එම රටවල ආර්ථික මර්මස්ථාන සහ තෙල්/ගෑස් සැපයුම් ජාලා ද අවහිර වන අයුරින් ප්‍රහාර එල්ලකර ඇති බව ජාත්‍යන්තර මධ්‍ය වාර්තා කළේය. 
දැනට පවතින තොරතුරුවලට අනුව, ඉරානය හෝමුස් සමුද්‍ර සන්ධිය ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු සඳහා අවහිර කර පවතින අතර කලාපීයව යුද්ධය පැතිර යාමත් සමග ජාත්‍යන්තර ගුවන් ගමන්වාර 23,000 අධික සංඛ්‍යාවක් පසුගිය ඉරිදා දිනය වන විට අවලංගු කර තිබුණි. ඒ අතර ඊශ්‍රායලයට, කටාර් රාජ්‍යයට, සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පියාසර කරනු ලබන ගුවන් ගමන් ප්‍රධාන තැනක් ගනී. තවදුටරත් යුද්ධය තීව්‍ර වීම සහ කලාපීයව පැතිරයාමෙන් ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා ඇති කරනු ලබන බලපෑම ඉහළ යනු ඇත. ඇමරිකානු ජනාධිපතිවරයා පසුගිය ඉරිදා දිනයේ දී ප්‍රකාශ කර සිටියේ ඉරාන ඉදිරි නායකයන් සහ හමුදාව අඩපණ කරන තෙක් යුද්ධය නතර කිරීමක් නොකරන බවයි. අවශ්‍ය වුවහොත් ඇමරිකානු සහ ඊශ්‍රායල් පාබල හමුදාව ඉරානයට යැවීමට සූදානම් බවත් ඔහු විසින් ප්‍රකාශ කරන ලදී. ඒ අනුව පෙනීයන කරුණක් වන්නේ වත්මන් මැදපෙරදිග යුද තත්වය ඉදිරි සති කීපය තුළ අවසන් වීමට ඉතා අඩු ඉඩකඩක් පවතින බවයි. දැනට පුරෝකථනය කර ඇති පරිදි වත්මන් යුද තත්වය මේ වසරේ සැප්තැම්බර් අවසන් වන තුරු පැවතීමට ඉඩ ඇත. 
ඇමරිකානු ජනාධිපතිවරයාගේ සහ ඊශ්‍රායල් අගමැතිවරයගේ ක්‍රියාකලාපය අනුව පෙනීයන කරුණක් වන්නේ ඔවුන් යුද මානසිකත්වයකින් යුතුව කටයුතු කිරීම හේතුවෙන් රාජ්‍යතාන්ත්‍රිකව ගැටලු‍ව විසඳා ගැනීමට අවම උත්සාහයක් දරණ බවයි. ඇමරිකානු ජනාධිපතිවරයා පසුගිය සෙනසුරාදා කියා සිටියේ ඉරානයට කරනු ලබන පහරදීම් නතර කිරීමට නම් ඉරානය කොන්දේසි විරහිතව යටත්විය යුතු බවයි. ඊට ප්‍රතිචාර දක්වමින් ඉරාන ජනාධිපතිවරයා කියා සිටියේ එවැනි යටත්වීමකට ඉරානය සූදානම් නොමැති බවයි. මේ අතර රුසියාව සහ චීනය මෙන්ම තවත් රටවල් ගණනාවක් යුද ගැටුම් අවසන් කරන මෙන් දෙපාර්ෂවයෙන්ම ඉල්ලා ඇති අතර විශේෂයෙන්ම රුසියාව මතුකර ඇති එක් කරුණක් වන්නේ ඉරානයට දිගින් දිගටම පහර දීමෙන් ඉරානය න්‍යෂ්ටික අවි නිපදවීමට කටයුතු කිරීමට වැඩි ඉඩකඩක් පවතින බවයි. ඉරානය කලාපීය රටවලට පහර දීමට එක් හේතුවක් වන්නේ කලාපීයව ආර්ථික වශයෙන් ශක්තිමත්ව ඇති රටවල්වල ආර්ථිකයන්ට හානී කිරීම වූ අතර ඒ හරහා ඇමරිකානු යුද ක්‍රියාමාර්ග අඩපණ කිරීම විය. එහෙත් මෙතෙක් ඉරානයේ එම උපක්‍රමය සාර්ථකව ඇති බවක් නොපෙනෙන අතර කලාපීය රටවල් ඉරානයට විරුද්ධව ක්‍රියාමාර්ග ගැනීම පිළිබදව සලකා බලමින් සිටී. 


 ගෝලීය ආර්ථිකයට ඇති බලපෑම 
ජාත්‍යන්තර මූල්‍ය අරමුලේ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝඡිවා මහත්මිය ප්‍රකාශකර ඇති පරිදි දැනට මැදපෙරදිග කලාපයේ පවතින යුද ගැටුම් ආකාර තුනක් ඔස්සේ ලෝක ආර්ථිකයට බලපෑම් කළ හැකිය. ඉන් පළමු වැන්න වන්නේ ගෝලීය ඉන්ධන (තෙල් සහ ගෑස්) මිල ගණන් ඉහළයාම වේ. ඉන්ධන මිල එසේ ඉහළයාම හේතුවෙන් ගෝලීයව උද්ධමනකාරී තත්වයක් ඇතිවිය හැකිය. එනම් ආහාර සහ අනෙකුත් භාණ්ඩ සහ සේවා මිල ගණන් කෙටිකාලීනව ඉහළයාමට ඇති ඉඩකඩ වැඩි බව ඇය ප්‍රකාශ කළාය. දෙවනුව, ගෝලීයව සමාජ-ආර්ථික සහ දේශපාලනික අස්ථාවරත්වය ඉහළයාම ද බලපෑම් ඇතිවිය හැකි අංශයක් වේ. ඉහළ ගෝලීය අවිනිශ්චිතතාවක් පැවතීම ආයෝජන, වෙළෙඳ සහ නිෂ්පාදන කටයුතුවලට අහිතකරව බලපෑම් එල්ල කළ හැකි වේ. විශේෂයෙන්ම අවිනිශ්චිතතාව හේතුවෙන් මූල්‍ය වෙළෙඳපොළ සහ ප්‍රාග්ධන වෙළෙඳපොළවල් බිඳවැටීමට ද හේතුවක් වේ. තුන්වනුව, වත්මන් යුද මෙහෙයුම් හේතුවෙන් වෙළෙඳ, සංචාරක සහ ජාත්‍යන්තර ගමනාගමන කටයුතු අඩපණ වීමෙන් ලෝක ආර්ථිකයට සෘණාත්මක බලපෑම් එල්ලවිය හැකි බව කියවේ. 
මැදපෙරදිග යුද්ධය ඉහත සඳහන් තුන් ආකාරයෙන් ලෝක ආර්ථිකයට බලපෑම් කළ හැකි අතර එහි තරම මූලික වශයෙන්ම තීරණය වන්නේ යුද්ධය කොතෙක් කලක් පවතීවි ද යන්න මත සහ එය කොතෙක් දුරට කලාපීය රටවල්වල ජන ජීවිතය බිඳදැමීමට සමත් වන්නේ ද යන්න අනුව වේ. පුළුල් අර්ථයෙන් ගත් කල මැදපෙරදිග යුද්ධය ලෝක ආර්ථිකයට බලපෑම් කළ හැකි අංශ පහත ප්‍රවේශ යටතේ සලකා බැලිය හැකිය. ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළයෑම විදුලි ගාස්තු ද ඉහළයාමට තුඩු දෙන අතර එහි සමස්ත බලපෑම වන්නේ භාණ්ඩ සහ සේවා නිෂ්පාදන වියදම මෙන්ම ප්‍රවාහන වියදමද ඉහළයාමෙන් ජීවන වියදම ඉහළ යෑම වේ. වසංගතය සහ ඊට පසු ඇති වූ කම්පන හේතුවෙන් පහළ ආදායම් ලබන ජන කොටස්වල ජන ජීවිතය බිඳ වැටුණු අතර මැදපෙරදිග යුද්ධය හේතුවෙන් එම ජන කණ්ඩායම්වලට තවදුරටත් දැඩි අපහසුතාවකට මුහුණදීමට සිදුවනු ඇත.
 මැදපෙරදිග යුද්ධය හේතුවෙන් ගෝලීය වෙළෙඳ සහ සැපයුම් ජාල බිඳවැටීමට වැඩි ඉඩකඩක් ඇති අතර ඒ හේතුවෙන් භාණ්ඩ සැපයුමට අදාළ කල්ගතවීම, භාණ්ඩ ප්‍රවාහන සහ රක්ෂණ ගාස්තු ඉහළයාම, සමහර භාණ්ඩවලට අදාළව හිඟතා ඇති වීමට වඩා වැඩි ඉඩකඩක් පවතී. එමෙන්ම, මැදපෙරදිග යුද්ධය ගෝලීය මූල්‍ය සහ ප්‍රාග්ධන වෙළෙඳපොළවල්වලට අහිතකරව බලපෑම් ඇති කළ හැකි වේ. එවැන්නක් ආයෝජන විස්වසනීයත්වයට මෙන්ම නැගී එන ආර්ථිකයන්ගෙන් බැහැරට ප්‍රාග්ධනය පිටතට ගලායාමක් ඇති කළ හැකිය. වත්මන් යුද්ධය නිසා එහි සෘඡු බලපෑමට ලක්වන්නේ මැදපෙරදිග ආර්ථික වන අතර එම ආර්ථිකවල නිෂ්පාදන ධාරිතාව පහළයාමට හේතුවක් විය හැකිය. විශේෂයෙන්ම, නිෂ්පාදන, බෙදාහැරීම, මෙන්ම පාරිභෝජන කටයුතු අඩාල වීමට ද හේතුවිය හැකිය. 
පොහොර නිෂ්පාදන සහ ප්‍රවාහන කටයුතුවලට ද වත්මන් යුද්ධය අහිතකරව බලපානු ලබන්නේ පොහොර නිෂ්පාදනය සඳහා ඛනිජ තෙල් භාවිත කරන බැවිනි. ලෝක පොහොර නිෂ්පාදනයෙන් සැලකිය යුතු පංගුවක් මැදපෙරදිග කලාපයෙන් සැපයෙන අතර යුද්ධය හේතුවෙන් පොහොර නිෂ්පාදනයට ඇති කරනු ලබන බලපෑම මත එක් පැත්තකින් පොහොර මිල ගණන් ඉහළ යෑමට මෙන්ම අනෙක් අතට කෘෂි ඵලදාවට ද අහිතකරව බලපානු ඇත. අහාර නිෂ්පාදනය ආශ්‍රිතව ඇතිවිය හැකි බිඳවැටීමක් තවදුරටත් ලෝක වෙළෙඳපොළේ ආහාර මිල ගණන් ඉහළනැංවීමට හේතුවනු ඇත. මැදපෙරදිග රටවල ආර්ථිකයන්ට සිදුවන හානිය ද ඉතා ඉහළ මට්ටමක් පවතිනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. දැනට වාර්තා වී ඇති අන්දමට වත්මන් මැදපෙරදිග යුද්ධය හේතුවෙන් සතියකට ඊශ්‍රායලයට ඇමරිකානු ඩොලර් බිලියන 3ක පමණ පාඩුවක් සිදුව ඇත. ඊශ්‍රායලය තුළ නිෂ්පාදන කටයුතු මුළුමනින්ම බිඳවැටී ඇත. 
ජාත්‍යන්තරව ව්‍යාපාරකරණයට වඩාත් සුරක්ෂිතයැයි සැලකූ එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර් රජ්‍යය මෙන්ම ඹ්මානය වැනි ආර්ථිකවලට එල්ලව පවතින අවදානම හේතුවෙන් එම රටවල ආර්ථික යටිතල පහසුකම්වලට සැලකිය යුතු හානියක් සිදුව පවතින අතරම නිෂ්පාදන කටයුතුවලටද බාධා එල්ල වී ඇත. ඉරාන ආර්ථිකයට දැඩි බලපෑමක් ඇමරිකානු සහ ඊශ්‍රායල් පහරදීම් හේතුවෙන් සිදුව ඇති අතර විනාශ වූ හා හානියට පත්ව ඇති යටිතල පහසුකම් යළි ගොඩනැංවීමට දශකයක්වත් ගතවේවි යැයි අනුමාන කළ හැකිය. අවසාන වශයෙන් මෙම කලාපයට අවශ්‍ය ශ්‍රමය ආයාත කරනු ලබන තුන්වැනි ලෝකයේ රටවලට ද මෙම යුද තත්වය ඉතා අහිතකරව බලපානු ඇතැයි සිතිය හැකිය. 
ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංගලාදේශය, ඉන්දුනීසියාව, නේපාලය, මෙන්ම බොහොමයක් අප්‍රිකානු සහ ආසියානු රටවල්වලින් මැදපෙරදිග කලාපයට රැකියා සොයා වර්ෂිකව මිලියන ගණනක් එම රටවලට සංක්‍රමණය වෙති. ඉහත ආර්ථිකවල සැලකිය යුතු පිරිසකට රැකියා සම්පාදනය කරනු ලබන්නේ මැදපෙරදිග ආර්ථික වන අතර වාර්ෂිකව සැලකිය යුතු විදේශ ප්‍රේෂණ ප්‍රමාණයක් එම රටවල්වලට ගලායයි. විදේශ ප්‍රේෂණ යනු සංවර්ධනය වෙමින් පවතින ආසියානු සහ අප්‍රිකානු රටවල ප්‍රධානතම විදේශ විනිමය ලැබෙන මූලාශ්‍රයක් වන අතර ඒ හේතුවෙන් විදේශ ප්‍රේශණවල පහළයාම එම ආර්ථිකවල ආර්ථික ස්ථායීතාවට අහිතරකරව බලපෑම් එල්ල කළ හැකිය. 


 මෙරට ආර්ථිකයට ඇති බලපෑම 
සාපේක්ෂ අර්ථයෙන් ගත්කල, මැදපෙරදිග යුද්ධය හේතුවෙන් ලෝක ආර්ථිකයට සිදුවන බලපෑමට වඩා වැඩි බලපෑමක් මෙරට ආර්ථිකයට සිදුවනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. ඊට හේතුව වන්නේ මෙරට ආර්ථිකය මැදපෙරදිග කලාපය සමග ඉතා කිට්ටු සම්බන්ධතාවක් පවතින බැවිනි. මෙරටට අවශ්‍ය කරනු ලබන ඉන්ධනවල මිල ගණන් තීරණය වීමෙහිලා මැදපෙරදිග කලාපය බලපෑම් කරනු ලබයි. ඉන්ධන කුමන රටකින් මිලදී ගන්නේ ද යන්නට වඩා වැදගත් වන්නේ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල තීරණය වීමට මැදපෙරදිග කලාපයේ ඇති වැදගත්කමය. 
ඒ අනුව දැනටමත් ලෝක වෙළෙඳපොළේ බෙන්ට් බොර තෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 100 දක්වා පසුගිය සඳුදාවන විට ඉහළ ගොස් තිබූ අතර මෙම සතිය තුළ එහි අගය ඇ.ඩොලර් 120 ඉක්මවනු ඇතැයි පුරෝකථනය කෙරේ. එමෙන්ම, යම් හෙයකින් යුද්ධය අඛණ්ඩව පැවතුණහොත් තෙල් බැරලයක මිල ඇ. ඩොලර් 150 දක්වා ඉහළ යනු ඇතැයි විශ්ලේෂකයන් පෙන්වා දී ඇත. 
ඊට හේතුව වන්නේ එක් පැත්තකින් රුසියා-යුක්‍රේන යුද්ධය හේතුවෙන් යුරෝපා කලාපය තුළ තෙල් ඉල්ලු‍ම මැදපෙරදිගට යොමු වූ අතර වත්මන් තත්වය යටතේ මැදපෙරදිග කලාපයේ ද තෙල් සැපයුම පහළ යමින් පැවතීමය. ඒ හේතුවෙන් තෙල් සැපයුමට අදාළ හිඟයක් වෙළෙඳපොළේ හටගෙන ඇත. 
අනෙක් අතින් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා මේ වනවිට නැව් ගමනාගමනය මුළුමනින්ම පාහේ ඇණහිට ඇත. මැදපෙරදිග කලාපයේ පවතින දැඩි අනාරක්ෂිත තත්වය හමුවේ නැව් ගස්තු මෙන්ම විශේෂයෙන්ම රක්ෂණ ගාස්තු සැලකිය යුතු ලෙස ඉහළ ගොස් පවතී. යම් හෙයකින් තෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 100 දක්වා ඉහළ යන තත්වයක දී, තෙල් සඳහා අය කරනු ලබන රාජ්‍ය බදු නොවෙනස්ව පවතී යැයි උපකල්පනය කළහොත්, පෙට්‍රල් මිල (92 වර්ගයේ ලීටරයක මිල) රු. 350-370ක වැනි මිලකට ඉහළ යනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. එමෙන්ම, ඩීසල් මිල ද එවැනි ම අගයක් ගැනීමට ඇති ඉඩකඩ ඉහළ වේ. එමෙන්ම, මේ වනවිට ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ගණන්ද සියයට 14 කින් පමණ ඉහළ ගොස් අතර ඒ අනුව ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 4,500 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. 
ඊට සමාන්තරව විදුලි මිලද ඉහළයාමට ඇති සම්භාවිතාව ඉහළ වේ. විශේෂයෙන්ම, දැනට පවතින වියළි කාලගුණ තත්වය යටතේ ජල විදුලිය නිෂ්පාදනය කිරිමේ ධාරිතාව පහළ යමින් පවතින අතර ගැටලු‍කාරී ගල් අඟු‍රු සැපයුම මගින් ද විදුලි නිෂ්පාදන හැකියාව පහත ගොස් ඇති බව වාර්තා වේ. ඒ අනුව ඉදිරියේ දී වැඩි වැඩියෙන් තාප බලාගාර භාවිතයට ගැනීමට සිදුවීමත් සමග විදුලි මිලද සැලකිය යුතු මට්ටමකින් ඉහළ යනු ඇත. 
ජනවාරි මස දී විදුලි මිල සංශෝධනයට ඉල්ලු‍ම් කළ ද පැවති තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එවර මිල වැඩි වීමක් සිදු නොවිණි. ඒ අනුව, පසුගිය මිල වැඩි කිරීමට අදාළ යෝජනාව සමග තවදුරටත් විදුලි මිල ඉහළ නැංවීමට විදුලිබල මණ්ඩලයෙන් ඉදිරියේ දී යෝජනා යොමු වෙතැයි අපේක්ෂා කළ හැකි ය. 
මෙරට මුළු අපනයනවලින් සියයට 10ක් පමණ මැදපෙරදිග කලාපයට අපනයනය කරනු ලබන අතර එහි වටිනාකම ආසන්න වශයෙන් ඇ.ඩොලර් බිලියන 1.5ක් පමණ වේ. තේ, ඇගලු‍ම්, රබර් ආශ්‍රිත නිෂ්පාදන, කුළු බඩු, සහ කෘෂි නිෂ්පාදන ඒ අතර වේ. විශේෂයෙන්ම, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, කටාර් රාජ්‍යය, සහ සෞදි අරාබිය ශ්‍රී ලංකාවේ ප්‍රධානතම අපනයන වෙළෙඳපොළවල් වේ. දැනටමත් මෙරට අපනයන කරුවන් ප්‍රකාශකර ඇති පරිදි, මැදපෙරදිග යුද ගැටුම් 2026 වසරේ අපනයන ඉපැයීම් පහත වැටීමට බලපෑ හැකිය. තවත් එක් ප්‍රධානතම විදේශ විනිමය මූලාශ්‍රයක් වන්නේ විදේශගත ශ්‍රමිකයන් මෙරටට යොමු කරනු ලබන විදේශ ප්‍රේෂණවේ. විශේෂයෙන්ම, කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සහ සෞදි අරාබිය වැනි රටවල අදවන විට අත්ව ඇති ඉරණම අනුව ඉදිරියේ දී දැනට සේවයේ නියුතු විදේශීකයන්ට රැකියා අහිමි වීමේ තර්ජනයක් පැවතිය හැකිය. එවැනි තත්වයක් තුළ දැනට රැකියා කරනු ලබන පිරිසට ආපසු සිය රට බලා පැමිණිමට සිදුවීමේ හැකියාවක් පවතී. දැනට පළව ඇති තොරතුරු අනුව මිලියනය ඉක්ම වූ ලාංකීකයන් පිරිසක් මැදපෙරදිග සිටිති. 
එසේම, යුද ගැටුම් පවතින පරිසරයක් තුළ විදේශ රැකියා සඳහා පැවති අවස්ථා සීමා වීමට ඉඩකඩක් පවතී. එවැනි තත්වයක් රට තුළ දැඩි තරුණ අසහනයකට මෙන්ම සේවා වියුක්තියකටද හේතු වීමට වැඩි ඉඩකඩක් පවතින තත්වයකි. වාර්ෂිකව මෙරටට කරනු ලබන ශ්‍රමික ප්‍රේෂණවලින් සියයට 50ක් පමණ මැදපෙරදිග කලාපයෙන් ලැබෙන අතර විදේශගතවන පිරිස්වලින් සියයට 70 අධික ප්‍රතිශතයක් මැදපෙරදිග රටවලට රැකියා සඳහා යොමු වේ. 
මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් බලපෑමට ලක්වන අනෙක් අංශය වන්නේ සංචාරක කර්මාන්තයයි. වසංගතයෙන් සහ ආර්ථික අර්බුදයෙන් පසුව දැඩි පසුබෑමකට ලක්ව තිබූ සංචාරක කර්මාන්තය පසුගිය වසර දෙකක පමණ කාලය තුළ කැපීපෙනෙන වර්ධනයක් අත්කර ගනු ලැබිණි. එහෙත් වත්මන් යුද ගැටුම් හේතුවෙන් මතුව ඇති අනාරක්ෂිතභාවය සහ ප්‍රවාහන වියදම් ඉහළයාම හේතුවෙන් විදේශ සංචාරකයන් ගේ පැමිණිමේ යම් අඩුවීමනට වැඩි ඉඩකඩක් පවතී. මැදපෙරදිග යුද්ධය හේතුවෙන් මෙරටට විදේශ විනිමය ලැබෙන ප්‍රධාන මූලාශ්‍ර තුනකට අදාළව ඉතා අහිතකර තත්වයක් පවතින බව පැහැදිලි වේ. 
වසංගතය, ආර්ථික අර්බුදය සහ දිට්වා සුළිකුණාටුව හේතුවෙන් දැනටමත් මහත් වෙර වීරියෙන් ජීවිතය ගැටගසා ගනු ලබන පහළ ආදායම් ලබන ජනකණ්ඩායම් මෙම අර්බුදය හමුවේ දැඩි අපහසුතාවලට ලක්වීමට ඉඩ පවතී. එක් පැත්තකින් භාණ්ඩ සහ සේවා මිල ඉහළයාම මෙන්ම අනෙක් පැත්තෙන් විදේශ රැකියා සහ රැකියා කරනු ලබන පිරිස් තම පවුල්වල සාමාඡිකයන්ට එවනු ලබන විදේශ ප්‍රේෂණ පහත වැටීම හේතුවෙන් දරිද්‍රතාව ඉහළ යා හැකිය. 


 අප කෙසේ සූදානම් විය යුතු ද? 
වත්මන් යුද ගැටුම්වල බලපෑම අවම කිරීමට සංවර්ධනය වෙමින් පවතින ශ්‍රී ලංකාව වැනි රටකට කෙටි කාලීනව කළ හැකි දෙයක් නොවන බව ඉතා පැහැදිලි කරුණකි. සංචාරක කර්මානතයේ ඉපැයීම් සහ විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ මත ඉහළ රැදියාව අවදානම්කාරී කටයුත්තක් බව බොහෝ විචාරකයන් පෙන්වා දී තිබුණ ද අපනයන විවිධාංගීකරණය සහ භාණ්ඩ සහ සේවා අපනයනය වෙළෙඳපොළවල් පුළුල් කිරීමට පියවර ගැනීමට අප තවමත් අපොහොසත්ව ඇත. වත්මන් ගෝලීය තත්වය තුළ අපනයන වෙළෙඳපොළ ලබාගැනීම අති දුෂ්කර කටයුත්තක් වන අතර විදේශ ආයෝජන පිළිබඳව ද වැඩි විශ්වාසක් තැබීමේ හැකියාවක් නොමැත. ඉදිරි සති කීපය මැදපෙරදිග යුද්ධයට ඉතා තීරණාත්මක වන අතර යම් හෙයකින් දැනට පවතින යුද ගැටුම් ඉක්මනින් නොවිසඳෙන තත්වයක් තුළ ලංකාවට සිදුවන බලපෑම අවම කරගන්නේ කෙසේද යන්න ගැබුරින් අවධානයට ලක්කළ යුතුව ඇත.
විශේෂයෙන්ම ඉන්ධන සහ බලශක්ති මිල ඉහළයාම පාරිභෝගිකයන්ට මෙන්ම නිෂ්පාදයන්ට ද කළ හැකි අහිතකර බලපෑම පිළිබඳව කල්තියා අවබෝධයක් ලබාගැනීමට කටයුතු කිරීම ඒ අතරින් ඉතා වැදගත් වන්නකි. තෙල් මිල පිරිවැය නිරූපිත වන ආකාරයෙන් ඉහළ දැමීම කළයුතු වුවත් එමගින් පහළ ආදායම් ලබන්නන්ට සහ කුඩා නිෂ්පාදකයන්ට (ධීවරයන් සහ ගොවීන් ද ඇතුළුව) ඇති විය හැකි අයහපත් තත්වය මෙහිදී සලකා බැලිය යුතු අතර ඔවුන් සඳහා යම් සහනයක් ලබාදීමට කටයුතු කිරීම ඉතා වැදගත් වේ. පිරිවැය නිරූපිත මිල හැඩගැස්සවීම් සාමාන්‍ය අවස්ථාවලදී ඉතා යෝග්‍ය වන්නේ නමුත් ලෝක වෙළෙඳපොළේ සිදුව ඇති දැඩි මිල ඉහළයාම ඒ ආකාරයෙන්ම සියලු‍ම දේශීය නිෂ්පාදකයන්/පාරිභෝගිකයන් මත පැටවීම ඉතා අහිතකර මැදි කාලීන සහ දිගුකාලීන ප්‍රතිඵල ඇති කිරීමට හේතුවිය හැකිය. 
දැනටමත් ජනගහනයෙන් සියයට 25ක් දාරීද්‍රතා රේඛාවෙන් පහළින් ජීවත්වන අතර තෙල් මිලට අදාළව ගනු ලබන තීරණ දුප්පත්කම තවදුරටත් ඉහළයාමට තුඩු නොදිය යුතුය. සාමාන්‍යයෙන් තෙල් මිල පිරිවැය නිරූපිත ආකාරයෙන් සැකසීම මාසයක අවසාන දිනයේ දී සිදුවන නමුත් වත්මන් ගෝලීය තත්වය හමුවේ මිල හැඩගැස්සීම ඉතා ඉක්මනින් කිරීම ඉතා යෝග්‍ය වේ. එසේ කිරීම හරහා දැනට පවතින තෙල් සංචිත වැඩි කළක් භාවිත කිරීමට ඉඩකඩ සැලසෙන අතරම ජනතාව සහ නිෂ්පාදකයන් ඉන්ධන වඩාත් කාර්යක්ෂමව භාවිතයට පෙළඹේ. 
එසේම, ලාංකීක ශ්‍රමිකයන්ට රැකියා අවස්ථා මැදපෙරදිග කලාපයෙන් බැහැරව ලබාගැනීමට ඇති හැකියාව පිළිබඳව ද අවධානය යොමු කිරීම වැදගත් වේ. දකුණු කොරියාව, මැලේසියාව, ජපානය මෙන්ම යුරෝපීය රටවල්වල පවතින අවස්ථා ලාංකික ශ්‍රමිකයන්ට ලබාගැනීමට රාජ්‍යතාන්ත්‍රක මට්ටමින් සාකච්ඡා පැවත්විය යුතුය. විශේෂයෙන්ම, පොහොර හිඟ වීම හෝ පොහොර මිල ඉහළයාම නිසා ආහාර ඇතළු අනෙකුත් කෘෂි භෝගවල නිෂ්පාදනයට සහ ආහාර සුරක්ෂිතතාවට ඇතිවිය හැකි බලපෑම අවම කිරීමටද පවතින විකල්ප පිළිබඳව අවධානය යොමු කළ යුතුය. රුසියා-යූක්‍රේන් යුද්ධය හේතුවෙන් ගෝලීය පොහොර සැපයුමට තර්ජන එල්ල වී පවතින තත්වයක මැදපෙරදිග යුද ගැටුම් එම තත්වය තවදුරටත් තීව්‍ර කිරීමට හේතු වෙතැයි සිතිය හැකිය.   

  
 සාරාංශය 
වත්මන් මැදපෙරදිග යුද ගැටුම් තවදුරටත් පැතිරයාමට මෙන්ම ඉක්මනින් අවසන් වීමට ඇති සම්භාවිතාව ඉතා ඉහළ වේ. 
එවන් පසුබිමක් තුළ අහිතකර බලපෑම් කීපයකට මුහුණ දීමට මෙරටට සිදුව ඇත. ඒ අතර ආනයන වියදම් ඉහළයාම, භාණ්ඩ සහ සේවා අපනයන බිඳවැටීම, ඉන්ධන මිල ඉහළයාම, සංචාරක කර්මාන්තය ඇතුළු අනෙකුත් ආර්ථික කටයුතු අඩාලවීම මෙන්ම විදේශගතව රැකියා කරනු ලබන පිරිස් මෙරටට කරනු ලබන ප්‍රේෂණ පහත වැටීම සිදුවෙතැයි අපේක්ෂා කළ හැකිය. එම බලපෑම් හේතුවෙන් ආර්ථික වර්ධනය පහත වැටීම, විනිමය අනුපාතය අවප්‍රමාණය වීම, උද්ධමනකාරී තත්වයක් ආර්ථිකය තුළ ඇති වීම, සමාජ අසහනය ඉහළයාම මෙන්ම රාජ්‍ය අයවැයට දැඩි තෙරපුමක් ඇති වෙතැයි පුරෝකථනය කළ හැකිය. 
එසේ ඇතිවන අහිතකර ප්‍රතිවිපාකවලට මුහුණදීමට ජනතාව සූදානම් විය යුතු නමුදු පහළ ආදායම් ලබන පිරිස්වලට මෙන්ම කුඩා නිෂ්පාදකයන්ට ද සිදුවන අහිතකර බලපෑම් අවම කිරීම පිළිබදව රජයේ අවධානය යොමු කළ යුතුව ඇත. 
විශේෂයෙන්ම නව තාක්ෂණ හැකියාව භාවිත කරමින් ඉහත කණ්ඩායම්වලට යම් සහනයක් ලබාදීම කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත්ය. ලෝකයේ බොහෝ රටවල් ගෝලීය ඉන්ධන මිලට අදාළව සිදුවන දැඩි උස් පහත්වීම් නිසා දේශීය පාරිභෝගිකයාට සහ නිෂ්පාදකයන්ට ඇතිවන අහිතකර තත්වය අවම කිරීමේ අටියෙන් ඉන්ධන අරමුදලක් පිහිටුවා ඇත. උදාහරණයක් ලෙස තායිලන්තය ගෙනහැර දැක්විය හැකිය. එවැනි අරමුදලක් පිළිබඳව අවස්ථා කීපයකදී මෙරට ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ අවධානය යොමු වුවත් තවමත් එවැන්නක් පිහිටුවීමට අපොහොසත්ව ඇත. එබැවින් අවම වශයෙන් ඉදිරියේ දී හෝ එවැනි අරමුදලක් පිහිටුවීමට අවධානය යොමු වෙතැයි අපෙක්ෂා කරමු. එමෙන්ම, මැදපෙරදිග යුද ගැටුම් නිසා ආර්ථිකයට සිදුවන සමස්ත බලපෑම විධිමත් විශ්ලේෂණයක් කිරීම සහ ඒ මත පිහිටා අවශ්‍ය තීන්දු තීරණ කඩිනම් කිරීමට ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ අවධානය යොමු වෙතැයි අපෙක්ෂා කරමු.