
පසුගිය සෙනසුරාදා අලුයම ඇමරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයට එරෙහිව ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කරන ලදී. ඊට හේතුව ලෙස ඇමරිකාව සහ ඊශ්‍රායලය ප්‍රකාශ කර සිටියේ ඉරාන න්‍යෂ්ටික වැඩසටහන කලාපීය රටවල්වලට මෙන්ම ලෝකයට ද තර්ජනයක් වන බැවින් එම වැඩසටහන බිඳ දැමීමට එවැනි පියවරක් ගනු ලැබූ බවයි. න්‍යෂ්ටික වැඩසටහන සහ අනෙකුත් ගැටලු නිරාකරණය කරගැනීමට ඇමරිකාව සහ ඉරානය අතර පසුගිය සති කීපය තුළ සාකච්ඡාවට කීපයක් පැවතියද ඉන් සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට නොහැකි වූ බව ඇමරිකාව පසුව ප්‍රකාශ කළේය.
ප්‍රහාර මලාවේ මුල් අදියරයේදීම ඉරාන ආධ්‍යාත්මික නායකයා වන, අයතුල්ලා අලි කමේනි ඝාතනය කර දැමීමට ඇමරිකාව සහ ඊශ්‍රායලය සමත් වූ අතර ඊට අමතරව තවත් ඉහළපෙළේ නායකයන් කීපදෙනෙක්ම ඔහුන්ගේ ඉලක්ක වූ බව ප්‍රකාශ කළේය. එසේම, ඉරානයේ යුදමය වශයෙන් වැදගත්වන ස්ථාන ගණනාවකටම ප්‍රහාර එල්ල විය. තම ආධ්‍යාත්මික නායකයා ඝාතනය කිරීම සහ අත්තනෝමතික ලෙස තම රටට ප්‍රහාර එල්ල කිරීමට විරුද්ධව ඉරානය විසින් ප්‍රහාර මාලාවක් දියත් කළ අතර එම ප්‍රහාර මගින් ඊශ්‍රායලය, ඇමරිකානු කඳවුරු ඉලක්ක කරන ලදී. එයින් නොනැවතුණු ඉරානය කලාපයේ ඇමරිකානු හිතවාදී රටවල්වලට ද ප්‍රහාර දියත් කර ඇත. දැනට පළවී ඇති වාර්තාවලට අනුව ඉරාන ප්‍රහාර එක්සත් අරාබි එමීර් රජ්‍යය, බහරේන්, කුවේට්, කටර් රාජ්‍යය, ඉරාකය, ජෝර්දානය, ඕමානය, සහ සෞදි ආරාබිය යන රටවල් ඉලක්ක කරමින් දියත් කර ඇත. ඉන් සමහරක් ප්‍රහාර වැළැක්වීමට හැකියාවක් ලැබී තිබුණ ද අනෙක් එවා අදාළ ඉලක්කවලට යොමු කිරීමට ඉරානය සමත්ව ඇත.
ඇමරිකාව සහ ඊශ්‍රායලය මගින් ඉරානයට එරෙහිව එල්ල කරන ලද ප්‍රහාර මෙන්ම ඉරාන ආධ්‍යාත්මික නායකයා මරා දැමීම රටවල් ගණනාවක් විසින් දැඩිව හෙළාදකින ලදී. විශේෂයෙන්ම, රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාමාර්ග ඔස්සේ ප්‍රශ්න විසඳනවා වෙනුවට දැඩි අත්තනෝමතික ඇමරිකානු හැසිරීම් ලෝක සාමයට සහ යහපැවැත්මට හානිකර බව ලෝක නායකයන්ගේ මතය වී තිබේ. ඊශ්‍රායලය යොදා ගනිමින් මැදපෙරදිග කලාපයේ යුදගැටුම් පවත්වගෙන යාමෙන් ලෝකය පූරා දැඩි අස්ථාවර තත්වයක් ඇති කරමින් පවතින බව ලෝක නායකයන්ගේ මතය වී තිබේ. දැනට වාර්තා වී ඇති පරිදි හෝමුස් සමුද්‍ර සන්ධියේ දී ඉන්ධන නෞකා තුනකට පමණ ප්‍රහාර එල්ල වී ඇති බව කියැවෙන අතර සෞදි අරාබියේ ප්‍රධාන තෙල් පිරිපහදුවක් ඉලක්ක කරමින් ප්‍රහාරයක් එල්ල වී ඇති බවද කියැවේ. පැහැදිලිව පෙනීයන කරුණක් වන්නේ වත්මන් මැදපෙරදිග අර්බුදය අවම වශයෙන් තවත් සති කීපයක් අඛණ්ඩව පවතී වි යන්නයි.
ඊට ප්‍රධානතම හේතුව වන්නේ ගැටුමට මැදිව සිටින රටවල් අතර යම් යුද විරාමයක් ඇති කිරීමට මැදිහත්විය හැකි පාර්ශවයක් මේ වනවිට නොමැති වීමයි. ගැටුම් ආරම්භයට මත්තෙන් රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා සඳහා අසල්වැසි එක්සත් අරාබි එමීර් රාජ්‍ය මැදිහත් වූ නමුදු එම රට ද ඉලක්ක කරමින් ඉරානය විසින් ප්‍රහාර දියත්කර ඇති පසුබිමක සටන් විරාමයක් සඳහා මැදිහත්වීම කොතෙක් දුරට සිදුවේ ද යන්න පැහැදිලි නැත. කෙසේ වෙතත් මැදපෙරදිග කලාපයේ ආර්ථික වශයෙන් ඉදිරියෙන් ඇති රටවල් දිග් ගැස්සුණු යුද වාතාවරණයක් සඳහා කැමැත්තක් දැක්වීමට ඇති ඉඩකඩ අවම වේ. මක්නිසාද යත් එවන් යුද්ධයක් විශාල ආර්ථික පිරිවැයක් එම රටවල්වලට එක්කළ හැකි වීමයි. ඉරාකය විසින් අසල්වැසි රටවල ආර්ථික මර්මස්ථානවලට ප්‍රහාර එල්ල කිරීමෙන් උත්සාහ කරනුයේ එම රටවල් ලවා ඇමරිකානු ප්‍රතිපත්තියට බලපෑම් එල්ල කිරීම වේ.
ලෝක ආර්ථිකයට ඇති බලපෑම
ඉරානය යනු ඔපෙක් රටවල් සමූහය තුළ තුන්වැනියට විශාලතම ඛනිජ තෙල් නිෂ්පාදනය කරනු ලබන රටවේ. මෙම වසරේ ජනවාරි මාසයේ දත්තවලට අනුව එරට විසින් දිනකට තෙල් බැරල් මිලියන තුනක් (ලක්ෂ 30) පමණ නිෂ්පාදනය කරනු ලබයි. මීටත් වඩා වැදගත් කරුණක් වන්නේ ගෝලීය ඛනිජ තෙල් ප්‍රවාහනයට භාවිත කරනු ලබන හෝමුස් සමුද්‍ර සන්ධියේ එක් පැත්තක් අයිතිව ඇත්තේ ද ඉරානයට වීමය. එම ජල මාර්ගය හරහා ලෝක මුළු තෙල් අපනයනවලින් සියයට 20ක පමණ ප්‍රවාහනය කරනු ලබයි. මැදපෙරදිග තෙල් නිෂ්පාදනය කරනු ලබන එක්සත් අරාබි එමීර් රජ්‍යය, බහරේන්, කුවේට්, කටාර් රාජ්‍යය, ජෝර්දානය, ඕමානය, සහ සෞදි ආරාබිය වැනි රටවල්වල සිට මෙම සමුද්‍ර සන්ධිය හරහා තෙල් ප්‍රවාහනය කරනු ලබයි.
ඒ අනුව, දැනට මැදපෙරදිග කලාපයේ යුදගැටුම් ගෝලීය ආර්ථිකය කෙසේ බලපානු ඇත් ද යන්න තීරණය වන්නේ කරුණු දෙකක් මතයි. ඉන් පළමු වැන්න වන්නේ ඉරානය විසින් හෝමුස් සමුද්‍ර සන්ධියට අදාළව ගනු ලබන තීරණය වේ. වාණිජ කටයුතු සඳහා එම මුහුදු තීරය භාවිත කිරීමට ඉඩ නොදීම හෝ ඊට බාධා කිරීමෙන් තෙල් අපනයන කටයුතුවලට මෙන්ම අපනයන කටයුතුවලට අදාළව රක්ෂණ මිල ගණන් ඉහළයාමට වඩා වැඩි ඉඩකඩක් පවතී. පසුගිය සඳුදා දිනයේදී වෙළෙඳපොළවල් විවෘත වීමත් සමග ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල සියයට 13 කින් පමණ ඉහළ ගිය අතර ඒ අනුව බොර තෙල් බැරලයක නව මිල ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් 80 ක් පමණ වේ. විශ්ලේෂකයන්ට අනුව හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව බාධා කිරීම් අඛණ්ඩව පැවතියහොත් ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල තවදුරටත් ඉහළයාමට වඩා වැඩි ඉඩකඩක් පවතින අතර එය ආසන්න වශයෙන් ඇ.ඩොලර් 100 දක්වා ගමන් කිරීමට ද හැකියාවක් පවතින බව කියැවේ. රුසියා-යූක්‍රේන අර්බුදය ආරම්භ වූ විගස ලෝක බොර තෙල් මිල ආසන්න වශයෙන් ඇ. ඩොලර් 100 දක්වා ඉහළ ගිය අතර පසුකාලීනව එම මිල ගණන් ක්‍රමිකව පහත වැටිණි. දැනට වාර්තාවන ආකාරයට කටාර් රාජ්‍ය විසින් ගෑස් නිෂ්පාදනය නවතා ඇති අතර මේ හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ගණන් ඉහළ යමින් පවතී. දැනටමත් ගෑස් මිල සියයට 40-50 අතර මිලකින් ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තාකර ඇත.
මැදපෙරදිග අර්බුදයේ බලපෑම තීරණය කිරීමෙහිලා බලපානු ලබන දෙවැනි කරුණ වන්නේ මෙම අර්බුදය කෙතරම් කල් පවතීවිද යන්න සහ එහි ව්‍යාප්තිය වේ. යම් හෙයකින් අර්බුදය විසඳීමට කල්ගත වන්නේ නම් එය ලෝක ආර්ථිකයට දැඩි අහිතකර බලපෑම් එල්ල කළ හැකිය. එමෙන්ම යුදගැටුම් කලාපීයව පැතිර යාමක් සිදු වුවහොත් එම තත්වය ද ගෝලීය ආර්ථිකයට ඉතා අහිතකරව බලපෑමට හැකිය. දැනටමත් කොටස් වෙළෙඳපොළවල් ආශ්‍රිතව බිඳවැටීමක් වාර්තා වේ. සැපයුම් ජාල බිඳ වැටීම මෙන්ම ඛනිජ තෙල් මිල ඉහළයාම හේතුවෙන් ගෝලීයව උද්ධමනකාරී තත්වයක් හට ගනු ඇති අතර ලෝක අවපාතයකට ගමන් කිරීමට වඩා වැඩි ඉඩකඩක් පවතී.
මැදපෙරදිග කලාපය දියුණු වෙමින් පවතින රටවලට වැදගත්වන තවත් එක් හේතුවක් වන්නේ එවැනි රටවලින් මෙම කලාපයට රැකියා සොයා එන පිරිස් නිසාවෙනි. ඒ අනුව, යුද තත්වය දිගු කාලීනව පැවතීම දියුණු වෙමින් පවත්නා රටවල රැකියා අපේක්ෂිත ශ්‍රමිකයන්ට මෙන්ම එම රටවල ගෙවුම් ශේෂයට සහ විනිමය අනුපාතයට ඇති කරන්නේ ඉතා අහිතකර ප්‍රතිවිපාක වේ. මේ හේතුවෙන් දියුණු වෙමින් පවත්නා කුඩා ආර්ථිකයන් හී සාර්ව ආර්ථික ස්ථායීතාව බිඳවැටීම දක්වා වූ අහිතකර තත්වයන්ට මැදපෙරදිග අර්බුදය බලපෑ හැකිය. විශේෂයෙන්ම විදේශ ප්‍රේශණ පහත වැටීමෙන් පහළ ආදායම් ලබන ජන කණ්ඩායම්වල ජන ජීවිතය බිඳවැටීමට ලක්විය හැකි අතර ඒ හේතුවෙන් සැලකිය යුතු මට්ටමේ ආර්ථික බිදවැටීමක් සංවර්ධනය වෙමින් පවතින රටවලට අත්විදීමට සිදුවනු ඇත. විශේෂයෙන්ම මෑතකාලීන ඇමරිකානු ආර්ථික සහ දේශපාලනික ප්‍රතිපත්ති හේතුවෙන් ගෝලීය ආයතන (ලෝක වෙළෙඳ සංවිධානය, එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි) අඩපණ කර ඇති අතර ඒ හේතුවෙන් ගෝලීයව ඉහළ අස්ථාවර තත්වයක් නිර්මාණය වී ඇත. මෙම තත්වය විශේෂයෙන්ම දියුණු වෙමින් පවතින කුඩා ආර්ථිකයන්ට ඉතා අහිතකර ව බලපා ඇත. කොවිඩ් 19 අර්බුදයෙන් පසුව දියුණු වෙමින් පවතින කුඩා ආර්ථික ක්‍රමයෙන් යථාවත් වෙමින් පවතිණ තත්වයක් තුළ මෙම අර්බුද මගින් එක්කෝ යළිත් වරක් දියුණු වෙමින් පවතින රටවල් ආර්ථික අර්බුදයට තල්ලු කරනු ඇතැයි විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
මැදපෙරදිග ආර්ථිකය සහ ශ්‍රී ලංකාව
මෙරට ආර්ථිකයට මැදපෙරදිග රටවල් හේතු කීපයක් නිසා වැදගත් වේ. ඉන් පළමු වැන්න වන්නේ ශ්‍රී ලාංකිකයන් සඳහා රැකියා සපයනු ලබන රටවල් බොහොමයක් පවතින්නේ මෙම කලාපය අශ්‍රිතව වීමය. දැනට පළවන වාර්තාවලට අනුව, මැදපෙරදිග කලාපයේ පමණක් ලංකිකයන් දස ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් ආර්ථික කටයුතුවල නිරත වේ. ඒ අතරින් අතිමහත් බහුතරයක් වැටුප් සඳහා රැකියාවල නියුක්තව ඇති අතර තවත් පිරිසක් එම රටවල්වල ජීවත්වන අයයි. නිල සංඛ්‍යා ලේඛන අනුව වැඩිම ලාංකිකයන් පිරිසක් එක්සත් අරාබි එමීර් රාජ්‍ය තුළ සිටින අතර එම පිරිස ආසන්න වශයෙන් 350,000 ක් පමණ වේ. දෙවනුවට ලාංකිකයන් වැඩිම පිරිසක් ජිවත් වන්නේ සෞදි අරාබියේ (176,000) වන අතර තුන්වැනි ස්ථානය කටාර් රාජ්‍යය වේ (140,000). දැනට පවතින නිල දත්තවලට අනුව ඊශ්‍රායලය තුළ ලාංකිකයන් 30,000 පමණ ජීවත් වේ.
2025 වර්ෂයේ දී රැකියා සදහා විදේශගත වූවන්ගෙන් සියයට 80කට ආසන්න සංඛ්‍යාවක් මැදපෙරදිග කලාපයේ රටවල්වල රැකියා සඳහා යොමු විය. මැදපෙරදිග කලාපයට රැකියා සඳහා විදේශගතවන බහුතරයක් පහළ කුසලතාවලින් සමන්විත වන අතර අඩකට වැඩි පිරිසක් ගෘහ සේවයට පිටත්ව යති. එහෙත් පසුගිය දශකයක පමණ කාලය තුළ මැදපෙරදිග කලාපයට රැකියා සඳහා පිටත්ව යන පිරිස තුළ ඉහළ කුසලතා සහිත පිරිස සැලකිය යුතු අයුරින් ඉහළ ගොස් ඇත. වාර්ෂිකව ලාංකිකයන් මෙරටට එවනු ලබන මුළු ප්‍රේෂණ ප්‍රමාණයෙන් හරි අඩක් පමණ මැදපෙරදිග කලාපයෙන් ලැබෙන අතර 2024 වර්ෂයේ දී එම ප්‍රමාණය ආසන්න වශයෙන් ඩොලර් බිලියන 3.5ක් පමණ විය. වැඩිම විදේශ ප්‍රේෂණ ප්‍රමාණයක් ගලා එන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කුවේටය, සෞදි අරාබිය සහ කටාර් යන රටවල්වලින් වේ. ඉරානයේ රැකියාවල නියුතු ලාංකිකයන් ගණන ඉතා පහළ අගයක් ගන්නා හෙයින් විදේශ ප්‍රේෂණවලට එතරම් වැදගත්කමක් නොගන්නා නමුත් ඊශ්‍රායලය තුළ රැකියා කරනු ලබන ලාංකීකයන් විසින් සැලකිය යුතු විදේශ ප්‍රේෂණ ප්‍රමාණයක් මෙරටට එවනු ලැබේ.
මෙරට මුළු අපනයනවලින් සියයට 10ක් පමණ වටිනාකමකින් යුතු භාණ්ඩ, මැදපෙරදිග කලාපයට අපනයන කෙරේ. අපනයනය කරනු ලබන භාණ්ඩ අතර තේ, රබර් ආශ්‍රිත නිෂ්පාදන, ඇගලුම්, කුළු බඩු, කෘෂිකාර්මික නිෂ්පාදන සහ සැකසූ ආහාර ප්‍රධාන තැනක් ගනී. ප්‍රධාන අපනයන හවුල්කරුවන් අතර එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ සෞදි අරාබිය ප්‍රධාන තැනක් ගනු ලබයි. වර්තමානය වනවිට අපනයන වෙළෙඳපොළක් ලෙස ඉරානයේ සාපේක්ෂ වැදගත්කම පහළ අගයක් ගනී. 2018 පෙර කාලයේ දී වාර්ෂිකව ඉරානයට කරනු ලැබූ අපනයනවල වටිනාකම ඩොලර් මිලියන 150කට වැඩි අගයක් ගනු ලැබුවත් පසුකාලීනව එම අගය දිගින් දිගටම පහළ වැටුණි. ඊට ප්‍රධානතම හේතුව වුයේ ඇමරිකාව විසින් පනවනු ලැබූ සම්බාධක ලංකාවේ තේ අපනයන සඳහා අහිතකරව බලපෑමයි. මෙරට මුළු ආනයනවලින් සියයට 10කට ආසන්න ප්‍රමාණයක් මැදපෙරදිග කලාපය සමග කරනු ලබන අතර එම ප්‍රමාණය 2024 වර්ෂයේ දී ආසන්න වශයෙන් ඩොලර් බිලියන 3 ක් පමණ විය. ප්‍රධාන ආනයනකරුවන් අතර එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ ඕමානය විශේෂ වැදගත්කමක් ගනු ලබයි. මෙරට විදේශ ආයෝජන සඳහා මැදපෙරදිග රටවල වැදගත්කම සාපේක්ෂව පහත අගයක් ගනු ලබන අතර එම කලාපයේ රටවල් අතරින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ සෞදි අරාබියේ ආයෝජකයන් මෙරට තුළ ආයෝජන කටයුතු කිරීමට යම් උනන්දුවක් පසුගිය කාලයේ දී දක්වනු ලැබිණි. එහෙත් මැදපෙරදිග කලාපයේ අනෙකුත් රටවල ආයෝජකයන් මෙරට තුළ අයෝජනය කිරීමට යොමු වීමක් දැකිය නොහැක.
ශ්‍රී ලාංකීය ආර්ථිකයට ඇති බලපෑම
මැදපෙරදිග කලාපය සහ මෙරට ආර්ථීකය අතර ඉතා කිට්ටු සම්බන්ධතාවක් පවතින බව ඉහත දත්ත අනුව මනාව පැහැදිලිවන කරුණක් වන අතර එම කලාපය අස්ථාවර වීම මෙරට ආර්ථිකයට ආකාර කීපයකින් බලපෑම් එල්ල කළ හැකි වෙතැයි අනුමාන කළ හැකි වේ. මැදපෙරදිග කලාපයේ දැනට පවතින ගැටුම් තවදුරටත් තීව්‍ර වුවහොත් සහ කලාපීයව පැතිර ගියහොත් ගෝලීයව ආර්ථික අවපාත තත්වයක් මෙන්ම ඉහළ උද්ධමනකාරී තත්වයක් ඇතිවීමට පවතින ඉඩකඩ ඉතා ඉහළය. එවැනි තත්වයක් ආකාර කීපයකින් මෙරට ආර්ථිකයට අහිතකර තත්වයක් ඇතිකිරීමෙහිලා බලපෑම් එල්ල කළ හැකිය.
පළමුව ගෝලීයව මෙන්ම දේශීයවද ඛනිජ තෙල් මිල ඉහළයාම හේතුවෙන් භාණ්ඩ සහ සේවා මිල ගණන් ඉහළයෑම සිදුවිය හැක. වසංගතයකට, ආර්ථික අර්බුදයකට සහ ස්වාභාවික ආපදාවකට මුහුණ දී ආර්ථික අපහසුකම් මැද්දේ ජීවත්වන මෙරට පහළ ආදායම් ලබන ජනකොටස්වලට එවැනි මිල ගණන් ඉහළයාමක් දරාගැනීම අපහසු බව අමුතුවෙන් කිව යුතු නොවේ. දෙවැනුව විදේශගත ශ්‍රමිකයන් මෙරටට කරනු ලබන ප්‍රේෂණ පහත යාම, අපනයන ඉපැයීම් පහතයාම, මෙන්ම ඛනිජ තෙල් සඳහා ඉහළ මිලක් ගෙවීමට සිදුවීම හේතුවෙන් ආනයන වියදම් ඉහළ ගොස් ගෙවුම් ශේෂයට දැඩි පීඩනයක් ගෙනදිය හැකිය. විනිමය අනුපාතය අවප්‍රමාණයට වඩා වැඩි ඉඩකඩක් පවතී. ඉන් නොනැවතී විදේශ සංචිත කෙරෙහිද මෙම තත්වය අහිතකරව බලපෑම් එල්ල කළ හැකිය.
තුන්වැනුව විදේශ ප්‍රේෂණ පහළයාම එම මුදල්මත ජීවත්වන පහළ ආදායම් ලබන පවුල්වලට අහිතකරව බලපෑම් එල්ල කළ හැකිය. විශේෂයෙන්ම පහළ ආදායම් ලබන ජන කොටස්වල සැලකිය යුතු පිරිසක් පසුගිය කාලයේ පැවැති ආර්ථික අර්බුද
අවස්ථාවේදී විදේශ රැකියා සඳහා පිටත්ව ගිය අතර ඒ අතරින් බහුතරයක් මැදපෙරදිග රටවල කුමන හෝ රැකියාවකට සම්බන්ධ වූහ. එසේ විදේශගත වූ පිරිස් අතරින් බොහෝ දෙනෙක් තම වත්කම් විකුණා හෝ උගසට තබා විදේශගතවීමට අවශ්‍ය මුදල් සපයා ගත්හ. යම් හෙයකින් වත්මන් අර්බුදය තීව්‍ර වුවහොත් එවැනි පිරිස් ඉතා අසරණවීමට ඇති ඉඩකඩ ඉතා ඉහළය.
සිව්වනුව රැකියා සඳහා මෙම කලාපයට යාමට අපේක්ෂාවෙන් සිටින පිරිස්වලට වත්මන් තත්වය ඉතා අහිතකරව බලපානු ඇත. විශේෂයෙන්ම තරුණ පිරිස් ඊශ්‍රායලය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ කටාර් වැනි රටවලට යාමට මහත් වෙහෙසක් සහ වියදමක් දරනු ලබන අතර එවැනි පිරිස්වල අපේක්ෂා බිඳවැටීම යම් සමාජ අසහනයක් දක්වා වර්ධනය
වීමටද වැඩි ඉඩකඩක් පවතී. මෙම තත්වය දේශීය රැකියා වෙළෙඳපොළට ඉතා ඉහළ තෙරපුමක් ගෙනදීමට බලපෑ හැකි තත්වයකි.
පස්වනුව ඉහළයන අනාරක්ෂිත තත්වය මෙන්ම ගෝලීයව මිල ගණන් ඉහළයාම වැනි කරුණු මෙරට සංචාරක කර්මාන්තයට අහිතකරව බලපෑම් එල්ල කිරීමට හැකියාවත් පවතී. අප මෑත දශක කීපය තුළ අත්ලද තත්වයක් වූයේ සෑම වසර 2-3 කට වරක් සංචාරක කර්මාන්තය යම් දේශීය හෝ ගෝලීය කම්පනයක් හේතුවෙන් බිඳවැටීම විය. පසුගිය වසර දෙකක පමණ කාලය තුළ සංචාරක කර්මාන්තයේ පිබිදීමක් ඇති වූ අතර ආර්ථික අර්බුදයෙන් පසුව යම් සාර්ව ආර්ථික ස්ථායීතාවක් අත්කර ගැනීමට එම වැඩි දියුණුවීම මහත් අස්වැසිල්ලක් විය. අවසන් වශයෙන් ගෝලීයව ඉහළ උද්ධමනක් පැවතීම පොලී අනුපාත ගෝලීයවත් දේශීයවත් ඉහළ මට්ටමක පැවතීමට බලපෑම් කරනු ඇතැයි උපකල්පනය කළහැකිය. එවැනි තත්වයක් ආයෝජකයන්ට මෙන්ම ණයකරුවන්ට යහපත් නොවනු ඇත.
සාරාංශය
ආර්ථික අර්බුදයෙන් පසුව අත්කරගත් සාර්ව ආර්ථික ස්ථායීතාවට ඉහළ දායකත්වයක් දක්වන ලද්දේ ඉහළයන ලද විදේශ ප්‍රේෂණ ලැබීම් සහ සංචාරක කර්මාන්තයේ පිබිදීම මත ඉහළගිය විදේශ විනිමය ඉපැයීමය. එහි ප්‍රතිඵලයක් ලෙස ගෙවුම් ශේෂය පසුගිය වසර දෙකක කාලය තුළ ධන අගයක් වාර්තා කළ අතර විනිමය අනුපාතය ස්ථාවර වීමක් සිදුවිය. විදේශ සංචිත ගොඩනැංවීමට ධනාත්මකව බලපානු ලැබිණ. වත්මන් මැදපෙරදිග අර්බුදය තවදුරටත් තීව්‍ර වන්නේ නම් සහ පැතිර යන්නේ නම් එවැනි තත්වයක් මෙරට විසින් දැනට අත්කරගෙන ඇති සාර්ව ආර්ථික ස්ථායීතාවට අහිතකරව බලපෑම් කිරීමට ඇති ඉඩකඩ ඉතා ඉහළය. විදේශ විනිමය ඉපැයීම් පහළ යාම සහ ඛනිජ තෙල් සඳහා ඉහළ ආනයන පිරිවැයක් දැරීමට සිදුවීම ගෙවුම් ශේෂය මත දැඩි බලපෑමක් ඇති කරතැයි අපේක්ෂා කළ හැකිය. විදේශගත ශ්‍රමිකයන් එවනු ලබන ප්‍රේෂණ පහළයාම ඔවුන්ගේ පවුල්වලට මෙන්ම දේශීය ආර්ථිකයට ද ඉතා අහිතකරව බලපෑම් එල්ල කළ හැකිය. එපමණක් ද නොව මැදපෙරදිග කලාපයේ රැකියා සඳහා යොමු වීමට අපේක්ෂාවෙන් සිටින තරුණ පිරිස්වල එම අපේක්ෂා බිඳ වැටීමට ද එය හේතුවක් වනු ඇත.
මෙරටට විදේශ විනිමය ගෙනදෙන විදේශගත ශ්‍රමික ප්‍රේෂණ සහ සංචාරක කර්මාන්ත ආශ්‍රිත ඉපැයීම් ඉහළ අවදානම්කාරී (vulnerable) විදේශ විනිමය මූලාශ්‍ර වේ. එනම් යම් දේශීය හෝ ගෝලීය කම්පනයක් හේතුවෙන් අදාළ ඉපැයීම් ඉතාමත් කෙටිකාලීනව පහත වැටිමට ඇති ඉඩකඩ වැඩිවේ. 2022 වසරේ රට මුහුණදුන් ආර්ථික අර්බුදයට ආසන්නතම හේතුවක් වූයේ වසංගතයේ බලපෑමෙන් ශ්‍රමික ප්‍රේෂණ සහ සංචාරක ඉපැයීම් පහත වැටීම විය. මැදපෙරදිග අර්බුදය තුළ ද අප වඩාත් විමසිලිමත් විය යුත්තේ තවමත් ඉහත මූලාශ්‍ර දෙක තුළ මෙරට ආර්ථිකය රඳාපවතින බැවිනි. මෙවැනි අර්බුදවලින් යළි යළිත් අවධාරණය කර සිටින්නේ ශක්තිමත් අපනයන අංශයක් ගොඩනැංවීමේ වැදගත්කම වේ. එහිලා කළ යුතු වන්නා වූ ප්‍රතිසංස්කරණ ආර්ථික පරිවර්තන පනත තුළ ඇතුළත් වන අතර එම පනත සාර්ථකව ක්‍රියාත්මක කළ යුතුව ඇත.
මෙරට තරුණ පිරිස් රැකියා සඳහා විදේශගත වීම ඉතා ශීඝ්‍රයෙන් සිදුවෙමින් පවතින අතර රාජ්‍ය විශ්වවිද්‍යාලවල උපාධිධාරීන්ගෙන් සියයට 75ක් පමණ විදේශගතවීමට අපේක්ෂාවෙන් සිටින බව කියැවේ. ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය වේගවත් කර ඉහළ තිරසාර ආර්ථික වර්ධනයක් ඇතිකරලීමෙන් මෙරට තරුණ පිරිස් රැකියා සොයා විදේශගතවීම පහත හෙළිය හැකිය. මෙම අවශ්‍යතාව පිළිබඳව ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ අවධානය යොමු වෙතැයි අපේක්ෂා කරමු.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd