• ඉහළ යන මෙහෙයුම් පිරිවැය, සැපයුම් දාමයට එල්ල වන පීඩනය සහ තාක්ෂණික වෙනස්කම්වල වේගවත් බවත් බලපෑම් අතර
  • ශ්‍රී ලංකාවේ AI තාක්ෂණයෙන් සන්නද්ධ ප්‍රථම රෝහල නවලෝක බවත් පවසයි

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා අංශය තවදුරටත් සැලකිය යුතු බාධා මධ්‍යයේ ක්‍රියාත්මකව පවතින්නක් බව නවලෝක රෝහල් සමූහයේ අධ්‍යක්ෂ/සාමාන්‍යාධිකාරී විද්‍යා ජෝති සම්මානිත මහාචාර්ය ලාල් ගෝඨාභය චන්ද්‍රසේන මහතා පවසයි. මේ අතරින් පුහුණුව ලත් වෛද්‍යවරුන්, හෙදියන් සහ අනෙකුත් සෞඛ්‍ය වෘත්තිකයන්ගේ හිඟය මූලික බවත් ඒ මහතා සඳහන් කරයි.

2025/26 වසර සඳහා නවලෝක හොස්පිටල්ස් පීඑල්සී සමාගම නිකුත් කළ වාර්ෂික වාර්තාව වෙත අදහස් දැක්වීමක් සිදු කරමින් සාමාන්‍යාධිකාරීවරයා මෙම කරුණු සඳහන් කර තිබේ.

“සෞඛ්‍ය සේවා අංශය තවදුරටත් සැලකිය යුතු බාධාවලට මුහුණ දෙමින් සිටිනවා. නිපුණතාව සහිත වෛද්‍ය, හෙද සහ අනුබද්ධ සෞඛ්‍ය වෘත්තිකයන්ගේ හිඟය, ඉහළ යන මෙහෙයුම් පිරිවැය, සැපයුම් දාමයට එල්ල වන පීඩනය සහ තාක්ෂණික වෙනස්කම්වල වේගවත් බව යන කරුණු රට පුරා පිහිටි සෞඛ්‍ය සේවා ආයතනවලට බලපෑම් ඇති කර තිබෙනවා.“ ඒ මහතා පවසයි.

ඒ අනුව මෙම බාධා සඳහා පිළියම් ලෙස නවලෝක රෝහල් සමූහය මේ වනවිටත් දත්ත මත, තාක්ෂණය මත පදනම් වූ සායනික පහසුකම් සහිත නවීනතම පහසුකම්වලින් සමන්විත ස්ථාන බවට පත් කරන බවත්, එහිදී වැඩි වශයෙන් කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය සහ රොබෝ යෙදවුම්ද මෙම සෞඛ්‍ය සේවාව සඳහා යොදා ගන්නා බවත් පවසයි.

“කෘත්‍රිම බුද්ධිය සහ ඩිජිටල් සෞඛ්‍ය විසඳුම් සඳහා සමූහය විසින් සිදු කරන ලද ආයෝජන, රෝගීන් කේන්ද්‍ර කරගත් එහි දිගුකාලීන වර්ධන උපායමාර්ගයේ ප්‍රධාන අංගයක් ලෙස පවතිනවා. ශ්‍රී ලංකාවේ ප්‍රථම (AI) තාක්ෂණයෙන් සන්නද්ධ රෝහල ලෙස සමූහයේ ස්ථානගත වීම තහවුරු කරමින්, දකුණු ආසියාවේ ප්‍රථම AI -පාදක විකිරණවේද අංශය ක්‍රියාත්මක කිරීමද ගෙවුණු වසර තුළ සිදු වූ ආයෝජනවලට ඇතුළත් වුණා.’’ සමූහය සඳහන් කරයි.