පිරිවැය ඉහළ යාම, සැපයුම් සේවා අභියෝග සහ නියාමන බාධා අපනයන සීමාකිරීම් සඳහා ප්‍රධාන හේතු ලෙස හඳුනාගෙන

බාධා මධ්‍යයේ වුවත් 2025 දී අපනයනකරුවන්ගෙන් සියයට 54කගේ ආදායම් වර්ධනය වෙලා

කලාපීය තරගකාරීත්වය යටතේ ලංකාවේ තත්වය නරක බව සියයට 42ක් පවසයි

අපනයනකරුවන් අතරින් සියයට 55ක් පසුගිය වසරේදී නව වෙළෙඳපොළ හඳුනාගෙන

බහුතරයක් දෙනා නිදහස් වෙළෙඳ ගිවිසුම් පැවතීමේ ඇති වැදගත්කම අවධාරණය කරයි

SVAT ඉවත් කිරීම ඍණාත්මක බලපෑමක් එල්ලකර ඇතැයි සියයට 63ක් පවසයි

අපනයනකරුවන්ගෙන් සියයට 98ක්ම නව ජාත්‍යන්තර වෙළෙඳපොළට පිවිසීමේ බලපොරොත්තුවක

අපනයන වෙළෙඳපොළෙ සොයා ගැනීමේදී සමාජ මාධ්‍ය වෙත යොමුවීම ඉහළ ගිහින්


භානුක අමරසිංහ


පසුගිය 2025 වසරේදී මෙරට අපනයනකරුවන්ගේ අපනයන මෙහෙයුම් සීමා කරන අභියෝග යටතේ පිරිවැය ඉහළ යෑම, සැපයුම් සේවා අභියෝග සහ නියාමන බාධා තවදුරටත් ප්‍රධානතම හේතු ලෙස හඳුනාගෙන ඇතැයි ලංකා වාණිජ මණ්ඩලය පවසයි.

එසේම වෙළෙඳ පහසුකම් සැපයීමේදී පවතින අපහසුතා අපනයන තරගකාරීත්වයේදී බලපෑම් එල්ල කරන බවත්, ප්‍රතිපත්ති අස්ථාවරත්වය සියලු‍ම අපනයන අංශ වෙත පොදු වූ කරුණක් බවට පත්ව තිබෙන බවත් එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි. 

මීට අමතරව දේශගුණික, පාරිසරික සහ ආපදා අවදානම, පුහුණු සේවක හිඟය, තිරසාරත්වය සහ අනුකූලතා පීඩනද අපනයනකරුවන් වෙත එල්ල වී ඇති බාධා අතර පවතී. 

ලංකා වාණිජ මණ්ඩලය මගින් 2025 වසර සඳහා නිකුත් කළ අපනයන බැරෝමීටර සමීක්ෂණය 2026 (Export Barometer Survey 2026) තුළ මෙම කරුණු සඳහන්ව ඇත. මෙය එම මණ්ඩලය ඉදිරිපත් කළ 7 වැනි අපනයන බැරෝමීටර සමීක්ෂණ වාර්තාවද වෙයි. 

එම මණ්ඩලය මගින් හඳුනාගත් භාණ්ඩ හා සේවා අපනයනකරුවන් 90 දෙනකු සහ ප්‍රධානතම තොරතුරු සපයන්නන් 10 දෙනකුගෙන් සිදුකළ සම්මුඛ සාකච්ඡාවලින් ලැබුණු තොරතුරු අනුව මෙම සමීක්ෂණය ඉදිරිපත් කර තිබේ.

මෙහිදී අපනයකකරුවන් යටතේ සුළු හා මධ්‍ය පරිමාණ අපනයනකරුවන් 38 දෙනකුගෙන් සහ මහාපරිමාණ සමාගම් 52 කගෙන් තොරතුරු ලබාගෙන තිබේ. එසේම ඇගලු‍ම්, කෘෂිකර්මාන්තය, IT/BPO සහ මුහුදු ආහාර යන අංශ ආවරණයවන පරිදි සම්මුඛ සාකච්ඡා පවත්වා ඇත.

කෙසේ වෙතත් මෙම බාධා මධ්‍යයේ වුවද 2025 වසරේදී මෙරට භාණ්ඩ හා සේවා අපනයනකරුවන් අතරින් සියයට 54කගේ ආදායම් වර්ධනය වී ඇති බව මෙම සමීක්ෂණය පවසයි. ඉන් සියයට 63ක් විශාල සමාගම් වන අතර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සියයට 43 කි. එහෙත් අපනයනකරුවන්ගෙන් සියයට 14කගේ ආදායම් වර්ධනය වී නොමැති බවත්, සියයට 31 කගේ ආදායම් තුළ වෙනසක් සිදුව නොමැති බවත් මෙහිදී වාර්තා වී තිබේ. 

මේ අතර කලාපීය තරගකරුවන් හා සැසඳීමේදී නව ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව පිළිබඳ අදහස යම් තරමකට නරක බව සියයට 42ක පිරිසක් පවසා ඇත. එසේම සියයට 13ක් වඩාත් නරක බව පවසා ඇත. කෙසේ වෙතත් වඩාත් හොඳ බව පවසා ඇත්තේ සියයට 9 කි. තරමක් හොඳ බව සියයට 21ක් පවසා ඇති අතර, වෙනත් රටවල් හා සමාන බව සියයට 14ක් පවසා තිබේ. 
සමීක්ෂණයට එක් වූ අපනයනකරුවන් අතරින් බොහෝ දෙනකු අපනයන පුළුල් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති අතර, ඉන් සියයට 55ක් පසුගිය වසරේදී නව වෙළෙඳපොළ හඳුනාගෙන තිබේ. එසේම සියයට 80ක් දෙනා නිදහස් වෙළෙඳ ගිවිසුම් පැවතීමේ ඇති වැදගත්කම පිළිබඳව කරුණු ඉස්මතු කර ඇත. 
මෙහිදී සරල කළ වැට් (SVAT) පහසුකම ඉවත් කිරීම සිය අපනයන මෙහෙයුම් සඳහා බලපා ඇත්තේ කෙසේද යන්න පිළිබඳව සිදු කළ සමීක්ෂණයේ ප්‍රතිඵල අනුව සියයට 63ක පිරිසක් එය ඍණාත්මක බව පවසා තිබේ. සියයට 15 ක පිරිසක් ධනාත්මක බව පවසා ඇත. සියයට 10ක් මින් බලපෑමක් එල්ල නොවන බව සඳහන් කර තිබේ.
එසේම මෙම අපනයනකරුවන් අතරින් සියයට 98ක්ම නව ජාත්‍යන්තර වෙළෙඳ පොළ වෙත පිවිසීමේ බලපාපොරොත්තු වෙන් සිටින බවටත් පවසා තිබේ. ඒ අතරින් සියයට 48ක් යුරෝපය වෙතත්, සියයට 18ක් ආසියාව වෙතත්, සියයට 12ක් උතුරු ඇමෙරිකාව වෙතත්, සියයට 9ක් මැදපෙරදිග වෙතත් පිවිසීමේ වැඩි අපේක්ෂාවෙන් පසුවන බවත් සඳහන් කර තිබේ. 
මෙලෙස අපනයන වෙළෙඳ පොළ සොයා ගැනීමේදී සහ ඒවා වෙත පිවිසීමේදී අපනයනකරුවන් වැඩි වශයෙන් ඩිජිටල් වේදිකා වෙත යොමුවීමක් දැකගත හැකි බවත් මෙම සමීක්ෂණය පෙන්වා දෙයි. ඒ අතරින් සියයට 62.9ක් සමාජ මාධ්‍ය නාලිකා මේ සඳහා යොදා ගන්නා අතර සියයට 14.5ක් අන්තර්ජාල දැන්වීම් යොදා ගන්නා බව පවසා තිබේ.
එසේම අන්තර්ජාල වෙළෙඳ පොළ (Online Marketplaces) හරහා සිය අපනයන සිදු කරන පිරිස සියයට 12.9 කි. බලපෑම්කරුවන්/අන්තර්ගත නිර්මාණකරුවන් වෙත යොමුවන ප්‍රමාණය සියයට 9.7 කි. 
මේ අතර 2026 සඳහා වන ඉදිරිදැක්ම පිළිබඳ සැලකීමේදී ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 43ක් වඩාත් මධ්‍යස්ථ ආර්ථික වර්ධනයක් සිදුවනු ඇතැයි කරුණු දක්වා ඇත. එහෙත් සියයට 24ක් කිසිදු වෙනසක් සිදු නොවනු ඇතැයි පවසා තිබේ.