ශ්‍රී ලංකාවට ඉහළ විදේශ විනිමය ආදායමක් උපයා දීමට සමත්ව ඇති මෙරට වැවිලි කර්මාන්තයේ ප්‍රධාන බෝගයන් ලෙස, තේ, පොල්, රබර් හඳුනාගෙන තිබුවද ඒ අතර සැඟවුණු සුවිශේෂී ආර්ථික සාධකයක් වූයේ ඔයිල් පාම් වගාවයි. මීට වසර කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේ ඔයිල් පාම් වගාව තහනමට ලක් වූයේ ඒ තුළින් සැලකිය යුතු පාරිසරික හානියක් සිදු වන බව පවසමිනි. එහෙත් එම තහනමෙන් සිදුව ඇත්තේ දැවැන්ත ආර්ථික හානියකි. රටට අවශ්‍ය පාම් ඔයිල් රට තුළම නිෂ්පාදනය කරගැනීමේ හැකියාව පවතින තත්වයක් තුළ මෙම තහනම හේතුවෙන් 2021 වසරේ සිට 2025 වසර දක්වා වන වසර 4ක කාලයක් සඳහා පාම් ඔයිල් ආනයනය කිරීමට ඇමරිකානු ඩොලර් මිලියන 175කට අධික මුදලක් වැය කර තිබීම ඊට උදාහරණ ලෙස දැක්විය හැකිය.
1968 වසරේදී ආරම්භ වූ මෙරට ඔයිල් පාම් වගාව රට පුරා ජනප්‍රිය ආර්ථික වගාවක් බවට පත් වූයේ 2001 වසරෙන් පසුය. ඒ වන විට රබර් කර්මාන්තය මුහුණ දෙමින් පැවති අභියෝග හමුවේ විකල්ප ආර්ථික වගා පිළිබඳ අවධානය යොමු කරමින් සිටි අතර ඔයිල් පාම් හොඳම විකල්පය බවට පත් විය. මෙහි ඇති ආර්ථික වටිනාකම හඳුනාගත් එවක රජය 2009 වසරේදී ඔයිල් පාම් වගාව ව්‍යාප්ත කිරීම සඳහා බදු සහන ලබා දීමට කටයුතු කළ අතරම 2016 වසර පමණ වන විට වගාව හෙක්ටයාර 20,000ක් දක්වා දීර්ඝ කිරීමේ සැලසුම් සඳහා අනුමැතියද ලබා දීමට කටයුතු කරනු ලැබීය.
සාමාන්‍යයෙන් මෙරට වාර්ෂික ආහාරයට ගත හැකි මේද හා තෙල් අවශ්‍යතාව ආසන්න වශයෙන් මෙට්‍රික් ටොන් 264,000ක් වන අතර දේශීය නිෂ්පාදනවලින් ඉන් සැලකිය යුතු කොටසක් සම්පූර්ණ කිරීමට හැකියාව ඇත. පාම් ඔයිල් මෙරට නිෂ්පාදනය සිදු කරන කාලය තුළ අවශ්‍යතාව සම්පූර්ණ කිරීම සඳහා වන ඉතිරි පාම් ඔයිල් ආනයනය සඳහා ඩොලර් මිලියන 35ක මුදලක් පමණක් අවශ්‍ය බවට ඇස්තමේන්තු ගත කර තිබුණද 2021 වසරේ තහනමත් සමග මේ දක්වා එය ඩොලර් මිලියන 175ක පමණ බලපෑමක් එල්ල කර ඇත. ඉන් කියවෙන්නේ දේශීය ආර්ථිකය හා ගොවියා අනතුරේ හෙළමින් විදේශීය ආර්ථිකයන් ශක්තිමත් කිරීමට අප කටයුතු කර ඇති බව නොවේද?
භාවිතයට නොගත් ආයනික පැළ අහිමි වීම
2009 වසරේදී වගාව සඳහා දෙමුහුන් බීජ ආනයනය කිරීමට බදු සහන ලබා දුන් අතර දේශීය වගා තාක්ෂණය ඉහළ නැංවීමේ කාර්යය රබර් පර්යේෂණ ආයතනයට පැවරිණ. ඒ වන විට රජයෙන් ලබා දුන් පැහැදිලි ප්‍රතිපත්ති හේතුවෙන් වටවල, නමුණුකුල, ඇල්පිටිය, හොරණ සහ මල්වත්ත වැලි ඇතුළු වැවිලි සමාගම් රැසක් මෙම කර්මාන්තය සඳහා රු. බිලියන ගණනක් ආයෝජනය කරන ලදී. එහි සමස්ත ආයෝජනය රුපියල් බිලියන 23 කට අධික බවට ඇස්තමේන්තු කර ඇත.
2021 වසරේ වගාව තහනමට ලක් කරන විට රුපියල් මිලියන 550ක වගාවට අවශ්‍ය බීජ පැළ හා පැළ මෙරටට ගෙන ඒමට කටයුතු කර තිබූ බව ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ අදහසයි. වසර 25 දක්වා අස්වැන්නක් ලබා දෙන ආකාරයේ උසස් තත්වයේ එම බීජ පැළ සඳහා ආයෝජනය කිරීම අවසානයේදී මුදල් නාස්ති කිරීමක් පමණක් බවට පත් වූයේ ආයෝජනය කළ සමාගම්වලට දැවැන්ත පාඩුවක් අත්කර දෙමිනි.
ග්‍රාමීය ආර්ථික වර්ධනයේ සැලකිය යුතු දායකත්වයක්ඍ ජු රැකියා 5000කට අධික ප්‍රමාණයක් සමගින් 21,000කට අධික ප්‍රජාවකගේ ජීවනෝපාය බවට පත්ව තිබූ ඔයිල් පාම් වගාවේ නියුතුවූවකු සෑම විටම තේ. රබර් වගාවලට වඩා දෙගුණයක ආදායමක් ලබා ගැනීමට සමත් වූ අතර ග්‍රාමීය ආර්ථිකයට වාර්ෂිකව රුපියල් බිලියන 2.5ක ඇස්තමේන්තුගත දායකත්වයක්ද ලබා දුනි.
ලෝකයේ බොහෝ රටවල් එම රටවල ප්‍රධාන ආදායම් බෝගයක් ලෙස ඔයිල් පාම් ව්‍යාප්ත කිරීමට කටයුතු කර ඇති මෙම වගාව ගෝලීයව සියයට 6ක භූමි ප්‍රමාණයක ව්‍යාප්තව ඇත. ඒ තුළින් තෙල් අවශ්‍යතාවෙන් සියයට 40ක ප්‍රමාණයක් නිෂ්පාදනය කරනු ලබයි. මැලේසියාව, ඉන්දුනීසියාව. ඉන්දියාව කලාපයේ ප්‍රධාන ඔයිල් පාම් වගාකරුවන් බවට පත්ව ඇත්තේ පාරිසරික බලපෑම අවම කරන ආර්ථික ශක්තියක් ග්‍රාමිය වශයෙන් සහතික කරමිනි. උසස් නිෂ්පාදනයක් සහතික කිරීම සඳහා RSPO, MSPO සහ ISPO වැනි ක්‍රමවේද අනුව සිදු කරනු ලබන මෙම කර්මාන්තය ශ්‍රී ලංකාවේ තහනම ඉවත් කරමින් තවදුරටත් ව්‍යාප්ත කිරීමට කටයුතු කිරීම ඉතා කාලෝචිත වනු ඇත.
වැවිලි කර්මාන්තයේ අනාගතය
ශ්‍රී ලංකාවේ ආනයන වියදම් අවම කර ගැනීම, රැකියා උත්පාදනය හා ලාභදායී වැවිලි කර්මාන්තයක් ඇති කිරීම මෙන්ම කුඩා වතු හිමියන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් නවීන තාක්ෂණය යොදා ගනිමින් ඔයිල් පාම් වගාව නැවත ආරම්භ කිරීමට අවසර ලබා දීම බොහෝ ආර්ථික අවස්ථා විවර කර ගැනීමට පහසු මගක් වනු නිසැකය. අද වන විට ඉන්දියාව ඒ තුළින් දැවැන්ත ආදායමක් උපයමින් සිටින අතර 2030 වසරේදී මෙම වගාව තවදුරටත් පුළුල් කරමින් හෙක්ටයාර මිලියන 1.7ක් දක්වා ව්‍යාප්ත කිරීමට කටයුතු කරමින් සිටියි.
ලංකා වැවිලි කරුවන්ගේ සංගමය පවසන පරිදි මෙරට වැවිලි කර්මාන්තයේ අනාගතය සුරක්ෂිත කර ගැනීම උදෙසා ඉදිරි දැක්මක් සහිත ප්‍රතිපත්ති අනුගමනය කළ යුතුය. ලෝක වෙළෙඳපොළ වෙනුවෙන් නිෂ්පාදන සිදු කළ යුතුය. එහෙයින් ඔයිල් පාම් වගාව සඳහා වන මෙරට විභවයන් හඳුනාගනිමින් ඊට අවශ්‍ය පහසුකම් හා දිරි ගැන්වීම් ලබා දීම ආර්ථික ඉලක්ක ජය ගැනීමට මෙන්ම ග්‍රාමීය දිළිඳු බව පිටු දැකීමට පිටිවහලක් වනු නිසැකය.
2025 නොවැම්බර් මස 04
849
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2489
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1789
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පාම් ඔයිල් වගා තහනම ඉවත් කළයුත්තේ ඇයි?