
කොටස් වෙළෙදපොළේ ආයෝජනය - පියවරෙන් පියවර සරලව - 11 වන කොටස.
මෙම ලිපිය ආයෝජකයන්ගේ මූල්‍ය සාක්ෂරතාව වැඩි දියුණු කිරීම සහ දැනුවත් මූල්‍ය තීරණ ගැනීමට අවශ්‍ය මඟ පෙන්වීමක් ලබාදීම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව විසින් සකස් කරන ලද ලිපියකි.
කොටස් වෙළෙඳපොළ ඇතුළු ප්‍රාග්ධන වෙළෙඳපොළෙහි ආයෝජනය ආරම්භ කිරීමට පෙර ඒ පිළිබඳව හොඳින් අධ්‍යයනය කිරීම ඕනෑම ආයෝජකයකුට ඉතා වැදගත්ය. මන්ද එය දැනුවත් මූල්‍ය තීරණ ගැනීමට හැකියාව ලබා දෙයි. ධනය රැස් කිරීමට සහ වර්ධනය කර ගැනීමට පහසුකම් සපයයි. දැනුම ආයෝජකයන්ට ඔවුන්ගේ මූල්‍ය ඉලක්ක සමඟ ගැළපෙන තීරණ ගැනීම සඳහා උපකාරී වන අතර විවිධ සුරැකුම්පත්වල (කොටස්, සාංගමික ණයකර, ඒකක භාර වැනි සාමූහික අරමුදල්) ඇති අවදානම් සහ ප්‍රතිලාභ ඇගයීමටද උපකාරී වේ.
ප්‍රාග්ධන වෙළෙඳපොළවල ආයෝජනය කිරීමෙන් ප්‍රාග්ධන ලාබ (කාලයත් සමඟ වටිනාකමේ වර්ධනය) සහ ලාභාංශ හරහා තම ආදායම් වර්ධනය කර ගනිමින් දිගුකාලීන මූල්‍ය ආරක්ෂාව ගොඩනගා ගත හැකිය. එපමණක් නොව වෙළෙඳපොළ අධ්‍යයනය කිරීමෙන් ආයෝජකයන්ට අවදානම තේරුම් ගැනීමට සහ විවිධ වත්කම් පන්ති හරහා ඔවුන්ගේ ආයෝජන කළඹ විවිධාංගීකරණය කිරීම වැනි උපාය මාර්ග ක්‍රියාත්මක කිරීමටත් සිදුවිය හැකි පාඩු කළමනාකරණය කිරීමට සහ අවම කිරීමටත් ඉඩ සලසයි. තවද, ලබාගත් දැනුම තම ඉතුරුම් කාර්යක්ෂමව කළමනාකරණය කිරීමට, විශ්‍රාම ගැනීම සඳහා සැලසුම් කිරීමට සහ වෙළෙඳපොළ විසින් හඳුන්වාදෙන විවිධ මූල්‍ය උපකරණ වල ආයෝජනය කර තම ප්‍රතිලාභ උපරිම කර ගැනීමට ඉඩ සලසයි.
මේ ආකාරයෙන් දැනුම සහ අවබෝධය සහිතව කොටස් ගනුදෙනුවල නිරතවීමට ආයෝජකයාට මග පෙන්වන ලිපි මාලාවක් අප පසුගිය සති කිහිපයෙන් ඉදිරිපත් කළෙමු. එහිදී කිසියම් ආයෝජකයකු පළමුවෙන් කොටස් වෙළෙඳපොළ ආයෝජනයට ප්‍රවේශ වන්නේ නම් ඔහු කළ යුතු දේ පියවරෙන් පියවර සරලව පැහැදිලි කළෙමු. කොටස් ගිණුමක් ආරම්භ කර ගන්නේ කෙසේද, ප්‍රාථමික වෙළෙඳපොළ යනු කුමක්ද, සංස්ථා ප්‍රකාශය යනු කුමක්ද සහ එහි වැදගත්කම, එසේ ප්‍රාථමික වෙළෙඳපොළ හරහා මිලදී ගත් කොටස් ද්විතියීක වෙළෙඳපොළේ විකුණා ප්‍රතිලාභ ලබන්නේ කෙසේද ආදී සවිස්තරාත්මක තොරතුරු අප සාකච්ඡා කළෙමු. ඉන් අනතුරුව ආයෝජකයකුට කොටස් මිලදී ගත හැකි අවස්ථා දෙකෙන් ද්විතීයික කොටස් වෙළෙඳපොළ යන අවස්ථාව හරහා කොටස් ගනුදෙනු සිදුකරන ආකාරය පුළුල්ව සාකච්ඡා කිරීම ආරම්භ කළ අතර මෙම ලිපියෙන්ද අප උත්සාහ කරනුයේ ද්විතියීක වෙළෙඳපොළ ආයෝජනයේදී ආයෝජකයන් අවධානය යොමුකළ යුතු තවත් කරුණු කිහිපයක් පිළිබඳව අවබෝධයක් ලබාදීමයි.
කොටස් සහ ණයකර අතර වෙනස
සමාගමකට කොටස් වෙළෙඳපොළේ ලයිස්තුගත වී කොටස් සහ ණයකර නිකුත් කරමින් සමාගම සඳහා ප්‍රාග්ධනය රැස්කර ගැනීමේ හැකියාව පවතී. මෙසේ නිකුත් කරන්නා වූ කොටස් සහ ණයකර ප්‍රධාන වශයෙන් හිමිකාරිත්වය, අවදානම සහ ප්‍රතිලාභ අනුව වෙනස් වේ. කොටස් මිලදී ගැනීම හරහා සමාගමක හිමිකාරිත්වය නියෝජනය කරන අතර, එසේ මිලදී ගත් කොටස් වෙනුවෙන් සමාගම් විසින් ගෙවනු ලබන ලාභාංශ සහ ප්‍රාග්ධන ලාභ සඳහා හිමිකම් පෑමක් ලබා දෙයි. කෙසේ වෙතත්, මෙම ප්‍රතිලාභ ගෙවීම් ස්ථිර වශයෙන් ලැබෙනු ඇතැයි කිව නොහැකි අතර ඒවා සමාගමේ ක්‍රියාකාරිත්වය මත රඳා පවතී. උදාහරණයක් ලෙස, ආයෝජකයකු ABC නැමති සමාගමේ කොටස් 100 ක් මිලදී ගන්නා විට, ඔහු එම සමාගමෙහි කොටස් හිමිකරුවකු බවට පත්වන අතර ඔහුගේ ලාබය එම සමාගමේ කොටස් මිල සහ ලාභාංශ ප්‍රතිපත්තිය මත රඳා පවතී.
සාංගමික ණයකර යනු සමාගම් විසින් මුදල් ණයට ගැනීම සඳහා නිකුත් කරන දිගුකාලීන ණය උපකරණය වේ. ණයකර හිමියන් යනු සමාගමෙහි හිමිකරුවන් නොව ණය හිමියන්ය. ණයකර සඳහා සමාගමෙන් ලාභාංශ ගෙවීමක් නොමැති අතර ස්ථාවර පොලී අනුපාතිකයක් ලබා දෙයි. සාංගමික ණයකරවල මූලික ලක්ෂණ දෙක වන්නේ නිශ්චිත පොලී අනුපාතිකයක් ලැබීම හා කල්පිරීමේ දිනයක් තිබීමයි. මේ නිසා ණයකර සාමාන්‍යයෙන් කොටස් වලට වඩා අඩු අවදානම් සහිත වේ. නිදසුනක් වශයෙන්, සමාගමක් සියයට 8 පොලියකට වසර 10 ක ණයකරයක් නිකුත් කරන්නේ නම්, සමාගමේ ඉපැයීම් උච්චාවචනය වුවද ආයෝජකයාට සහතික කළ වාර්ෂික පොලී ගෙවීමක් ලැබේ. සමාගමක් ඈවර කිරීමේදී, කොටස් හිමියන්ට පෙර ණයකර හිමියන්ට ගෙවනු ලැබේ. මේ නිසා කොටස්වලට වඩා ණයකරවල ප්‍රමුඛතාව ඉහළ වේ. කොටස්වල විචල්‍ය සහ හිමිකාරිත්වය පදනම් කරගත් ස්වභාවයට සාපේක්ෂව ණයකරවල අඩු අවදානම සහ ස්ථාවර ආදායම් ස්වභාවය ඉස්මතු කරයි.
කෙළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු වන කොටස් වර්ග
කොටසක් යනු සමාගමක ප්‍රාග්ධනයේ කුඩාම ඒකකයයි. එය තවදුරටත් පැහැදිලි කළහොත් සමාගමක මුළු ප්‍රාග්ධනය සමාන කොටස්වලට බෙදුවහොත් ඉන් එක් පංගුවක් කොටසක් ලෙස හැඳින්වේ. සංඛ්‍යාත්මක උදහරණයන් එය පැහැදිලි කළහොත්, සමාගමක් කොටස් 100,000ක් වෙළෙඳපොළට නිකුත් කර ඇති අවස්ථාවක ඉන් කොටස් 1,000ක් කිසියම් ආයෝජකයෙක් මිලදී ගෙන ඇත් නම් එම ආයෝජකයාට එම සමාගමේ කොටස් වලින් සියයට එකක (1%) හිමිකාරීත්වයක් තිබේ. සමාගමක් විසින් නිකුත් කරන මෙවැනි කොටස්වල ස්වභාවය අනුව වර්ග කිහිපයක් හඳුනාගත හැකිය.
■ සාමාන්‍ය කොටස් (ඡන්දය හිමි කොටස්) - කොටස් වෙළෙඳපොළ හරහා ආයෝජකයන්ට සුලභව මිලදී ගත හැකි සහ ආයෝජකයන් අතර නිතර ගනුදෙනු වන කොටස් වන්නේ සාමාන්‍ය කොටස් ය. කොටස් වෙළෙඳපොළ ආයෝජනයේදී ඉංග්‍රීසි “N“ අක්ෂරයෙන් හඳුන්වනු ලබන්නේ මෙම ඡන්ද බලය සහිත සාමාන්‍ය කොටස්ය. කොටස් මිලදී ගන්නා ආයෝජකයන්ට (කොටස් හිමිකරුවන්ට) ඔවුන් මිලදී ගන්නා කොටස්වලට අනුපාතිකව සමාගමේ කොටස් අයිතිය හිමිවේ. ලැයිස්තුගත සමාගම් විසින් ලාභාංශ ප්‍රකාශයට පත් කළහොත් එම ලාභාංශවලටද හිමිකම් කිව හැකිය. එසේම කොටස් හිමියන්ගේ තීරණ වලදී ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතියද ඇත (උදා: මහා සභා සහ විශේෂ මහා සභා රැස්වීම්වලදී).
■ සාමාන්‍ය කොටස් (ඡන්දය හිමි නොවන කොටස්) - කොටස් වෙළෙඳපොළ ආයෝජනයේදී ඉංග්‍රීසි “X“ අක්ෂරයෙන් හඳුන්වනු ලබන්නේ මෙම ඡන්ද බලය රහිත සාමාන්‍ය කොටස්ය. මෙම කොටස් මිලදී ගන්නා ආයෝජකයන්ට කොටස් හිමිකාරිත්වය ලැබෙන අතර අතර සමාගම ලාභාංශ ප්‍රකාශ කළහොත් එම ලාභාංශ සඳහාද හිමිකම් කිව හැකිය. කොටස් අයිතිය ලැබෙන නමුත් ඒවාට ඡන්ද අයිතිය නොමැත. එබැවින් කොටස් හිමියන්ගේ ඡන්දවලට සහභාගී විය නොහැක.
■ වරණීය කොටස් - සාමාන්‍ය කොටස් හා සසඳන විට කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනුවීම අඩුය. වරණීය කොටස් සඳහා සාමාන්‍යයෙන් ස්ථාවර (හෝ කලින් තීරණය කළ) ලාභාංශයක් ගෙවන අතර, සමහර අවස්ථාවල ලාභාංශ ගෙවීම් හෝ ඈවර කිරීමේදී ප්‍රාග්ධන ආපසු ගෙවීම සම්බන්ධයෙන් සාමාන්‍ය කොටස් වලට වඩා ප්‍රමුඛතාවක් තිබිය හැකිය.
■ කොටස් බලපත්‍ර - මෙවැනි කොටස් බලපත්‍ර මිලදී ගැනීමේදී ආයෝජකයාට මූලික වශයෙන් අයිතියක් හිමි නොවන අතර අනාගතයේදී කලින් නියම කළ මිලකට කොටස් මිලදී ගැනීමට අයිතියක් ලබා දෙයි. එම කොටස් බලපත්‍ර සාමාන්‍ය කොටස් බවට පත් කරන තුරු කොටස් බලපත්‍ර හිමියාට සම්පූර්ණ කොටස් හිමියන්ගේ අයිතිවාසිකම් (ලාභාංශ හෝ ඡන්දය දීම වැනි) භුක්ති විඳිය නොහැක.
කොටස් වෙළෙඳපොළෙහි ගනුදෙනු වන විවිධ ණයකර වර්ග
ණයකරවල ලක්ෂණ අනුව වර්ග කිහිපයක් හඳුනාගත හැකි අතර ආරක්ෂිත ණයකර සහ අනාරක්ෂිත ණයකර (Secured vs. Unsecured) උදාහරණ ලෙස පෙන්වා දිය හැකිය. ඒ අනුව සමාගම සතු යම්කිසි වත්කමක් ඇපයට තබා නිකුත් කරනු ලබන ණයකර ආරක්ෂිත ණයකරද, එසේ වත්කමක් ඇපයට නොතබා නිකුත් කරනු ලබන ණයකර අනාරක්ෂිත ණයකර ලෙස හඳුන්වයි. අවදානම අනුව සලකා බැලූවද ආරක්ෂිත ණයකරවල අවදානම අඩු වේ. නිදහස් කළ හැකි ණයකර සහ නිදහස් කළ නොහැකි ලෙස (Redeemable vs. Irredeemable) තවත් ණයකර වර්ග දෙකක් ඇත. එනම් ණයකර කල්පිරීමට පෙර මුදල් බවට පත් කළ හැකි සහ නොහැකි ණයකර විශේෂ දෙකකි. ණයකරයට අදාළ පොලී සහ මූලික ආයෝජිත මුදල ණයකරය කල්පිරීමෙන් පසු ගෙවනු ලබන ණයකර නිදහස් කළ නොහැකි ණයකර ලෙස හඳුන්වයි.
මීට අමතරව සාමාන්‍ය කොටස් බවට පරිවර්තනය කළ හැකි සහ නොහැකි (Convertible vs. Nonconvertible) ලෙස තවත් ණයකර විශේෂ දෙකක් ණයකර අතර හඳුනාගත හැකිය. පරිවර්තනය කළ හැකි ණයකර යනු නිශ්චිත කාල සීමාවකට පසු නිකුත් කරන සමාගමේ සාමාන්‍ය කොටස් බවට පරිවර්තනය කළ හැකි ණයකර වේ. එසේම පරිවර්තනය කළ හැකි ණයකර යනු ණය සහ කොටස් යන දෙකෙහිම ප්‍රතිලාභ සහිත මිශ්‍ර මූල්‍ය උපකරණයක් ලෙසද හැඳින්විය හැකිය. සමාගම් ණයකරවල විශේෂ ලක්ෂණ ඇතුළත් විස්තරාත්මක ලිපියක් ඉදිරියේදී ඔබ වෙත ගෙන එනු ඇත.
මතු සම්බන්ධයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd