හෙමිහිට යථා තත්වයට පත් වෙමින් තිබෙන ආර්ථිකයක් උඩු යටිකුරු කර හැරවීම:-
පසුගිය තුන් අවුරුද්දේ දී, 2022 දී රට අඩපණ කර දැමූ අන්ත දරුණු ආර්ථික අර්බුදයෙන් ශ්‍රී ලංකාව හෙමිහිට එහෙත් ස්ථාවරව යථා තත්වයට පත්වෙමින් පැවතියේය. එය හදිසියේ සිදුවූවක් නොවුවද, දෙදහස් ගණන්වල මුල් අවධියේ පමණ සිට ශ්‍රී ලංකා ආර්ථිකයේ, ඒකරාශි වූ ක්‍රියාදාමයක ප්‍රතිඵලයකි. අඩපණ වීම ආරම්භයේ පටන් යළි යථා තත්වයට පත්වීමේ ක්‍රියාදාමයේ දී සැබෑ දළ ජාතික නිෂ්පාදිතය 2018 දී ඉහළ නැග තිබූ තරමට වඩා පහළ මට්ටමේ පැවතියත්, සියයට 4.5-5 ක පමණ සාමාන්‍ය, ඓතිහාසික වර්ධන වේගයක් අත්කර ගනිමින් වර්ධනීය මාවතකට අවතීර්ණ වී තිබිණි.
කොළඹ පාරිභෝගික මිල දර්ශකයත් සහ ජාතික පාරිභෝගික මිල දර්ශකයත් යන දර්ශක දෙකෙන්ම මිනුම් කර තිබෙන ආකාරයට මිල මට්ටම්, වාර්ෂිකව සියයට 2කට පමණක් ඉහළ යන්නට ඉඩ දෙමින් ස්ථාවරව පවත්වා ගැනුණි. 2022 දී ඩොලරයට රුපියල් 370ක්ව පැවති විනිමය අනුපාතිකය ඩොලරයට රුපියල් 300 දක්වා පහතට ගෙන එන ලද්දේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් විග්‍රහ කෙරුණු ආකාරයට ශ්‍රී ලංකාව යථා තත්වයට පිවිසෙන මාර්ගයට අවතීර්ණ වී, ද්විපාර්ශ්වික, බහුපාර්ශ්වික සහ වාණිජමය ණය දෙන්නන්ගේ විශ්වාසය දිනා ගනිමින් සිටියේය.
මෙසේ සිදු වූයේ ද්විපාර්ශ්වික හා විදේශීය වාණිජ ණය දෙන්නන් සමග ඇතිකරගත් විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනේ සාර්ථකත්වය හේතු කරගෙනය.
ඊට පෙර විදේශ විනිමය සම්පත් නොනිසි ලෙස පිටතට ගලා යාම වැළැක්වීම සඳහා දරුණු ලෙස ආනයනය සීමා කිරීමෙන් අනතුරුව, අනාගතයේ ආනයන නිදහස්කරණයට ලක් කිරීමේ සැලසුම් ක්‍රියාත්මක කිරීමට ආරක්ෂාව සලසමින් ශ්‍රී ලංකාව ප්‍රමාණවත් විදේශ විනිමය සංචිත ඒකරාශි කරගනු ලැබුවේය. ඉන්ධන, ගෑස් හෝ වෙනත් අත්‍යවශ්‍ය භාණ්ඩ උදෙසා තවදුරටත් දිගු පෝලිම් ඇති නොවූයේය. ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් යුතු නව රජය, ණය හිමියන් සමග සාකච්ඡාවට නොයෑමේ හා රාජ්‍ය දේපළ පෞද්ගලීකරණයට ලක් නොකිරීමේ, පෙර සිටි ස්ථාවරයෙන් අංශය 180° ක් ආපසු හැරී, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිකර්මීය වැඩසටහන අඛණ්ඩව කරගෙන යාමට ප්‍රතිඥා දුන්නේය.
රට අනපේක්ෂිත ලෙස දිට්වා නමින් යේමනයේ දිට්වා කලපුවේ නාමයෙන් නම් කළ සුළි කුණාටුවෙන් ඇති කළ ව්‍යසනයට පාත්‍ර වනතුරුම මේ සියල්ල යහපත් අනාගතයකට ප්‍රතිඥා දෙන සංඥාවන්ව පැවතියේය.


මරණ අඩු වුවද යටිතල පහසුකම්වලට වැඩි හානි:-
දිට්වා සුළි කුණාටුව නිසා 2004 සුනාමියෙන් ශ්‍රී ලංකාවේ සිදු වූ මරණවලට වඩා අඩු මරණ සංඛ්‍යාවක් සිදුවුව ද ලංකාවේ භෞතික යටිතල පහසුකම් දැවැන්ත හානියකට ලක් වූයේය. සුනාමියෙන් 2004 දී අවම වශයෙන් පුද්ගල මරණ 46000ක් පමණ සිදු වූ අතර දිට්වා සුළි කුණාටුවෙන් මෙරට මරණ 639ක් සිදු වූ බව වාර්තා වූයේය.
රටේ ජනගහනයෙන් සියයට දෙකකට හෙවත් මිලියන 2.1 ජනයාට ක්ෂණික උපකාර අවශ්‍ය වන අයුරින් හානි සිදුවී ඇතත්, පුද්ගල මරණ අඩුවීමෙන් ඇඟවෙන්නේ රටේ මානව ප්‍රාග්ධන සංචිතයට දැඩි හානියක් සිදුවී නොමැති බවකි. බොහෝ සෙයින් හානි සිදුවී ඇත්තේ ප්‍රධාන වශයෙන් ප්‍රධාන ජීවනෝපාය කෘෂිකර්මය බවට පත් වූ ප්‍රදේශවල ජනතාවටයි. එමනිසා, දිට්වා සුළි කුණාටුවෙන් රටේ ආහාර නිෂ්පාදන කාර්යයට දැඩි හානි සිදුකර, ආහාර මිල ඉහළ යන්නට එය හේතු වෙතැයි බලාපොරොත්තු වූයේය.
කෙසේ වුවද වෙළෙඳපොළේ නිරීක්ෂණය කරන්නට හැකි වූයේ මුලින් ආහාර මිල ඉහළ ගියමුත්, පසුව එය සමනය වී අවසානයේ පහළ මට්ටමට පැමිණි බවයි. මෙයින් පෙනී යන්නේ ආහාර නිෂ්පාදනයේ සිදු වූ පසුබෑම සාර්ථක ලෙස ශ්‍රී ලංකා ආර්ථිකයෙන් අවශෝෂණය කරගත් බවකි. ශ්‍රී ලංකා මහ බැංකුවේ සතිපතා පවත්වාගන්නා දත්තවලට අනුව ප්‍රධාන වර්ගයේ සහල් වර්ගවල මිල සියයට 4කින් ඉහළ ගිය අතර, නොවැම්බරයේ සුළි කුණාටුවෙන් පසු දෙසැම්බර් මාසයේ දී ප්‍රධාන වර්ගයේ මත්ස්‍ය ආහාරවල මිල සියයට 1කින් පමණ පහත වැටුණු බව පෙනී යයි.
මේ අනුව බැලූ කල මානව ප්‍රාග්ධනය සැලකිල්ලට ගත්විට, එය හානියට පත් ජනයා ආර්ථිකයේ ප්‍රධාන ධාරාවට නැවත රැගෙන පූර්ණ ශක්තියෙන් ඉදිරියට ඇදීම සඳහා ඔවුන්ට අවශ්‍ය සහයෝගය සම්පාදනය කිරීම පිළිබඳ කාර්යයකි.


හානි තක්සේරුව:-
මෙතෙක් දිට්වා සුළි කුණාටුව නිසා ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම්වලට සිදු වූ හානිය නිසි ලෙස තක්සේරු කර නොමැත. GRADE හෙවත්, ව්‍යසනයකින් අනතුරුව හානිය කඩිනමින් තක්සේරු කරන ගෝලීය ඇස්තමේන්තුව වූ Global Rapid Post-Disaster Damage Estimation නම් ලෝක බැංකු සමූහයේ ඇස්තමේන්තුවට අනුව මෙරට යටිතල පහසුකම්වලට සිදු වූ හානිය, ඩොලර් බිලියන 4.1කි. මෙම ඇස්තමේන්තුව සකස් වී තිබෙන්නේ, පාරවල්, පාලම්, දුම්රිය මාර්ග හා ජල සැපයුම් ජාලයන් වැනි යටිතල පහසුකම්වලට සිදු වූ හානිය ඩොලර් බිලියන 1.7 ද, ජනයා පදිංචි ගොඩනැගිලි යළි ගොඩනැගීම සඳහා ඩොලර් මිලියන 985ක් ද වී, එළවළු බෝග, ගොවිපොළ ද්‍රව්‍ය, බඩඉරිඟු, සත්ව නිෂ්පාදන හා කෘෂිකාර්මික යටිතල පහසුකම් යන කෘෂිකාර්මික අංශයේ හානිය ඩොලර් මිලියන 814 ක් ද, පාසල්, ව්‍යාපාර, සෞඛ්‍ය පහසුකම්, විශාල කාර්මික පහසුකම් හා කම්හල්වලට අදාළ ගොඩනැගිලිවල හානිය ඩොලර් මිලියන 562 ක් සේ ගණන් බැලීමෙනි.
කෙසේ වුවද මෙම ඇස්තමේන්තුව සකස් කළ අය එයට මානව කාරණාවලට අදාළව සිදු වූ හානිය සලකා නැතැයි ප්‍රකාශ කර තිබේ. එම සීමා කිරීම පහත අයුරින් දක්වා තිබේ.
“දරිද්‍රතාව, සේවාවලට පිවිසීමේ සීමා දේශගුණික අවදානමට පාත්‍රවීමේ අවදානම ඇතුළු කලින් පැවති සමාජ ආර්ථික අවදානම් සහගත තත්වය මෙම ඇස්තමේන්තුවේ දී අවධාරණයට ගැනුණි. මේවායින් සුළි කුණාටුවේ බලපෑම් විස්තාරණය කෙරෙන අතර විශේෂයෙන් කාන්තාවන්, ළමයින්, වයෝවෘධ පුද්ගලයන්, කාන්තා ගෘහ මූලිකයන් මන්දගාමීව යථා තත්වයට පත්වන සෙයක් පෙනේ. වඩාත් අවදානමට පාත්‍ර ප්‍රජාවට ලබා දෙන සහයෝගය තහවුරු කිරීම පිණිස ඉලක්කගත යථා තත්වයට පත් කිරීමේ උත්සාහය දැරීම වැදගත් වනු ඇත.”
මේ අනුව තදින් හානියට පත් දිස්ත්‍රික්කවල අවදානමට පාත්‍ර වූ ජනයාට රජයේ දැඩි අවධානය කඩිනමින් යොමුකිරීම අවශ්‍ය වේ. එම අවදානම් සහගත බව ඉවත් කර හානියට පාත්‍ර වූ ප්‍රජාවට ප්‍රධාන ප්‍රවාහයේ ආර්ථික ක්‍රියාකාරකම් කරා නැවත එළැඹීමට ඔවුන්ට රජයේ ආධාර දිය යුතුය.


හානි ඇස්තමේන්තු කිරීම යාවත්කාලීන කිරීම අඛණ්ඩව කිරීමේ අවශ්‍යතාව:-
GRADE ඇස්තමේන්තුව ඇත්ත වශයෙන්ම සති දෙකක් තුළ දී සිදුකළ කඩිනම් ඇස්තමේන්තු කිරීමකි. එම නිසා, එය ශ්‍රී ලංකාවේ ආර්ථිකය මත වැදගත් බරක් දරනා තෝරාගත් අංශවලට සිදු වූ ඍජු හානිය පිළිබඳ මූලික ඇස්තමේන්තුවක් ලෙස අර්ථ දැක්විය යුතුය. එය පශ්චාත් ආපදා යථා තත්වයට පත් කිරීමේ සහ ප්‍රතිසංස්කරණ කාර්යයේ නියැලී සිටිනා ආණ්ඩු යම් මුලපිරීමක් උදෙසා ඉවහල් කරගත යුත්තකි. එම නිසා GRADE විසින් සම්පාදනය කරන ලද මූලික ඇස්තමේන්තුව දීර්ඝ කාලීන සැලැස්මක් ශක්තිමත් කිරීම උදෙසා වූ ප්‍රාරම්භක දත්ත සමූහයකි.
වාර්තාවේ 3.0 පරිච්ඡේදයේ විස්තර කර ඇති පරිදි එහිදී භාවිත කර තිබෙන්නේ ක්ෂේත්‍ර සමීක්ෂණවලින් දුරස්ථ සංවේදක, රජයේ සංඛ්‍යා ලේඛන හරහා දත්ත ඒකරාශී කරගත් ව්‍යසන ඇස්තමේන්තු කරන මොඩලයකි. එසේම ඒ අතර තුරම භෞතික යටිතල පහසුකම්වලට ඇති අවදානම ඒවා වඩාත් පිළිගත හැකි ආකාරයට අනෙකුත් එවැනි ඓතිහාසික සිද්ධි සමග සංසදනය කොට ඇගයුම් කර තිබේ. තවද ලබාගන්නා යාවත්කාලීන ප්‍රතිඵල හරස් පරීක්ෂාවට ලක්කොට හානියේ අගය ගණන් බැලීම ද කර තිබේ. කඩිනමින් හානි ඇස්තමේන්තු කිරීම සඳහා ලෝක බැංකු කණ්ඩායම භාවිත කළ ක්‍රමවේදය සම්බන්ධයෙන් එම නිසා න්‍යායික වශයෙන් විරෝධතා පැන නැගෙන්නේ නැත.
කෙසේ වුවද මේවා ජාතික මට්ටමෙන් කරන ලද හානි තක්සේරු වන්නේය. කාලයත් සමග මෙම ඒකරාශි වූ ඇස්තමේන්තු වර්ධනය කොට නිවැරදි කළ යුත්තේ, සිදු වූ හානිය ආර්ථිකයේ පහත්ම මට්ටමෙන් හෙවත් ගම් මට්ටමෙන් නිවැරදිව දත යුතු වූ නිසාය.


 තවත් ණය ගැනීම:- රජයට ඇති මාර්ගය
 දිට්වා සුළි කුණාටුව වනාහි, 2022 ආර්ථිකය අඩපන කරනු ලැබූ අර්බුදයෙන් ශ්‍රී ලංකාව යථා තත්වයට පත්වීමේ දැති රෝදය මත තැබූ අඩුවකි හෙවත් ස්පැනරයකි. මානව ප්‍රාග්ධනය සම්බන්ධයෙන් වූ බලපෑම ඉක්මනින් නිවැරැදි කළ හැකිවන නමුදු සුළි කුණාටුවෙන් හානියට පත් වූ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය උදෙසා දේශීය හා විදේශීය යන දෙවර්ගයේම දැවැන්ත මුදල් කන්දරාවක් වැයවනු ඇත. භාණ්ඩාගාරය දේශීය බැංකුවල අත්කරගෙන ඇත්තේ යැයි වාර්තා වන රුපියල් ට්‍රිලියන 1.3ක් පමණ වර්තමාන අතිරික්තය භාවිත කර දේශීය පාර්ශ්වයෙන් සිදුවන වියදම පිරිමසා ගත හැකිය.
කෙසේ වුවද මෙය භාණ්ඩාගාරයේ වර්ෂ අවසන මූල්‍ය ශේෂයයි. එය මෙම මුදල උපයා ගෙන ඇත්තේ අලුත් මුදල්වලින් වුවද 2027ට සහ ඊට පසුවට ගෙවිය යුතු ණය ආපසු ගෙවීම් කල් තැබීමෙන් සහ විශේෂයෙන් ප්‍රාග්ධන වියදම් වැය නොකර සීමා කර ගැනීමෙනි. එම නිසා මෙම මූල්‍ය ශේෂය, උපයෝගී කරගත් බවට, රජයට අවශ්‍ය ප්‍රාග්ධන වැඩසටහන්වල වියදම් එක්කෝ බදු වැඩි කිරීමෙන්, නැතහොත් දේශීය මූල්‍ය වෙළඳ පොළෙන් මුදල් ණයට ගැනීමෙන් සපුරා ගැනීමට සිදුවේ. දැනට පවතින මට්ටමෙන් ඔබ්බට බදු ආදායම වැඩි කළ හැකි සීමා දෙකක් ඇත. එකක් වන්නේ, ආර්ථිකය මන්දගාමී වීමයි. එහිදී පුරවැසියන් මත පටවන බදු බර ඔවුන්ට දරාගත හැකි සීමාවෙන් ඔබ්බට තවදුරටත් පැටවිය නොහැකිවේ. වර්තමානයේ පවතින සියයටය 5 ක වාර්ෂික ආර්ථික වර්ධන වේගය සාමාන්‍ය ඓතිහාසික වර්ධන වේගය වන අතර එම වර්ධන වේගය අමතර යමක් කිරීමෙන් තොරව ළඟා කරගත හැක්කකි. එම නිසා එය ශුන්‍ය වර්ධනයකට හෙවත් කිසිදු වර්ධනයක් සිදු නොවීමකට සමානය. එම නිසා බදු වැඩි කිරීම ඔස්සේ තවත් මුදල් උකහා ගතහොත් එයින් පෞද්ගලික ඉතුරුම්, ආයෝජන හා දීර්ඝ කාලීන ආර්ථික වර්ධනය පහත වැටේ. එම නිසා රජයට ඉතිරි වන එකම විකල්පය වන්නේ දේශීය මූලාශ්‍ර වලින් ණය ගැනීම පමණකි. කෙසේ වුවද ඊටද සීමා පැනවී ඇත්තේ රජයට අලුත් මහ බැංකු පනත අනුව, වියදම් සඳහා මහ බැංකුවෙන් මුදල් ණයට ගත නොහැකි බැවිනි. එම නිසා දේශීය ණය ගැනීම් සිදුකළ යුතු වනුයේ මහ බැංකුව නොවන වාණිජ බැංකු හා පුද්ගලික පුද්ගල මූලාශ්‍ර වලිනි. ඉංග්‍රීසි ජාතික අර්ථ ශාස්ත්‍රඥ ඩේවිඩ් රිකාඩෝ 1818 දී විග්‍රහ කළ ආකාරයට එවැනි ණය ගැනීම්වලින් නියෝජනය වන්නේ ද මහජනයා පිට බර පැටවීමකි. මන්දයත් එම රාජ්‍ය ණය ගෙවීම සඳහා ඔවුන්ට අනාගතයේ දී වැඩියෙන් බදු ගෙවීමට සිදුවන නිසාය. එය බදුවල වගකීම අනාගතයට කළ  තැබීමකි. එම නිසා වර්තමානයේ ඉහළ බදු ගෙවීම සම්බන්ධයෙන් එවිට මහජනයාගේ මැසිවිලි පැන නොගැසේ. මෙම වාතාවරණය යටතේ දිට්වා සුළිකුණාටුවෙන් හානියට පත් ආර්ථිකය යළි නගා සිටුවීම සඳහා රජයට මූල්‍ය අවශ්‍යතා පිරිමසා ගත හැකි වඩාත් සාධාරණ මූලාශ්‍රය වන්නේ මහ බැංකුව නොවන මූලාශ්‍රවලින් ණය ගැනීමයි.


 කඩිනමින් යථා තත්වයට පත්කර ගැනීමේ අවශ්‍යතාව:-
ලෝක බැංකු කණ්ඩායමෙන් කරනු ලැබූ මූලික හානි ඇස්තමේන්තුව වූ ඩොලර් බිලියන 4.1 රටේ දළ දේශීය නිෂ්පාදිතයේ වටිනාකමෙන් සියයට 4 පමණ වේ. පෞද්ගලික අංශයට මෙම වියදම් දැරිය නොහැකි නිසා එකී අරමුණ උදෙසා අවශ්‍ය මූල්‍ය සම්පාදනය කිරීමේ වගකීම රජයට පවතී. මෙයින් අදහස් වන්නේ රජයේ ප්‍රාග්ධන වියදම් වැඩ සටහන, දළ ජාතික නිෂ්පාදිතයේ සියයට 4 ක ප්‍රමාණයෙන් අධිවන බවකි. රටේ ප්‍රාග්ධන සම්පාදනයේ දී එම වියදම සඳහා ඉහළම ප්‍රමුඛතාවද දිය යුතු වන්නේය. හානියට පත් යටිතල පහසුකම් යළි ඉදිකිරීමේ දී සිදුවන යම් ප්‍රමාදයක් වේ නම් රටේ ආර්ථිකය ගොඩ ගැනීමේ වැඩසටහන ද එයින් ප්‍රමාද වනු ඇත. එම නිසා තනි පරම්පරා කාලයක් තුළ සමෘද්ධිමත් භාවයට පත්වීමේ පරම අරමුණ කරා යෑමේ ගමන ද ආර්ථිකයේ තීරණාත්මක යටිතල පහසුකම් කල් තියා යළි ඉදිකිරීම මත තීරණය වනු ඇත.
හානියට පත් වූ දෑ හුදු යළි ඉදිකිරීමක් කිරීමෙන් ඵලක් නොවන්නේය.
 දිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ හානිය යථා තත්වයට පත් කිරීමේ යළි ඉදිකිරීමේ දී කාර්යයේ වඩාත් වැදගත් කොට තැකිය යුතු කාරණයක් වන්නේ ඒවා ඊට කළින් තිබූ පරිදිම. එම ප්‍රමිතියෙන්ම හානියටත් පත් භෞතික දේපල නැවත සකස් කිරීමට පමණක් සීමා නොවිය යුතු වීමයි. එහිදී කාරණා දෙකක් සැලකිල්ලට ගත යුතුය. එකක් වන්නේ පවතින යාන්ත්‍රණයේ නිරීක්ෂණයට ලක් වූ අසාර්ථකත්වයට පිළියම් යෙදීමේ අවශ්‍යතාව හා භෞතික හා මානව හානි උග්‍ර බවට පත්වීමට පිළියම් යෙදීමයි. අනෙක පරිපූර්ණ යළි නගා සිටුවීමේ ක්‍රියාදාමයක දී රජයේ අවධානය යොමු කළ යුතු සමාජ ආර්ථික සාධකයි.


 ඉංජිනේරු නවෝත්පාදනවල අවශ්‍යතාව:-
හානියට පත් වූ භෞතික යටිතල පහසුකම් යළි ඉදිකිරීමේ දී වර්තමාන ප්‍රමිතියෙන් ඔබ්බට ඒ ගැන සලකා බැලිය යුත්තේ එම ප්‍රමිතියේ දී එම භෞතික සම්පත් ස්වාභාවික ව්‍යසනවලට ඔරොත්තු නොදී අවදානමට පාත්‍ර වන බැවිනි. උදාහරණයකට මාර්ග හා දුම්රිය මාර්ග ජාලයට සිදු වූ හානි බොහෝ විධිවලින් සිදුවිය හැකිය. මාර්ග හා දුම්රිය මාර්ග ඉදිකිරීමේ දී  වැව් හා වේලි අසාර්ථක ලෙස ඉදිකිරීම නිසා නැවත ඉදිකළ බෑවුම්වල ස්ථාවර භාවය හා ව්‍යූහාත්මක ඒකාබද්ධතාව සිඳී ගොස් ඒ හේතුවෙන් පරිවහන මෙහෙයුම් විකෘති වීම, බිඳ වැටීම හා බාධා වීම සිදුවීමට ඉඩ තිබේ. ගාමක බලය නිසා පාෂාණ තලයට දරාගත හැකි ශක්තිය ඉක්මවා යාමෙන් මෙම අසාර්ථකත්වයක් සිදුවිය හැකිය. ද්‍රව්‍යාත්මක ගැටලු ඉදිකිරීමේ ගැටලු සහ පාරිසරික සාධක මිශ්‍රවීම හේතුවෙන් මෙය සිදුවිය හැකිය. දිට්වා සුළි කුණාටුවෙන් අනතුරුව එන මහ වැසි සහ ගංවතුරට කුණාටුවෙන් හානියට පත් වූ පාරවල්, පාලම් හා දුම්රිය මාර්ග ඔරොත්තු නොදෙන්නට ඉඩ තිබේ.
 පාරවල් මතු පිට ද්‍රව්‍ය ඉවත් කිරීම හා ඛාදනය හා මුල දී ගලාගිය ජලයෙන් සිදු වූ සෝදාපාලුවත්, හේතු කොට ගෙන පාරවලට හානි සිදුවිය. පාරවල් ඉදිකිරීමේ දී මෙම දුර්වල තත්වය. ගංවතුර හා පාරේ පස් තට්ටුව සෝදා පාළුවට ලක්වීම සහ පදික වේදිකාවල බර උසුලන ඉවුරු යනාදිය හේතුවෙන් අවසානයේ මාර්ග මතුපිට බිඳ යාමට හේතු විය හැකිය. පාලම් සම්බන්ධයෙන් ගත් විට ගලායන ජලයෙන් පාලම්වල ඉවුරු අවට නිධි සාදිත පස් තට්ටු ඛාදනයට ලක්වීම සිදුවේ. මෙකී ආරක්ෂිත ස්ථාන ගලායන ජලය හේතුවෙන් දුර්වල වූ විට ඒවා පාලම් බිඳ වැටීමට එම තත්වය හේතු වේ.
 GRADE වාර්තාව නිරීක්ෂණ කර ඇති ආකාරයට, පාලම්වලට සිදුවී ඇති හානිය විශේෂයෙන් බැරෑරුම් හානියක් වනුයේ ගංගා හරහා යන ස්ථානවල ව්‍යූහාත්මක අසාර්ථක භාවයත් හා මාර්ග සීමා නිසා හුදෙකලා දේපල හානියකට වඩා ජාල රටා මට්ටමේ සම්බන්ධතා බිඳ වැටීම් සිදුවීම නිසා නිරීක්ෂණයට ලක්වූ හානිවලට බලපෑ පරිමානය වැඩිවීමට අපේක්ෂා කරමින් නිර්මාණය කරන ලද ගංවතුර මට්ටම ඉක්මවා යාම ගංගා හරහා යන ස්ථානවල නිදහස් පුවරු ප්‍රමාණවත් නොවීම, සුන්බුන් සහිත ජල ප්‍රවාහයට ඔරොත්තු දීම අඩුවීම, ආදියයි. විශේෂයෙන් ඉහළ කඳුකරයේ ගංගා පෝෂිත ප්‍රදේශවල මෙම තත්වය හේතු වී තිබේ.
 එමනිසා හානියට ලක් වූ යටිතල පහසුකම් යළි ඉදිකිරීමේ දී ගෝලීය මට්ටමේ හොඳම ප්‍රමිතිය පවත්වා ගැනීමට ඉංජිනේරුමය නවෝත්පාදන ඉවහල් කරගත යුතුය.


ස්ත්‍රී, පුරුෂ භාවය පිළිබඳ ගැටලු:-
දිට්වා සුළි කුණාටුව නිසා මතුව තිබෙන සමාජ ආර්ථික ගැටලුවලට පිළියම් ලෝක බැංකුවේ වාර්තාවෙන් ඉදිරිපත් කර නැත. සුළි කුණාටුවෙන් කාන්තාවන්  මිලියන 1.2 ක් පමණද, දරුවන් මිලියන භාගයක් පමණ ද වයෝවෘධ පුද්ගලයන් මිලියන කාලක් පමණ සංඛ්‍යාවක් ද ආපදාවට ලක් වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ වාර්තාවේ දැක්වේ. ආපදාවට ලක්වී ඇති කාන්තාවන් සහ ගැහැනු ළමයින් ආරක්ෂාව, පහසුකම්, ජල පහසුකම් නැති බව. සෞඛ්‍ය පහසුකම් පිළිබඳ ගැටලුවලට මුහුණ දී තිබේ. මෙම කාන්තාවන් දෛනික ආදායම් ලැබූ, ඔවුන්ගේ දරු පවුල්වල ජීවිකාව කරගෙන යාමට හේතු වූ ආදායම් මාර්ග අවහිර වී තිබේ. ඊට අමතරව ගෘහ මට්ටමේ ඉතා සුළු පරිමාණයේ ව්‍යාපාරවලින් ජීවිකාව කරගත් අය අසීරුවට පත්ව සිටිති. මෙම ජනයා පුනරුත්ථාපනය කර ඔවුන් ආර්ථිකයේ ප්‍රධාන ප්‍රවාහයට මුදා හැරීමට අඛණ්ඩව ඔවුන්ට ආධාර සැපයිය යුතු දැවැන්ත කර්තව්‍යයකි. මෙය ගම් මට්ටමේ සංවිධාන පදනම් කොට ඉහළම කාර්යක්ෂමතාවකින් කිරීම රජය විසින් මුල පිරිය යුතු කර්තව්‍යයකි.
 දිට්වා සුළි කුණාටුවේ නොදකින ප්‍රතිඵල මේවාය. මගේ මතයේ හැටියට දීර්ඝ කාලීන වර්ධනය අත්කර ගැනීම කරා යන මාර්ගයේදී ආර්ථිකය යළි නිසි මගට ගෙන ඒමට මෙම ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දිය යුතු වන්නේය.


2026 ජන. 05 Daily FT පුවත්පතේ පළවූ Cyclone Ditwah and It’s Unparalleled damage Seeking Sustainable Solutions. It is the Biggest Challenge in 2026 ලිපියේ පරිවර්තනය සමන් පුෂ්ප ලියනගේ