ඩොලර් බිලියන 20.64 ක භාණ්ඩ ආනයනයෙන් සියයට 24.3ක් චීනයෙන් 20.5 ක් ඉන්දියාවෙන්


ශ්‍රී ලංකාවේ අපනයන තේ, කුළුබඩු, රබර්, තඹ, ඇඟලු‍ම් සහ හඳුනාගත් සැකසූ ආහාර වෙත පමණක් සීමාවෙලා


මෙය වෙළෙඳ සංයුතියේ දිගුකාලීන ව්‍යුහාත්මක අසමතුලිතතාව තවදුරටත් පෙන්නුම් කරන්නක්


මෙරට අපනයන තවදුරටත් සාපේක්ෂ වාසිය සහිත අංශ තුළ පමණක් කේන්ද්‍ර වී තිබීම හේතුවයි


චීනයේ විදුලි වාහන 31,239 ක ආනයනයත් සමගින් අසමතුලිතතාව තවදුරටත් ඉහළට


භානුක අමරසිංහ


ශ්‍රී ලංකාව, චීනය සහ ඉන්දියාව සමගින් පවතින වෙළෙඳ අසමතුලිතතාව 2025 වසරේදී තවදුරටත් ඉහළ ගොස් ඇතැයි මෙරට ක්‍රියාත්මක අරුත පර්‌යේෂණ ආයතනය සඳහන් කරයි. 

එම ආයතනය මගින් Lanka Dispatch නමින් නිකුත් කළ මංගල කලාපයේ මෙම කරුණු ඇතුළත්ව තිබේ.

ඒ අනුව මෙය අධි මිල ආනයනයක සහ අඩු මිල අපනයනයක තත්වයක් ලෙස හඳුන්වා දී ඇති එම ආයතනය, මෙම තත්වය ශ්‍රී ලංකාව චීනය සහ ඉන්දියාව සමගින් පවත්වාගෙන යන වෙළෙඳ සංයුතියේ දිගුකාලීන ව්‍යුහාත්මක අසමතුලිතතාව තවදුරටත් පෙන්නුම් කරන්නක් බවත් පවසා සිටියි.

“ශ්‍රී ලංකාව කවදාවත් උසස් සන්නාමකරණයක්, ගුණාත්මකතාවයේ වෙනස්කම් සහ නිශ්චිත විශේෂඥතාවක් හරහා වඩාත් සැකසුම් සහගත සහ ඉහළ වටිනාකමක් සහිත අපනයන වෙළෙඳපොළක් වෙත විවිධාංගීකරණය වීමක් පිළිබඳව අවධානය යොමුකරලා නැහැ.”

ඔවුන් පෙන්වා දෙන ආකාරයට 2025 වසරේදී ශ්‍රී ලංකාව සිදුකර ඇති සමස්ත භාණ්ඩ ආනයනයේ වටිනාකම එක්සත් ජනපද ඩොලර් බිලියන 20.64 කි. ඉන් ඩොලර් බිලියන 5.01 ක්ම චීනයෙන් කළ ආනයන වන අතර, එය සමස්තයෙන් සියයට 24.3 ක ප්‍රතිශතයක් ගනී. එසේම ඉන්දියාවෙන් සිදුකළ භාණ්ඩ ආනයනයේ වටිනාකම ඩොලර් බිලියන 4.22 ක් වන අතර, එය සමස්තයෙන් සියයට 20.5 ක ප්‍රතිශතයක් ගනී.

“මේ අතරින් චීනය තමයි ලංකාවේ විශාලතම ආනයන ප්‍රභව වෙළෙඳපොළ. මේ ආනයන අතරින් ඩොලර් මිලියන 761.1 ක් (සියයට 15.2ක්) න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක, බොයිලේරු, යන්ත්‍රෝපකරණ සහ යාන්ත්‍රික උපාංගයි. 

ඒ වගේම ඩොලර් මිලියන 755.9 ක් (සියයට 15.1ක්) විදුලි යන්ත්‍රෝපකරණ සහ උපාංගයි. ඩොලර් මිලියන 152.4 ක් (සියයට 3ක්) යකඩ සහ ලෝහ. සමස්තයක් විදියට ගත්තොත් මේ සියල්ලම කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය.”

එහෙත් මේ අතරින් යකඩ සහ ලෝහ ආනයන වියදම 2024 වසරේ වාර්තා වූ ඩොලර් මිලියන 299.76 ට සාපේක්ෂව අඩකින් අඩුව තිබෙන බවත් එම ආයතනය සඳහන් කරයි.

“ඉන්දියාවෙන් කළ ආනයනවලින් ඩොලර් මිලියන 478ක් (සියයට 11.3ක්) ඛනිජ ඉන්ධන, ඛනිජ තෙල් සහ ඒවා ආසවනය සඳහා යොදාගන්නා නිෂ්පාදන. ඩොලර් මිලියන 299.5ක් (සියයට 7.1ක්) කපු ආනයනයටත්, ඩොලර් මිලියන 244.8ක් (සියයට 5.8ක්) ගෙතූ රෙදිපිළි ආනයනයටත් වැය වී තිබෙනවා. චීනයෙන් සිදුකරන ආනයන හා සමානවම මේවාත් දේශීය කාර්මික නිෂ්පාදන සඳහා අවශ්‍ය මූලික අමුද්‍රව්‍ය.”

කෙසේ වෙතත් චීනය සහ ඉන්දියාව වෙත ශ්‍රී ලංකාව සිදු කරන අපනයන තවදුරටත් සාපේක්ෂ වාසිය සහිත අංශ කෙරෙහි පමණක් කේන්ද්‍ර වී තිබෙන බවත් අරුත පර්‌යේෂණ ආයතනය පෙන්වා දෙයි.

“තේ, කුරුඳු සහ ගම්මිරිස් ඇතුළු කුළුබඩු, රබර් සහ රබර් පාදක නිෂ්පාදන, තඹ නිෂ්පාදන, ඇඟලු‍ම් සහ හඳුනාගත් සැකසූ ආහාර මේ රටවල ප්‍රධාන අපනයන භාණ්ඩ වෙනවා. ඊට අමතරව පොල් නිෂ්පාදන, අබලි ලෝහ සහ විශේෂිත රබර් භාණ්ඩත් අපනයනය කෙරෙනවා. කොහොම නමුත් මේ අපනයනවල වටිනාකම චීනයෙන් සහ ඉන්දියාවෙන් ආනයනය කරන කාර්මික සහ ප්‍රාග්ධන භාණ්ඩවල වටිනාකමට වඩා බොහෝ පහළයි. ශ්‍රී ලංකාව චීනය සහ ඉන්දියාව සමගින් පවත්වාගෙන යන වෙළෙඳ සංයුතියේ දිගුකාලීන ව්‍යුහාත්මක අසමතුලිතතාව මින් තවදුරටත් පෙන්නුම් කරනවා.”

මේ අතර 2025 වසරේදී නැවතත් මෝටර් රථ ආනයනය විවෘත කිරීමත් සමගින්ම මෙම අසමතුලිතතාව තවදුරටත් ඉහළ ගිය බව ඔවුහු පෙන්වා දෙති. “පසුගිය වසරේදී වාණිජ මෝටර් රථ ආනයනයේ වටිනාකම ඩොලර් මිලියන 440.5 ක්. පෞද්ගලික වාහන ආනයන වටිනාකම ඩොලර් මිලියන 1,606.7ක්. ලංකාවට ආනයනය කළ විදුලි වාහන අතරින් ප්‍රධානතම සැපයුම්කරුවකු ලෙස චීනය ඉදිරියට පැමිණියා. පසුගිය වසරේදී පමණක් චීනයෙන් ආනයනය කළ විදුලියෙන් ක්‍රියාත්මක වාහන සංඛ්‍යාව 31,239ක්. එය සමස්ත ආනයනයෙන් සියයට 90කට ආසන්න නියෝජනයක්.” 

ඒ අනුව මෙම තත්වය මඟහරවමින් වඩාත් හොඳ වටිනාකමක් සහිත භාණ්ඩ අපනයනය සඳහා කලාපීය හවුල්කරුවන් සමගින් වන වෙළෙඳ ගිවිසුම් අතිශය වැදගත් බව අරුත පර්‌යේෂණ ආයතනය පෙන්වා දෙයි. විශේෂයෙන්ම ඉන්දු - ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම (ISFTA) මෙන්ම මෑතකදී ඇති කරගත් ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතා ගිවිසුම (ECTA) හරහා ශ්‍රී ලංකාව සිය අපනයන විවිධාංගීකරණය සහ ආර්ථික සබඳතාව ශක්තිමත් කිරීම සඳහා වන අවස්ථා පුළුල් කිරීමට උත්සාහ ගත් බවත් ඔවුහු පවසති.

“2027 වසර වන විට ඉන්දියාව ලෝකයේ තෙවැනි විශාලතම ආර්ථිකය බවට පත්වනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා. එතැනදී ශ්‍රී ලංකාවට ඉන්දියාවේ සැපයුම් දාමය, සැපයුම් සේවා කොරිඩෝ සහ සේවා ජාල ලෙස ක්‍රියාත්මක වීමේ අවස්ථාවක් තිබෙනවා.”

කෙසේ වෙතත් මෙම ගිවිසුම් සම්බන්ධයෙන් මෙරට තුළ විවේචන පවතින බව පෙන්වා දෙන එම ආයතනය, මේ හරහා ඉන්දියාව වැඩි ආර්ථික බලපෑමක් ලංකාව වෙත එල්ල කරනු ඇති බවටත්, කම්කරු වෙළෙඳපොළ වෙත පීඩනයක් එල්ල කරනු ඇති බවටත් වන අදහස් පවතින බවත් සඳහන් කර සිටියි.

ඒ අනුව භූගෝලීය සමීපත්වයේ සහ ගැඹුරු ආර්ථික අන්තර් රඳා පැවැත්මේ ප්‍රායෝගික යථාර්ථය හඳුනා ගනිමින් සහ ජාතික ආර්ථික අවශ්‍යතා ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් වත්මන් රජය පරෙස්සම් සහගත ප්‍රවේශයක් මේ සඳහා අනුගමනය කරනු ඇතැයිද එම ආයතනය වැඩිදුරටත් පවසා සිටියි.