ආචාර්ය ගනේෂන් විග්නරාජා


නවීන ආර්ථික ඉතිහාසයේ ප්‍රධාන ප්‍රවණතාවක් වන්නේ ණය පැහැර හැරීම් සහ බාහිර කම්පන රටවලට දැඩි සහ දිගුකාලීන ආර්ථික බලපෑම් ඇති කිරීමයි. මෙම බලපෑම් ස්වාභාවික විපත්ති හේතුවෙන් තවදුරටත් තීව්‍ර වේ. මෙවැනි තත්ව “දේශගුණික ණය උගුලක්” ලෙස හැඳින්විය හැකි ගතිකත්වයක් නිර්මාණය කරයි. එහිදී, ඉහළ ණය භාරය සහ දේශගුණික අවදානම් එකට එක්ව රටකට අර්බුදවලට ප්‍රතිචාර දැක්වීම සහ දිගුකාලීන ඔරොත්තු දීම සඳහා ප්‍රතිචාර දැක්වීම දැඩි ලෙස සීමා කරයි. මෙම පසුබිම තුළ, ශ්‍රී ලංකාව, තම අභියෝගවලට සමාන අභියෝගවලට මුහුණ දෙන, අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින ආර්ථික සඳහා අනතුරු ඇඟවීමක් මෙන්ම වැදගත් පාඩම්ද ලබාදෙයි.
2022 අප්‍රේල් මාසයේදී පූර්ව භංග විදේශ ණය පැහැර හැරීමකින් පසුව, ශ්‍රී ලංකාව, ආර්ථික සංකෝචනයකට සහ උද්ධමනය ඉහළ යාමකට ගොදුරු වූ අතර, 1948 දී බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලැබීමෙන් පසු මෙරට දරුණුතම ආර්ථික අර්බුදයකට ලක්විය. වාසනාවකට මෙන්, ණය බරින් පීඩාවට පත් අනෙකුත් ආර්ථික හා සසඳන විට, මෙරට අඛණ්ඩ පිරිහීම සාපේක්ෂව කෙටි කාලීන විය. 2023 අවසාන භාගයේදී ආර්ථිකය ස්ථායී වීමට ආරම්භ වූයේ, ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9ක් වටිනා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) 17 වැනි වැඩසටහන, 2022 දී ඉන්දියාවෙන් ලැබුණු ඇමෙරිකානු ඩොලර් බිලියන 4ක හදිසි ආධාර සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව ක්‍රියාත්මක කළ විධිමත් මූල්‍ය ප්‍රතිපත්ති මගින් සහාය ලැබුණි.
2024 අවසානයේදී, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් යුත් වාමාංශික නැඹුරුවක් ඇති ජාතික ජන බලවේග (NPP) රජය බලයට පත් වූයේ ඩිජිටල් පරිවර්තනය, පාලන කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම, රාජ්‍ය අංශයේ නාස්තිය කපා හැරීම සහ සමාජ සුබසාධනය වැඩිදියුණු කිරීම ඇතුළු පුළුල් ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයක් සමගිනි. තීරණාත්මක ලෙස, එහි කොන්දේසි නැවත සාකච්ඡා කිරීම සඳහා බලපෑමක් කළද, IMF වැඩසටහන යටතේ අවශ්‍ය ආදායම පදනම් කරගත් රාජ්‍ය මුල්‍ය ඒකාග්‍රතාව දිගටම කරගෙන යාමට දේශපාලනික වශයෙන් දුෂ්කර නමුත් ප්‍රායෝගික තීරණයක් ගනු ලැබීය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට එරෙහි ස්ථාවරය අනපේක්ෂිත එකක් නොවීය. NPP යනු ශ්‍රී ලංකා දේශපාලනයේ සම්ප්‍රදායික පක්ෂවලට අභියෝග කරන, ප්‍රගතිශීලී දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, කාන්තා සංවිධාන සහ සිවිල් සමාජ කණ්ඩායම් එකතු වූ “තුන්වන බලවේගයක්” ලෙස සැලකේ.
එම ප්‍රායෝගිකත්වය සාර්ථක විය. එහි පළමු වසර තුළ, NPP රජය අඛණ්ඩ ආර්ථික යථා තත්වයට පත්කිරීමක් පෙන්නුම් කළේය. 2025 නොවැම්බර් අග දත්ත අනුව 2025 තුන්වැනි කාර්තුවේදී දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සියයට 5.4 ක් විය. (දෙවැනි කාර්තුවේ සියයට 4.9 සිට ඉහළ ගොස් ඇත) වාර්ෂිකව ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (NCPI) උද්ධමනය සියයට 2.4ක් දක්වා පහත වැටී ඇති අතර, විදේශ මුදල් සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 5.9 දක්වා ඉහළ ගොස් ඇත. සංචාරක ව්‍යාපාරය ශක්තිමත් ලෙස යථා තත්වයට පත්ව ඇති අතර, 2025 දී පැමිණීම් මිලියන 2 ඉක්මවමින්, 2010 අග භාගයේ උපරිම මට්ටම් කරා නැවත පැමිණ ඇත.
කෙසේ වෙතත්, බරපතළ සමාජ ප්‍රතිවිපාක තවමත් පවතී. ආදායම් දරිද්‍රතාව තවමත් ජනගහනයෙන්, සියයට 22 කට පමණ බලපාන බවට ඇස්තමේන්තු කර ඇත. දළ වශයෙන් අර්බුදයට පෙර මට්ටම මෙන් දෙගුණයක්, ළමා මන්දපෝෂණයත් අතිශයින් ඉහළ මට්ටමක පවතී. මෙම ප්‍රතිඵල, අඩු ආදායම් මට්ටම් තිබුණද උසස් සමාජ ප්‍රතිඵල ලබාගත් ‘මූලික අවශ්‍යතාවල සාර්ථක කතාව’ ලෙස ආර්ථික විද්‍යා නොබෙල් සම්මානලාභී මහාචාර්ය අමර්ත්‍යා සෙන් විසින් කලක් ප්‍රශංසාවට ලක් කළ රටක කීර්තියට හානියක් එල්ල කරයි.
මෙම යථා තත්වයට පත්වීම නිසා, 2025 නොවැම්බර් 7 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද, 2026 ජාතික අයවැය තුළ IMF වැඩසටහන සමග මෙම රජයේ සුබසාධන-නැඹුරු වරම වෙත ආපසු යාමට හැකි විය. ස්ථාවර සහ ශක්තිමත් ඔරොත්තු දීමට හැකි ආර්ථිකයක් සඳහා රාජ්‍ය මූල්‍ය විනයට කැපවීම යන අයවැය තේමාව බොහෝ දුරට IMF හි ආදායම් මත පදනම් වූ මූල්‍ය ඒකාබද්ධ කිරීමේ මාර්ගයට සමපාත වේ. එය 2026 සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2.5 ක ප්‍රාථමික අතිරික්තයක්, දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 15.4 ක රජයේ ආදායමක් සහ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 5.1 ක සමස්ත රාජ්‍ය මූල්‍ය හිඟයක් ඉලක්ක කරයි. 
2025 අගභාගයේදී, දළ දේශීය නිෂ්පාදිතය මත වන බදු අනුපාතය සියයට 15.4 දක්වා ඇස්තමේන්තුගත වී ඇත. (2022 දී 8.2% සිට ඉහළට). බදු පදනම පුළුල් කිරීම සහ ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ සමග ආයෝජන සඳහා සැලකිය යුතු අවම පිරිවැය මගින් ජාතික ජන බලවේග රජයේ ප්‍රධාන ආධාරකරුවන් සඳහා මුල්‍ය අවකාශය සහ දේශපාලන සහන නිර්මාණය විය. ප්‍රධාන අයවැය ප්‍රතිපාදන අතරට අඩු ආදායම්ලාභී පවුල් සඳහා නව නිවාස, කෘෂිකාර්මික සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය වාරිමාර්ග, යටිතල පහසුකම් සඳහා ආයෝජනය, රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම්, රාජ්‍ය අංශයේ රැකියා 75,000 ක් නිර්මාණය කිරීම සහ මන්ත්‍රීවරුන් සඳහා ද්විත්ව කැබ් රථ ආනයනය කිරීමේ විවාදාත්මක තීරණයද ඇතුළත් වේ.
කෙසේ වෙතත්, 2026 සඳහා වන අයවැයේ ආර්ථික වර්ධන ඉලක්කය වන සියයට 7 ක ප්‍රමාණය වඩා වැඩි අභිලාෂකාමී බවක් පෙන්නුම් කරයි. විශේෂයෙන් IMF හි සියයට 3.1 ක පුරෝකථනය, ශ්‍රී ලංකාවේ මධ්‍යස්ථ ඓතිහාසික වර්ධන කාර්ය සාධනය සහ අවිනිශ්චිත ගෝලීය ආර්ථික පරිසරය සැලකිල්ලට ගත් විට වඩාත් ගතානුගතික පුරෝකථනයක් පෙන්නුම් කරයි. 2026 අයවැය, IMF හි සාර්ව ආර්ථික රාමුව මත දැඩි ලෙස රඳා පැවතීම, මුර්ත අංශය සංවර්ධනය කිරීම සඳහා සංයුක්ත සැලැස්මක් නොමැතිකම, අපනයන ප්‍රසාරණය සහ ආයෝජන ආකර්ෂණය කර ගැනීම කෙරෙහි ප්‍රමාණවත් අවධානයක් නොමැතිකම ද විචාරකයෝ ඉස්මතු කරති.


දිට්වා සුළි කුණාටුවේ බලපෑම


ඛේදජනක ලෙස, ආසියා-ශාන්තිකර කලාපයේ ස්වාභාවික ව්‍යසන ආශ්‍රිත බාහිර කම්පන නිතර නිතර දක්නට ලැබෙන අතර, දිට්වා සුළි කුණාටුව ශ්‍රී ලංකාවේ අයවැයෙන් පසු ආර්ථික දැක්ම පහත හෙළන ලදී. 2025 නොවැම්බර් අග සිට දෙසැම්බර් මුල දක්වා කාලය තුළ, දිට්වා සුළිකුණාටුව, තද සුළං සහ තද වැසි, හදිසි ගංවතුර සහ නායයෑම් ඇතිකළ අතර, එමගින් දිවයින පුරා විශාල මරණ සහ හානි ප්‍රමාණයක් සිදුවිය. ජාත්‍යන්තර තක්සේරු දෙකක් මගින් එහි මානව හා ආර්ථික හානියේ පරිමාණය ඇස්තමේන්තු කර ඇත.
එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා කාර්යාලයට අනුව, ජනගහනයෙන් සියයට10 කට ආසන්න ප්‍රමාණයක් පීඩාවට පත් වූ අතර, මේ දක්වා පුද්ගලයන් 600 කට වැඩි පිරිසක් මිය ගොස් හෝ අතුරුදහන් වී ඇති අතර, නිවාස 91,000 කට වැඩි සංඛ්‍යාවක් හානි වී හෝ විනාශ වී ඇත. ශ්‍රී ලංකාවේ දරුණුතම ස්වාභාවික විපත වන, මිනිස් ජීවිත 35,000ක් බිලිගත්/ අතුරුදන් වූ, නිවාස 110,000කට පමණ හානි සිදුවූ, එහි ප්‍රතිඵලයක් ලෙස ඇමරිකානු ඩොලර් බිලියන 1 කට වඩා වත්කම් හානි සහ ඇමරිකානු ඩොලර් මිලියන 330 ක නිෂ්පාදනයක් අහිමි වූ, 2004 ඉන්දියානු සාගර සුනාමියට වඩා මරණ සංඛ්‍යාව සහ නිවාස හානි අඩු වුවද, දිස්ත්‍රික්ක 25 ම බලපෑමට ලක් වූ බැවින්, දිට්වා සුළි කුණාටුවෙන් සමස්ත ආර්ථිකයට හා යටිතල පහසුකම්වලට සිදුවූ හානිය වැඩි බව පෙනේ. කඳුකර ප්‍රජාව නායයෑම් සහ දැඩි ප්‍රවේශ සීමාවලට මුහුණ දුන් අතර ම, මහනුවර, බදුල්ල, නුවරඑළිය, කුරුණෑගල සහ මාතලේ ඇතුළු මධ්‍යම සහ දකුණු පළාත්වලට අයත් දිස්ත්‍රික්කවලට විශාල මානව බලපෑමක් එල්ල විය. 
ලෝක බැංකුවේ ගෝලීය හදිසි ආපදා හානි ඇස්තමේන්තුව (GRADE)  අනුව, මුළු හානිය ඇමරිකානු ඩොලර් බිලියන 4.1 ක් ලෙස තක්සේරු කර ඇත. එය ශ්‍රී ලංකාවේ 2024 දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 4 ක් පමණ වේ. යටිතල පහසුකම් හානිය පාඩුවලින් සියයට 42 ක් වූ අතර, නේවාසික ගොඩනැගිලි (24%), කෘෂිකර්මාන්තය (20%) සහ නේවාසික නොවන ගොඩනැගිලි (14%) වලටද හානි සිදුවිය. සැලකිය යුතු මට්ටමක පැවතියත්, අග්නිදිග ආසියාවේ මේ හා සමාන ස්වාභාවික විපත් සමග සසඳන විට මෙම ඇස්තමේන්තු ගතික විය හැකිය.
දිට්වා සුළි කුණාටුවට ජාතික ජන බලවේග රජයේ ප්‍රධාන ප්‍රතිපත්තිමය ප්‍රතිචාර, ආකාර තුනකින් තිබුණි. පළමුව, එය සහන සහ ප්‍රතිසංස්කරණ සඳහා විදේශ ආධාර ඉල්ලා සිටියේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එහි හදිසි මූල්‍යකරණ උපකරණය (RFI) යටතේ හදිසි අරමුදල් වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 206 ක් අනුමත කළේය. ලෝක බැංකුව ක්‍රියාත්මක වෙමින් පවතින ව්‍යාපෘතිවල අරමුදල් ප්‍රතිඅරමුණුගත කිරීමෙන් ඇමරිකානු ඩොලර් මිලියන 120 ක් ඒ සඳහා කැප කළේය. ආසියානු සංවර්ධන බැංකුව වෙළෙඳ මූල්‍ය සහ ආපදා සහන සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 43 ක් ලබා දුන්නේය. ප්‍රධාන ද්විපාර්ශ්වික ආධාර යටතට ඉන්දියාව (ඇමරිකානු ඩොලර් මිලියන 450), ජපානය (ඇමරිකානු ඩොලර් මිලියන 2.5), එක්සත් ජනපදය (ඇමරිකානු ඩොලර් මිලියන 2) සහ චීනය (ඇමරිකානු ඩොලර් 143,000) ඇතුළත් වේ. දෙවනුව, රජය බලපෑමට ලක් වූ නිවාස සඳහා සහන පියවර ප්‍රකාශයට පත් කළේය. එයට ඇතුළත් වූයේ, විනාශ වූ නිවාස සඳහා වන්දි, එක් වින්දිතයකුට රුපියල් 25,000 ක මුදල් ප්‍රදාන (US$104 ක් පමණ) සහ තීරණාත්මක යටිතල පහසුකම් අලු‍ත්වැඩියා කිරීමයි. තෙවනුව, කළමනාකරණ කමිටුවක් පත් කර ගනිමින් ‘‘ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමේ අරමුදලක්”‍ පිහිටුවන ලදී.
කෙසේ වෙතත්, මෙම පිහිටුවන ලද අරමුදලේ කළමනාකරණ කමිටුව ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ආයතනික ප්‍රධානීන්ගෙන් පමණක් සමන්විත වන බවත්, එහි පුළුල් නියෝජනයක් සහ ස්ත්‍රී පුරුෂ සමතුලිතතාවක් නොමැතිබවත් දේශපාලන විවේචනයට ලක්ව ඇත. විවේචනයට ලක් වන අනෙකුත් කරුණු වන්නේ සුළි කුණාටුවට පෙර ප්‍රමාණවත් පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති නොමැතිකම, දුර්වල සූදානම, දරුණුතම බලපෑමට ලක් වූ ප්‍රදේශවලට ආධාර බෙදා හැරීම මන්දගාමී වීම සහ අරමුදලට සීමිත මූල්‍ය ප්‍රවාහ ලැබීම යනාදියයි


ඔරොත්තු දෙන යථා තත්වයට පත්වීමක් සඳහා ප්‍රතිපත්ති ප්‍රමුඛතා පහක්


දිට්වා සුළි කුණාටුවෙන් පසු වඩාත් හොඳ ඔරොත්තු දෙන ආර්ථික වර්ධනයක් ගොඩනැගීම සඳහා, ජාතික ජන බලවේග රජය ප්‍රතිපත්ති ප්‍රමුඛතා පහක් කෙරෙහි අවධානය යොමු කළ යුතුය:
1. සුළි කුණාටුවෙන් පසු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට “ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමේ අරමුදල” සඳහා පිරිවැය ඇතුළත් උපාය මාර්ගයක් සකස් කිරීම.
මෙය ජාත්‍යන්තර අධීක්ෂණය සහතික කරමින් සහ බහුපාර්ශ්වික සංවර්ධන බැංකුවල සම්පත් උපයෝගී කර ගනිමින්, ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව සමඟ හවුල්කාරිත්වයෙන් කළ යුතුය. හොඳින් සැලසුම් කරන ලද රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව (PPP) මගින් රාජ්‍ය ධාරිතාවේ හිඩැස් සපුරාලිය හැකිය. උපාය මාර්ගය මගින් පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති, ආපදාවලට ඔරොත්තු දෙන යටිතල පහසුකම් (මාර්ග, දුම්රිය මාර්ග, බලශක්ති සහ නිවාස), ආපදා බැඳුම්කර සහ රක්ෂණ සහ ආයතනික ධාරිතා ගොඩනැගීම යන දෑ අවධාරණය කළ යුතුය. වර්ධනය සඳහා වූ මූල්‍ය ගුණක බලපෑම් ඇති කිරීමට හොඳින් ඉලක්ක කරගත් රාජ්‍ය ප්‍රතිසංස්කරණ වියදම්වලට හැකියාවක් ඇත.
 2. ස්වාභාවික විපත් අවස්ථාවලදී බහුලව දක්නට ලැබෙන විදේශ ආධාර මත අධික ලෙස යැපීමට වඩා අභ්‍යන්තර සම්පත් භාවිතයට ප්‍රමුඛත්වය දීම. 
2025 දෙසැම්බර් අග වන විට ලැබුණු මුළු හදිසි ආධාර ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 818 ක් විය. මෙය ලෝක බැංකුවේ හානි ඇස්තමේන්තුවෙන් සියයට 20 ක් පමණ වේ. අයවැයෙන් වෙන් කළ අඩුවෙන් වියදම් කළ රාජ්‍ය බැංකුවල පවතින ප්‍රාග්ධන ඇතුළුව දේශීය සම්පත් භාවිතා කරමින් රජය ඉක්මනින් සහන ඉහළ නැංවිය යුතුය. දේශපාලනික වශයෙන් ජනප්‍රිය වන, අත්‍යවශ්‍ය ආහාර සහ ඖෂධ සඳහා දැරිය හැකි මිල සහ ලබා ගැනීමේ හැකියාව වැඩි දියුණු කරමින් විදේශ මුදල් සංචිතවලින් කොටසක් ඒවා ආනයනය කිරීමට භාවිත කළ යුතුය.
 3. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමග සම්බන්ධ වී, පවතින වැඩසටහන තුළ ඇති මූල්‍ය ඉලක්ක මධ්‍යස්ථව සංශෝධනය කිරීම.
ශ්‍රී ලංකාවේ ශක්තිමත් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම නිසා අතිරේක කොන්දේසි නොමැතිව වේගවත් මූල්‍ය උපකරණ (RFI) සඳහා ඉක්මන් අනුමැතියට පහසුකම් සැලසීමට ඉඩ ඇත. ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ප්‍රාථමික අතිරික්ත ඉලක්කය ලිහිල් කිරීම පිළිබඳ සාකච්ඡා කිරීම යෝග්‍යය. නොබෙල් ත්‍යාගලාභී ජෝසප් ස්ටිග්ලිට්ස් සහ තෝමස් පිකෙටි ඇතුළු සමහර ආර්ථික විද්‍යාඥයන් ණය ආපසු ගෙවීම් අත්හිටුවීමට පක්ෂව කතා කළද, එවැනි පියවරක් ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳපොළවල් ඈත් කිරීමට සහ අනාගත ණය ගැනීමේ පිරිවැය ඉහළ නැංවීමට අවදානමක් ඇති කරනු ඇත. 2022 ස්වෛරී ණය පැහැර හැරීමෙන්, ණය අර්බුදය සහ තිරසාර නොවන විසඳුම්වල දැඩි ආර්ථික හා සමාජීය පිරිවැය පිළිබඳ සියුම් ආවර්ජනයක් සපයයි.
 4. කැපවී වැඩ කරන ආපදා කළමනාකරණ ආයතනයක් හෝ අමාත්‍යාංශයක් පිහිටුවීම. 
පෙර ආණ්ඩු ස්වාභාවික විපත් සඳහා වගකිව යුතු අමාත්‍යාංශය අහෝසි කළ අතර, එම කාර්යයන්, සිවිල් ආපදා සම්බන්ධීකරණයට නොගැළපෙන අංශයක් වූ, මිලිටරි හමුදාවට පවරන ලදී. විශේෂිත අමාත්‍යාංශයක් පිහිටු වීමෙන් ආපදා සඳහා සූදානම වැඩි දියුණු කිරීම, වේගවත් ප්‍රතිචාර සම්බන්ධීකරණය කිරීම, සම්පත් ඵලදායී ලෙස වෙන් කිරීම සහ රජයේ ආයතන සහ හමුදාව යන අංශ සම්බන්ධීකරණය කරනු ඇත. සංවර්ධන හවුල්කරුවන්ට එහි ධාරිතා වර්ධනයට සහාය විය හැකිය. ජපානයේ ආපදා කළමනාකරණ පද්ධතිය දැඩි සූදානම, දියුණු පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති සහ ප්‍රජා පුහුණුව සඳහා ආදර්ශයක් ලෙස යොදා ගත හැකිය.
 5. IMF ස්ථාවරකරණයේ සිට පරිවර්තනීය වර්ධනය දක්වා සංක්‍රමණය වීම සඳහා ‘මහා පිපිරුම්‘ ප්‍රතිසංස්කරණ සහ වර්ධන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම. 
2028 සිට සැලකිය යුතු ණය ප්‍රමාණයක් ආපසු ගෙවීමට සිදුවීම නිසා, බාහිර බැඳීම්, ආනයන අවශ්‍යතා සහ ප්‍රතිසංස්කරණ වියදම් සපුරාලීමට සංචිතය ප්‍රමාණවත් වේද යන්න පිළිබඳව දෙගිඩියාවක් පවතී. ගෝලීය ආර්ථික අස්ථාවරත්වය, භූ දේශපාලනික ගැටලු‍ සහ වෙළෙඳ ප්‍රතිපත්තිවල අවිනිශ්චිතතා මෙය තවදුරටත් සංකීර්ණ කරයි. IMF වැඩසටහන මගින් සපයන ලද අවකාශය භාවිත කර ආර්ථිකය යථා තත්වයට පත් කිරීමට අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ සහ වර්ධන-නැඹුරු ප්‍රතිපත්ති භාවිත කළ යුතුය. මෑත කාලීන ODI Global  හා  CEPA   ආයතන මගින් කළ ස්වාධීන අධ්‍යයනයකින් සංචාරක ව්‍යාපාරය, ඩිජිටල් ආර්ථිකය සහ නිකේතන නිෂ්පාදනයේ අවස්ථාවලින් ප්‍රයෝජන ගැනීම සඳහා සාර්ව ආර්ථික ස්ථාවරත්වය, ගෝලීය සැපයුම් දාම ඒකාබද්ධ කිරීම, වැඩිදියුණු කළ සාධක වෙළෙඳපොළවල්, දරිද්‍රතාව අඩු කිරීම සහ එකඟතාව ගොඩනැගීම කෙරෙහි අවධානය යොමු කරන ප්‍රතිපත්ති යෝජනා 30 ක් ගෙනහැර දක්වයි. එමෙන්ම ජාතික වර්ධන සැලැස්මක් සකස් කිරීම සහ කල් පවතින ජාතික ප්‍රතිපත්ති සම්මුතියක් ගොඩනැගීම සඳහා ස්වාධීන වර්ධන කොමිසමක් පත් කිරීම ද මෙම අධ්‍යයන මගින් නිර්දේශ කරයි.
ශ්‍රී ලංකාව දේශගුණික ණය උගුලකට හසු වී ඇති බව නිගමනය කිරීමට තවමත් කල්වේලා වැඩි බව පෙනේ. කෙසේ වෙතත්, දිට්වා සුළි කුණාටුව ණය පැහැර හැරීම මත ඉහළ ස්ථරයක් ඇති කර ඇති අතර, එය නොවැම්බර් අයවැයෙන් අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා 2026 දී ආර්ථික අවදානම් ඉහළ නංවයි. විනාශ වූ කෘෂිකර්මාන්තය, හානි වූ යටිතල පහසුකම්, බාධා වූ තේ සහ ඇඟලු‍ම් අපනයන, ආනයන අවශ්‍යතා වැඩිවීම සහ ප්‍රතිසංස්කරණ වියදම්වලින් ඉහළ යන අයවැය පීඩනය හේතුවෙන් අයවැයේ වර්ධන ඉලක්කය පිළිගත නොහැකි බව පෙනේ. ඉහළ යන උද්ධමනය වැනි අවාසි අවදානම්වලට එරෙහිව ප්‍රතිසංස්කරණ වියදම්වලින් ඉහළ යන අවදානම් සමතුලිත කරමින්, ශ්‍රී ලංකා මහ බැංකුව දැනට 2026 දී සියයට 4-5 ක වර්ධනයක් පුරෝකථනය කරයි.
මෙමගින් ලබාදෙන පුළුල් සංවර්ධන පාඩම පැහැදිලිය. ණය බරින් පෙළෙන රටවල් බාහිර කම්පනවලට ගොදුරු විය හැකි අතර, යථා තත්වයට පත්වීමේ මාර්ග අනතුරුදායකය. කෙසේ වෙතත්, දේශීය හා ගෝලීය ආර්ථික තත්වයට අභියෝග කරන විට පවා, හොඳින් සැලසුම් කරන ලද, විශ්වසනීය සහ සියල්ල ඇතුළත් රාජ්‍ය ප්‍රතිපත්ති මගින්, රටක වර්ධන මාවත, වඩාත් ඔරොත්තු දෙන සහ තිරසාර වර්ධනයක් අත්පත් කරගත හැකි තත්වයකට පත්කළ හැකි අතර, එහි ජනතාව වැඩිදියුණු කළ සමෘද්ධියක් කරා මෙහෙයවිය හැකිය.