
1968දී ශ්‍රී ලංකාවේ වගා ක්ෂේත්‍රයට හඳුන්වා දුන් ඔයිල්පාම් වගාව, වසර ගණනාවක් කිසිවකුට පීඩාවක් නොවී වර්ධනය වූ වගාවකි. 2014දී රජය එය හෙක්ටයාර් 20,000 දක්වා පුළුල් කිරීමට එකඟ වූයේ, එහි ඇති උසස් ඵලදායිතාව සහ වාණිජ හැකියාව හඳුනාගෙනය. එහෙත් 2021දී මිථ්‍යා මත පදනම් කර ගත් පාරිසරික පීඩනය හා මධ්‍යම පරිසර අධිකාරියේ වාර්තාවක් පසුබිම් කරගෙන, නව වගා සහ ආනයන දෙකම තහනම් කිරීමත් සමග මෙය ජාතික ආර්ථිකයේ විවාදගත තීරණයක් බවට පත් විය.
ඉහළ යන ඉල්ලුම සහ සීමිත දේශීය සැපයුම
ශ්‍රී ලංකාවේ වාර්ෂික ආහාර තෙල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 300,000ට ආසන්නය. එහි සියයට 80කට වැඩි ප්‍රමාණයක් ආනයනයෙන් සපුරා ගන්නා බව සංඛ්‍යා දත්ත පෙන්වයි. 1981දී ටොන් 3,000ක් වූ පාම්තෙල් ආනයනය, 2020 වනවිට ටොන් 185,000 දක්වා ඉහළ ගොස් ඇත.
දේශීය වශයෙන් පොල්තෙල් නිෂ්පාදනය වුවද, භූමි සීමා, නිෂ්පාදන වාරික වෙනස්වීම් සහ අනෙකුත් වටිනාකම් එකතු කළ නිෂ්පාදන සඳහා කොප්පරා භාවිතය වැනි හේතු නිසා එය සම්පූර්ණ අවශ්‍යතාව සපුරාලීමට අසමත් වේ.
මෙවැනි පසුබිමක, උසස් ඵලදායිතාව සහ අඩු නිෂ්පාදන වියදම හේතුවෙන් ඔයිල්පාම් වගාව වැදගත් විකල්පයක් බව බොහෝ කලක සිට විද්වතුන් පෙන්වා දුන් කරුණක් විය.
විදේශ විනිමය ගැටලුව සහ ආනයන පීඩනය
2020දී පමණක් තෙල් හා මේද ආනයනය සඳහා රුපියල් බිලියන 37කට අධික මුදලක් වැය කර ඇත. වසරකට සම්මත වශයෙන් ඩොලර් මිලියන 110කට අධික මුදලක් පාම් තෙල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා වැය කර ඇත. ලංකා වැවිලිකරුවන්ගේ සංගමය පවසන ආකාරයට රජය විසින් ඔයිල් පාම් වගා තහනම පැනවීමෙන් අනතුරුව 2021 වසරේ සිට 2025 වසර දක්වා ආහාරයට ගත හැකි තෙල් වර්ග ආනයනය සඳහා රජය විසින් වැය කළ මුදල ඇමරිකානු ඩොලර් මිලියන 175කට ආසන්නය.
දේශීයව නිෂ්පාදනය කළ හැකි වගාවක් තහනම් කරමින්, වසරකට රුපියල් බිලියන 40කට ආසන්න විදේශ විනිමය ගලා යාමක් සිදුවන්නේ නම්, එය ආර්ථිකයට බරපතළ පීඩනයක් නොවේද?
පාම් තෙල් යනු තෙල් ආහාර සැකසුම්, සබන්, රූපලාවන්‍ය, කැන්ඩි, අයිස්ක්‍රීම්, හෝටල් හා සංචාරක ක්ෂේත්‍ර ඇතුළු විශාල කර්මාන්ත ජාලයක මූලික අමුද්‍රව්‍යයකි. එබැවින් මෙම තහනම හරහා සෘජු සහ වක්‍ර ලෙස රැකියා හා නිෂ්පාදන ක්ෂේත්‍ර රැසකට බලපෑමක් ඇති කරයි.
ඵලදායිතාව හා ලාබදායිත්වය - සංසන්දනාත්මක වාසිය
තේ, රබර් හා පොල් වගාවලට සාපේක්ෂව ඔයිල් පාම් වගාව ඉතා ඉහළ ඵලදායිතාවක් දක්වයි. හෙක්ටයාර් එකකට වාර්ෂිකව තේ කිලෝ 1,519ක්, රබර් 603ක්, පොල් ගෙඩි 5,256ක් නිෂ්පාදනය වන අතර, ඔයිල්පාම් වගාවෙන් කිලෝ 18,000කට ආසන්න අස්වැන්නක් ලබාගත හැක.
ලාබදායිත්වය ද තදින් වෙනස් වේ:
ඔයිල් පාම්: රු. 383,520 (හෙක්ටයාර්/වසර)
තේ: රු. 113,925
පොල් රු. 110,397
රබර්: රු. 57,285
මෙයින් පැහැදිලි වන්නේ, රබර් වගාවට වඩා සත්ගුණයකට ආසන්න ලාබයක් ඔයිල් පාම් වගාව මගින් ලබාදෙන බවයි.
හෙක්ටයාර 50,000ක පමණ වගාවකින් වසරකට රුපියල් බිලියන 19කට අධික දායකත්වයක් දළ දේශීය නිෂ්පාදිතය වෙත ලබාදිය හැකි බව ගණනය කර ඇත. එය ශ්‍රී ලංකාවේ මුළු භූමි ප්‍රමාණයෙන් සියයට 1ට අඩු ප්‍රමාණයකි.
රැකියා හා ග්‍රාමීය ජීවිතය
ඔයිල් පාම් වගාව කම්කරු අවශ්‍යතාව අඩු බව සැබෑ වුවද, වර්තමානයේ වතු කම්කරුවන් හිඟයක් පවතින බවත් සැලකිල්ලට ගත යුතුය.
ඔයිල්පාම් වගාවේ කම්කරුවන්ට මාසිකව රු. 30,000 - 50,000 අතර ආදායමක් ලැබෙන අතර, රබර් කප්පාදුකරුවන්ට රු.18,000ක් පමණත්, තේ වතු කම්කරුව න්ට රු.25,000ක් පමණත් ලැබේ. එබැවින් ආදායම් මට්ටමෙන් බලන විට ඔයිල්පාම් වගාව ආර්ථික වශයෙන් වඩා ප්‍රයෝජනවත්ය.
ඉතිරි වේලාව තුළ අතුරු වගා (කෙසෙල්, අන්නාසි, ගොටුකොළ) මගින් අමතර ආදායම්ද ලබාගත හැක.
මෙම ක්ෂේත්‍රයෙන් වසරකට ග්‍රාමීය ගෘහස්ථ ආදායම් වෙත සිදු කරන දායකත්වය දළ වශයෙන් රුපියල් බිලියන 2.5කට ආසන්න මුදලක් වන අතර තහනමත් සමග එම ප්‍රදේශවල ජනතාවගේ ආදායම් තියුණු ලෙස පහත වැටී ඇත. තෙල්මෝල් හිමියන්, තෙල් පිරිපහදු සේවකයන් සහ සුළු පරිමාණයේ නිෂ්පාදකයන් අමුද්‍රව්‍ය හිඟය හමුවේ දැඩි අපහසුතාවකට පත්ව සිටිති. රුපියල් බිලියන 200කට අධික වටිනාකමක් ඇති බේකරි හා රසකැවිලි කර්මාන්තය තුළ මාර්ගරින් සහ ආහාර පිසීමේ තෙල් වැනි අමුද්‍රව්‍ය මිල ගණන් ඉහළ යාම දැඩි බලපෑමක් ඇති කර තිබේ. අවසානයේ එම වියදම් පාරිභෝගිකයාට දරන්නට සිදු වේ.
මෙම ක්ෂේත්‍රය සමග සෘජු රැකියා 5,000කට අධික සංඛ්‍යාවක් සහ අනෙකුත් 21,000කට ආසන්න වක්‍ර ජීවනෝපාය සම්බන්ධ වී ඇත. ඔයිල්පාම් වගා කම්කරුවන්ගේ මාසික ආදායම තේ සහ රබර් වතු කම්කරුවන්ට වඩා දෙගුණයකට ආසන්න බවද මෙමගින් පැහැදිලි වේ.
2020 වසරේ දී පනවන ලද ඔයිල්පාම් වගා තහනම පාරිසරික කරුණු මත කළ බව සඳහන් කළද ජාත්‍යන්තර දත්ත කියාපාන්නේ මීට හාත්පසින්ම වෙනස් කථාවකි. ඔයිල්පාම් යනු ලෝකයේ ඉතාමත් කාර්යක්ෂම ආහාර තෙල් වගාවකි. ලෝකයේ සමස්ත ශාක තෙල් නිෂ්පාදනයෙන් සියයට 40ක් පමණ සපයන්නේ, වගා භූමියේ සියයට 6ක් පමණ භාවිත කරමින්ය. මැලේසියාව, ඉන්දුනීසියාව සහ ඉන්දියාව වැනි රටවල් ඔයිල්පාම් වගාව කරමින්, RSPO, MSPO, ISPO වැනි තිරසාරතා සහතික ශුන්‍ය-අපද්‍රව්‍ය ක්‍රම සහ කුඩා ගොවීන් ඇතුළත් කිරීමේ ආකෘති සමග ඒවා ක්‍රියාත්මක කරති. ශ්‍රී ලංකාවේද ඔයිල්පාම් වගාව පුළුල්වී ඇත්තේ නිෂ්පාදන කටයුතු සඳහා දායකත්වයක් නොදක්වන පැරැණි රබර් භූමි මත වන අතර, වනාන්තර විනාශයක් සිදු නොවූ බව දත්ත මගින් ද පෙන්වා දී ඇත.
තවද, ආහාර සුරක්ෂිතතාව හා සෞඛ්‍යය සම්බන්ධයෙන් පාම් තෙල් දරණ වැදගත් භූමිකාව බොහෝවිට නොසලකා හරිනු ලබයි. ස්වාභාවිකවම පාම් තෙල් ට්‍රාන්ස් මේදය රහිත වන අතර ප්‍රතිඔක්සිකාරක සහ විටමින් E වලින් පොහොසත් මෙම තෙල්, හයිඩ්‍රජනීකරණ කළ මේද සඳහා සෞඛ්‍ය සම්පන්න විකල්පයක් ලෙස ගෝලීයව පිළිගැනේ. ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහ ලෝක වනජීවී අරමුදලද (WWF) ද, වගාව වගකීමෙන් කළහොත් ඔයිල්පාම් වගාව ලෝකයේ ආහාර තෙල් අවශ්‍යතා සපුරාලීම සඳහා වඩාත් තිරසාර සහ පුළුල් කළ හැකි විසඳුමක් බව පිළිගෙන ඇත.
මෙවැනි පසුබිමක, පොල්තෙල් මත පමණක් විශ්වාසය තැබීම, 2025 දී ඇමරිකානු ඩොලර් බිලියනයක් උපයාදුන් ලාබදායී පොල් අපනයන කර්මාන්තයට ද අහිතකර බලපෑම් ඇති කළ හැක. එබැවින්, ඔයිල්පාම් කර්මාන්තය පිළිබඳ තීරණ ගැනීමේදී, ආර්ථික, සමාජීය හා සෞඛ්‍යමය කරුණු සියල්ලම සම්පූර්ණව සලකා බැලීම අත්‍යවශ්‍ය වේ.
පාරිසරික හා සමාජීය ගැටලු
ඔයිල්පාම් වගාවට විරුද්ධව පාරිසරික චෝදනා මතු වුවද, ශ්‍රී ලංකාවේදී ස්වාභාවික වනාන්තර විනාශ කිරීමකින් තොරව රබර් වැනි අලාබදායී වගා භූමි විවිධාංගීකරණය කරමින් වගා කෙරී ඇත.
එහෙත්, සම්පූර්ණ තහනමක් නොව, විද්‍යාත්මක පදනමක් මත සවිස්තරාත්මක “Cost-Benefit” විශ්ලේෂණයක් සිදුකර, නියාමන පද්ධතියක් යටතේ පවත්වාගෙන යාම වඩා සුදුසු ප්‍රතිපත්තියක් නොවේද?
තිරසාර පාම් ඔයිල් වගාවක් වෙනුවෙන්
ශ්‍රී ලංකාව දැන් තීරණාත්මක මංසන්ධියක සිටී. ඉහළ ආනයන බිල, විදේශ විනිමය හිඟය, වතු ක්ෂේත්‍රයේ පිරිහීම, සහ වර්ධන අවශ්‍යතාව යන මේ සියලු අභියෝග අතර ඔයිල්පාම් වගාව ප්‍රබල ආර්ථික විකල්පයක් ලෙස නැවත සලකා බැලිය යුතු නොවේද?
ආර්ථික වර්ධනයේ මූලික සාධකය ඵලදායිතාවයි. එහිදී ඔයිල්පාම් වගාව ශ්‍රී ලංකාවට භාවිත කළ හැකි “වර්ධන යන්ත්‍රයක්” විය හැක.
ඉන්දියාව ඔයිල්පාම් වගාව තුළ දැනටමත් තීරණාත්මක ලෙස ඉදිරියට ගොස් ඇත. අවසන් වසර පහ තුළ ඔයිල්පාම් වගා බිම් ප්‍රමාණය සියයට 45කින් පුළුල් කර ඇති අතර, 2030 වනවිට හෙක්ටයාර් මිලියන 1.7ක් දක්වා වගා ප්‍රමාණය ඉහළ නැංවීමට උද්‍යෝගී සැලසුම් ක්‍රියාත්මක කරමින් සිටී.
ලංකා වැවිලිකරුවන්ගේ සංගමය අවධාරණය කරන පරිදි, ශ්‍රී ලංකාවේ වතු කර්මාන්තයේ අනාගතය තීරණය වන්නේ ඉදිරියට බැලෙන, සාක්ෂි පදනම් කරගත් ප්‍රතිපත්ති අනුගමනය කිරීමෙනි. එහිදී, දිගුකාලීන වර්ධනය සඳහා වාණිජමය වශයෙන් සාධාරණ සහ තිරසාර විකල්පයක් ලෙස ඔයිල්පාම් වගාව සලකා බැලිය හැකිය. තීරණ ගත යුත්තේ ආවේගයෙන් නොව, විද්‍යාත්මක සාක්ෂි හා සම්පූර්ණ ආර්ථික විශ්ලේෂණයක පදනම මතය. එසේ නොවුවහොත්, තවත් ආර්ථික අවස්ථාවක් අපට අතහැරී යාමට ඉඩ ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd