අවධානය පිණිස ප්‍රායෝගික  ගැටලු‍ කිහිපයක් 

එල් නිනෝවෙන් ඇති විය හැකි බලපෑමකට ප්‍රතිචාර දක්වනු පිණිස,  සහ ඒ පිළිබඳ අධ්‍යයනය කරනු පිණිස, රජය අමාත්‍යාංශ උපකමිටුවක් හා නිලධාරියකු පත් කිරීමට ගෙන තිබෙන තීරණය වඩාත් කාලීන හා උචිත පියවරකි.
ශ්‍රී ලංකාව මේ වන විටත් විදේශ විනිමය අවදානම් සහගත තත්වය හේතු කර ගෙන දරුණු වන්දියක් යක් ගෙවා තිබේ.
බාහිර කම්පන කෙතරම් ශීඝ්‍ර ලෙස ආර්ථිකය හරහා  ඉන්ධන විදුලි බලය ආහාර කර්මාන්ත, මිල ගණන් සහ විශ්වසනීය බව එදිනෙදා ජීවිතයටත්, බලපෑම් කර ඇත්තේ දැයි අපි දනිමු.
එල් නිනෝ යන්න දේශගුණ ගැටලු‍වක් ලෙස ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට භාජන වී තිබුණත්, එය  විදේශ විනිමය සම්බන්ධ  අවදානම්  සහගතභාවයකට හේතුවේ ද යන්න පරීක්ෂාකර බැලීමේ අවශ්‍යතාවක් ඇතැයි යන්න මගේ විශ්වාසයයි.
මා මේ රචනා කරන්නේ දේශගුණ විද්‍යාඥයකු ආර්ථික විද්‍යාඥයකු හෝ නීති විශාරදයකු ලෙස නොවේ. මා මෙය  ලියන්නේ ජාතික දුර්වලතාව පිළිබඳව දැඩි ලෙස කනස්සල්ලෙන් පසුවන ශ්‍රී ලාංකීය ව්‍යවසායකයකු ලෙසයි.අපගේ විදේශ විනිමය ඉපයීම් ඉතිරි කිරීම් හෝ විදේශ විනිමය ආකර්ෂණය කර ගැනීම්වලට වඩා රටින් පිටතට විදේශ විනිමය ගලා යෑමේ වේගය ඉහළ යන ඕනෑම විටෙක, සමස්ත රටම  එම අවදානමට පාත්‍ර වන්නේය.
මෙම කාරණා මේ වන විටත් පරීක්ෂාවට ලක් කර නොමැති නම්, මෙම අදහස් ඉදිරිපත් කරන්නේ, ඊට අදාළ කමිටු සහ බලධාරීන්ගේ අවධානය පිණිස වූ ප්‍රායෝගික ප්‍රශ්න ලෙසටයි.


 කාලගුණ අවදානමේ සිට   විදේශ විනිමය  අවදානම දක්වා 

එල් නිනෝව ශ්‍රී ලංකාවට දරුණු ලෙස බලපෑම් කරන්නට හෝ නොකරන්නට ඉඩ තිබේ. එම තීන්දුව ගත යුත්තෝ ඊට අදාළ විශේෂඥයෝය.
කෙසේ වුවද ඒ මගින් ප්‍රධාන පෝෂක ප්‍රදේශවල වර්ෂාපතනය අඩු  වුවහොත්, ජලවිදුලි බල උත්පාදනයට බලපෑවහොත්, කෘෂිකාර්මික නිෂ්පාදනයට  හානි වුවහොත් හෝ හදිසි ආනයන අවශ්‍යතා වැඩි වුවහොත් එහි බලපෑම  දේශගුණ අංශය තුළ පමණක් පවතින්නේ නැත. එය බලශක්ති ගැටලු‍වක් බවට පත්විය හැකිය. ආහාර පිළිබඳ ගැටලු‍වක් බවට පත්විය හැකිය. උද්ධමන ගැටලු‍වක් බවට පත් විය හැකිය.  අවසානයේ එය විදේශ විනිමය ගැටලු‍වක් බවට පත් වන්නට ඉඩ තිබේ.
ජල විදුලිබල උත්පාදනය පහත වැටුණහොත්, තාප බල උත්පාදනය වැඩි කිරීමට සිදුවේ. එවිට අමතර ඉන්ධන හෝ ගල් අඟු‍රු ආනයනය කිරීමට අවශ්‍ය වේ. දේශීය ආහාර නිෂ්පාදනයට බලපෑවහොත්, ආහාර ආනයන වියදම් ඉහළ යනු ඇත. ගොවීන්ට හෝ අවදානමට පාත්‍රවන ප්‍රජාවට පාඩු සිදුවුවහොත්, සැලසුම් නොකළ සහන වියදම් සඳහා තල්ලු‍ වන්නට රජයට සිදුවේ. මෙකී සෑම අවස්ථාවකම රටේ විදේශ විනිමය ස්ථාවරයට අමතර පීඩනයක් එල්ල වේ.
ආරම්භයේ පටන්, විදේශ විනිමය ශක්තිමත්භාවයේ කාචයෙන්, බලා එල් නිනෝවට ප්‍රතිචාර දැක්වීම අවශ්‍ය වන්නේ මේ නිසාය.


 විදේශ විනිමය අවදානම  ඇස්තමේන්තු කළ හැකිද? 

පළමු ප්‍රායෝගික ප්‍රශ්නය වන්නේ එයයි. එල් නිනෝව ශ්‍රී ලංකාවට බලපෑම් කළහොත්  අමතරව අවශ්‍ය වෙන විදේශ විනිමය බර කෙතරම් වේද ?
එය අතිශය නිවැරැදි පුරෝකථනයක් විය යුතු නැත.එම තත්වය පදනම් කරගත් ඇස්තමේන්තුවක් කළොත් එයද ප්‍රමාණවත් වන්නේය. විදුලිබල උත්පාදනය පහළ වැටුණහොත් තාප බල උත්පාදනයට වැඩිපුර වියදම් වෙන පිරිවැය කුමක්ද? එක් එක් නිශ්චිත බෝගවලට බලපෑම් කරන්නේ නම්, අමතර ආහාර ආනයන අවශ්‍යතා කෙතරම් වේද? අමතර පොහොර ඉන්ධන හෝ අත්‍යවශ්‍ය ආනයනය අවශ්‍යතා පැන නැගුණහොත්, සංචිතවලට ඒ නිසා එල්ල විය හැකි පීඩනය කෙබඳු වේද ? විදුලි බල උත්පාදන පිරිවැය ඉහළ ගියහොත්, මේ වන විටත් විදේශ වෙළෙඳපොළේ අසීරුවෙන් තරග කරන කර්මාන්තවලට ඇතිවන බලපෑම කුමක්ද?
දේශගුණ අවදානම, බල ශක්තිය ආනයනය ආහාර ආනයනය, හදිසි අවස්ථා වියදම්, කර්මාන්ත පිරිවැය සහ විදේශ විනිමය සංචිතවලට ඇති බලපෑම, සම්බන්ධයෙන්  එල් නිනෝවෙන් ප්‍රායෝගිකව, විදේශ විනිමය අවදානමට ඇති බලපෑම ගණනය කළහොත්, එම වියදම් දැරීමට පෙර රටට ඒ සඳහා සූදානම් විය හැකිවේ. එය ශික්ෂණයෙන් යුතු සූදානමකි.


 බලශක්ති සහ කෘෂිකර්මය;  වඩාත් හදිසි  අවශ්‍යතා ඇතිවන අංශ 

පරීක්ෂා කළ යුතු වඩාත් හදිසිම අංශයක් විය හැක්කේ බල බලශක්ති අංශයයි. සාමාන්‍ය තත්වය යටතේ ශ්‍රී ලංකා වැඩිපුරම රඳා පවතින්නේ ජල විදුලි බල උත්පාදනය මතයි. වර්ෂාපතන රටාව වෙනස් වී, ජලාශවල ජල මට්ටම්වලට බලපෑවහොත්, රටට වැඩිපුර තාප බල උත්පාදනය කෙරේ විශ්වාසය තබන්නට සිදුවේ. එයින් අදහස් කරන්නේ විදේශ විනිමය රටින් පිටතට ගලා යාම ඉහළ යන බවයි.
බලශක්තීන්ට සම්බන්ධ වඩාත් දරුණු අවදානමක් මතු වුවහොත්, එය මූල්‍ය ආරක්ෂාවට සම්බන්ධ වන්නේ නම්, එහිදී ශ්‍රී ලංකාවට දරා ගතහැකි සීමාව කුමක් ද යන්න අධ්‍යයනය කර ගත හැක්කේ ද යන්න අසන්නට වටිනා ප්‍රශ්නයකි.
නියං සහ ඉහළ බල ශක්ති පිරිවැය කෙරෙහි බලපාන මූල්‍යමය බර අඩු කර ගතහැකි, කාලගුණය හා බැඳුණු මූල්‍ය උපකරණ/උපක්‍රම ඇතැම් රටවල් සතුව පවතී. එම ආදර්ශ (මොඩල) ශ්‍රී ලංකාව අන්ධ ලෙස කොපි කළ යුතු නොවේ. අපගේ තත්වය වෙනස්ය.එහෙත් ඒවාට බලපාන මූලධර්ම අධ්‍යයනය කරනු වටනේය. එය අවදානමට සම්බන්ධ උපක්‍රමයක් වේ  නම්, එය  වර්ෂාපතනයට, ජලාශවලට ජලය ගලා එන ප්‍රමාණයට හෝ ජල විදුලි බල උත්පාදනයට අදාළ ආකාරයට පරිවර්තනය  කරගත හැකිද? සංවර්ධන හවුල්කරුවන්ට තාක්ෂණික සැලසුම්වලට සහාය දිය හැකිද? එවැනි යාන්ත්‍රණයක්, දේශ ගුණ අවදානමට සම්බන්ධ, මූල්‍ය සහන සැපයීම්වලට ඉවහල් කර ගතහැකිද?
කෘෂිකර්මාන්තයට ද එවැනිම අවධානයක් අවශ්‍ය වන්නේය. වර්ෂණ රටාව වෙනස් වුවහොත්, බෝග විනාශය ට  හෝ අස්වනු අහිමිවීම්වලට ගොවීන් මුහුණ දෙන්නට ඉඩ තිබේ. 
ඒ හේතුවෙන් ග්‍රාමීය ජනතාවගේ ආදායම් පහත වැටි, ණය පීඩනය ඉහළ ගොස්, ආහාර සැපයුමට බලපෑම් විය  හැකි වේ. එවැනි අවස්ථාවක ඇති වන ගැටලු‍ව කෘෂිකර්මය  පමණක් සීමාවන්නක් නොවේ. එය ආහාර මිල පිළිබඳ ගැටලු‍වක් සහ ආනයනය පිළිබඳ ගැටලු‍වක් බවට පත්වේ.
දේශගුණයට සංවේදී වන ගොවිපොළ ප්‍රදේශ කල් තියා සිතියම් ගත කළ හැකි වේද? වාරි ජලය සැපයීම, බෝග සැලසුම්කරණය රක්ෂණය බැංකු කටයුතු සහ ඩිජිටල් ගෙවීම් ක්‍රම, සිදුවන පාඩුව පැතිර යාමට පෙර සම්බන්ධීකරණය කරගත හැකිවේ. 
පසුව හදිසි අවශ්‍යතා  සඳහා වැය  වන ආහාර ආනයන වියදම් අඩුකර ගැනීමට භාණ්ඩාගාරයෙන් යොදවනු ලැබූ මුදල්වලින් කල් තියා ගොවියාට සහන සැපයිය හැකිද?
ඉන්දියාව ඇතුළු වෙනත් රටවලට, කාලගුණය හා බැඳුණු බෝග රක්ෂණ ක්‍රම ඇත. දේශීය වශයෙන් පරෙස්සම් සහගත අධ්‍යයනයකින් තොරව, එවැනි ක්‍රම කොපි කළ හැකි නොවේ. එහෙත් මිනිය හැකි කාලගුණ දත්ත උපයෝගී කරගත හැකි අවස්ථාවල පමාව අඩු කර  සහයෝගීතා වේගවත් කිරීම සඳහා එවැනි ක්‍රම යොදා ගතහැකි වේ. අපේ තත්වයට ගැළපෙන එවැනි  ක්‍රමයක් ශ්‍රී ලංකාවට සැලසුම් කරගත හැකිවේ නම් මැනවි.


 අවදානමට ප්‍රමුඛත්වය දීම  සහ පෞද්ගලික අංශයේ  නියැළීම 

සම්පත් සීමිත වූ රටක අවදානමක් කෙරෙහිම එක හා සමාන අවධානය එක විට ලබාගත නොහැක්කේය. කමිටුවේ ක්‍රියාදාමයේදී, කිනම් එල් නිනෝ සම්බන්ධ අවදානම, කෙටි කලක් තුළදී විශාල අමතර විදේශ විනිමය අවශ්‍යතාවක් මතු කරයිද? යන ප්‍රශ්නය ඇසීම  ප්‍රයෝජනවත්  විය හැකිය.
ශ්‍රී ලංකාව තුළ වඩාත් හදිසි ක්ෂේත්‍ර, බලශක්ති ආහාර සහ  අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය  ආදිය විය හැකිය. එම නිසා එම ක්ෂේත්‍ර වෙත පළමුව අවධානය යොමු කළ යුතුවේ.
මෙය යම් වගකීමෙන් යුතු ව්‍යාපාරයක් මුදල් ගලා යෑම සම්බන්ධ කම්පනයකට සූදානම් වීම හා සමාන වේ.  එහි බැංකු ශේෂය, ක්ෂයව යනතුරු හොඳ ව්‍යාපාරයක්  බලා සිටින්නේ නැත. 
හොඳ ව්‍යාපාරයක් මුදල් ගලා ඒම කොතැනින්  අවදානම් සහගත විය හැකිද, කිනම් ගෙවීම් මගහැරයා නොහැකිද, කිනම් අවදානම් සහගත තත්ව අඩු කර ගත හැකිද යන්න කල්තියා ප්‍රශ්න කරයි.එම ශික්‍ෂණයම රටකට විදේශ විනිමය තත්වය සම්බන්ධයෙන්ද තිබිය යුතුවේ.
රජය ක්‍රියාමාර්ග ගන්නා තුරු පෞද්ගලික අංශය, බලා සිටිය යුතු නොවේ. විදුලි බලය, ආනයනික අමුද්‍රව්‍ය, කෘෂිකර්මාන්තය, සැපයුම් සේවා, ශීත ගබඩාකරණය, වංචාරක ව්‍යාපාරය සහ පාරිභෝගික ඉල්ලු‍ම මත රඳා පවත්නා කර්මාන්ත ආදි සියල්ල විවිධාකාරයෙන් දරුණු දේශගුණ තත්වවලදී බලපෑමට ලක්විය හැකිය. 
කල් තියා පැහැදිලි මාර්ගෝපදේශ දිය හැකිනම්, ව්‍යාපාරවලට බලශක්ති පරිහරණය යළි සකස් කර ගත හැකිය. ආනයන කල් තියා කර ගතහැකිය. හැකි නම් දේශීය මූලාශ්‍ර වලට යොමු විය හැකිය. තොග තත්ව පිරික්සා බැලිය හැකිය. නිෂ්පාදන කාලසටහන සකස් කර ගත හැකිය.
මෙම ක්‍රියාවලින් පමණක් ජාතික ප්‍රශ්නය විසදෙන්නේ නැත. එසේ වුවද පෞද්ගලික අංශයෙන් කලට වේලාවට ගන්නා තීරණ දහසකින් පුළුල් ආර්ථිකයකට එල්ලවෙන පීඩන කල් තියා මගහැර ගත හැකිය. ජාතියේ ඔරොත්තු දෙනසුලු ශක්තිය කමිටුවකින් පමණක් ගොඩනැගෙන්නේ නැත. එය ව්‍යාපාරවලින් ගොවීන්ගෙන් බැංකුවලින් රක්ෂණ සේවාවලින්, රාජ්‍ය ආයාතනවලින් සහ කල් තියා ගෘහ ආශ්‍රීතව සිදුකරන  කටයුතු  වලින් ද ගොඩනැගෙන්නේය.


 අමාත්‍යාංශ මගින්  සම්බන්ධීකරණය 

දේශගුණ කම්පනයක් අමාත්‍යාංශවල සීමා මායිම්වලට ගරු සරු දක්වන්නේ  නැත. පටු ආයතනික සීමා තුළ පමණක් ප්‍රතිචාර දැක්විය නොහැකිය. බලශක්තිය අමාත්‍යාංශය, ලංකා විදුලිබල මණ්ඩලය,  කෘෂිකර්ම අමාත්‍යාංශය, භාණ්ඩාගාරය, මහබැංකුව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග බලධාරීන් සහ රක්ෂණ වෘත්තිය සම්බන්ධ ප්‍රවීණයන්,  සංවර්ධන හවුල්කරුවන්, පෞද්ගලික අංශ නියෝජිතයන් ආදියට සම්බන්ධ සැම දෙනා සතුවම පිළිතුරු කොටසක් හිමිය. සැබෑ අගය මතුවන්නේ එම කොටස් කල්තියා එකිනෙක හා සම්බන්ධ වූ විටය.


 මධ්‍යගත ප්‍රශ්නය 

ශ්‍රී ලංකාවට බියෙන් මෙහෙයවන ‍ප්‍රතිපත්තියක් අවශ්‍ය නැත. වසර ගණන් කල් ගතවී ප්‍රතිඵල දෙන මහා න්‍යායානුකූල ක්‍රමද මේ සඳහා අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ ප්‍රායෝගික වූ, කල් තියා ඉටු කළ හැකි සම්බන්ධීකරණ සූදානමකි.
කමිටුවක් පත් කිරීම වැදගත් ප්‍රථම පියවරකි.මගේ නිහතමානී බලාපොරොත්තුව වන්නේ, දේශගුණය කෘෂිකර්මාන්තය,  වාරි කර්මාන්තය සහ ආපදා කළමනාකරණය, බලශක්ති මානවලට අමතරව, විදේශ විනිමය සම්බන්ධයෙන් ඇතිවිය හැකි ගැටලු‍වකට බැරෑරුම් අවධානය යොමු කෙරේය යන්නයි.
ශ්‍රී ලංකාවට එල් නිනෝව දේශගුණ අවදානමක් ලෙස පමණක්  නොව  එය විදේශ විනිමය අවදානමට ඔරොත්තු දෙන ශක්තිය සම්බන්ධ  අවදානමකුත් වන්නේද? මෙයට පිළිතුර ඔව්, නම් ඊළඟට මතුවන ප්‍රශ්නය ඊට වඩා දරුණු වූවකි. විදේශ විනිමය සංචිත ගැටලු‍වක් දරුණු වන්නට ප්‍රථමයෙන්, ගත හැකි ප්‍රායෝගිකවර සම්බන්ධ කිනම් අධ්‍යයනයක් කර ඇත්තේ ද?


 මේ වන විටත් දරුණු  විදේශ විනිමය 

අර්බුදයකින් පීඩාවට පත් වී ඇති රටකට මෙය හුදෙක් ආර්ථික විවාදයක් පමණක් නොවේ. මෙය ජාතික වගකීමකි. විදේශ විනිමය ස්ථාවරභාවය ආරක්ෂා කිරීම, සෑම ගෘහයකටම සෑම ව්‍යාපාරයකටම සෑම ගොවියකුටම සෑම කම්කරුවකුටම සහ අනාගත පරම්පරාවේ සෑම අයකුටම බලපාන්නකි. එහි අනතුරු ඇඟවීම හදිසි ජාතික අවශ්‍යතාවක් බවට පෙරළෙන තුරු ශ්‍රී ලංකාව බලා සිටිය යුතු නැත.


2026 ජූලි 03 Daily FT හි පළවූ  Could El nino becomes an FX risk for Sri Lanka ලිපියේ පරිවර්තනය
සමන් පුෂ්ප ලියනගේ