තිළිණ සමරසිංහ


ශ්‍රී ලංකාවේ විදේශ ආදායම් ලබාදෙන ප්‍රධාන කර්මාන්ත අතරින් ඉහළම ස්ථානයක් හිමි කරගෙන සිටින්නේ ඇඟලු‍ම් කර්මාන්තයයි. 2025 වසර අවසන් වන විට මෙරට ඇඟලු‍ම් අපනයන වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 5.02ක් ඉක්මවා ඇති අතර, එය පසුගිය වසරට වඩා සියයට 5කට අධික වර්ධනයක් ලෙස සැලකේ. සමස්ත අපනයන ආදායමෙන් සියයට 40 ඉක්මවූ විදේශ විනිමය ආදායමක් මෙම කර්මාන්තයෙන් ලැබෙන අතර, ඇඟලු‍ම් ක්ෂේත්‍රය ශ්‍රී ලංකාවේ ආර්ථික සමාජ සංස්කෘතික පරිවර්තනය සඳහා දශක කිහිපයක් පුරා මාහැඟි දායකත්වයක් ලබා දී ඇති බවට කිසිදු සැකයක් නැත. 
කෙටිකාලීනව ස්වාභාවික සහ විවිධ ආර්ථික අභියෝගවලට මුහුණ දුන් ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රයේ ඇඟලු‍ම් ක්ෂේත්‍රයට වඩාත් ප්‍රමුඛ ස්ථානයක් නිරායාසයෙන්ම හිමිවන්නේ මෙරට පවතින ඇඟලු‍ම් ක්ෂේත්‍රය කර්මාන්තයක් ලෙස වෙගවත් සහ ප්‍රශස්ත ලෙස ගෝලීය අනුකූලතා සමග සමපාතව ව්‍යාපාරික කටයුතු කරගෙන යෑම නිසාය. එහෙත්, මෙම වර්ධනය තිබුණද, කර්මාන්තය තවදුරටත් මුහුණ දෙන ප්‍රධාන අභියෝග අතරින් එකක් වන්නේ වසර 100කට වඩා පැරණි සහ නූතනත්වයට නොගැළපෙන නීතිමය හා පරිපාලන පද්ධති තුළ තවදුරටත් එල්බ සිටිනා බැවිනි. විශේෂයෙන්ම, වසර සියයකට පෙර නිර්මාණය වූ රේගු ආඥාපනත (Customs Ordinance)  නවීන ගෝලීය වෙළෙඳ පරිසරයට සරිලන ලෙස යාවත්කාලීන නොවීම, අපනයන ක්‍රියාවලිය මන්දගාමී කරමින් පවතින බව බැලූ බැල්මට පෙනන සත්‍යකි. 

 


පවතින නීතියේ සීමාවලින් ඇඟලු‍ම් අපනයනවලට ඇති විය හැකි බලපෑම


 

පැරණි රේගු ආඥා පනතේ නීති පද්ධතිය යටතේ ක්‍රියාත්මක වන වෙළෙඳ  ක්‍රියාවලිය අද දින ගෝලීය වෙළෙඳ පරිසරයට සරිලන ලෙස නවීන නොවීම, ශ්‍රී ලංකාවේ අපනයන වර්ධනයට සැලකිය යුතු බාධාවක් නිර්මාණය කර ඇති බව පැහැදිලිව පෙනේ. විශේෂයෙන්ම ඇඟලු‍ම් කර්මාන්තය වැනි කාලය මත පදනම් වූ කර්මාන්තයකදී, එක් නිමි ඇඟලු‍ම් තොගයක් අපනයනය කිරීම සඳහා අවශ්‍ය ලේඛන අනුමත කිරීමට විවිධ ආයතන කිහිපයක් හරහා ගමන් කළ යුතු වීම, සරල ක්‍රියාවලියක් සංකීර්ණ හා මන්දගාමී කරයි. තවද, බොහෝ ක්‍රියාවලි තවමත් කඩදාසි ලේඛන මත පදනම්ව පැවතීම නිසා දත්ත හුවමාරුව ප්‍රමාද වන අතර, එසැනින් තොරතුරු ලබාගැනීම අපහසු වේ. නීති ක්‍රියාත්මක කිරීමේ අනියතභාවයද තවත් ගැටලු‍වක් ලෙස පෙනී යයි. 

එකම ක්‍රියාවලිය විවිධ අවස්ථාවලදී වෙනස් ලෙස ක්‍රියාත්මක වීම නිසා ව්‍යාපාරිකයන්ට සහ ආයෝජකයන්ට නීතිය පිළිබඳව අවිශ්වාසයක් ඇතිවේ. එමෙන්ම බහලු‍ම් නිෂ්කාශන අංගනයේ සිට වරායට ගෙන යන අතරවාරයේදී ගෙවීමට සිදු වන 60කට අධික විවිධ ගාස්තු කිසිදු විනිවිද බවක් නොපෙන්වන අතර මෙම ගාස්තු හුදෙක්ම ආනයන සහ අපනයනකරුවන්ට අමතර පිරිවැයක් එක් කරනු ලබයි. ඇඟලු‍ම් ක්ෂේත්‍රය යනු එකතු කළ වටිනාකමක් සහිත අපනයන භාණ්ඩයක් වීම නිසා ඉහළ ලා තීරු පවත්වාගෙන යෑමට හැකියාවක් නොමැති කර්මාන්තයක් ද වේ. මෙයට අමතරව, මෙම ප්‍රමාදය හේතුවෙන් ගබඩා කිරීමේ හා ප්‍රවාහන පිරිවැය ඉහළ යාම කර්මාන්තයේ ලාබදායීත්වය කෙරෙහි සෘජුව බලපායි. අවසානයේ, මෙම සියලු‍ම සාධක එකට එකතු වූ විට, ප්‍රවාහනයේ දී ඇති වන ප්‍රමාදයන් නිසා ගෝලීය වෙළෙඳපොළේ  ශ්‍රී ලංකාවගේ විශ්වාසනීයත්වය සහ තරගකාරීත්වය අඩුවීමට හේතු වේ. 2026 ජනවාරි මාසයේදී අපනයන සියයට 2.66 කින් අඩුවීම වැනි සංඛ්‍යාත්මක දත්ත මෙවැනි පද්ධතිමය දුර්වලතා, ගෝලීය ඉල්ලු‍ම් වෙනස්වීම් සමඟ එක්ව කර්මාන්තයට සිදුවන බලපෑම පෙන්වන ප්‍රායෝගික උදාහරණයක් ලෙස දැක්විය හැක.

 


රේගු ආඥා පනත වත්මනට ගැළපෙන ලෙස සංශෝධනය විය යුත්තේ ඇයි ?


 

මෙම පසුබිම තුළ, යෝජිත රේගු ආඥාපනත් සංශෝධනය කිරීම තවදුරටත් විකල්පයක් නොව, අත්‍යවශ්‍ය ජාතික ප්‍රතිපත්තියක් ලෙස ඉස්මතු වේ. නව සංශෝධන මගින් අරමුණු කරන්නේ, දැනට සංකීර්ණව පවතින වෙළෙඳාම් ක්‍රියාවලිය සරල කරමින්, අදාළ සියලු‍ සේවා ඩිජිටල් පද්ධති හරහා එකීකෘත කිරීමයි. මෙය හරහා බහු ආයතන හරහා ගමන් කළ යුතු අනුමැති ක්‍රියාවලිය කෙටි වන අතර, අවශ්‍ය නොවන ලේඛන හා අනුමැති අවම කරමින් ව්‍යාපාරිකයන්ට කාලය සහ පිරිවැය දෙකම ඉතිරි කර ගත හැක. ඒ සමගම, අවදානම පදනම් වූ නිරීක්ෂණ ක්‍රියාවලියක් (risk-based inspections )  හඳුන්වාදීමෙන්, සෑම භාණ්ඩ නැව්ගත කිරීමක්ම සමාන ලෙස පරීක්ෂා කිරීම වෙනුවට අවදානම් මට්ටම අනුව පරීක්ෂා කිරීම සිදුකර, අඩු අවදානම් භාණ්ඩ නැව්ගත කිරීම් ඉක්මනින් නිකුත් කිරීමට හැකි වේ. උදාහරණයක් ලෙස, දැනට දින කිහිපයක් ගතවන භාණ්ඩ මුදාගැනීමේ (clearance)  ක්‍රියාවලිය, මෙවැනි ප්‍රතිසංස්කරණ හරහා පැය කිහිපයක් තුළ සිදුකිරීමට හැකි වීම කර්මාන්තයට විශාල වාසියක් වේ. අවසානයේ, මෙම සියලු‍ම පියවර එකට එක්ව වේගවත් බව සහ පුරෝකථනයට පහසුවීම “speed and predictability”  යන අත්‍යවශ්‍ය ගුණාංග දෙක කර්මාන්තයට ලබා දෙන අතර, එය ගෝලීය වෙළෙඳපොළේ ශ්‍රී ලංකාවේ තරගකාරීත්වය ශක්තිමත් කිරීමට මූලික පදනමක් වේ.

 


ආනයන අපනයන ක්‍රියාවලිය පහසු කරවන තනි කවුළුවක්  
(Single window concept)


 

තනි කවුළු සංකල්පය යනු නවීන වෙළෙඳ පහසුකම්වල මූලික අංගයක් වන අතර, “එකම දොරකින් සියලු‍ සේවා” ලබාදීමේ ප්‍රායෝගික ආකාරය ලෙස හඳුන්විය හැක. මෙහි මූලික අදහස වන්නේ, අපනයන හා ආනයන ක්‍රියාවලියට අදාළ සියලු‍ම අනුමැති, ලේඛන සහ ගනුදෙනු, වෙන වෙනම ආයතන කිහිපයක් හරහා ගමන් කිරීම වෙනුවට, එකම ඩිජිටල් වේදිකාවක් තුළ එකීකෘත කිරීමයි. මෙවැනි පද්ධතියක් ක්‍රියාත්මක වූ විට, ව්‍යාපාරිකයන්ට බහු ආයතන අතර ධාවනය වීමට අවශ්‍ය නොවීම නිසා භාණ්ඩ මුදා ගැනීම්  (clearance)  ක්‍රියාවලිය ඉතා වේගවත් වන අතර, එසැනින් ලබාගැනීමෙන් පැහැදිලිභාවය සහ විශ්වාසනීයතාවද වැඩි වේ. තවද, ප්‍රමාදය අඩුවීම හේතුවෙන් නාවික භාණ්ඩ ප්‍රවාහනය ( logistics)  හා ගබඩාකරණය සඳහා වන (warehousing)  පිරිවැය අඩු වන අතර, ස්වයංක්‍රීය අනුමැතීන් ( automated approvals ) හරහා සමස්ත ක්‍රියාවලිය කාර්යක්ෂමව පවත්වාගෙන යාමට හැකි වේ. 
විශේෂයෙන්ම, මසකට ඩොලර් මිලියන 400කට පමණ වැඩි අපනයන කරන ශ්‍රී ලංකාවේ ඇඟලු‍ම් කර්මාන්තය වැනි මහා පරිමාණ අපනයන ක්ෂේත්‍රයකදී, කාලය හා කාර්යක්ෂමතාව තීරණාත්මක සාධක වන අතර, තනි කවුළු  (Single Window)  පද්ධතියක් හඳුන්වාදීම එම තරගකාරීත්වය ශක්තිමත් කිරීමට සෘජුවම දායක වන මූලික ප්‍රතිසංස්කරණයක් ලෙස සැලකිය හැක. අද ගෝලීය වෙළෙඳපොළේ, ශ්‍රී ලංකාවට තරග කිරීමට සිදුවන්නේ වියට්නාමය, බංග්ලාදේශය, ඉන්දියාව වැනි රටවල් සමගය. මෙම රටවල් බොහෝවිට මුළුමනින්ම ඩිජිටල්කරණය වූ රේගු නියාමන පද්ධති, වාරය බහලු‍ම් මුදා හැරීම වඩා වෙගවත් කිරීම සඳහා සිදු කර ඇති ව්‍යුහාත්මක සහ භෞතික වෙනස්කම්, සහ ආයෝජකයන්ට වඩාත් මිත්‍රශීලී ප්‍රතිපත්ති අනුගමනය කරමින් සිටින තරගකාරී අපනයනකරුවන් ලෙස හැඳින්විය හැක. මෙවැනි පරිවර්තීය ලක්ෂණ හරහා රටක අපනයන ආර්ථිකය තුළ දැවැන්ත වෙනසක්  කළ හැකි බව ඩුබායි, සිංගප්පූරුවේ වරාය සහ රේගු කටයුතුවලින් අපට බොහෝ පාඩම් උගත හැකිය. 
එවැනි පසුබිමක, ශ්‍රී ලංකාවට තවදුරටත් වසර 100කට වඩා පැරණි නීතිමය තත්වයක් මත රඳා පැවතියහොත්, අපනයන වර්ධනය මන්දගාමී වීම අනිවාර්ය වේ. 2025 දී සමස්ත අපනයන ආදායම ඩොලර් බිලියන 17.2ක් දක්වා වර්ධනය වූවත්, රජය පවසන ආකාරයට 2028 දී ඩොලර් බිලියන 30ක අපනයන ආදායමක් වෙත යෑමට නම් මෙවැනි ප්‍රතිසංස්කරණවලින් තොරව එම ඉලක්කයට යෑම හුදෙක්ම සිතිවිල්ලකට වැඩි යමක් නොවනු ඇත. 
ඇඟලු‍ම් කර්මාන්තය ශ්‍රී ලංකාවේ විදේශ විනිමය උපයාදෙන ප්‍රධාන ආදායම් මූලාශ්‍රයක් වන අතරම, ලක්ෂ ගණනක් ජනතාවගේ රැකියා හා ජීවනෝපාය සෘජුවම ආශ්‍රිත වන ජාතික ආර්ථිකයේ හදවතක් ලෙස හැඳින්විය හැක. එබැවින්, මෙම කර්මාන්තයේ තරගකාරීත්වය රැක ගැනීම ව්‍යාපාරික අරමුණක් පමණක් නොව, රටේ සමස්ත ආර්ථික ස්ථායීභාවය හා සමාජ සුබසාධනය සම්බන්ධ ජාතික වගකීමක් බවට පත්වේ. මේ පසුබිම තුළ, යෝජිත රේගු ආඥාපනත් සංශෝධනය හා ආනයන අපනයනනය සඳහා තනි කවුළු (Single Window)  පද්ධතියක් හඳුන්වාදීම, සාමාන්‍ය පරිපාලන සංශෝධන ලෙස නොව, ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකය නව යුගයකට රැගෙන යාමට ඉලක්ක කරගත් ව්‍යුහාත්මක (structural)  ප්‍රතිසංස්කරණ ලෙස දැක්විය යුතුය.  මෙවැනි ප්‍රතිපත්තිමය වෙනස්කම් හරහා කර්මාන්තයට අවශ්‍ය වේගය, පැහැදිලිභාවය සහ විශ්වාසනීයතාවය ලබා දීමෙන්, ගෝලීය වෙළෙඳපොළේ ශ්‍රී ලංකාවට ස්ථාවර හා දිගුකාලීන තරගකාරීත්වයක් ගොඩනැගීමට හැකිවේ. අවසානයේ, ප්‍රතිපත්තිමය වෙනස්කම් (policy reform)  යනු කර්මාන්තයට සීමිත සහන ලබාදීමක් පමණක් නොව, රටේ අනාගත ආර්ථික වර්ධනය, ආයෝජන ආකර්ෂණය සහ ආර්ථික ස්ථාවරතාව ගොඩනැගීමට අවශ්‍ය මූලික පදනමක් බව අපි අවබෝධ කරගත යුතුය.