ශ්‍රී ලංකාවේ මන්දගාමී දළ ජාතික නිෂ්පාදනයේ වර්ධනය, ආසියානු රටවල ශීඝ්‍ර ආර්ථික ප්‍රගතිය හා ඉහළ ආදායමට සාපේක්ෂව සසඳා බැලීම, සාර්ව ආර්ථික ප්‍රතිපත්ති දිශාන්ති සම්බන්ධයෙන් පසුගිය දා පැවැත් වූ ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයේ සාකච්ඡාවට බඳුන් වූ විෂය වූයේය. ශ්‍රී ලංකා ආර්ථික සංගමයේ සහ ගාමිණී කොරයා පදනමේ සත්කාරකත්වයෙන් පැවැත්වූ ඊට විශාල පිරිසක් සහභාගි වූ අතර එහි මාධ්‍ය හවුල්කාරිත්වය ඬේලි එෆ් ටී පුවත්පත අනුග්‍රහයෙන් දරුණු ලැබීය.


ශ්‍රී ලංකා ආර්ථික සංගමයේ සහ ගාමිණි කොරයා පදනමේ හවුල්කාරිත්වය:-
ශ්‍රී ලංකා ආර්ථික සංගමය සහ ගාමිණී කොරයා පදනම අතර ඒකාබද්ධතාවෙන් පවත්වන මෙම වැඩකට යුතුවල අරමුණ වන්නේ, ප්‍රබල ආර්ථික න්‍යායන් මත සහ ශක්තිමත් අනුභාවික (පරීක්ෂණ සහ නිරීක්‍ෂණ හා බැඳුණු) සාක්ෂි මත පිහිටා, දියුණු ආර්ථික පර්‌යේෂණ හා ප්‍රතිපත්තිමය සංවාද තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සහ සමෘද්ධිමත්භාවය උදාකර ලීමට පහසුකම් සැලසීමයි. මෙම ඒකාබද්ධ සහයෝගීතාව මීට පෙර 2026 පෙබරවාරි මාසයේ පැවැත්වූ, ශ්‍රී ලංකා ආර්ථික සංගමයේ වාර්ෂික අන්තර්ජාතික සමුළුවෙන් ආරම්භ වූයේය.
එවක පටන් ගාමිණී කොරයා පදනමේ මෙම වර්ෂය සඳහා නියමිත පර්‌යේෂණ ප්‍රදානයන්හි පළමු වටය යටතේ මූල්‍ය පහසුකම් සැලසූ පර්‌යේෂණ අධ්‍යයන පදනම් කරගෙන මාසික සම්මන්ත්‍රණ පෙළක් පවත්වනු ලැබූයේය. අපනයන තරගකාරීත්වය සහ විශේෂ ආර්ථික කලාප යන තීරණාත්මක කාරණා ද්විත්වය සම්බන්ධයෙන් එවැනි සම්මන්ත්‍රණ දෙකක් මීට පෙර ගාමිණී කොරයා පදනම විසින් සාර්ථකව පවත්වන ලද්දේය .


දිට්වා සුළි සුළඟේ විනාශකාරී බලපෑම :-
2025 නොවැම්බර් මාසය අගදී, ශ්‍රී ලංකාවට කඩා පාත් වූ දිට්වා සුළි සුළඟ, වඩාත් විනාශකාරී ස්වාභාවික ආපදාවක් වූ අතර එයින් පෘථුලව පැතිරී ගිය ගංවතුර හා නාය යෑම් නිසා, ජීවිත ගණනක් අහිමිව, පවුල් ගණනාවක් අවතැන් වී යටිතල පහසුකම් රාශියකට හානි සිදු වූයේය.
රටේ පශ්චාත් අර්බුද ප්‍රතිසංස්කරණවලට සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම්වල වාරික සම්බන්ධ කාලානුරූපී විශ්ලේෂණවලට ඒවායින් අති මහත් බලපෑමක් එල්ල වූයේය. එහෙත් ශීඝ්‍ර මූල්‍යමය උපකාරක (RFI ) යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සපයනු ලැබූ හදිසි සහයෝගය සහ පමා වූ පස් වැනි වාරිකය හයවැනි වාරිකය සමග ඒකාබද්ධ කොට දීර්ඝකාලීන සාර්ව ආර්ථික ඉලක්කයක් කරා ළඟාවීමේ හැකියාව ලබාදුනි.


බාහිර කම්පන දරාගත නොහැකි වීම:-
කුඩා විවෘත ආර්ථිකයක් වූ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගෝලීය කම්පනවලට ඉහළින්ම ගොදුරු වන්නකි. වඩාත් මෑතකදී ඇතිවූ කම්පන වන්නේ එක්සත් ජනපදය විසින් පනවනු ලැබූ තීරු බදු ඉහළ දැමීම් සහ දැනට පවතින මැද පෙරදිග යුද ගැටුම්ය. ශ්‍රී ලංකාව 2022 දී අත්දුටු ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට අරගලයක යෙදෙන බැවින් එවැනි කම්පනවල තීව්‍රතාව වෙන කිසිදාකටත් වඩා දරුණුව දැනෙන්නේය. අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාව ප්‍රමාණවත් ආරක්‍ෂණ ගොඩනගා ගැනීමට සමත් වූ වග වාර්තා වන අතරම අංශ කිහිපයක්ම ඊට ගොදුරු වී පවතී.
මෑත දී සිදුවූ ගෝලීය කම්පන ඔස්සේ රටේ ආර්ථිකය යථා තත්වයට පත් කිරීමේ කාර්යයට බාධා එල්ල වී තිබෙන අතර ප්‍රධාන වශයෙන් ඉන්ධන පිරි වැය ඉහළ යාම සිදුවූ පසු, අපනයන, විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ සහ සංචාරක ඉපැයීම් පහත වැටීමත් සිදුවේ යයි අපේක්ෂා කෙරිණි. ගෝලීය බොර තෙල් බැරලයක මිල මැද පෙරදිග යුද්ධය ආරම්භ වීමෙන් පසුව ඩොලර් 70 සිට ඩොලර් 100 පමණ දක්වා ඉහළ ගියේය.
දේශීය මිල ගණන් ඉහළ යාමත් සමග උද්ධමන වේගයද ඉහළ යන සෙයක් පෙනෙන අතර මේ වනවන විටත් සියයට 5 කඩඉම ඉක්මවා තිබේ. ආනයනය වියදම් ඉහළ යාමත් සහ අපනයන ඇන හිටීමත් සමග වෙළෙඳ හිඟය පුළුල්වේ යැයි අපේක්ෂා කළ හැකිය. එහි ප්‍රතිඵලයක් ලෙස ගෙවුම් ශේෂවල ජංගම ගිණුමේ, 2023 පටන් පැවති ධන ශේෂය සෘණ ශේෂයක් කරා මාරුවනු ඇත. පසුගිය සතියේ සිදුවූ රුපියලේ අවප්‍රමාණ වීමෙන් විනිමය හුවමාරු අනුපාතිකයට ඇතිවන බාහිර පීඩනය පිළිබිඹු වේ.


බලශක්ති පිරිවැය සහ ආර්ථික වර්ධනය අතර පවතින ප්‍රතිලෝම සම්බන්ධතාව :-
කර්මාන්තවල යෙදවුම් පිරිවැයෙහි, බලශක්ති මිල ගණන් ප්‍රධාන සංරචකයක් වන අතර එය ප්‍රතිලෝම ලෙස ඒකරාශී වන නිෂ්පාදනයට සම්බන්ධ වන්නේය .නූතන අභ්‍යන්තර වර්ධන මොඩල (ආදර්ශන) වල, තාක්ෂණික නවීකරණ, ප්‍රාග්ධන ඒකරාශීකරණය සහ දීර්ඝ කාලීන තිර සර භාවය ආදිය සමග සෘජුව අන්තර් ක්‍රියා කරන මූලික සාධකය ලෙස බලශක්තිය සැලකේ. එම නිසා ඉහළ යන බලශක්ති පිරිවැය විසින්, නිෂ්පාදන යෙදවුම්වල ප්‍රශස්ත මිශ්‍රණය වෙනස්කර සමස්ත ඵලදායීතාව අඩු කෙරේ.
ඉහත කී න්‍යායාත්මක තර්කය අනුගමනය කළ කල්හි, මෑත කාලයේ ඉන්ධන සහ විදුලි බල මිල ඉහළ දැමීම, (මූල්‍ය බර අඩු කිරීමට සහ පිරිවැය පිළිබිඹු වන මිල ගණන් නියම කිරීම උදෙසා අනිවාර්යයෙන් කළ යුතු වුවද), ශ්‍රී ලංකාවේ අපනයන තරගකාරීත්වය සහ දළ ජාතික නිෂ්පාදනයේ වර්ධනයට ඇති කරන අහිතකර බලපෑම අවතක්සේරු කළ නොහැකිය.


ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ බාධාවකින් තොරව කරගෙන යාමට :-
1977 අග භාගයෙන් පසුව පශ්චාත් ලිබරල්කරණ කාල පරිච්ඡේදය පුරා ශ්‍රී ලංකාව අනුගමනය කළ ප්‍රතිපත්තිමය ප්‍රතිසංස්කරණ, වෙළෙඳපොළ ආර්ථිකය හා  පාලනය කරනු ලබන ආර්ථික ප්‍රවේශය අතර දෝලනය වෙමින් ඉඳ හිට ඇන හිටිමින් එක් අතකින් ඉදිරියට ගිය අතර අනික් අතින් අන්තරාවර්තිත සහ බාහිරාවර්තීත ප්‍රවේශද එහිදී අනුගමනය කෙරිණි. එවැනි ප්‍රතිපත්තිමය පරස්පරතා, අපනයන මූලික වර්ධනයට අනර්ථකාරී වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව පහළ මැද ආදායම් වර්ගීකරණයේ, ඒක පුද්ගල ආදායම ඩොලර් 5000 වටා රැඳී පවතී.
ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩ පිළිවෙළ යටතේ, ක්‍රියාත්මක කරනු ලැබූ ප්‍රතිසංස්කරණ පැකේජයට, මූල්‍ය හා බදු ප්‍රතිසංස්කරණ, පිරිවැය පිළිබිඹු කරන බලශක්ති මිල නියම කිරීම, මහ බැංකුව ස්වාධීනකරණය, ණය ප්‍රතිව්‍යුහගතකරණය, දූෂණ විරෝධී පාලනය, රාජ්‍ය හිමි ව්‍යවසාය ප්‍රතිසංස්කරණය, සහ වෙළෙඳපොළ නිදහස්කරණය ආදිය ඇතුළත් වේ.
මෙම ප්‍රතිසංස්කරණ ඔස්සේ, රජයේ අය වැයේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් සහ ගෙවුම් ශේෂවල ජංගම ගිණුමේ අතිරික්තයක් යන ධනාත්මක ප්‍රතිඵල ගෙන ආයේය.
ගෝලීය කම්පන සහ ආර්ථික අර්බුදයේ පශ්චාත් බලපෑම් සහිත මෙම පසුබිම යටතේ ප්‍රතිසංස්කරණ අඛණ්ඩව පවත්වා ගැනීම අතිශය වැදගත් වනුයේ ශ්‍රී ලංකාවට තවදුරටත් ආර්ථික අර්බුද දරා ගැනීමට නොහැකි වීමත්, නැවති නැවතී ඉදිරියට යන ප්‍රතිපත්ති චක්‍රයකින් උත්තේජනය විය නොහැකි වීමත් නිසාය.


ආර්ථිකය එක තැන ඇනහිටීම :-
ඓතිහාසික වශයෙන් ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතයේ වර්ධනය අඛණ්ඩව පැවැතියේ පහත මට්ටමකය. 1950 - 1976 අතර ලිබරල්කරණයට පෙර කාලපරිච්ඡේදී, සාමාන්‍ය වාර්ෂික වර්ධන වේගය පැවතියේ සියයට 3.7 ය. අපනයන මූලික වර්ධනයත් ප්‍රතිප්‍රතිපත්ති සම්පාදකයන් විසින් බලාපොරොත්තු වුණද, ආර්ථිකය ලිබරල්කරණය කිරීමෙන් පසුව වුවද සෑහෙන තරමේ වර්ධනයක් පෙන්නුම් කළේ නැත. 1977 - 2025 අතර කාලයේ සාමාන්‍ය වාර්ෂික වර්ධන වේගය පැවතියේ යාම්තමින් සියයට 4.4 මට්ටමේය. ආර්ථිකය එක තැන පල් වීමට බොහෝ සෙයින් හේතුවූයේ, වර්ධනයට තිබූ ව්‍යුහාත්මක බාධක, තාක්ෂණික පසුබෑම්, අභ්‍යන්තරය දෙසම බලන අන්තරාවර්ථිත වූ වෙළෙඳ ප්‍රතිපත්ති, ඉහළ බල ශක්ති පිරිවැය, ශ්‍රම වෙළෙඳපොළේ නොසන්සුන්තාව, සහ අභ්‍යන්තර ගැටුම් යන සාධකය. ඒ අතර වේගයෙන් වර්ධනය වුණු නැගෙනහිර ආසියානු රටවලට හාත්පසින් වෙනස්ව ගිය ශ්‍රී ලංකාවට නිදහස් වෙළෙඳපොළ ආර්ථිකයේ ඵල නෙළා ගැනීමට නොහැකි විය.


අඩු වර්ධන හා බැඳුණු ප්‍රක්ෂේපණ :-
නිල ප්‍රක්ෂේපණවලටඅනුව, 2026 -2030 කාලය තුළ ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදනයේ වර්ධන වේගය සියයට 3 සමීපයේ අඩු මට්ටමක පවතිනු ඇත. වර්තමාන වර්ධන අනුපාතය සියයට 3 ලෙස උපකල්පනය කළහොත්, රටේ ඒක පුද්ගල ආදායම, වර්තමාන මට්ටම වූ ඩොලර් 5000 සිට ලෝක බැංකුව ඉහළ ආදායම් සීමාව ලෙස සලකන, ඩොලර් 14000 සීමාවට සමීප වීමට වසර තිස්පහක් (35) ගතවනු ඇත. දළ ජාතික නිෂ්පාදිතයේ වාර්ෂික වර්ධන අනුපාතය සියයට 8 දක්වා ඉහළ ගියහොත් එකී ඒක පුද්ගල ආදායමේ මට්ටමට ළඟාවීමට වසර දහතුනක් (13) ගතවනු ඇත. රටක් ඉහළ ආදායම් ලබන ආර්ථිකයක් බවට පත්වීමට, දළ ජාතික නිෂ්පාදිතයේ වර්ධන අනුපාතය ඉහළ දැමීම කෙතරම් වැදගත් වන්නේ ද යන්න එයින් පැහැදිලි වේ.
සිංගප්පූරුව ($ 100000), තායිවානය($ 38000), හොංකොං ($ 55000), දකුණු කොරියාව ( $ 37000), ජපානය ($ 36000) යන රටවල ඒක පුද්ගල ආදායම සාපේක්ෂව ඉහළ මට්ටමක පවතී. එම රටවල සාර්ථකත්වයට හේතු වූයේ , විදේශ වෙළෙඳාමට ඔවුන්ගේ පැවති විවෘත භාවය, තාක්ෂණික නවීකරණය සහ ශක්තිමත් මූල්‍ය අංශ ය. රටේ පවතින සියයට 3 ක සොච්චම් වාර්ෂික වර්ධන වේගය සමග ශ්‍රී ලංකාවට සිංගප්පූරුවේ, ඒක පුද්ගල ආදායමේ මට්ටමට ළඟා වීමට අවුරුදු 101 ක් ගතවනු ඇත්තේය.
ප්‍රතිපත්තිවල අස්ථාවර භාවය, ප්‍රාග්ධනය ගොඩනැගීම ප්‍රමාණවත් නොවීම, ආයෝජන අකාර්යක්ෂමතාව, ආයෝජන සඳහා හිතකර නොවන පරිසරය, ව්‍යුහාත්මක අවහිරතා, තාක්ෂණික හා නවීකරණ දුර්වලතා සහ ඉහළ යන බලශක්ති පිරිවැය, ආදිය අඛණ්ඩව පැවතීමෙන්, නුදුරු අනාගතයේ ශ්‍රී ලංකාවේ අපනයන තරගකාරීත්වය සහ ආර්ථික වර්ධනය අතීතයේ සේම යටපත් වනු ඇත.


මැදි ආදායම් උගුල:-
ඉහළ ආදායම් වර්ගීකරණයට යෝධ පිම්මක් පැන ගන්නට අසමත්ව, ශ්‍රී ලංකාව මේ වන විට දශක දෙකක් තිස්සේ මැදි ආදායම් උගුලේ සිරවී ලතැවේ. ඊට ප්‍රධාන හේතුවක් වූයේ, ආර්ථිකය, පහත් ඇගයුම් එකතු කරන සහ පහත් මට්ටමේ තාක්ෂණය සහිත කර්මාන්ත කෙරෙහි විශ්වාසය තැබීම සහ එහි ප්‍රතිඵලයක් ලෙස ලිබරල් කරණය කිරීමෙන් අනතුරුව ආර්ථික වර්ධනයේ ආරම්භක තරංගය අකර්මණ්‍යව බිඳී ගොස් බල රහිත වීමයි. ඒ අතර තුරම, 2001 පටන් ආයෝජන කාර්යක්ෂමතාව සෑහෙන තරම් දුරට පිරිහී යනු පෙනිණි. ඉදිකිරීම් වැනි, අවම දැනුම පදනම් කරගත් අංශවල ආයෝජන ඒකරාශී වී,වර්ධන විභවතාවට දරුණු පීඩනයක් එල්ල කරන ලදී.


දැනුම් ආර්ථිකයක් උදෙසා අපේක්ෂා :-
පස් වැනි කාර්මිකරණ විප්ලවයට (5IR ) අයත් නූතන ලෝකයේ දළ ජාතික නිෂ්පාදනය ප්‍රමාණවත් ලෙස වේගවත් කිරීමට, ලාබ ශ්‍රමය සහ යල් පැනගිය තාක්ෂණය මත පදනම් වූ පැරණි නිෂ්පාදන ශෛලිය ප්‍රමාණවත් වන්නේ නැත. පස්වැනි කර්මීකරණ විප්ලව යුගය කෘත්‍රිම බුද්ධිය (Ai) හා රොබෝ තාක්ෂණය වැනි දියුණු තාක්ෂණය, මානවයා සමග සුසංගතව ඒකාබද්ධතාවෙන් බැඳී ක්‍රියාත්මක වන යුගයකි. ශ්‍රමය සහ ප්‍රාග් ධනය වඩාත් ඵලදායී අයුරින් භාවිත කළ යුතු වන අතර ඒ සම්බන්ධයෙන් නිර්මාණාත්මක බවත් නවෝත්පාදනයත් තීරණාත්මක ලෙස වැදගත් වේ. නිෂ්පාදන ක්‍රියාදායමයේ, මුළුමනින් නව්‍ය වූ විශේෂ ක්‍රමවේදයක් මේ සඳහා අවශ්‍ය වන්නේය. ආනයනය කළ තාක්ෂණය හා විදේශ ආයෝජන භාවිතයෙන් විදේශීය නිෂ්පාදන හුදෙක් එකලස් කරනු වෙනුවට, සිය සන්නාම සහිත උසස් තාක්ෂණයෙන් යුත් නිපැයුම් සහිත නවෝත්පාදන කිරීමට පර්‌යේෂණ හා සංවර්ධනය කෙරෙහි බරට ආයෝජනය කිරීමට කොම්පැනිවලට සිදුවන්නේය.
ඉහත සඳහන් කළ නැගෙනහිර ආසියානු රටවල සාර්ථකත්වයට හේතු වූ කතාවලින් පෙනී යන පරිදි, දළ ජාතික නිෂ්පාදනය වේගවත් කළ, දැනුම පදනම් කරගත් ආර්ථිකයක තත්වය කරා ප්‍රගතියට යන්නට රටවල් සමත් වී තිබේ. දැනුම් ආර්ථිකයකින් ව්‍යාප්තිය හෙවත් පතුරුවා හැරීම නිර්මාණය වී, ආර්ථික වර්ධනය සහ සංවර්ධනය ඉහළ නංවා ගැනීමට දැනුම භාවිත කෙරේ. එවැනි ආර්ථිකයකින්, ඉහළ ඇගයුම් එක් කරන, උසස් දැනුම් යෙදවුම් අඩංගු භාණ්ඩ හා සේවා නිෂ්පාදනය වේ.
දැනුම් ආර්ථිකයක තත්වයට එන්නට ශ්‍රී ලංකාවට බොහෝ දුර යා යුතුව තිබේ. ඒ හේතුවෙන් රටේ වර්ධන විභවතාව ඉදිරි වර්ෂ පුරාම පහත් මට්ටමින් අඛණ්ඩව පවතිනු ඇත. එම නිසා, යල්පැනගිය සාධක මත වර්ධනය වනු වෙනුවට, ආර්ථිකය නවෝත්පාදනය සහ තාක්ෂණයෙන් ඉදිරියටට යන වර්ධනීය ක්‍රියාදාමයකට ඉහළම ප්‍රමුඛතාව දිය යුතුවේ.


2026 ශ්‍රී ලංකා ආර්ථික සංගමයේ වාර්ෂික සමුළුව:-
“දැනුම් ආර්ථිකයක් කරා ශ්‍රී ලංකාවේ ඉදිරි මඟ එළි පෙහෙළි කිරීම”‍ යන්න, එහි තේමාව ලෙස ශ්‍රී ලංකා ආර්ථික සංගමය, මේ වසරේ නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත සමුළුව උදෙසා, තෝරා ගෙන ඇත්තේ මෙම සන්ධර්භය තුළයි. පර්‌යේෂකයන්ට විද්වතුන්ට, සහ ක්‍රියාකාරීන් ට මෙම සමුළුව උදෙසා, ආයතනික සහ ආර්ථික පාලනය, අධ්‍යාපනය සහ නිපුණතා, නවීකරණ ක්‍රම, තොරතුරු යටිතල පහසුකම් යන උප තේමා ඇසුරෙන් පත්‍රිකා ඉදිරිපත් කරන ලෙස මෙයින් ආරාධනා කෙරේ.

2026 මැයි 16Daily FT හි පළවූ 
Economic growth hinges on structural reforms and shock resilience  ලිපියේ පරිවර්තනය
සමන් පුෂ්ප ලියනගේ