• සංචාරක පැමිණීම් සියයට 2.5 කින් පහළට 
  • 2026 අප්‍රේල් පැමිණි සංචාරකයන් 135,643 න් ලැබුණු ආදායම ඩො.මි 157.1 යි 

2026  වසරේ ජනවාරි මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා මෙරටට හිමි වූ සංචාරක ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 1,111 ක් ලෙස සටහන්ව තිබේ. මෙය 2025 වසරේ මුල් මාස හතරේ හිමි වූ ඩොලර් මිලියන 1,379 ක ආදායම හා සැසඳීමේදී සියයට 19.4 ක අඩුවීමකි. 
දත්ත වාර්තා අනුව මේ වසරේ මුල් මාස හතරේදී මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 876,277කි. එය පසුගිය වසරේ එම කාලසීමාවේදී පැමිණි සංචාරකයන් 896,884 හා සැසඳීමේදී සියයට 2.3 ක් ලෙස පහත වැටී තිබේ.  
මේ අතර අප්‍රේල් මාසයේදී මෙරට වෙත සංචාරකයන් 135,643 ක් පැමිණ ඇති අතර, ඔවුන් හරහා ලැබුණු ආදායම ඩොලර් මිලියන 157.1 කි. එසේම 2025 අප්‍රේල් මාසයේදී සංචාරකයන් 174,608 ක් පැමිණ ඇති අතර, ඔවුන් හරහා ලැබුණු ආදායම ඩොලර් මිලියන 256.7 ක් ලෙස සටහන්ව තිබේ. 
විශේෂයෙන්ම මේ වසරේ පෙබරවාරි මාසය අගදී මැදපෙරදිග ඇති වූ යුද ගැටුම් හේතුවෙන් සංචාරක පැමිණීම් අඩුවීම මෙලෙස ආදායම් අඩුවීමට මූලිකවම බලපා තිබේ. එහිදී යුරෝපා සංචාරකයන්ගේ පැමිණීම් අහිමිවීම ආදායම් අහිමිවීමට හේතු වී තිබේ.  
එසේම ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය මෙම වසර ආරම්භයේ සිට සිදුකරන ගණන් බැලීම් අනුව සංචාරකයකු මෙරට තුළ සිදු කරන දෛනික වියදම් කිරීම එක්සත් ජනපද ඩොලර් 171 සිට 148 ක් දක්වා පහත හෙළීමද මෙලෙස ආදායම අඩුවීමට බලපා තිබේ.