සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය, ඩිජිටල් සේවා සහ මූල්‍යමය සේවා වෙත මෙය බලපානු ඇතැයි පවසයි


පනත් කෙටුම්පතේ ඇති අපැහැදිලි තැන්, බලාත්මක කිරීමට පෙර පැහැදිලි කළ යුතුව ඇතැයි පෙන්වා දෙයි


SME වෙත අමතර පිරිවැයක් යෙදීම නිසා එවැනි ව්‍යාපාර අධෛර්යවත් කරවන්නක් විය හැකියි


බදු ගෙවන්නන් සඳහා අවිනිශ්චිතතාව අඩු කිරීම සඳහා තවදුරටත් පැහැදිලි කිරීම් සහ මාර්ගෝපදේශ අවශ්‍ය බව අවධාරණය කරයි


රජය විසින් ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇති අගය එකතු කළ බදු (VAT) සංශෝධන හේතුවෙන් ව්‍යාපාර සඳහා බදු නිරාවරණයේ පුළුල්වීම, බදු අනුකූලතා පිරිවැයේ ඉහළ යාම සහ ව්‍යාපාර තුළ අස්ථාවරත්වයක් නිර්මාණයවීම සිදු වනු ඇතැයි ගණකාධිකරණ ආයතනයක් වන Ernst & Young (EY)  ශ්‍රී ලංකා සඳහන් කරයි. 
එහිදී මූලිකවම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය, ඩිජිටල් සේවා සහ මූල්‍යමය සේවා වෙත මෙය බලපානු ඇතැයි එම ආයතනය පෙන්වා දෙයි.
2026 අප්‍රේල් 24 වැනිදා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයකට අනුව යෝජනා කෙරී ඇති අගය එකතු කළ බදු (VAT) සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සිය වාර්තාවක් හරහා අදහස් දක්වමින් EY ආයතනය මෙම කරුණු සඳහන් කර තිබේ.
විශේෂයෙන්ම මෙම නීති කෙටුම්පතේ ඇති අපැහැදිලි තැන්, බලාත්මක කිරීමට පෙර පැහැදිලි නොකළහොත්, විවිධ අර්ථකථනවලට සහ ව්‍යාපාර පිරිවැය ඉහළ යාමට හේතු විය හැකි බව එම ආයතනය පවසයි.
ඒ අනුව මෙම නව වැට් බදු සංශෝධන යටතේ අනිවාර්ය වැට් බදු ලියාපදිංචි කිරීමේ සීමාව 2026 ජූලි 1 වන දින සිට කාර්තුවකට රුපියල් මිලියන 9 ක් හෝ වාර්ෂිකව රුපියල් මිලියන 36 ක් දක්වා අඩු කිරීමට යෝජනා කර ඇති බවත්, එමඟින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් විශාල කොටසක් වැට් ජාලයට ගෙන එනු ඇතැයිද එම ආයතනය පවසයි. මීට පෙර මෙම සීමාව වර්ෂයකට රුපියල් මිලියන 60ක් ලෙස පැවතුණි. 
මෙය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ආදාන වැට් බැර ලබා ගැනීමට ඉඩ සලසන නමුත්, එය වැට් බදු ගොනු පවත්වාගෙන යාම, වාර්තා තබා ගැනීම සහ අනුකූලතා බැඳීම්ද වැඩි කරනු ඇතැයි EY සඳහන් කරයි. ඒ අනුව මෙය එම ව්‍යාපාර වෙත තවත් අමතර පිරිවැයක් වනු ඇතැයිද එය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අධෛර්යවත් කරවන්නක් වනු ඇතැයිද එම ආයතනය පෙන්වා දෙයි.
එසේම වාර්තාවේ හඳුනාගෙන ඇති තවත් ප්‍රධාන කරුණක් වන්නේ අනේවාසික ඩිජිටල් සේවා සපයන්නන් සඳහා වන යෝජිත වැට් බදු රාමුවයි. මෙම පනත් කෙටුම්පත යටතේ, විද්‍යුත් වේදිකා හරහා ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට සේවා සපයන විදේශීය ඩිජිටල් සේවා සපයන්නන් මාස 12ක කාලයක් තුළ සැපයුම් රුපියල් මිලියන 36 ඉක්මවන්නේ නම් හෝ එක් කාර්තුවකදී රුපියල් මිලියන 9 ඉක්මවන්නේ නම් වැට් බදු සඳහා ලියාපදිංචි වීමට අවශ්‍ය වනු ඇත.
කෙසේ වෙතත්, මෙම පනත් කෙටුම්පත “ඩිජිටල් සේවා”‍ පිළිබඳ සවිස්තරාත්මක අර්ථ දැක්වීමක් ලබා නොදෙන බවත් බදු වගකීම් තීරණය කිරීමේදී අවිනිශ්චිතතාවයක් ඇති කළ හැකි බවත් EY සඳහන් කරයි. 

මෙහිදී ඩිජිටල් සේවාවන් සඳහා වැට් බද්ද යෙදීම සම්බන්ධයෙන් අර්ථකථන දෙකක් ඇති බවත්, ඉන් එකක් බද්දේ විෂය පථය සැලකිය යුතු ලෙස පුළුල් කළ හැකි බවත් එම වාර්තාවේ සඳහන් වන අතර, ඉන් එකක් බද්දේ විෂය පථය සැලකිය යුතු ලෙස පුළුල් කළ හැකි බවත් පෙන්වා දෙයි.
“මෙම දෙවන අර්ථ නිරූපණය සම්මත වුවහොත්, ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කිරීමේ පිරිවැය සැලකිය යුතු ලෙස වැඩි වේවි. ඊට හේතු වන්නේ අනේවාසිකයන් මෙම බදු පිරිවැය සිය සේවා ලබන්නන් වෙත පැවරීමට බොහෝ දුරට ඉඩ තිබීමයි.”‍ වාර්තාවේ සඳහන් වෙයි.
එසේම ඩිජිටල් සේවා සඳහා වැට් බද්දට යටත් වන ගෙවීම් මගින් රඳවා ගැනීමේ බදු බැදීම්, බදු පිරිවැය වැඩි කිරීම සහ විශේෂයෙන් මෘදුකාංග සේවා සපයන්නන් සඳහා පරිපාලන බර පැටවිය හැකි බවටද EY අනතුරු අඟවයි.
මීට අමතරව, 2026 ජූලි 1 වන දින සිට මූල්‍ය සේවා මත වැට් බද්ද සියයට 18 සිට සියයට 20.5 දක්වා වැඩි කිරීමට යෝජිත අතර, එම මූල්‍ය සේවා මත සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL) ඉවත් කිරීම බැංකු සහ මූල්‍ය ආයතන සඳහා ආදායම් බදු ගණනය කිරීම්වලටද බලපෑ හැකි බවත් එම ආයතනය පෙන්වා දෙයි.
“මීට පෙර මූල්‍ය සේවා මත පැවැති මෙම සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද, ආදායම් බදු වගකීම් ගණනය කිරීමේදී අඩු කළ හැකියි. ඒ අනුව මෙම සංශෝධිත රාමුව බදු උදාසීනත්වය පවත්වා ගනීද යන්න පිළිබඳව ප්‍රශ්න මතු කරනවා.” EY පවසයි.
මේ අතර, පනත් කෙටුම්පත යටතේ යෝජනා කර ඇති දැඩි දණ්ඩන විධිවිධාන ද වාර්තාවේ ඉස්මතු කර ඇති අතර, ව්‍යාජ මුදල් ආපසු ගෙවීමේ හිමිකම් පෑම්, නොමඟ යවන තොරතුරු සහ වලංගු බදු ලියකියවිලි ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම සම්බන්ධ වැරදි සඳහා රුපියල් මිලියනයක් දක්වා දඩ සහ මාස හයක් දක්වා සිර දඬුවම් නියම වීම සම්බන්ධයෙන්ද අවධානය යොමු කර ඇත.
ඒ අනුව අර්ථ නිරූපණයේ අනුකූලතාව සහතික කිරීම සහ බදු ගෙවන්නන් සඳහා අවිනිශ්චිතතාව අඩු කිරීම සඳහා තවදුරටත් නීති සම්පාදන පැහැදිලි කිරීම් සහ ක්‍රියාත්මක කිරීමේ මාර්ගෝපදේශ අවශ්‍ය වනු ඇතැයි EY පවසයි.
මේ අතර අදාළ වැට් බදු සංශෝධන සම්බන්ධයෙන් පසුගියදා මාධ්‍ය වෙත අදහස් දක්වා සිටි මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා, මෙහි මූලික අරමුණ රටෙහි බදු අනුකූලතාව වැඩි කරගැනීම, බදු මූලධර්ම අනුව කටයුතු කිරිම සහ බදු පරිපාලනය සරල කිරීම බවද පවසා සිටියේය.
“මේ බදු පනත අනුව රටේ සෑම පුද්ගලයකුම බදු ගෙවිය යුතු වෙනවා. නමුත් මේ වන විට වර්ෂයකට ලක්ෂ 18ක ආදායමක් ලබන පුද්ගලයන්ට පමණයි මේ බදු ගෙවීම සඳහා ඇතුළත් වන්නේ. මීට පෙර එය පැවතුනේ ලක්ෂ 12ක් විදියටයි. අපි දන්නවා රට තුළ ඊට වඩා ආදායම් ලබන පුද්ගලයන්, සමාගම් ඉන්නවා. ඔවුන් මේ බදු දැලට හසුකරගැනීම අවශ්‍යයි. මෙවැනි පුද්ගලයන් බදු දැලට හසුකරගැනීමේ අවසන් අවස්ථාව විදියට තමයි දඩ සහ නඩු අවස්ථාවට යන්නේ. මේ බදු අනුකූලතාව වැඩි කිරීම හරහා බදු පදනම වැඩිවීමෙන් පුද්ගලයන් ලෙස ගෙවන බදු ප්‍රමාණය අඩු කරගැනීමටත් ඉදිරියේදී හැකි වේවි.”
එසේම මේ යෝජිත පනත සම්බන්ධයෙන් ඉදිරියේදී තවදුරටත් සංශෝධන අවශ්‍ය නම් ඒවාද ගෙන ඒමට රජය කටයුතු කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.