දශක ගණනාවක් යහපාලනයකින් තොරව ආර්ථිකය සහ රට ගමන් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ආර්ථිකයත් සමස්ත සමාජයත් සැලකිය යුතු බිඳවැටීමකට ලක්ව පවතින බව සෑම අංශයකම ක්‍රියාකාරීත්වය පිළිබඳව අවධානය යොමු කිරීමේ දී පෙනී යයි. සමාජය බරපතළ ලෙස නීතිගරුකත්වයෙන් බැහැර වී ඇති අතර සමාජ-ආර්ථික කටයුතු සහ සම්බන්ධතා සාරධර්මවලින් ගිලිහී ඇති අයුරු ඉතා පැහැදිලිව නිරීක්ෂණය කළ හැකිය. මෙම තත්වය තවදුරටත් තීව්‍ර කිරීමට පසුගිය දශකය තුළ ලාංකීය ආර්ථිකය සමාජය මුහුණදුන් අර්බුද ද හේතු වී ඇති බවක් නිරීක්ෂණය කළ හැකිය. පාස්කු ඉරිදා ප්‍රහාරය, කොවිඩ් 19 වසංගතය, 2022 වසරේ ණය අර්බුදය මෙන්ම ගිය වසර අවසානයේ ඇතිවූ දිට්වා සුළිකුණාටුව හේතුවෙන් සමාජ-ආර්ථික ජනජීවිතය බරපතළ බිඳවැටීමකට ලක්ව ඇති අතර එවැනි පරිසරයක් තුළ පුද්ගලයන් තම අරමුණු වෙත හොඳින් හෝ නරකින් ඉටුකර ගැනීමට කටයුතු කරනවා මිස අනෙකා පිළිබඳ හෝ රට පිළිබඳ හැඟීමකින් තොරව කටයුතු කරමින් සිටින බවක් පෙනෙන්නට ඇත. 

ගෝලීයව ඉහළ යමින් ඇති වෙළෙඳ සහ ආයෝජන ආරක්ෂණවාදය සහ යුද වාතාවරණය තුළ ගෝලීය සහයෝගීතාව සඳහා මෙතෙක් පැවති ආයතන ව්‍යුහය බරපතළ ලෙස කඩාවැටෙමින් පවතින අතර ඒ හේතුවෙන් දේශීයව පවතින සමාජ-ආර්ථික ගැටලු‍වලට මුහුණ දීමට භාවිත කළ හැකිව පැවති ජාත්‍යන්තර සහයෝගය ද ගිලිහෙමින් පවතින බවක් නිරීක්ෂණය කළ හැකිය. මෙවන් වටපිටාවක, මෙරට ආර්ථික-සමාජ ප්‍රගතියට ජාතියක් ලෙස අප මුහුණ දිය යුතුව ඇත. මේ සඳහා, දෙවැනි ලෝක යුද්ධයෙන් දරුණුවට බැට කා වසර 30 ක් වැනි කෙටි කාලයක් තුළ ලොව අංක 2 ආර්ථිකය බවට පත් වූ ජපානයෙන් අපට උගත හැකි පාඩම් බොහොමයකි. මෙම ලිපියේ අරමුණ වන්නේ ජපානයේ සමාජ-ආර්ථික සංවර්ධනයෙන් අපට උගත හැකි පාඩම් කිහිපයක් පිළිබඳව කෙටි විවරණයක් කිරීමය. 
මෙම ලිපිය මූලික වශයෙන්ම පදනම් වනුයේ පසුගිය දා JICA Chair වැඩසටහන යටතේ හිටොසුබෂී විශ්වවිද්‍යාලයේ Itami Hiroyuki මහාචාර්යවරයා විසින් ජපාන ආර්ථික සංවර්ධනය සහ කළමනාකරණය පිළිබඳව කළ දේශනය වේ. මෙම දේශනය කොළඔ විශ්වවිද්‍යාලයේ දී පැවති අතර ඒ සඳහා පීඨ කිහිපයකම සිසු සිසුවියන් 100කට ආසන්න සංඛ්‍යාවක් සහභාගි වූහ.


රටේ අභිවෘද්ධි ප්‍රමුඛ කර සැලකීම
දෙවැනි ලෝක යුද්ධයෙන් දරුණු ලෙස බිඳවැටුණු ජපාන ආර්ථිකය 1955-1991 කාලසීමාව තුළ 6.4ක සාමාන්‍ය වාර්ෂික ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීමට සමත් විය. වසර 31 ක් එනම් දශක තුනක කාලයක් එවැනි ඉහළ තිරසර ආර්ථික වර්ධනයක් අත්කර ගැනීම පිටුපස ප්‍රධාන සාධක තුනක් පවතින බව Itami Hiroyuki මහාචාර්යවරයා ප්‍රකාශ කරයි. ඉන් පළමුවැන්න නම් යුද්ධයට පෙර කාලය තුළ ගොඩනගන ලද භෞතික ප්‍රාග්ධන තොගය, තාක්ෂණික දැනුම සහ කාර්මික ව්‍යුහය වේ. දෙවැන්න වූයේ මානව ප්‍රාග්ධනයයි. මෙහිදී මානව ප්‍රාග්ධනය යටතේ හඳුනාගත් සුවිශේෂී අංගයක් වූයේ යුද්ධයෙන් බිඳවැටී ඇති රට සහ ආර්ථිකය යළි ගොඩනැංවිය යුතු දැඩි අධිෂ්ඨානය විය. 
ජපන් ජාතිකයන් අතර පැවති මෙම මානසික ශක්තිය රටේ ආර්ථික සංවර්ධනයට යොදා ගැනීමට පැවති රජයන්ට හැකි විය. රටක් ලෙස ලංකාව අතිශය තීරණාත්මක සංධිස්ථානයක පසු වේ. එක් අතකින් විදේශ ණය පැහැර හැරීම තුළ ජාත්‍යන්තරව අපකීර්තියට පත්ව සිටින අතර අනෙක් අතින් ස්වාභාවික විපත් හේතුවෙන් බිඳවැටී පැවති ජනජීවිතය තවදුරටත් කඩා වැටී පවතී. මෙවන් පසුබිමක් තුළ ආර්ථිකය යළි ගොඩනැංවීමට නම් ඒ සඳහා ජනතාව දැඩි අධිෂ්ඨාන ශක්තියකින් යුතුව ආර්ථික කටයුතුවලට සම්බන්ධ විය යුතුව පවතී. වත්මන් ශ්‍රම බළකායට අදාළ දත්ත දෙස බැලීමේ දී වැඩ කළ හැකි වයසේ පසුවන කාන්තාවන්ගෙන් සියයට 68 ක් පමණ ආර්ථිකයට කිසිදු දායකත්වයක් නොදක්වන අතර තරුණ අය අතරේ ද කිසිදු අධ්‍යාපන කටයුත්තක්, පුහුණුවක් හෝ රැකියාවක් නොකරන පිරිස සැලකිය යුතු ඉහළ අගයක් වේ. මෙම පිරිස් නිසි අයුරින් ආර්ථික කටයුතුවලට සම්බන්ධ වීම ශ්‍රී ලංකාව යළි ගොඩනැංවීමට අත්‍යවශ්‍ය වූවකි. 
විදේශ රැකියා සඳහා ලාංකිකයන් යොමුවීම මෑත කාලීනව ඉහළ ගොස් ඇති අතර ඒ හේතුවෙන් එක් පැත්තකින් එම පවුල්වල උදවියට ආර්ථික ශක්තියක් ද අනෙක් අතින් විදේශ විනිමය ඉපැයීම් සඳහා පිටුවහලක් වන නමුත් කුසලතා සපිරි පිරිස් රටින් බැහැරවීම මෙරට ආර්ථික වර්ධනයට සහ සංවර්ධනයට දිගුකාලීනව යෝග්‍ය වන්නක් නොවේ. විශේෂයෙන්ම, මහජන මුදල්වලින් අධ්‍යාපනය සහ පුහුණුව ලබන පිරිස් රටේ ආර්ථික සංවර්ධනයට සහභාගිවීම පසෙකලා තම අරමුණු මුදුන්පත් කර ගැනීමට විදෙස්ගත වීම බහුලව දක්නට ඇති තත්වයක් වේ. දුගී බව සහ විරැකියාව හේතුවෙන් අඩු ආදායම් ලබන පවුල්වල පහළ කුසලතාවලින් යුතු පිරිස් රැකියා සඳහා විදේශගත වීම අනුමත කළ හැක්කක් වුවත් මධ්‍යම සහ ඉහළ කුසලතාවලින් යුත් පිරිස් විදේශගත වීම මධ්‍ය කාලීනව සහ දිගුකාලීනව රටට සහ ආර්ථිකයට යෝග්‍ය වන්නක් නොවේ. ශ්‍රම සැපයුමක් මෙන්ම ඉහළ ඵලදායීතාවක් ආර්ථිකය තුළ පවත්වා ගැනීමට නම් විදේශගත වීම හැකිතාක් දුරට සීමා කිරීම වැදගත් වේ. වර්තමානය වනවිට උසස් අධ්‍යපනය කටයුතු අවසන් කළ වහාම විදේශගත වීම තරුණ පිරිස් අතර දැකිය හැකි ලක්ෂණයක් වේ. මෙම තත්වය හැකි පමණකින් සීමා කිරීමට පියවර ගත යුතුව ඇත. අවම වශයෙන් යම් කෙටි කාලයක් හෝ රටට සේවය කිරීම අනිවාර්ය කිරීම කළ යුතුය. එවැනි තීරණ ජනප්‍රිය නොවුණත්, රටේ අනාගතයට ඉතා වැදගත් වූවක් වේ. 


කාර්යක්ෂම රාජ්‍ය අංශයක්
ජපානයේ ඉහළ ආර්ථික වර්ධනය සඳහා බලපෑ තුන්වැනි සාධකය වන්නේ රාජ්‍ය සහ පෞද්ගලික අංශය තුළ පැවති කළමනාකරණ ශක්තිය සහ සංස්කෘතිය වේ. මෙහිදී රාජ්‍ය අංශය පිළිබඳව අප පළමුව අවධානය යොමු කරමු. රාජ්‍ය අංශය ඉතා කාර්යක්ෂම වූවක් වූ අතරම ආර්ථික වර්ධනය සහ කාර්මීකරණය සඳහා වන ප්‍රතිපත්ති සහ වැඩසටහන් අඛණ්ඩව ඉතා කැපවීමෙන් යුතුව ක්‍රියාත්මක කිරීම දක්නට ලැබුණි. විශේෂයෙන්ම ප්‍රතිපත්ති අතර සංගතභාවය මෙන්ම අඛණ්ඩතාව හේතුවෙන් දේශීය මෙන්ම විදේශීය ආයෝජන දිරිමත් කිරීමට සමත් විය. කෙටිකාලීනව වේදනාකාරී වුවත් දිගුකාලීනව වඩාත් යහපත් වූ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට රජය පසුබට නොවූ අතර එවැනි අවස්ථාවලදී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ප්‍රතිපත්තිවල වැදගත්කම ජනතාවට මනාව සන්නිවේදනය කරන ලදී. දේශපාලන නායකත්වය පමණක් නොව රාජ්‍ය සේවය ද ඉතා කාර්යක්ෂමතාවකින් යුතුව ක්‍රියාත්මක වීම ආර්ථික වර්ධනයට සහ සංවර්ධනයට මහත් පිටුවහලක් විය. 
තමා ගැන නොව රට ගැන හිතන දේශපාලන තන්‍ත්‍රයක් සහ රාජ්‍ය අංශයක් ඇතිකරන්නේ කෙසේද යන්න අද වන විට අප මුහුණ දී ඇති ප්‍රධානතම අභියෝගයක් වේ. සාපේක්ෂව විශාල රාජ්‍ය අංශයක් පැවතිය ද එම රාජ්‍ය අංශය ඉතා අකාර්යක්ෂම ඵලදායී නොවන එකක් යන්න අද පොදුවේ පිළිගන්නා කරුණකි. එවැනි රාජ්‍ය අංශයක් ඇතිවීමට රාජ්‍ය සේවකයා මෙන්ම රජයන්ද වගකිව යුතුය. විශේෂයෙන්ම පවතින පහළ වැටුප් යටතේ රාජ්‍ය සේවයට එක්වන්නේ ඵලදායී නොවන පිරිස් වේ. රජයට පවතින සීමිත ඉඩකඩ තුළ ඉහළ වැටුප් දැනට සිටින රාජ්‍ය අංශයේ සේවකයන්ට ගෙවීමට හැකියාවක් නොමැත. එවැනි පසුබිමක් තුළ රජය කළ යුතුව ඇත්තේ යම් යම් අංශවලින් ඉවත්ව තම මූලික කටයුතුවලට පමණක් සීමා වීමය. උදාහරණයක් ලෙස අධ්‍යාපනය, සෞඛ්‍ය සහ අනෙකුත් බොහෝ අංශවල සේවා අද වන විට ගුණාත්මක බවින් තොර වන අතර ඒවා හුදෙක් පවත්වාගෙන යනු ලබන්නේ නාමික වශයෙනි. තවදුරටත් ඒ ආකාරයට කටයුතු කිරීම වෙනුවට රාජ්‍ය අංශය තුළ සිටින අතිරික්ත ශ්‍රමිකයන් ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීම සහ රාජ්‍ය අංශය කුඩා කිරීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ කළ යුතුව ඇත. එසේ නොවන තාක් මෙරට ආර්ථික සංවර්ධනය සඳහා රාජ්‍ය අංශයේ සක්‍රිය දායකත්වය ලබා ගැනීමේ හැකියාවක් නොමැති බව මතක තබා ගත යුතුව ඇත.


මානව හිතවාදී පෞද්ගලික අංශයක්
ධනවාදී ආර්ථික ආකෘතිය තුළ පෞද්ගලික අංශය ආර්ථිකයේ එන්ජිම බව කියැවේ. එම කියමන සනාථ කරමින් ජපානයේ පෞද්ගලික අංශයේ ක්‍රියාකාරීත්වය එරට ආර්ථික සංවර්ධනය සඳහා මහත් පිටුවහලක් විය. පෞද්ගලික සමාගම් සහ අනෙකුත් ලොකු කුඩා ව්‍යාපාරික ආයතන විසින් අනුගමනය කරනු ලැබූ කළමනාකරණ ක්‍රමවේද වඩාත් ජනහිතකාමී විය. ආයතන මට්ටමේ තොරතුරු ඉහළ සිට පහළ දක්වා වූ සේවකයන් අතර හුවමාරු කරගත් අතර තීරණ ගැනීමේ බලය සහ අවස්ථාව පහළම සේවක පිරිස් දක්වා ලබා දෙන ලදී. එවන් පසුබිමක් තුළ නිෂ්පාදන ආයතන සේවකයන්ගේ සුබසාධනය පිළිබඳ නිරන්තර සැලකිල්ලක් දැක්වීය. ආර්ථික අවපාත තත්වය යටතේ වුව සේවකයන් සේවයෙන් බැහැර කිරීම වෙනුවට සේවකයන් ආරක්ෂා කරමින් තම ලාබය පහත හෙළීමට කළමනාකරණය සහ අයිතිකරුවෝ කටයුතු කළහ. මෙම කළමනාකරණ ක්‍රමවේදය ඇමෙරිකානු කළමනාකරණ ක්‍රමවේදයට වෙනස් ස්වරූපයක් ගන්නා ලදී. ඇමෙරිකානු කළමනාකරණ ක්‍රමවේදය අනුව ආර්ථිකයේ ඇතිවන අවපාත තත්වය තුළ සේවකයන් සේවයෙන් බැහැර කිරීම නිරන්තරයෙන්ම සිදුවන්නකි. ඒ අනුව ජපාන පෞද්ගලික අංශය ප්‍රතිලාභ බෙදාගැනීම වෙනුවට සේවකයන් සමග බෙදා ගැනීමට කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස සේවකයෝ නිෂ්පාදන ආයතනවලට ලැදිව වඩාත් ඵලදායී ලෙස සේවය කිරීමට පෙළඹුණහ. 
දෙවැනි ලෝක යුද්ධයට පෙර ජපානය තුළ ද සේවක වැඩවර්ජන ක්‍රියාත්මක පැවතියත් මහා පරිමාණ ව්‍යාපාර අයිතියට සීමා පැනවීමත් සමග ප්‍රාග්ධනය සහ ශ්‍රමය අතර සම්බන්ධතා වඩාත් යහපත් වීමක් සිදුවිය. එහි ප්‍රතිඵලයක් වශයෙන් වැඩවර්ජන වෙනුවට ආයතන සහ සේවකයන් අතර වඩාත් යහපත් සම්බන්ධතා ගොඩනැංවිණි. වෙනත් වචනවලින් පවසතොත් කාර්මික ප්‍රජාතන්ත්‍රවාදයක් ගොඩනැංවීම සිදුවිය. ලංකාව තුළ ක්‍රියාත්මක පෞද්ගලික අංශය පිළිබඳව අවධානය යොමු කිරීමේ දී පෙනී යන මූලික කරුණක් වන්නේ සේවක සුබසාධනය පිළිබඳව අවම අවධානයක් යොමු කරන බවයි. වෙනත් වචනවලින් පවසතොත් නිෂ්පාදන ආයතන තම ලාබය මූලික කරගනිමින් කටයුතු කරනු විනා සේවකයන්ගේ සුබසාධනය පිළිබඳ අවධානය යොමු කරනුයේ ඉතා සීමිත වශයෙනි. එවැනි ප්‍රවේශයක අනිවාර්ය ප්‍රතිඵලය වන්නේ සේව්‍ය-සේවක දෙපක්ෂය අතර නිරන්තර කාර්මික ආරවුල් ඇතිවීම වේ. වැඩවර්ජන කිරීම නිරන්තර ප්‍රපංචයක් වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස ආර්ථිකයට විශාල අගතියක් සිදුව ඇත.


ගනුදෙනුකරුවන් සමග දිගුකාලීන සම්බන්ධතා
ජපානයේ නිෂ්පාදන ආයතන විසින් පාරිභෝගිකයන් සමග මෙන්ම තමන් සමග කටයුතු කරනු ලබන නිෂ්පාදන ආයතන සමග ද දිගුකාලීන සම්බන්ධතා ගොඩනැගීම කෙරෙහි නිරන්තරයෙන්ම අවධානය යොමු කරනු ලැබිණි. ලාංකීය ආර්ථිකය තුළ කටයුතු කරනු ලබන ලොකු කුඩා නිෂ්පාදන ආයතනවල හැසිරීම පිළිබඳව අවධානය යොමු කිරීමේ දී පෙනී යන මූලික කරුණක් වනුයේ දිගු කාල සම්බන්ධතා වෙනුවට කෙටිකාලීන වාසි/ලාබ සලකා කටයුතු කිරීම වේ. සෑම නිෂ්පාදන අංශයකම අද වන විට දැකිය හැකි කරුණක් වනුයේ මිල දී ගන්නන් (පාරිභෝගිකයන් හෝ වෙනත් නිෂ්පාදන ආයතන) රැවටීමට කටයුතු කිරීම වේ. නිෂ්පාදන සහ වෙළෙඳ කටයුතුවලදී නොයෙකුත් ආකාරයේ අකටයුතුකම් කිරීම අද වන විට සුලභව දක්නට ඇති දෙයකි.
උදාහරණයක් ලෙස ජපානයේ පොදුවේ පිළිගනු ලබන කරුණක් වන්නේ පුද්ගල ආහාරය සඳහා ගනු ලබන දෑ ඉතාමත් පිරිසුදු සහ ගුණාත්මක බවින් නිෂ්පාදනය සහ බෙදාහැරීමයි. එවන් පසුබිමක් තුළ වස විසෙන් තොර මනුෂ්‍ය ආහාරය සඳහා සුදුසු දෑ නිෂ්පාදනය කිරීමට නිරන්තරයෙන්ම නිෂ්පාදකයෝ කටයුතු කරති. එම ගුණාංගය ජපාන සංස්කෘතිය තුළ ප්‍රබලවම දක්නට ඇති අංගයක් වන අතර ධනවාදී අර්ථ ක්‍රමයක් යටතේ වුවද එවැනි සමාජ වටිනාකම් නොනැසී ඉදිරියට යමින් පවතී. 
එහෙත් ලාංකීය සමාජය තුළ විවෘත ආර්ථික ක්‍රමය හඳුන්වාදීමෙන් පසු සමාජ වටිනාකම් බරපතළ ලෙස බිඳවැටී ඇති බවක් දිස් වේ. ජපාන ධනවාදී ආර්ථ ක්‍රමයේ පියා ලෙස සැලකෙන ඊචි සිබුසාවගේ (Eiichi Shibusawa) දර්ශනය අනුව යමින් ආර්ථික කටයුතු වඩාත් ගුණගරුක ලෙස පවත්වාගෙන යාමට ජපන් පෞද්ගලික අංශය නිරන්තරයෙන්ම කටයුතු කිරීමක් දක්නට ලැබිණි. බටහිර රටවල් ධනවාදී අර්ථ ක්‍රමය තුළ සමාජ ගුණධර්ම පිරිහීමත් සමග ඒවා යළි ආරක්ෂා කරන අටියෙන් විවිධ නීති සහ රෙගුලාසි පැනවීමත් සිදු කරන ලදී. ලංකාව වැනි දියුණු වෙමින් පවතින බොහොමයක් රටවල බිඳවැටෙමින් පවතින සාරධර්ම ආරක්ෂා කිරීමට විවිධ අණපනත් හඳුන්වා දෙනු ලැබුවද ඒවා නිසි ලෙස ක්‍රියාත්මක වීමක් දක්නට නොමැත.
 මේ සියල්ලගේම එක් අතුරුඵලයක් වී ඇත්තේ යම් යම් භාණ්ඩ සහ සේවා සඳහා වෙළෙඳපොළ ඇති නොවීම හෝ ක්‍රියාත්මක වන්නේ නම් එවැනි වෙළෙඳපොළවල් අකාර්යක්ෂම වීම වේ. පසුගිය වසර පහ තුළ ලාංකීය ආර්ථිකය මුහුණදුන් අර්බුද හමුවේ සේවකයන්ට රැකියා අහිමිවීම මෙන්ම ව්‍යාපාර බිඳවැටීමද සිදුවිය. එවන් පසුබිමක් තුළ, ණය ආපසු ගෙවීමට නොහැකි වූ නිෂ්පාදන ආයතනවලට තම දේපල පවා අහිමි වූයේ ණය ලබා දී ඇති ආයතන තම ලාබ පංගුව පමණක් සලකා කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් වශයෙනි. එමෙන්ම, ආර්ථික කම්පන හමුවේ එහි මුළු බරම සේවකයන් මත පටවමින් සමහර නිෂ්පාදන ආයතන සේවකයන්ගේ රැකියා අහිමි කිරීම් ද සිදුවිය. එහෙත් විය යුතුව පැවතියේ අර්බුදකාරී තත්වය තුළත් තම ව්‍යාපාර හවුල්කරුවන් සමග සහයෝගයෙන් කටයුතු කිරීම විය.


ජනහිතකාමීත්වය
ජපානය යනු පන්ති විරහිත (classless) සමාජයක් වන අතර එවැන්නක් ඇති කිරීම උදෙසා විශේෂ වශයෙන් හේතු වූ කරුණක් වන්නේ රාජ්‍ය අංශය මෙන්ම පෞද්ගලික අංශය ද තම වපසරිය තුළ වඩාත් ජනහිතකාමී ආකාරයෙන් කටයුතු කිරීමයි. රාජ්‍ය සේවය පොදු මහජන සුබසෙත සඳහා නිරන්තරයෙන්ම කටයුතු කළ අතර සමාජයේ එකදු පිරිසක්වත් විශේෂ කොට නොසලකන ලදී. මෙම තත්වයම, පෞද්ගලික අංශය තුළ ද දක්නට ලැබේ. විශේෂයෙන්ම, පෞද්ගලික අංශය විසින් පවත්වාගෙන යන ලද කළමනාකරණ ක්‍රමවේද තුළ සේවක සුබසාධනයට නිරන්තරයෙන්ම අවධානය යොමු කරන ලදී. ආයතනය සේවකයන් තම පවුලේ සාමාජිකයන් සේ සලකා කටයුතු කිරීමක් දක්නට ලැබේ. ලාංකීය සමාජය තුළ විවිධ උස්මිටිකම් නිරන්තරයෙන් දක්නට ලැබෙන අතර සමාජයේ ඉතා සුළු පිරිසක් විශේෂ වරප්‍රසාද භුක්ති විඳිමින් ජීවත් වෙති. මෙරට ආර්ථික සහ දේශපාලනික ආයතනික ව්‍යුහය සමාජයේ සුළු පිරිසකට අවස්ථා ලබාදෙන අයුරින් සකස් කිරීමක් නිදහසින් පසු කාලය තුළ දක්නට ලැබේ. මෙම තත්වය ආර්ථික සංවර්ධනයට යෝග්‍ය එකක් නොවන අතර එවැනි ආයතනික ව්‍යුහයකින් පුද්ගලයන්ට ලබාදෙන්නේ ඍණාත්මක උත්තේජන වේ. ආර්ථික වර්ධනයට සහ සංවර්ධනයට අත්‍යවශ්‍ය ඵලදායීතාවේ වර්ධනය, නවෝත්පාදනය සහ නව ආයෝජන වැනි දෑ එවන් පරිසරයක් තුළ ජනිත නොවේ. 


සාරාංශය
ආර්ථික පුනර්ජීවනය සහ සංවර්ධනය යන අභියෝග කිසිදු රජයකට තනිවම ජයගත හැකි ඒවා නොවේ. ඒ සඳහා මහජනතාවගේ අවංක කැපවීමක් අවශ්‍ය වේ. වර්තමානය වනවිට ලාංකීය සමාජ-ආර්ථික ව්‍යුහය බරපතළ ලෙස කඩා වැටී අවසන්ය. බිඳවැටී ඇති ආර්ථිකය යළි නගාසිටුවීම නම් ඒ සඳහා ජනතාවට සැබෑ වුවමනාවක් පැවතිය යුතුව ඇත. විශේෂයෙන්ම, තම අභිමතාර්ථ පමණක් සිතනවා වෙනුවට රටක් ලෙස අප ඉදිරියට ගමන් කිරීමට නම් හුදු පෞද්ගලිකත්වයෙන් ඔබ්බට ගොස් තම දායකත්වය ලබාදිය යුතුව ඇත. එසේම, වැඩ කළ හැකි වයසේ පසුවන සැලකිය යුතු කොටසක් ආර්ථික කටයුතුවලින් බැහැරව සිටිති. එම පිරිස ආර්ථිකයට සක්‍රියව දායක කරගත යුතුව ඇත. 
රැකියා සඳහා විදේශගත වීම කෙටි කාලීනව එම පුද්ගලයන්ට, පවුලේ පිරිස්වලට සහ ගෙවුම් ශේෂයට දායකත්වයක් ලබා දුන්නද, දිගුකාලීනව රැකියා සඳහා විදේශගත වීම ආර්ථිකයට පිරිවැයක් එක් කරනු ලබයි. විශේෂයෙන්ම මැදි සහ ඉහළ කුසලතා සහිත පුද්ගලයන් විදේශගත වීම ඵලදායීතාවට ඍණාත්මකව බලපානු ලබයි. ආර්ථික පුනර්ජීවනය සහ සංවර්ධනයට පෞද්ගලික අංශයට විශාල දායකත්වයක් දැක්විය හැකිය. විශේෂයෙන්ම, තම ආයතනවල සේවය කරනු ලබන සේවකයන් පිළිබඳව වඩාත් මානව හිතවාදී ආකාරයෙන් සැලකීම මෙහිලා වැදගත් වන්නකි. එවැනි වෙනසක් සේවක ඵලදායීතාව ඉහළ යාමට මෙන්ම වඩාත් සාමකාමී රැකියා පරිසරයක් ඇති කිරීමට ද ඉවහල් වේ. එමෙන්ම, තම ලාබය තර කර ගැනීම පමණක් නොව සේවකයන්ගේ සුබසාධනය පිළිබඳව ද පෞද්ගලික අංශය අවධානය යොමු කළ යුතුය. 
ආර්ථික කම්පනයන්වලදී තම සේවකයන් මෙන්ම තමන් සමග ගනුදෙනු කරනු ලබන අනෙකුත් නිෂ්පාදන ආයතන සම්බන්ධයෙන් ද වඩාත් නම්‍යශීලී පිළිවෙතක් අනුගමනය කිරීම මෙහිලා වැදගත් වේ. කෙටිකාලීන ලාබය වෙනුවට දිගුකාලීන සම්බන්ධතා සහ සාමූහිකත්වය ප්‍රමුඛ කර ගැනීම වැදගත් වේ. විශේෂයෙන්ම, නිෂ්පාදනය සහ බෙදාහැරීමට අදාළව වඩාත් ගුණගරුක සහ සදාචාරාත්මක හැසිරීමක් පෞද්ගලික අංශයෙන් අපේක්ෂා කෙරේ. හුදු ලාබ ලැබීමේ අරමුණ පමණක් ඇතිව ඕනෑම නිෂ්පාදනයක්/ අලෙවියක් කිරීම පසෙකලා සමාජයේ යහපැවැත්මට ඉවහල් වන කටයුතුවල නිරත වීමට පෞද්ගලික අංශය යොමුවිය යුතුව ඇත.
 අවසාන වශයෙන් ජනහිතකාමී රාජ්‍ය පාලනයක් සහ ව්‍යාපාරකරණයක් ඇති කිරීම ආර්ථික පුනර්ජීවනයට සහ සංවර්ධනයට ඉවහල් වනු ඇත. ධනවාදී අර්ථ ක්‍රමය තුළ පවතින තරගකාරීත්වය මගින් සමාජ වටිනාකම් ගිලිහී යාමට ඉඩ හැරීම තුළ ලාංකීය සමාජයේ බරපතළ කඩා වැටීමක් සිදුව ඇති අතර වර්තමානය වනවිට මුහුණ දී ඇති බොහොමයක් ගැටලු‍ විසඳීමට නම් අප රටක්/ ජාතියක් ලෙස කල්පනා කර වැඩ කිරීමෙන් පමණි. ජපානයට දශක තුනක් වැනි කෙටි කලක් තුළ ඉහළ ආර්ථික සංවර්ධනයකට ගමන් කළ හැකි වූයේ අන් කවරක් නිසා නොව ජාතියක් ලෙස අවංකව මහන්සි වී වැඩ කිරීමෙනි. එමෙන්ම, යහපත් වටිනාකම් ආරක්ෂා කරගනිමින් ධනවාදී අර්ථ ක්‍රමය ක්‍රියාත්මක කිරීමෙනි.