IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


අයවැයේ ආර්ථික දිශානතිය - ගුණාගුණ

ආණ්ඩුවක් වාර්ෂිකව විසර්ජන පනත් කෙටුම්පතක් සම්පාදනය කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එයට අනුමැතිය අයද සිටින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව එය අනිවාර්ය කර ඇති හෙයිනි. එසේ කිරීමට නියම කර ඇත්තේ රාජ්‍යයේ සහ ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්ම සඳහා අවශ්‍ය සාර්ව ආර්ථික ශක්තිය ස්ථායිකරණය කර ගැනීම සඳහා සහ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියේ සහ කළමනාකරණයේ පාරිදෘශ්‍යභාවය අත්‍යාවශ්‍ය නිසාය. රටේ ව්‍යවස්ථාදායක, විධායක සහ අධිකරණ බලය හිමි වන්නේ පාලකයන්ට නොව ජනතාවටය. ජනතාව සතු එම පරමාධිපත්‍ය බලය ජනතාව විසින් ඡන්ද බලයෙන් තෝරා පත් කර ගනු ලබන විධායකයේ ප්‍රධානියා වන ජනාධිපතිවරයාටත්, ව්‍යවස්ථායකයටත් පවරා දෙනු ලබයි. ඔවුන් සියලු‍ දෙනාම එම බලය භාවිත කළ යුත්තේ රටේ භාරකරුවන් ලෙසය. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 ව්‍යවස්ථාව අනුව රාජ්‍ය මූල්‍ය බලය සම්බන්ධයෙන් තනි සහ අනන්‍ය බලය පැවරී ඇත්තේ පාර්ලිමේන්තුවටය. පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව කිසිදු බදු මුදලක් අය කිරීමට හෝ කිසිදු මුදලක් වියදම් කිරීමට හෝ විධායකයට බලය නැත. රාජ්‍ය මූල්‍ය සම්බන්ධව එසේ තනි සහ අන්‍යය බලය පාර්ලිමේන්තුවට පැවරී තිබුණේ වුවත් වාර්ෂික අයවැය ලේඛනය සකස් කරනු ලබන්නේ මුදල් අමාත්‍යවරයාගේ අධිකාරි බලය යටතේ සිටින රාජ්‍ය නිලධාරීන්ය. විධායකය විසින් සකස් කර ඉදිරිපත් කරනු ලබන අයවැය ලේඛනය රටේ සාර්ව ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා සාධනීය ලෙස දායක වන බවට සහ ජනතාවගේ අභිලාෂ ඉටු කිරීමට සමත් වන බවට සෑහීමකට පත් වන්නේ නම් පමණක් පාර්ලිමේන්තුව විසින් එය අනුමත කළ යුතු අතර එසේ නොවන්නේ නම් පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කළ යුතුය. එසේ ඉදිරිපත් කරනු ලබන අයවැය ලේඛනයක් ව්‍යවස්ථාදායකය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුව හොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 49 වැනි ව්‍යවස්ථාව අනුව අමාත්‍ය මණ්ඩලය නීතියේ ක්‍රියාකාරීත්වය අනුවම විසුරුවා හැරේ. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මෙවැනි ප්‍රතිපාදනයක් ඇතුළත් කර ඇත්තේ විධායකය විසින් ඉදිරිපත් කරනු ලබන කුමන හෝ ලේඛනයකට අත උස්සා ඡන්දය ලබාදීම පාර්ලිමේන්තුවක වගකීමක් නොවන බවත්, ජනතාවට වගකියන සහ සාර්ව ආර්ථිකය වර්ධනය කර ගැනීම සඳහා සාධනීය යෝජනා ඇතුළත් එකක් වන්නේ නම් පමණක් පාර්ලිමේන්තුව විසින් එය අනුමත කළ යුතු වන නිසාත්ය. එහෙත් ශ්‍රී ලංකාවේ මෙන්ම බොහෝ රටවල්වල සිදුවන්නේ ආණ්ඩු පාක්ෂිකයන්ගේ බහුතරය බලය විසින් එය අනුමත කිරීමයි. මින් අදහස් වන්නේ මූල්‍ය බලය න්‍යායාත්මකව ව්‍යවස්ථාදායකය සතු වුවත් විධායකයේ අභිමතය අනුව සියල්ල සිදුවන බවයි. නීති සම්පාදනය පාර්ලිමේන්තුව සතු බවත්, එය විධායකයේ කාර්යයක් නොවන බවත් පැවසීම සාවද්‍ය වේ. පාර්ලිමේන්තුවට නීති කෙටුම්පත් සම්පාදනය කර ඉදිරිපත් කරනුයේ අමාත්‍ය මණ්ඩලය අනුමත කළ පසු කැබිනට් අමාත්‍යවරයකු විසිනි. පාර්ලිමේන්තුවේදී විවාදයට භාජනවීම සහ අනුමැතිය ලබාදීම සිදු වේ. 

2003 අංක 03 දරණ මූල්‍ය කළමනාකරණ (වගකීම්) පනතේ අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදනය සමග ගැළපීමේදී සියයට 5 සීමාව ඉක්මවා යාම තහනම් කර ඇතත් මෙම අයවැයේ අයවැය හිඟය සියයට 5.1 ලෙස පෙන්වා දී ඇත. එය නීතිය උල්ලංඝණය කිරීමක් වුවත් පසුගිය වසර කිහිපය තුළ පැවැති ආර්ථික විචල්‍යතා හේතුවෙන් සාධාරණීකරණය කළ හැකිය. 

වර්තමානය වනවිට අප රටේ අයවැය ලේඛනය පෙරට වඩා වැඩි වැදගත්කමක් දරනු ලබයි. 2022 වසරේ ශ්‍රී ලංකාව බංකොලොත් භාවයට පත්වීම නිසා එම බංකොලොත් භාවයෙන් ගොඩ ගැනීමට සාර්ව ආර්ථිකය ශක්තිමත් කිරීම පිණිස අවශ්‍ය පදනම හා මූල්‍ය කළමනාකරණයක් පවත්වාගෙන යාම රටේ පැවැත්ම සඳහා සහ ජනතාව ජීවත් කරවීමට අත්‍යාවශ්‍ය වේ. 2022 වනවිට මුළුමනින්ම හිස්ව පැවැති භාණ්ඩාගාරය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව පිහිටුවා ගන්නා ලද අමාත්‍ය මණ්ඩලය විසින් අභියෝගාත්මක ආර්ථික ගැටලු‍වලට සහ දේශපාලන අස්ථාවර භාවයට මුහුණ දෙමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ද ලබා ගනිමින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ගත් පියවර ප්‍රශස්ථ ලෙස සාර්ථක විය. එක ඩොලර්වත්ව නොතිබූ විදේශ විනිමය ගිණුමේ 2023 වසර අවසාන වන විට ඇමරිකානු ඩොලර් බිලියන තුනක ප්‍රමාණය දක්වා වර්ධනය කර ගැනීම සඳහාත්, 2024 වසර අවසාන වනවිට ඩොලර් බිලියන හයක් දක්වා වර්ධනය කරගැනී සඳහාත් කරන ලද සැලසුම් සාර්ථක විය. 2025 අවසානයේ එය ඩොලර් බිලියන දහයක් දක්වාත්, 2026 අවසානයේ ඩොලර් බිලියන දාහතරක් දක්වාත් ගෙන යාම සඳහා සැලසුම් කර තිබුණි. 2024 ඔක්තෝබර් මාසය අවසන් වනවිට ශ්‍රී ලංකා විදේශ විනිමය ගිණුමේ ශේෂය ඇමරිකානු ඩොලර් බිලියන 6.4 ක් වූ අතර 2025 ඔක්තෝබර් මාසය අවසන් වනවිට එම ගිණුමේ ශේෂය ඇමරිකානු ඩොලර් බිලියන 9ක් දක්වා වර්ධනය විය යුතුව තිබුණත් එහි පවතින්නේ බිලියන 6.21 ක් පමණි. 

කෙසේ නමුත් මෙම අයවැයේ ද මීට පෙර පැවැති සියලු‍ම ආණ්ඩු ඉදිරිපත් කළ සාම්ප්‍රදායික අයවැයක අඩංගු සියලු‍ අංග ඇත. එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සියලු‍ කොන්දේසිවලට එකඟව ඉදිරිපත් කර ඇත. පවතින ආණ්ඩුව කුමක් වුවත් ඉන් මිදී අයවැයක් ඉදිරිපත් කිරීමේ හැකියාවක් නැතැයි යන යථාර්ථය මෙයින් ඔප්පු වේ. 

2026 වසර සඳහා ඉදිරිපත් කර ඇති අයවැය ලේඛනය අනුව රටේ ආදායම සහ වියදම රුපියල් බිලියන වලින් මෙසේ දක්වා ඇත. 

 

2024 2025 2026

මුළු ආදායම 

සහ ප්‍රධාන 4,091 5,100 5,300

මුළු වියදම් 6,131 6,548 7,057

අයවැය හිඟය - 6.8 - 4.5 - 5.1

 

2026 වසරේ අයවැය හිඟය රු. බිලයන 1,757කි. එම හිඟය පියවීමට සිදුවන්නේ ණය ලබා ගැනීම් මගිනි. 

2024 දෙසැම්බර් මාසය වනවිට රටේ පැවැති සමස්ත ණය මුදල රු. බිලියන 28,700 ක් වූ අතර 2025 ජූනි වනවිට මාස හයක් ඇතුලත එය රු. බිලියන 29,700 ක් දක්වා රු. බිලියන 1,000 කින් වැඩි විය. එනම් එක දිනකට රු. මිලියන 5,600 බැගින් ණය ගැනීමකි. වසර අවසන් වනවිට ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 101.25 වේ. එය ඩොලරය රු. 308 අනුපාතයට අනුව රු. බිලියන 31,185කි. ඉන් ඩොලර් බිලියන 37.14 ක් විදේශ ණය වේ. එය රුපියල් වලින් බිලියන 11,538 කි. 

2025 වසරේ රාජ්‍ය ණය පොලී ප්‍රමාණය ලෙස ඇ.ඩො. මිලියන 2,435 ක් ගෙවීමට නිමිත අතර සැප්තැම්බර් වනවිට ඩො. මිලියන 1,948 ගෙවා තිබුණි. ණය ගෙවීමේ සහන කාලය අවසන් වූ පසු 2028 වසරේදී ඇ.ඩො. මිලියන 3,259 ක මුදලක් ගෙවීමට සිදුවේ. එය රුපියල් වලින් බිලියන 1,003කි. ශ්‍රී ලංකාවේ ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයට අනුව සියයට 102 ක් වේ. 2024ට සාපේක්ෂව 2025 වැඩි වූ ආදායම රු. බිලියන 1,000 කි. 2025 ට සාපේක්ෂව 2026 දී එය තවත් රු. බිලියන 1,200 කින් වැඩි කර ගැනීමට අපේක්ෂා කරයි. සෑම වසරකම වියදම් ප්‍රමාණය රු. බිලියන 500ට වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති හෙයින් 2028 වනවිට අවම ලෙස රජයේ වියදම රු. බිලියන රු. බිලියන 8,000 ඉක්වනු ඇත. 2024 සිට 2026 දක්වා කාලය තුළ ආර්ථිකයට දැනෙන මට්ටමේ කිසිදු ආකාරයේ සංවර්ධිත ව්‍යාපෘතියකට මුදල් වෙන් කිරීමකින් තොරව එම වියදම පෙන්වා ඇත. 2026 අයවැයෙහි දක්වා ඇත්තේ සමස්ත ප්‍රාග්ධන වියදම රු. බිලියන 1,380 ක් ලෙසය. අනෙක් සියල්ල වර්තන වියදම්ය. රජයේ ගිණුම්වල සටහන් වන මුළු දළ ණය ගැනීමේ අවශ්‍යතාව ලෙස මෙම අයවැයෙහි දක්වා ඇති ප්‍රමාණය රු. බිලියන 3,740 කි. අද රටේ පවතින ආර්ථික මට්ටම එම තත්වයෙන් පවත්වා ගෙන යාමට හැකියාව ලැබී ඇත්තේ මෙම වසරේ මුල් මාස 9 තුළ භාණ්ඩ අපනයන ආදායම ඩො. බිලියන 13ක් දක්වා පමණ ඉහළ යාමත්, විදේශ ශ්‍රමික ප්‍රේෂණ ඩො. බිලියන 5.8 ඉක්මවා යාමත්, සංචාරක ක්ෂේත්‍රයේ ආදායම ඇ.ඩො. බිලියන 2.6 වීම නිසාය. කෙසේ නමුත් ආනයන සහ අපනයන වෙළෙඳ හිඟය තවමත් පවතින්නේ ශ්‍රී ලංකාවට ආවාසිදායක ලෙසය.

මෙහිදී භයානක ප්‍රතිවිපාක කිහිපයකට රටට මුහුණ දීමට සිදු වේ. IMF කොන්දේසි පදනම් කර ගෙන බදු දැල ප්‍රසාරණය කිරීම හරහා සුළු සහ මධ්‍යම පන්තිය පමණක් නොව ඉහළ ධනපති ව්‍යාපාර ප්‍රජාව ද බරපතළ පීඩනයකට ලක් වී වසර කිහිපයක්ම ගත වී ඇත. වැඩි කළ අගය මත බදු (VAT) ගෙවීමේ සීමාව රු. මිලියන 60 සිට 36 දක්වා මෙම අයවැයෙන් පහළ දමා ඇත. එය සුළු සහ මධ්‍යම පන්තියේ ව්‍යවසායකයන්ට දරාගත හැකි මට්ටමක බදු බරක් නොවේ. වර්තමාන බදු ජාලය තුළ නීතියට අනුකූලව බදු ගෙවාගෙන යන කිසිදු ව්‍යාපාරයකට සිය ව්‍යාපාරය පුළුල් කිරීමට හෝ නව රැකියා උත්පාදපය කිරීමට ඉඩක් නැත. එම නිසා ව්‍යාපාරිකයන් විශාල මුදලක් රටින් පිට කර මේ වනවිටත් විදේශ රටවල ආයෝජනය කර ඇත. රජයට බදු ආදායම වැඩිකර ගැනීම සඳහා ඇති එකම මඟ ව්‍යාපාරික ප්‍රජාව ශක්තිමත් කිරීම වේ. එසේ නොමැතිව මාක්ස්වාදීන් සිතන ආකාරයට ඇති හැකි සෑම දෙනාටම ධනය ඇත්තේ නිර්ධන පන්තියට අයත් සම්පත් සූරාකෑම හරහාය යන සිතුවිල්ල පදනම් කර ගෙන බදු පිට බදු පටවා ධනපතියන් විනාශ කර නිර්ධන පන්තිය සතුටු කළ යුතුය යන වෛරී මතයේ හිඳගෙන නම්, නැවතත් රට බංකොලොත් වීමට එය හොඳටම ප්‍රමාණවත්ය. 

2019 පාස්කු ප්‍රහාරය, කෝවිඩ් වසංගතය සහ 2020 වසරේ රජය ගත් වැරැදි ආර්ථික තීරණ හේතුවෙන් ව්‍යාපාර කඩා වැටෙමින් පැවතියදී යාන්තමින් හුස්ම අල්ලාගෙන සිටින සුළු සහ මධ්‍යම පන්තියේ ව්‍යවසායකයන් නිසාවෙන් අපේක්ෂිත බදු ආදායම ඉක්මවා යමින් සාර්ථක වූවා යයි උදම් ඇනුවාට සුළු සහ මධ්‍යම ව්‍යවසායකයන් දෙස ඇසක්වත් නොඇරි අයවැයක් ලෙස මෙම අයවැය හැඳින්වීම සාධාරණය. රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය ලෙස රජයට බදු උපයා ගෙන ව්‍යාපාරික ප්‍රජාව නොසලකා හැරීම තුළ වෘත්තිකයනගේ බුද්ධි ගලනයෙන් පීඩාවට පත් රට ව්‍යාපාරික ප්‍රජාවෙන් කොටසක් ද අහිමි කරගත හොත් අනාගතය බියකරු වේ. ගෝලීය ගම්මානයක් දක්වා හැකිළී ඇති ලෝකය තුළ නිවසේ සිට ලෝකයේ ඕනෑම ස්ථානයක් සම්බන්ධ කර ගෙන ව්‍යාපාර සහ ගනුදෙනු කිරීමට හැකිවන පරිදි තාක්ෂණය දියුණු මෙම යුගයේ එසේ සිදු නොවෙතැයි කිසිවකුටත් අනාවැකි කිව නොහැක. 

ජනාධිපතිවරයා පැවසුවේ භාණ්ඩාර ගිණුමේ රු. බිලියන 1,000 (ට්‍රිලියන 1ක්) ඉතුරු කර ගෙන ඇති බවයි. එම මුදල ව්‍යාපාරිකයන්ගේ දහඩිය මහන්සියෙන් උපයා ගත් මුදල් වලින් අයකර ගත් බදු සහ දුඟී දුප්පත් ජනතාවගෙන් වක්‍ර බදු ලෙස එකතු කර ගත් මුදල්ය. ආණ්ඩුවක සාර්ථක භාවය පෙන්නුම් කළ හැක්කේ එම මුදල් රටේ සංවර්ධනයට යෙදුවා නම් පමණි. 2026 අයවැයේදී ප්‍රාග්ධන වියදම් ලෙස සිල්ලර මට්ටමේ වැඩ කිහිපයක් පෙන්නුම් කර ඇතත් රටේ ආර්ථිකය වර්ධනය කිරීමට කිසිදු ව්‍යාපෘතියක් හඳුන්වා දී නොමැත. 2026 වසරේ රාජ්‍ය ආයතනවලට ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කළ සොච්චම් මුදලින් පවා ප්‍රයෝජනයට ගෙන ඇත්තේ සියයට 20ටත් වඩා අඩු ප්‍රතිශතයක් බව මාධ්‍ය වාර්තා කර ඇත. එසේම එම මුදල් ප්‍රයෝජනයට නොගත් ඵලදායිතාවෙන් තොර මුදල්ය. ආණ්ඩුව එක්කෝ නොතේරුම්කම නිසා නැතහොත් නිලධාරීන්ගේ උපදෙස් මත අන්ධානුකරයෙන්ම යැපීම නිසා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය අයාලේ යමින් පවතී. පසුගිය වසර කිහිපය තුළ දේශීය ව්‍යාපාරිකයන් දහස් ගණනක් ඔවුන් ජීවිත කාලය පුරාවට උපයා ගත් සියල්ල අහිමි වී මහ පාරට ඇද වැටුණි. ඒ වාණිජ බැංකු විසින් උකස්කර මත ලබා ගත් ණය නොගෙවීම මත (parate execution) රුපියල් 1,000 ක මුදලකට ලංසු තබා කෝටි ගණන් වටිනා දේපල බැංකු විසින් අත්පත් කර ගැනීමෙනි. 2022 සිට 2024 දක්වා පාර්ලිමේන්තු පනත් මගින් ගනුදෙනුකරුවන්ට සහන කාලයක් ලබා දුන්නත් මේ වනවිට එම කාලය අවසන් වී ඔවුන් කබලෙන් ළිපට වැටුණු තත්වයකට පත්ව ඇත. 

2025 පලමු කාර්තු තුන තුළ රාජ්‍ය බැංකුවක් වන ලංකා බැංකුව උපයා ඇති ලාබය රු. බිලියන 87.7 කි (බදු ගෙවීමට පෙර). මහජන බැංකුව පළමු කාර්තු දෙක තුළ උපයා ඇති ලාබය රු. බිලියන 28 කි (බදු ගෙවීමට පෙර). බොහෝ පෞද්ගලික බැංකු මුල් මාස 9 කාලය තුළ උපයා ගත් ලාබ රු. බිලියන 50 ආසන්නයේ පවතී. රටේ මූල්‍ය ආයතන ඉතා බැරෑරුම් ලෙස සිය ගනුදෙනුකරුවන් සූරා කෑමට ලක් කරන බවට මීට වඩා සාධක අවශ්‍ය නැත. මෙම ආණ්ඩුවේ ප්‍රතිපත්ති ලෙස ජනගත කරන ලද්දේ සූරා කෑමට එරෙහි වීමය. එය වාමාංශික යයි කියනු ලබන ඕනෑම දේශපාලන ව්‍යාපාරයක තේමාවයි. මාක්ස්වාදයේ මූලික ඉගැන්වීමක් වනුයේ සුළුතර ධනපති පන්තිය බහුතර නිර්ධන පන්තිය සූරාකෑම සඳහා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය මෙවලමක් ලෙස භාවිත කරන බවයි. එහෙත් වර්තමානයේ පෙන්නුම් කරන්නේ රාජ්‍ය මූල්‍ය පාලකයන් මූල්‍ය ආයතන තර කිරීම හැර මූල්‍ය පද්ධතිය රටේ සංවර්ධනය වෙනුවෙන් යොදා ගැනීමට අදහස් නොකරන බවයි. රටේ ජනතාවගෙන් අවම ලෙස සියයට 50 ට වැඩි ප්‍රමාණයක් ණයකරුවන් බවට පත්ව ඇත. භාණ්ඩාගාරයේ පුස්කන මුදල් සංවර්ධනයට යොදා ගැනීම පිණිස රාජ්‍ය බැංකු මගින් සහනදායක පොලී අනුපාතික යටතේ ව්‍යවසායකයන්ට ලබා දිය හැකිව තිබුණි. ආණ්ඩුවේ ක්‍රියා කලාපය මසුරු සිටාණෝ කැවුම් කෑ කතාවට සමානය. කුමන හෝ මුදලකට වටිනාකමක් ඇත්තේ එය සංවර්ධනයට දායක වේනම් පමණි. මුදල් නිරන්තරයෙන් සංසරණය නොවන්නේ නම් එය නිෂ්පල කඩදාසි පමණක් වන්නේය. අයවැයෙන් ප්‍රාග්ධන වියදම් ව්‍යාපෘති ක්‍රියාත්මක වේනම් ජනතාව අතට මුදල් ගලා යාම වැඩි වන අතර වියදම් කිරීමේ ශක්‍යතාව වැඩි වේ. එවිට භාණ්ඩවලට ඉල්ලු‍ම වැඩි වන අතර සැපයීම් ව්‍යාපාර ප්‍රසාරණය වේ. එවිට රැකී රක්ෂා උත්පාදනය වේ. වර්තමානයේ සිදු වෙමින් පවතින්නේ තියන මුදලෙන් හෝ කිසිදු ප්‍රයෝජනයක් නොගන්නා බවයි. එවැනි ප්‍රතිපත්තියක් මත ක්‍රියා කර දියුණු වූ රටක් ලෝකයේ දකින්නට නැත. 

වර්තමානයේ ක්‍රියාත්මක වෙමින් පවතින රටාව අනුව නම් 2028 වනවිට ණය ගෙවමින් රට සංවර්ධනය කිරීම සඳහා ඉඩක් ඇතැයි සිතිය නොහැක. ආණ්ඩුව මුදල් එකතු කළේ කුම්මැහි කමට නොවේ නම් එම මුදල කෘෂිකර්මාන්තය සහ කර්මාන්ත ක්ෂේත්‍රය සඳහා ආයෝජනය කළ යුතුව තිබුණි. රට දියුණු කිරීමට නම් මූලික ඉලක්ක කරගත යුතු ක්ෂේත්‍ර වන්නේ කෘෂිකර්මාන්ත සහ කර්මාන්ත අංශවලට ආයෝජන කිරීමයි. ශ්‍රී ලංකාව ඉතා ප්‍රමුඛ ඝණයේ කෘෂිකාර්මික රටක් වුවත් දළ දේශීය නිෂ්පාදනයට කෘෂිකර්මාන්ත අංශයෙන් ලැබෙන දායකත්වය සියයට 7 සිට සියයට 8 දක්වා වූ ඉතා අඩු ප්‍රතිශතයකි. නිසි සැලසුමක් ඇතිව ආයෝජනය කළ හොත් එම ප්‍රතිශතය සියයට 12-14 සීමාව දක්වා ඉහළට ගෙන යාම අසීරු ඉලක්කයක් නොවේ. පෙර පැවැති ආණ්ඩු මෙන්ම වර්තමාන ආණ්ඩුව ද එම ක්ෂේත්‍ර මුළුමනින්ම නොසලකා හැර ඇත. මේ වනවිට වී ගොවියා පමණක් නොව අල, ලූනු සහ එළවළු ගොවීන් අන්ත අසරණ තත්වයට පත්ව ඇත. බලයට එන ආණ්ඩු මොන තරම් පුරසාරම් දෙඩෙව්වත් තවමත් පිටකොටුවේ ආනයන වෙළෙන්ඳන් විසින් පාලනය කරන මුදල් අමාත්‍යාංශය ඔවුන්ගෙන් ගලවා ගැනීමට ආණ්ඩුවට හැකියාවක් නැති බව ඔප්පු වී හමාරය. දේශීය ගොවියා විනාශ කරමින් ආනයන මාෆියාවක් ගෙන යෑම සඳහා ඔවුන්ගේ සාක්කුවට නොවැටී සිටීමට නොහැකි වන ලෙස ආණ්ඩු මට්ටු කිරීමේ සූත්‍රය ඔවුන් සතුය. 

ඉදිරිපත් කළ අයවැය සාර්ථක ද නැතහොත් අසාර්ථක ද යන්න තීරණය කළ හැක්කේ ඊට පෙර වසරේ ඉදිරිපත් කළ අයවැයෙන් දුන් පොරොන්දු කොතෙක් දුරට ඉටු කර ඇත්දැයි යන්න විශ්ලේෂණය කිරීම මගිනි. ඒවායේ ප්‍රගතිය පෙන්වීම ආණ්ඩුවේ වගකීමකි. රාජ්‍ය අමාත්‍යංශ සහ ආයතන සතුව පවතින යානවාහන ඉතා අධික බව පෙන්වමින් ඒවා ප්‍රදර්ශනය කරමින් විකුණන බව පැවසුවත් විකුණන ලද්දේ ඉතාම සුළු සංඛ්‍යාවකි. අලු‍තෙන් ඩබල් කැබ් රථ 1,775 ක් ගෙන්වීමට අයවැයෙන් යෝජනා කළත් එය අයවැය යෝජනාවක් නොවන්නේ ඒ වනවිටත් ඒවා ඇණවුම් කර තිබීම නිසාය. ඒ තුළ ගැබ්ව ඇති ඇත්ත සහ යථාර්ථය වන්නේ මීට පෙර සිටි සියලු‍ම ජනාධිපතිවරු මුහුණ දුන් ප්‍රශ්නයට වර්තමාන ජනාධිපතිවරයා ද මුහුණ දී සිටින බවයි. ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට රජයෙන් වාහන නොදීම නිසා බරපතළ ලෙස කලකිරීමෙන් යුතුව සිටින නිසා ඔවුන් තවදුරටත් ආණ්ඩුව තුළ රඳවා තබා ගැනීමට නම් ඔවුන්ට වාහන ලබාදීම අනිවාර්ය වීම ලංකාවේ දේශපාලන සංස්කෘතියේ කොටසකි. ජේ.ආර්. ජයවර්ධනගේ සිට සියලු‍ම ජනාධිපතිවරුන් මෙසේ මන්ත්‍රීවරුන්ට සන්තෝෂම් ලබා දීමේ ඉතිහාසය ප්‍රතික්ෂේප කළ නොහැක. ජේ.ආර්. ජයවර්ධන මන්ත්‍රීවරුන්ට වාහන පමණක් නොව විමධ්‍යගත අරමුදල් සහ දිස්ත්‍රික් අමාත්‍යධූර පවා ලබා දුන්නේ එම පදනම මතය. දෝෂාභියෝගය ගෙනෙන ලද අවස්ථාවේ ප්‍රේමදාස ජනාධිපතිතුමාට ද මන්‍ත්‍රීවරුන්ට මෙසේ සන්තෝෂම් ලබාදීමට සිදු විය. ඒවා කළේ ද මහජනතාවගේ බදු මුදල් වලින්ම විය. 

කෙසේ වෙතත් ආනයනය කිරීමට ඇණවුම් කර ඇති ඩබල් කැබ් රථ යනු සාමාන්‍ය ඝණයේ වාහන ලෙසට අවතක්සේරු නොකළ කළ යුතුය. සුඛෝපභෝගී රථයක පවතින සියලු‍ අංග මෙම වාහනවල ඇත. මෙහිදී ඉතා සැලසුම් සහගත ලෙස රජය ක්‍රියා කර ඇත. ආනයනය කරනු ලබන වාහන සම්බන්ධයෙන් සුඛෝපභෝගී බදු පැනවීමේදී ඩබල් කැබ් සඳහා අනෙකුත් වාහනවලට ගෙවනු ලබන බදු ප්‍රමාණය මෙන් ඉහළ බදු ප්‍රතිශතයක් නියම නොකරන ලද්දේ පූර්ව සැලසුමක් ඇතිව එය සිදු කළ නිසාවෙනි. මෙයින් ඔප්පු වන්නේ ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතිය අනුව දේශපාලඥයන්ට වැළඳී ඇති රථගාය සුව කිරීමට මෙම ජනාධිපති ද සතුව ඖෂධයක් නොමැති බවයි. මෙය රථගායේ කූටප්‍රාප්තිය වන්නේ ආණ්ඩුවේ මන්ත්‍රීවරු බලය ගත්තේ ජනතාව සමග බස්වලින් ප්‍රවාහන කටයුතු කර ගන්නා බවට සපත වෙමින්ය. ඔවුන්ට මෙසේ රජයෙන් රථ ලබා නොදුන හොත් ඊළඟ අයවැය වන තෙක් ඔවුන් ආණ්ඩුව තුළ රඳවා ගැනීමට නොහැකි වන බවට සක්සුදක් සේ සහතික නොවුණා නම් ජනාධිපතිවරයා කිසිසේත් මෙම තීරණයට එළඹීමට ඉඩක් නොතිබුණි. කෙටියෙන් කිවහොත් ආණ්ඩුව දක්ෂිණාංශික වුවත්, වාමාංශික වුවත් මන්ත්‍රීවරුන්ට දොල පිදේනි දීමේ සංස්කෘතිය වෙනස් කිරීමට මෙම ජනාධිපතිට ද නොහැක. එය වමේ බලවේගයක් වනවිට කෙසේවත් වෙනස් කළ නොහැක. 

අධ්‍යාපනය සහ සෞඛ්‍ය අංශයේ වර්ධනය පෙන්වන කිසිවක් මෙවර අයවැයේ අන්තර්ගතව නැත. පාසලේ උගන්වන කාලය පැය භාගයක් දික් කිරීම හෝ විෂය පාඨමාලාවක් වෙනස් කිරීම ප්‍රතිසංස්කරණයක් ලෙස සලකන්නේ නම් එය බොළඳ කම ප්‍රදර්ශනය කිරීමකි. අද වනවිට රජයේ විශ්ව විද්‍යාල 22ක් ද, ලියාපදිංචි කළ පෞද්ගලික විශ්ව විද්‍යාල 28 ක් ද පවතින අතර වෙනත් උසස් අධ්‍යාපන ආයතන 300 කට වඩා පවතී. ජාත්‍යන්තර පාසල් ලෙස පාසල් පද්ධතියක් ද ඇත. රාජ්‍ය නියාමනයක් ඒ සඳහා අත්‍යාවශ්‍ය වේ. ඒ සඳහා පෙර පැවැති රජය සම්පාදනය කළ ප්‍රතිපත්ති සහ නීති කෙටුම්පත් ද පුස්කමින් පවතී. අධ්‍යාපනයට අයවැය වියදමෙන් සියයට 6 ක ප්‍රතිශතයක් වෙන් කිරීමට බල කරමින් පෙළපාලි ගිය කණ්ඩායමේ සාමාජිකාවක වූ වර්තමාන අගමැතිවරිය අධ්‍යාපන අමාත්‍ය ධූරය දැරුවේ වුවද මෙම අයවැයෙන් අධ්‍යාපනයට වෙන්කර ඇති මුදල දළ දේශීය නිෂ්පාදනයෙන් ප්‍රතිශතයක් ලෙස සියයට 2 ඉක්මවා නොමැත. 

අයවැය යනු ඉදිරි අවුරුද්දේදී ආණ්ඩුව ආදායම් උපයන ආකාරය සහ වියදම් කරන ආකාරය දක්වන ප්‍රතිපත්තිමය ප්‍රකාශයක් මිස දේශපාලන දඩයම්වලට යොදා ගත හැක්කක් නොවේ. එය වක්‍රාකාර ලෙස අධිකරණය බිය ගැන්වීම සඳහා යොදා නොගත යුතුය. අධිකරණ විනිසුරුවරුන් සඳහා ආචාර ධර්ම පද්ධතියක් නිර්මාණය කිරීම සඳහා ආණ්ඩුවට කිසිඳු ඉඩක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බලයක් දී නොමැත. අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම පිණිස එය ව්‍යවස්ථාදායකයෙන් සහ විධායකයෙන් වෙන් කර තබා ඇත. මහා බ්‍රිතාන්‍ය, ඇමරිකා එක්සත් ජනපදය, ඉංදියාව, කැනඩාව යන කුමන රටක වුව ඒ සමාන විධි විධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවලට ඇතුලත් කර ඇත. ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විනය පාලනය පාර්ලිමේන්තුව වෙතත්, මහාධිකරණ විනිසුරුවරුන්ගේ සිට ඉන් පහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ විනය පාලනය අධිකරණ සේවා කොමිෂන් සභාව වෙතත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පැවරී ඇත. විනිසුරුවරුන්ට අදාළ ආචාර ධර්ම පද්ධතිය සකස් කරගත යුත්තේ ඔවුන් මිස ආණ්ඩුව නොවේ. ඊට විධායකය මැදිහත් වුවහොත් නීතියේ ආධිපත්‍ය බිඳ වැටී ඇති බවට එය හොඳම සාධකය වනු ඇත. අද වනවිට ආණ්ඩුවේ යුතුකම වන්නේ විනිසුරුවන්ගේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට සහ අඩුපාඩුකම් සපුරා ලීමට පියවර ගැනීමයි. ඔවුන්ට අන් වෘත්තිකයන්ට මෙන් වෘත්තිය සමිති හෝ මාධ්‍ය මගින් අදහස් ප්‍රකාශ කිරීමේ ක්‍රමවේද නැත. ඔවුන්ට යම් පීඩණයක් යටතේ සේවය කිරීමට සිදුවුව හොත් යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය සාර්ථක ලෙස ඉටුකළ නොහැකි වේ. 

රටේ නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීමකින් තොරව රටේ කුමන අංශයකවත් වර්ධනයක් ඇති වේ යැයි අපේක්ෂා කළ නොහැක. දශක දෙකක පමණ කාලයක් පුරාවට රට පුරා ස්ථාපිත වූ විෂමත් ද්‍රව්‍ය ජාලය සහ ඒ හා සම්බන්ධ පාතාලය විනාශ නොකළ හොත් ආණ්ඩුව හෝ ජනතාව අපේක්ෂා කරන සංවර්ධනය සිහින පමණක් බවට පත් වේ. එම කාලය පුරාවට කුඩු ජාලය සහ පාතාලය සමාජය තුළ මුල් බැස ගත්තේ සමහර දේශපාලඥයන්ගේ සහ උසස් පොලිස් නිලධාරීන්ගේ පූර්ණ රැකවරණය සහිතවය. කිසිදු ආණ්ඩු එය මැඬලීම සඳහා සාධනීය වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක නොකළ නිසාවෙන් පාතාලය නිල නොවන පාලකයන් බවට පත් වූ ප්‍රදේශ ද පැවතුණි. වර්තමාන ආණ්ඩුව පාතාලය සහ කුඩු මාෆියාව මුලු‍නුපුටා දැමීමට දරණ උත්සාහය අගය කළ යුතු අතර ඊට සහාය දීම සෑම පුරවැසිකුගේම යුතුකම වේ. 

ඒ අතරම ආණ්ඩුව බුදු දහමට දක්වන කෙනහිළිකම් සම්බන්ධයෙන් නම් ආණ්ඩුවට ජනතාවගෙන් සමාවක් නොලැබෙනු ඇත. බලයට ඒම සඳහා පොරොන්දු ලබාදීම දේශපාලකයන්ට ඉතා පහසුය. වසර 76 තිස්සේ පැවැති දේශපාලන සංස්කෘතියේ කිසිදු වෙනසක් වී නොමැත. පෙර සේම මෙම අයවැය ද ජනතාව යැපුම් ආර්ථිකයකට හිරකර තබන අයවැයකි. ප්‍රේමදාසගේ ජනසවිය, චන්ද්‍රිකාගේ සමෘද්ධිය, මහින්දගේ දිවි නැඟු‍ම, රනිල්ගේ ගම් පෙරළිය සහ අස්වැසුම ඒ අයුරින්ම අනුරගේ අස්වැසුම ලෙසින් ඒ ආකාරයටම ක්‍රියාත්මක වේ. වී ගොවියාට පොරොන්දු වූ පොහොර නැත, අල, ලූනු, එළවළු ගොවියන්ට වෙළෙඳපොළක් නැත. 

ගෙනෙනවයි කිව් උගන්ඩාවේ ඩොලර් බිලියන 10 එන තෙක් ජනතාව මඟ බලා සිටිති. පාස්කුදා ප්‍රහාරයේ මහ මොළකරු පොරොන්දු වූ දිනට පෙර සොයා දෙන තෙක් කාදිනල් හිමිපානන් ඇතුළු ජනතාව බලා හිඳියේය. අධ්‍යාපනය සහ සෞඛ්‍ය අංශ දියුණු කරන තෙක් ජනතාව බලා සිටිති. දේශපාලනඥයන් දෙන ජනප්‍රිය පොරොන්දු ඉටු කිරීමට ඇති අසීරුභාවය අවබෝධ කර ගත හැක්කේ ඔවුන් බලයට පැමිණිදාක පමණි. 

එමෙන්ම පළාත් පාලන ආයතනවල නගරාධිපතිවරු/ සභාපතිවරු පත් කිරීමේදී ආණ්ඩුව ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස කරණ ලද බලපෑම් මගින් ඔප්පු වූවේ ආණ්ඩුවට ප්‍රජාතන්ත්‍රවාදී න්‍යාය පත්‍රයක් නොමැති බවත්, අත්දැකීම් රහිත ආධුනික මට්ටමකින් කටයුතු කරන බවත්ය. මේ වනවිට (2025.11.26 දින වනවිට) ආණ්ඩු පක්ෂය බලය පිහිටුවා ගත් පළාත් පාලන ආයතන 57 ක අයවැය පරාජය වී තිබීම මීට හොඳම උදාහරණයකි. වසරක් යන්නට මත්තෙන් මෙවැනි ප්‍රතිඵලයක් අත්වීම ඉතිහාසය තුළ ආණ්ඩුවකට සිදු නොවූ අකරතැබ්බයකි.



අදහස් (0)

අයවැයේ ආර්ථික දිශානතිය - ගුණාගුණ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 114 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 360 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 373 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site