විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය, සුනිත්‍ය බලශක්ති අධිකාරිය එක්ව සංවිධානය කරන ලද ජාතික බලශක්ති කාර්යක්ෂමතා සම්මාන උළෙලේදී 2025 හොඳම බලශක්ති කාර්යක්ෂමතා සේවා සපයන්නා රිදී සම්මානයෙන් පිදුම් ලැබීමට ඉංජිනේරු ගයා සිරිවර්ධන හා අජන්ත මුහන්දිරම් මහත්වරුන්ගේ අධ්‍යක්ෂකත්වයෙන් යුත් මැක්ස්තර්ම් ලංකා පෞද්ගලික සමාගම (Maxtherm Lanka (Pvt) Ltd) සමත් විය. මේ ඒ පිළිබඳව එහි අධ්‍යක්ෂවරුන් වන ඉංජිනේරු ගයා සිරිවර්ධන සහ අජන්ත මුහුන්දිරම් මහත්වරුන් සමග කළ සංවාදයකි.
හොඳම තාක්ෂණ සපයන්නා සම්මානය දිනා ගැනීමට බලපෑ සාධක මොනවාද?
2018න් පස්සෙ ජාතික බලශක්ති කාර්යක්ෂමතා සම්මාන උළෙල පැවැත්වුණේ නැහැ. ඉන් පසුව පවත්වපු පළමු සම්මාන උළෙලේදී හොඳම තාක්ෂණික සැපයුම්කරු (Best Technology Provider) අංශයේ ප්‍රමුඛයා වෙන්න ලැබීම සුවිශේෂී කරුණක්. මෙම අංශයේ රන් සම්මානය කිසිවකුටත් හිමිවුණේ නැහැ. ඒ නිසා එහි රිදී සම්මානය දිනූ අපේ ආයතනය තමයි ක්ෂේත්‍ර ප්‍රමුඛයන් වුණේ. 
අපේ ව්‍යාපෘතියෙන් බලශක්ති කාර්යක්ෂමතාව හරහා රටට සිදුවූ සේවාව සහ එයින් බලශක්ති ක්ෂේත්‍රයට සිදුවූ සේවාව අගයමින් තමයි අපිට මෙම සම්මානය පිරිනැමුවේ. උදාහරණයක් ලෙස පොසිල ඉන්ධන (දැවිතෙල්/ ඩීසල්) භාවිත කරන බොයිලේරු සඳහා පොසිල ඉන්ධන වෙනුවට ජෛව ඉන්ධන (දර, දහයියා, රබර් ඇට සේම ඉවතලන රෙදි, ඉවතලන කඩදාසි, ඉවතලන රබර්) යොදාගනිමින් ක්‍රියා කරවීමේ ක්‍රමවේදයක් අප විසින් හඳුන්වා දුන්නා. මේ හරහා සියයට 35 ක වියදම් කප්පාදුවක් සිදුවෙනවා. මේ හරහා පොසිල ඉන්ධනවලට විදෙස් රටවලට ඇදී යාමට තිබූ ඩොලර් මිලියන 100ක පමණ මුදලක් රට තුළ ඉතිරි කරන්න සමත් වුණා. 
ඒ අනුව අවසාන වසර 03ක පමණ කාර්ය සාධන සලකා බලා තමයි මෙවර සම්මාන උළෙල පැවැත්වුවේ. මෙම සම්මානය පිරිනැමීමට කාරණා 3ක් පිළිබඳව අවධානය යොමු කරලා තිබුණා. පළමු කාරණය තමයි පසුගිය වසර 03 ඇතුළත අපි රට ඇතුළෙ කෙතරම් බලශක්ති පිරිමැසීමක් කළාද යන්නයි. එහෙම ගත්තොත් අපි දර කියුබික් මීටර් 8000ක් ඉතිරි කරන්න සමත්වෙලා තිබෙනවා. දැනට ජීව ඉන්ධන හෙවත් දර (biomas) භාවිතයෙන් ක්‍රියා කරන කර්මාන්තශාලා විශාල ප්‍රමාණයක් පවතිනවා. එහෙත් අපි එවැනි කර්මාන්තශාලා සඳහා අපේ තාක්ෂණික මැදිහත්වීම් සිදුකිරීමෙන් තමයි කියුබික් මීටර් 8000ක් ඉතිරි කරන්න සමත් වුණේ. තේ කර්මාන්තශාලාවල දර භාවිත කරන බොයිලේරුවල පැවති දර කිලෝ 01ට තේ කිලෝ 01ක් කියන නිර්ණායකය අප වෙනස් කරමින් දර කිලෝ 01ට තේ කිලෝ 02ක් යන නව සම්මතයක් හඳුන්වා දුන්නා.
එසේම පොසිල ඉන්ධන (දැවිතෙල්/ ඩීසල්) භාවිතයෙන් ක්‍රියා කරන බොයිලේරු අපි ජීව ඉන්ධන භාවිතයෙන් ක්‍රියා කරන බොයිලේරු බවට පත් කිරීම තුළ දැවිතෙල් හා ඩීසල් ලීටර් මිලියන 8ක් ඉතිරි කරන්න සමත් වුණා. මෙය ජාතික අවශ්‍යතාවයෙන් සියයට 15ක් පමණ වෙනවා. එමගින් රටට ඉතිරි කළ විදේශ විනිමය ඩොලර් මිලියන 66ක්.
මෙම තත්වය පරිසරය හා සම්බන්ධ කළොත් මෙමගින් වායු විමෝචනය (GHG emissions) සමාන කාබන්ඩයොක්සයිඩ් (Co2) කිලෝ මිලියන 40ක් පරිසරයට මුදාහැරීම නවතා දමන්න සමත්වෙලා තිබෙනවා. ඊට අමතරව විදුලි බලය සම්බන්ධව ගත්තොත් යුනිට් 140,000ක් (KWO) ඉතිරි කර තිබෙනවා. 
මෙම සම්මාන උළෙලේදීම මීට පෙරත් අප ඇගයීමට ලක්ව තිබෙනවා. ඒ අනුව හොඳම තාක්ෂණික සපයන්නා ලෙස 2016දී රන් සම්මානයත්, 2014දී ලෝකඩ සම්මානයත්, 2017දී රිදී පදක්කමත් දිනා ගැනීමට සමත් වුණා.
මැක්ස්තර්ම් ආයතනය ආරම්භය සිදුවුණේ කොහොමද?
අපි බොයිලේරු ආශ්‍රිත ඉංජිනේරු සේවා සැපයීම ආරම්භ කළේ 2002 වසරේ සිටයි. කෙසේ නමුත් මැක්ස්තරම් ලංකා පෞද්ගලික සමාගම පිහිටුවනු ලැබුවේ 2010 දීයි. මූලිකවම සංකල්පයේ සිට ක්‍රියාත්මක කිරීම දක්වා සෑම අදියරක්ම කළමනාකරණය කරමින්, වාෂ්ප බොයිලේරු සහ උණු වතුර උත්පාදක ස්ථාපන ඇතුළු තාප බලශක්ති ව්‍යාපෘතිවල අවසානය දක්වා බෙදාහැරීම අපි සිදු කළා.
මේ වනවිට වාෂ්ප නිෂ්පාදනය සහ සැපයීමේ මූලික ව්‍යාපාර අංශයට අමතරව ඊට අදාළ ප්‍රාග්ධනය, සවිකිරීම, හැසිරවීම සහ නඩත්තු සේවා අප ආයතනය විසින් සිදුකරනු ලබනවා. 
මෙරට ප්‍රමුඛ ආයතන ගණනාවක බොයිලේරු සඳහා වාෂ්ප සැපයීම සිදුකරන අතර දිනකට වාෂ්ප කිලෝ ලක්ෂ 02කට අධික ප්‍රමාණයක් නිපදවනු ලබනවා. මෙහිදී සඳහන් කළ යුතු කාරණය වන්නේ සියලු‍ම වාෂ්ප ලබාදීම සිදුකරනු ලබන්නේ සියලු‍ පරිසර නිර්ණායකවලට අනුකූලව බවයි. පුනර්ජනනීය ජෛව ස්කන්ධ ඉන්ධන උපරිම ලෙස භාවිත කරමින් වාෂ්ප නිෂ්පාදනය කිරීමට අප කටයුතු කරමින් සිටිනවා. 
මැක්ස්තර්ම් ලංකා සමාගම් සමූහයට අයත් ආයතන තුනක් තිබෙනවා. ඒ මැක්ස්තර්ම් ලංකා පෞද්ගලික සමාගම, මැක්ස්තරම් ඉංජිනේරින් පෞද්ගලික සමාගම සහ මැක්ස්තර්ම් එනර්ජි කෙයා පෞද්ගලික සමාගම යන ආයතන තුනයි. මේ හැර වෙනත් කිසිදු සමාගමක් අප සමාගම් සමූහයට අයත් වන්නේ නැහැ.
අපි 2002 සිට බොයිලේරු ක්ෂේත්‍රයේ කටයුතු කරන ආයතනයක්. එහෙත් මේ වනවිට අපේ නාමය භාවිත කරමින් ව්‍යාජ ආයතන බිහිව තිබෙනවා. අපි ලබා දෙන සේවය හෝ අපේ තාක්ෂණික හැකියාව කිසිවක් ඔවුනට නැහැ. ඔවුන් අපේ ආයතන නම ව්‍යාජව භාවිත කිරීම පමණයි කරන්නෙ. ඒ නිසා මේ ගැන අවධානයෙන් පසුවන ලෙස පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටිනවා.
අපේ කර්මාන්තශාලාවලට බලශක්ති කාර්යක්ෂමතාව පිළිබඳව නිසි තක්සේරුවක් තිබෙනවාද?
අපේ රටේ ඇතැම් කර්මාන්තශාලාවල අනවශ්‍ය ලෙස බලශක්ති වැය කරන අයුරක් දක්නට ලැබෙනවා. ඇතැම්විට වැරදි ලෙස බොයිලේරු සඳහා වාෂ්ප විශාල වශයෙන් භාවිත කරනවා. එවැනි ආයතන රැසකට අපි අපේ තාක්ෂණික දැනුම යොදාගෙන විශාල මුදලක් ඉතිරි කර දෙන්නට කටයුතු කර තිබෙනවා. මෑතක අපි එක් කර්මාන්තශාලාවක මෙවැනි අනවශ්‍ය වාෂ්ප භාවිතය වැළැක්වීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළා. ඒ සඳහා එම ආයතනයට වැය වූයේ රු.මි. 3ක වැනි මුදලක්. එහෙත් පළමු මාසය තුළ පමණක් ඔවුන්ගේ ඉතිරිය රු.මි. 3.5ක්.
ඒ වගේම සමහරුන්ට ගැටලු‍වක් තිබෙනවා දර, දහයියා වැනි ඉන්ධන යොදාගෙන බොයිලේරු ක්‍රියාත්මක කරන විට පරිසර හානියක් සිදුවෙනවාය කියලා. එහෙත් ඉන් කිසිදු පාරිසරික හානියක් සිදු නොවන බවට අපි සියයට 100ක් වග කියනවා. ජෛව ඉන්ධන යොදාගෙන ලංකාවේ සිදුකළ විශාලතම ව්‍යාපෘතිය ගල්ඔය ව්‍යාපාරයට අදාළව අප විසින් නිර්මාණය කළා. එම ව්‍යාපෘතියේ බොයිලේරුවල විමෝචන වායුව මධ්‍යම පරිසර අධිකාරියේ නිසි පරාමිතීන්ට අනුකූලව අදටත් ක්‍රියාත්මක වෙනවා. ඒ සඳහා අවශ්‍ය හැකියාව, තාක්ෂණික දැනුම හා අත්දැකීම් අප සතුව තිබෙනවා.
අපගේ සේවාව පුමුඛස්ථානය හිමිවන්නේ ආරක්ෂාවටයි. ඊළඟට කාර්යක්ෂමතාවට වැඩි අවධානයක් යොමු කරනවා. මේ නිසා අපේ සේවා ගැන කිසිදු ගැටලු‍වක් ඇතිකරගත යුතු නැහැ. අප ආයතනය තුළ නිසි පුහුණුව ලත් ස්ථිර සේවකයන් 100කට අධිකව සිටිනවා. ඒ වගේම වක්‍රව අපත් සමග දායක වන පිරිස 300 පමණ වෙනවා. 
බලශක්ති කාර්යක්ෂමතාව වෙනුවෙන් සම්බන්ධ ඔබ ආයතනයේ නව ව්‍යාපෘති මොනවාද?
වතුර රත් කරගෙන ස්ටීම් නිපදවීම සඳහා යන පිරිවැය අවම කිරීමේ ව්‍යාපෘතියක් අපි මේ වනවිට පර් යේෂණාත්මකව අත්හදා බලමින් යනවා. ජෛව ඉන්ධන (biomas) භාවිත කර ස්ටීම් නිපදවූවත් ඒ සඳහා යම් මුදලක් වැය වෙනවා. එහෙත් නොමිලේ ලැබෙන හිරු එළිය මගින් ජලය රත් කරගෙන ඒ හරහා බොයිලේරු ක්‍රියාත්මක කළ හැකිනම් එය වඩාත් වියදම් අවම ක්‍රමවේදයක් වනු ලබනවා. අපේ මෙම ව්‍යාපෘති සම්බන්ධ අත්හදා බැලීම් මේ වනවිට ඉතා සාර්ථක වී තිබෙනවා. ඉදිරියේදී කර්මාන්තශාලා සඳහා මෙය හදුන්වාදීමට කටයුතු කරනවා.
ඒ වගේම පළාත් පාලන ආයතන විසින් රැගෙන එන කසළ ජෛව ඉන්ධන ලෙස භාවිත කර බොයිලේරු ක්‍රියාත්මක කිරීමේ ව්‍යාපෘතියකුත් අපි මේ විට අත්හදා බලමින් සිටිනවා.   
ඔබ ආයතනයේ මෙම ව්‍යාපෘති ලංකාවෙන් පිටතට ගෙන යන්න අදහසක් නැද්ද?
අපි විදෙස් රටවල් කිහිපයකටම අපේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් සිටියදී තමයි කොවිඩ් වසංගතය ඇතිවුණේ. ඒ තුළ ගෝලීය වශයෙන් ඇතිවුණ ප්‍රායෝගික ගැටලු‍ නිසා එම ව්‍යාපෘති නවතා දමන්න සිදුවුණා. අප මේ දිනවල යළිත් විදෙස් වෙළෙඳපොළ වෙත පිවිසීම අරඹා තිබෙනවා. ඒ අනුව මාලදිවයිනේ ව්‍යාපෘති ඇරඹීමේ සූදානමක් තිබෙනවා. ඒ වගේම අප්‍රිකානු කලාපය වෙතත් අපේ තාක්ෂණික ක්‍රමවේද රැගෙන යාමේ සැලසුමක් තිබෙනවා.
නිරෝෂාන් ප්‍රේමරත්න