දේශීය ඉල්ලු‍ම වැඩිදියුණු වීම සහ අඛණ්ඩ සාර්ව ආර්ථික ස්ථායිතාව මැදි කාලීන වර්ධනයට හේතුවයි


මතුපිට උද්ධමනයද සියයට 5ක ඉලක්ක ගත මට්ටමකට වඩා ඉහළව පවතිනු ඇතැයි අපේක්ෂාවක්


2026 වසරේ මෙරට ආර්ථික වර්ධනය සියයට 4 සිට සියයට 5ක් දක්වා පරාසයේ පවතිනු ඇතැයි පුරෝකථනය කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. එහිදී විශේෂයෙන්ම දේශීය ඉල්ලු‍ම වැඩිදියුණු වීම සහ අඛණ්ඩ සාර්ව ආර්ථික ස්ථායිතාව මැදි කාලීනව ආර්ථික වර්ධනය සඳහා සහාය වනු ඇතැයි අපේක්ෂා කරන බවත් පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකුව මගින් පසුගියදා නිකුත් කළ 2026 අගෝස්තු මාසය සඳහා වන මුදල් ප්‍රතිපත්ති වාර්තාවේ මෙම කරුණු ඇතුළත්ව තිබේ. 

“කෙසේ වුවද භූ දේශපාලනික ප්‍රවණතා සහ වෙනස් වන දේශීය සහ විදේශීය තත්ව මෙන්ම දේශගුණික අවදානම් මගින් ඇතිවිය හැකි බලපෑම් හේතුවෙන් ඉදිරි දැක්ම පිළිබඳව තවදුරටත් අවිනිශ්චිචතා පවතිනවා.“ මහ බැංකුව වැඩිදුරටත් පවසයි.

මේ අතර මතුපිට උද්ධමනයද නුදුරු කාලීනව සියයට 5ක ඉලක්ක ගත මට්ටමකට වඩා ඉහළ මට්ටමක පවතිනු ඇතැයිද අපේක්ෂා කරන බව මහ බැංකුව සඳහන් කරයි. එහිදී සුදුසු ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගවල සහාය ඇතිව, මැදිකාලීනව උද්ධමනය ඉලක්කගත මට්ටමේ ස්ථායි වනු ඇතැයි අපේක්ෂා කරන බවත් මහ බැංකුව සඳහන් කරයි.

එසේම නුදුරු කාලීනව බලශක්ති සහ ප්‍රවාහන උද්ධමනය ඉහළ මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කරන බවත්, කාලගුණය ආශ්‍රිත අවිනිශ්චිතතා ද විදුලි උත්පාදන පිරිවැය ඉහළ යෑම හරහා බලශක්ති උද්ධමනයේ ඉදිරි දැක්ම කෙරෙහි බලපෑම් ඇති කරනු ඇතැයිද පවසයි.

 “මෙම අපේක්ෂිත උද්ධමන ගමන් මග, මැදපෙරදිග කලාපයේ අර්බුදකාරී තත්වයේ බලපෑම් සහ එමගින් ඇති කරන වක්‍ර බලපෑම් තාවකාලික මෙන්ම අර්බුදකාරී තත්ව හේතුවෙන් ඇති වන ආර්ථික බලපෑම්වල තීව්‍ර බව පෙර අපේක්ෂා කළ මට්ටමට වඩා අඩුවීම මධ්‍යයේ නුදුරු කාලීන වර්ධන අපේක්ෂා වැඩිදියුණු වීමත් සමග ආර්ථික වර්ධන ඉදිරි දැක්ම සාපේක්ෂව ස්ථායිව පවතී. 

ඒ අනුව පෙර වසරවලදී වාර්තා කළ ආර්ථික වර්ධන ප්‍රවණතාව අඛණ්ඩව පවත්වා ගනිමින් 2026 වසරේ ආර්ථික වර්ධනය සියයට 4 සිට සියයට 5 ක් දක්වා පරාසයේ පවතිනු ඇතැයි පුරෝකථනය කෙරේ.” මහ බැංකුව පවසයි.

කෙසේ වෙතත් මෙම ආර්ථික වර්ධනය නුදුරු කාලිනව මෙන්ම මැදි කාලීනව පුරෝකථනය කළ මට්ටමට වඩා පහළ යෑම සඳහා සාධක කිහිපයක් හේතු විය හැකි බවත් මහ බැංකුව සඳහන් කරයි.

ඒ අනුව මැදපෙරදිග කලාපයේ භූ දේශපාලනික අර්බුදකාරී තත්වය තවදුරටත් උග්‍ර වීම හරහා, ප්‍රධාන වෙළෙඳ හවුල්කරුවන්ගේ ආර්ථික ක්‍රියාකාරකම් දුර්වල වීම හරහා ශ්‍රී ලංකා අපනයන සඳහා වන ඉල්ලු‍ම අඩුවීම, සංචාරක පැමිණීම් සහ සංචාරක කර්මාන්තය ආශ්‍රිත වියදම් අඩුවීම, එල්නිනෝ තත්ත්ව ඇති වීමේ හැකියාව නිසා දිගු කාලීන වියළි කාලගුණික තත්වය සහ අක්‍රමවත් වර්ෂාපතන රටා ඇතුළු අයහපත් කාලගුණ තත්ව නිසාද කෘෂිකාර්මික නිෂ්පාදන සහ ඒ ආශ්‍රිත ආර්ථික ක්‍රියාකාරකම්වලට අහිතකර ලෙස බලපෑම් එල්ල විය හැකි බවත් පවසයි. මීට අමතරව ජලාශවල ජලමට්ටම් පහළ යෑම හේතුවෙන් ජල විදුලි උත්පාදනය සිමා වී බලශක්ති සහ නිෂ්පාදන වියදම් ඉහළ යෑමක් සිදුවීමත් තවත් අවස්ථාවකි.
“මෙවැනි ප්‍රවණතා කෘෂිකාර්මික, කර්මාන්ත සහ සේවා අංශවල ආර්ථික ක්‍රියාකාරකම් වෙත බලපෑම් එල්ල කිරිමේ ප්‍රතිඵල ලෙස මෙම ආර්ථක වර්ධනය පුරෝකථනය කරන මටට්මට වඩා අඩුවීමට හේතු වේවි.” මහ බැංකුව වැඩිදුරටත් පවසයි.