
වසර නවයකට පසුව ආයෝජක සංසදය නැවතත් ඔස්ට්‍රේලියාවට
ඔස්ට්‍රේලියාව මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළට විදේශීය ආයෝජන ගලා එන ප්‍රධාන මූලාශ්‍ර දහය අතර
ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC), කොළඹ කොටස් හුවමාරුව (CSE) සහ කොටස් තැරැව්කාර සමාගම් එක්ව ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් සහ සිඩ්නි නගර කේන්ද්‍ර කරගනිමින් සිදු කරන ‘‘Invest Sri Lanka Australia’ ආයෝජක සංසද මාලාව 2026 අගෝස්තු 17 සිට 20 දක්වා පැවැත්වීමට නියමිතව තිබේ.
ජනවාරි මාසයේදී ඩුබායි සහ රියාද් හි පැවති ‘Invest Sri Lanka’ ආයෝජක සංසදවලට පසුව මෙම 2026 ඕස්ට්‍රේලියානු ‘Invest Sri Lanka’ ආයෝජක සංසදය සංවිධානය කෙරේ. 2025 වසරේදී ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ අත්කරගත් වර්ධනය සහ ස්ථාවරත්වය උපයෝගී කරගනිමින්, ආකර්ෂණීය ඉදිරිපෙළ වෙළෙඳපොළක් (frontier market) ලෙස ශ්‍රී ලංකාව සතු තත්වය ප්‍රයෝජනයට ගැනීමටත්, ආයතනික ආයෝජකයන් සහ ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව ආකර්ෂණය කර ගැනීමටත් මෙම 2026 සංසද මගින් අපේක්ෂා කෙරේ. 2017 දී ඕස්ට්‍රේලියාවේ පැවති අවසන් ‘Invest Sri Lanka’ ආයෝජක සංසදයෙන් වසර නවයකට පසුව නැවත මෙය සංවිධානය වීමත් කැපී පෙනෙයි. එම වැඩසටහන් මාලාව ඕස්ට්‍රේලියානු ආයෝජකයන් අතර ශ්‍රී ලංකාව පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේදී වැදගත් කාර්යභාරයක් ඉටු කළ අතර, එම සංසදවලින් පසු මාස හයක කාලය තුළ කොටස් මිලදී ගැනීමේ පිරිවැටුම රුපියල් මිලියන 72.9 සිට රුපියල් මිලියන 603.8 දක්වා සියයට 700 කට වඩා වැඩි අගයකින් ඉහළ ගිය බවත් පැවසෙයි.
එසේම 2025 වසර අවසන් වන විට මෙම කොටස් මිලදී ගැනීමේ පිරිවැටුම රුපියල් බිලියන 1.85 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළට විදේශීය ආයෝජන ගලා එන ප්‍රධාන මූලාශ්‍ර දහය අතරටත් පත්ව ඇත.
පසුගිය වසර දහය තුළ ශ්‍රී ලංකාවේ ‘සියලු කොටස් මිල දර්ශකය‘ (ASPI) ශක්තිමත් ලෙස ඉහළ යාමත් සමග, ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ආයෝජකයන් විශාල පිරිසක් ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළ කෙරෙහි උනන්දුවක් දැක්වීමට පටන් ගෙන ඇතැයිද කොළඹ කොටස් හුවමාරුව සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd