සම්පත් සමූහයේ මුළු වත්කම් රුපියල් ට්‍රිලියන 2 ඉක්මවා යයි


සම්පත් සමූහය, 2025 වසර අවසානයේදී තම ඉතිහාසයේ ඉහළම ලාබය වූ රුපියල් බිලියන 53.0 ක බදු පෙර ලාබයක්ද, රුපියල් බිලියන 32.6 ක බදු පසු ලාබයක් ද වාර්තා කිරීමට සමත් වූ අතර, එය පෙර වසර හා සැසඳීමේ දී පිළිවෙළින් සියයට 8 හා සියයට 13 ක වාර්ෂික වර්ධනයකි. එමෙන්ම සමූහයේ මුළු වත්කම් ප්‍රමාණය ද 2025 වසරේදී රුපියල් ට්‍රිලියන 2 ඉක්මවා යාමට සමත් වූ අතර, එය 2024 වසර අවසානය හා සැසඳීමේ දී සියයට 12 ක වර්ධනයකි. 

සම්පත් බැංකුවද 2025 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වසර සඳහා තම ඉතිහාසයේ ඉහළම ලාබය වූ රුපියල් බිලියන 49.3 ක බදු පෙර ලාබයක්ද, රුපියල් බිලියන 30.2 ක බදු පසු ලාබයක් ද වාර්තා කිරීමට සමත් වූ අතර, එය පෙර වසර හා සැසඳීමේ දී පිළිවෙළින් සියයට 5 හා සියයට 11 ක වාර්ෂික වර්ධනයන් පෙන්නුම් කරයි. 2024 වසරේදී ශ්‍රී ලංකා ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර (SLISB ) ප්‍රතිව්‍යුහගතකරණය හේතුවෙන් වාර්තා වූ අතිරේක ලාබය නොසලකා හැරියහොත් 2025 වසරේ බැංකුවේ බදු පෙර හා පසු ලාබයන්හි සියයට 22 ක ශක්තිමත් ඉහළ යාමක් වාර්තා කරනු ඇත. තවද, 2025 වසර තුළදී බැංකුවේ ණය කළඹ රුපියල් බිලියන 259 කින් වර්ධනය වූ අතර ‍එය, 2024 වසර අවසානයේ දී පැවති රුපියල් බිලියන 965 සිට රුපියල් ට්‍රිලියන 1.2 දක්වා සියයට 27 කින් ඉහළ නංවා ගැනීමට සමත් විය.

2025 වසරේදී බැංකුවේ මුළු ආදායම පෙර වසරට සාපේක්ෂව සියයට 12 ක වාර්ෂික වර්ධනයක් සහිතව රුපියල් බිලියන 218.8 ක් ලෙස වාර්තා වූ අතර, මේ සඳහා පොලී ආදායම, ගාස්තු හා කොමිස් ආදායම් හා අනෙකුත් ආදායම් දායක විය. 2025 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වසර සඳහා බැංකුවේ මුළු පොලී ආදායම රුපියල් බිලියන 181.1 ක් ලෙස වාර්තා වූ අතර, එය පෙර වසරට සාපේක්ෂව සියයට 1 ක පහත වැටීමකි. 

මේ සඳහා වසර තුළදී අවදානම් මත බර තබන ලද ප්‍රමුඛ ණය අනුපාතය (AWPLR) අඛණ්ඩව පහත වැටීම හා රජයේ සුරැකුම්පත්වල පොලී අනුපාත පහත වැටීම මූලික වශයෙන් හේතු විය. එසේම වර්ධනය වූ තැන්පතු හා ණය ගැනුම් හේතු කොට ගෙන ඉහළ ගිය පොලී වියදම හේතුවෙන් ශුද්ධ පොලී ආදායමද පෙර වසරට සාපේක්ෂව සියයට 3ක පහත වැටීමක් සහිතව 2025 වසර සඳහා රුපියල් බිලියන 77.8 ක් ලෙස වාර්තා විය. 

මීට සමගාමීව ශුද්ධ පොලී ආන්තිකය ද 2024 වසර අවසානයේ පැවති සියයට 4.90 සිට 2025 වසර අවසානය වන විට සියයට 4.11 ක් දක්වා පදනම් ලකුණු 79 කින් පහත වැටිණ. 

ශක්තිමත් ආර්ථික වර්ධනය, ණය කළඹෙහි ඉහළ යාම හා කාඩ්පත් භාවිතය ඉහළ යාම හේතුවෙන් බැංකුවේ ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම පෙර වසරට සාපේක්ෂව සියයට 21 ක වර්ධනයක් සහිතව රුපියල් බිලියන 21.2 ක් ලෙස වාර්තා විය. 

බැංකුව 2025 වසර සඳහා රුපියල් බිලියන 0.6 ක අපහායන වියදම් ආපසු හැරවීමක් වාර්තා කරන ලද අතර, එය පෙර වසරේ වාර්තා කරන ලද අපහායන ආපසු හැරවීමට සාපේක්ෂව රුපියල් බිලියන 11.1 ක පහත වැටීමකි. 2024 වසරේ වාර්තා කරන ලද මුළු අපහායන ආපසු හැරවීමෙන් රුපියල් බිලියන 15.8 ක් ශ්‍රී ලංකා ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම නිසා හඳුනා ගන්නා ලදී. මෙම ආපසු හැරවීම වාර්තා නොකළේ නම් එම වසර සඳහා රුපියල් බිලියන 4.1 ක අපහායන වියදමක් හඳුනා ගත යුතුව තිබිණ. 

මෙම වර්ෂය සඳහා මෙහෙයුම් වියදම් පෙර වසරට සාපේක්ෂව සියයට 19 ක වර්ධනයක් වාර්තා කරන ලද අතර, මේ සඳහා වාර්ෂික වැටුප් වර්ධකය හා නව උපායමාර්ගික මුලපිරීම් ක්‍රියාවට නැංවීම සඳහා සිදුකළ නව සේවක බඳවා ගැනීම් හේතුවෙන් පුද්ගල පිරිවැය ඉහළ යාම, තොරතුරු තාක්ෂණය ආශ්‍රිත වියදම් ඉහළ යාම හා අනෙකුත් මෙහෙයුම් වියදම් ඉහළ යාම මූලික වශයෙන් හේතු විය. 

මීට අමතරව මුළු බදු වියදම 2024 වසර සඳහා වාර්තා කරන ලද රුපියල් බිලියන 32.6 සිට 2025 වසර සඳහා රුපියල් බිලියන 33.2 ක් දක්වා ඉහළ යන ලද අතර මේ සඳහා බදු අය කිරීමට යටත් වූ ආදායමේ ඉහළ යාම මූලික වශයෙන් හේතු විය. තවද වසර තුළදී රජය වෙත ‌ගෙවන ලද මුළු බදු ප්‍රමාණය රුපියල් බිලියන 39.0 ඉක්මවන ලදී.

වර්ෂය පුරාවට සියලු‍ම ප්‍රාග්ධන අනුපාතයන් අවම නියාමන අවශ්‍යතාවලට වඩා ඉහළ මට්ටමක පවත්වාගෙන යාමට බැංකුව සමත් විය. 2025 දෙසැම්බර් 31 වන ‌දිනට පළමු පෙළ සාමාන්‍යය ස්කන්ධ ප්‍රාග්ධන අනුපාතය, පළමු පෙළ ප්‍රාග්ධන අනුපාතය හා මුළු ප්‍රාග්ධන අනුපාතයන් පිළිවෙළින් සියයට 14.75, සියයට 14.75 හා සියයට 17.65 ක් ලෙස වාර්තා කරන ලදී. 

බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය 2026 මාර්තු මස 30 වැනි දින පැවැත්වීමට නියමිත වාර්ෂික මහා සභා රැස්වීමේ දී කොටස් හිමියන්ගේ අනුමැතිය ලබා ගැනීමට යටත්ව, 2025 දෙසැම්බර් 31 න් අවසන් මූල්‍ය වර්ෂය සඳහා කොටසකට රුපියල් 10.30 ක අවසාන මුදල් ලාභාංශයක් නිර්දේශ කර ඇති අතර, 2025 දෙසැම්බර් 31 න් අවසන් වර්ෂය සඳහා ලාභාංශ ගෙවීමේ අනුපාතය සියයට 39.98 ක් විය. 

සම්පත් බැංකුව සතු මුළු වත්කම් සියයට 11ක වර්ධනයක් සහිතව 2025 දෙසැම්බර් 31 දින වන විට රුපියල් ට්‍රිලියන 1.98 ක් ලෙස වාර්තා වූ අතර ඒ සඳහා ණය හා අත්තිකාරම්, 2024 වසර අවසානයට වාර්තා කරන ලද රුපියල් බිලියන 964.6 සිට 2025 වසර අවසානය වන විට රුපියල් බිලියන 1,223.6 දක්වා රුපියල් බිලියන 259 කින් ඉහළ යාම මූලික වශයෙන් හේතු විය. බැංකුවේ මුළු තැන්පතු කළඹ රුපියල් බිලියන 178.1 කින් ඉහළ යාම හේතුවෙන් බැංකුවේ මුළු වගකීම් සියයට 12 ක වර්ධනයක් සහිතව 2025 දෙසැම්බර් 31 දිනට රුපියල් ට්‍රිලියන 1.80 ක් ලෙස වාර්තා විය.