

2024 වසරේ දත්තවලට අනුව, ශ්‍රි ලංකවේ භාණ්ඩ සහ සේවා අපනයන දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශයක් ලෙස සියයට 20කට ආසන්නව පැවතිණි. මැලේසියාව, තායිලන්තය, සහ වියට්නාමය වැනි රටවල භාණ්ඩ සහ සේවා අපනයන ද.දේ.නි ප්‍රතිශයක් ලෙස සියයට 70 වඩා ඉහළ අගයක් ගනී. පසුගිය දශක හතක කාලය තුළ ආර්ථිකමය වශයෙන් ඉහළ ප්‍රගතියක් අත්කරගත් නැගෙනහිර සහ අග්නිදිග ආසියානු රටවල් සෑම එකකම එවැනි ඉහළ ආර්ථික කාර්යසාධනයක් අත්කර ගැනීමට හැකියාව ලැබී ඇත්තේ දිගින් දිගටම සිදුකළ අපනයන අංශයේ ප්‍රවර්ධනය හේතුවෙනි.
අපනයන වර්ධනය ද.දේ.නි. වර්ධනය මෙන් කීප ගුණයකින් ඉහළ මට්ටමකින් පවත්වා ගැනීමට එම රටවලට හැකියාව පැවතීම හේතුවෙන් ද.දේ.නි. ප්‍රතිශතයක් ලෙස අඛණ්ඩව භාණ්ඩ සහ සේවා අපනයන ඉහළ නැංවිණි. එම රටවල අපනයන ප්‍රවර්ධනය සඳහා සෘජු විදේශ ආයෝජන මහත් කාර්යභාරයක් ඉටු කළ අතර, උදාහරණයක් ලෙස, වියට්නාමයේ මුළු අපනයන වලින් සියයට 70 ක්ම සෘජු විදේශ ආයෝජනවල සහභාගීත්වයෙන් සිදුවේ. ඒ අනුව, විදේශ අයෝජන ප්‍රමුඛකරගත් අපනයන ප්‍රවර්ධනය යනු ප්‍රධාන සංවර්ධන උපායමාර්ගයක් වන අතර තිරසාරව ඉහළ අපනයන වර්ධනයක් පවත්වා ගැනීම සංවර්ධනය වෙමින් පවතින සෑම රටකටම ඇති අභියෝගයක් වේ.
පසුගිය රජය මගින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගත් ආර්ථික පරිවර්තන පනත මගින් භාණ්ඩ සහ සේවා අපනයන ද.දේ.නි. ප්‍රතිශතයක් ලෙස 2025 වන විට සියයට 25 දක්වාත්, 2030 වන විට සියයට 40 දක්වාත්, 2040 වනවිට සියයට 60 දක්වාත් ඉහළනැංවීමට ඉලක්කගත කර එම ඉලක්ක ළඟාකර ගැනීමට වැඩසටහන් යෝජනා කරන ලදී. එමෙන්ම, 2030 වන විට ශුද්ධ සෘඡු විදේශ ආයෝජන ද.දේ.නි. ප්‍රතිශතයක් ලෙස සියයට 5 දක්වාත්, අපනයන සඳහා වූ සෘඡු විදේශ අයෝජන දායකත්වය සියයට 60 දක්වාත් ඉහළනැංවීමට ඉලක්ක කරන ලදී. නව රජය මගින් 2025 වර්ෂයට අදාළව අයවැය ඉදිරිපත් කරමින් ප්‍රකාශකර සිටියේ ආර්ථික පරිවර්තන පනත සංශෝධන සහිතව ක්‍රියාත්මක කිරිමට අපේක්ෂා කරන බවයි. එනම්, ඉහත ඉලක්ක ළඟාකර ගැනීමට අපේක්ෂා කරනු ලබන බවයි. එනමුත් තවමත් ඉහත යෝජනාව ක්‍රියාත්මක වූ බවක් පෙනෙන්නට නොමැති අතර 2026 වර්ෂය සඳහා වූ අයවැය ද පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් විය. එවන් පසුබිමක් තුළ, මෙම ලිපිය මගින් මෙවර අයවැයෙන් විදේශ ආයෝජන සහ අපනයන ප්‍රවර්ධනය සඳහා ඉදිරිපත්කර ඇති යෝජනා/වැඩසටහන් පිළිබද කෙටි විවරණයක් කිරීමට අපේක්ෂා කෙරේ.
අපනයන ප්‍රවර්ධනය සඳහා වූ යෝජනා/වැඩසටහන්
අපනයන විවිධාංගීකරණය (භාණ්ඩ සහ වෙළෙඳපොළ) අරමුණුකොට නව අපනයන සංවර්ධන සැලස්මක් 2025-2029 කාලය සඳහා සකස් කිරීමට යෝජනා කළ අතර දැනට පවතින වෙළෙඳ ගිවිසුම් තවදුරටත් පුළුල් කිරීමටත් නව වෙළෙඳ ගිවිසුම්වලට පිවිසීම සඳහාත් අපේක්ෂා කරනු ලබන බව යෝජනා විය. අපනයන ප්‍රවර්ධනය සඳහා මූල්‍ය පහසුකම් සැපයීම සහ ජාතික තනි වෙළෙඳ කවුළුවක් ඇතිකිරීමට ද යෝජනාවිය. මෙම කවුළුව මගින් ලංකාවේ තරගකාරීත්වය වර්ධනය කිරීම සඳහා වෙළෙඳ පහසුකම් වැඩි දියුණු කිරීම අපේක්ෂා කරනු ලබන අතර ඒ තුළින් ව්‍යවසායකයන්ට ගෝලීය වෙළෙඳපොළවල් සමග කාර්යක්ෂමව සම්බන්ධ වීමට අවස්ථාව උදාවේ.
එමෙන්ම, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ නැගී එන සේවා අංශයේ අපනයනකරුවන්ට ගෝලීය වෙළෙඳපොළට පිවිසීම සඳහා පහසුකම් සැපයීමට ද යෝජනා ඉදිරිපත්ව ඇත. නව තීරු බදු ප්‍රතිපත්තියක් යටතේ දැනට පවත්නා තීරුබදු නොවන බාධා ඉවත්කිරීමට යෝජනා විය. ඉහත යෝජනා යටතේ අපනයන විවිධාංගීකරණය කිරීම, තරගකාරීත්වය වැඩි දියුණු කිරීම, ගෝලීය අගයදාමය සමග සම්බන්ධ කිරීමට ද යෝජනා විය. විශේෂත්වය වන්නේ, මෙම යෝජනා සියල්ලක්ම 2025 වර්ෂය සඳහා ඉදිරිපත් කළ අයවැය තුළ ද අන්තර්ගත වීමය. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත අංශය නගාසිටුවීමට යෝජනා ගණනාවක් අයවැය තුළ අඩංගුව පවතී. ඉන් එක් යෝජනාවක් වනුයේ එම අංශයට අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබාදීම සඳහා ණය පහසුකම් (ඇප රහිත ණය) තවදුරටත් ප්‍රවර්ධනය කිරීම වේ. එමෙන්ම, සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයන් සඳහා පහසුකම් සපයනු ලබන ආයතන (IDB, NEDA, and SMED) කාර්මික සංවර්ධන මණ්ඩලය තුළ ස්ථානගත කිරීමට ද යෝජනා විය.
පසුගිය රජය මගින් ක්‍ෂුද්‍ර, සුළු හ මධ්‍ය පරිමාණ ව්‍යවසාය (MSMEs) ප්‍රවර්ධනය අරමුණුකර නව පනතක් හඳුන්වාදීමට අපේක්ෂා කළ අතර ඊට සමගාමීව එම ව්‍යවසාය සඳහා අවශ්‍ය සියලුම පහසුකම් සැපයීම සඳහා එන්ටප්‍රයිස් ශ්‍රි ලංකා (Enterprise Sri Lanka) නමින් නව ආයතනයක් පිහිටුවීමට යෝඡිතව පැවතිණි. අයවැය තුළ යෝඡිත ආයතන ව්‍යුහය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යසායකයන්ට අවශ්‍ය සහාය ලබාදීම සඳහා කොතෙත් දුරට සමත්වේ ද යන්න සැක සහිත වේ. ඒ මන් ද යත් පවත්නා ආයතනික ව්‍යුහය දැනටමත් යල්පැන ගිය එකක් වන අතර ඊට අවශ්‍ය මානව සහ මූල්‍ය සම්පත්වල දැඩි ඌණතාවක් පැවතීමය. මැලේසියාව, තායිලන්තය, සහ වියට්නාමය වැනි රටවල ක්‍ෂුද්‍ර, සුළු හ මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධනය සදහා වූ ප්‍රතිපාදන වෙනත්ම නෛතික පරිසරයක් තුළ අණපනත් මගින් සපයනු ලබන අතර පළමුව කළ යුතුව පැවතියේ එවැනි පනතක් හඳුන්වාදීම විය. පවත්නා ආයතනික පද්ධතිය ක්‍ෂුද්‍ර, සුළු හ මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධනය සඳහා අවශ්‍ය පහසුකම් සපැයීමේ හැකියාවක් නොමැති බව බොහෝ දෙනාගේ මතයයි.
සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට ද මෙවර අයවැයෙන් අවධානය යොමු කොට ඇත. ඒ අනුව 2030 වන විට සංචාරක කර්මාන්තය ආශ්‍රිත වාර්ෂික ඉපැයීම් ඇමරිකානු ඩොලර් බිලියන 8 දක්වාත් සංචාරක පැමිණිම් වසරකට මිලියන 4 දක්වාත් ප්‍රවර්ධනය කිරීම අපෙක්ෂා කෙරේ. ඒ අනුව, කර්මාන්තයට අවශ්‍ය මානව සම්පත සංවර්ධනය කිරීම මෙන්ම දැනට පවතින සහ නව සංචාරක කලාප දියුණු කිරීම සඳහා මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන්කර පවතී. විශේෂයෙන්ම සංචාරක ප්‍රදේශ ආශ්‍රිත යටිතල පහසුකම් වර්ධනය කිරීමට අවධානය යොමු කිරීම ද සංචාරක ආකර්ෂණය සඳහා ඉවහල් වේ.
එමෙන්ම, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ගුවන් සංක්‍රමණ මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට ද අපෙක්ෂා කරනු ලබන බව කියවිණි. විශේෂයෙන්ම, සංචාරක කර්මාන්තය ආශ්‍රිතව ක්‍රියාත්මක වන රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය ඉහළ නැංවීමට කටයුතු කිරීමට යෝජනාකර ඇති අතර එම යෝජනාව වඩාත් ධනාත්මක වූවකි. රජය විසින් අවධානය යොමු කර ඇති තවත් අංශයක් වන්නේ ආසියානු කලාපය තුළ ශ්‍රී ලංකාව දත්ත මධ්‍යස්ථානයක් (data center) ලෙස ප්‍රවර්ධනය කිරීම වේ. මෙහිදී විශේෂයෙන්ම, කෘත්‍රිම බුද්ධිය ආශ්‍රිත දත්ත මධ්‍යස්ථානක් (AI Data Center) ලෙස ලංකාව ප්‍රවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති අතර ඒ සඳහා ආයෝජකයන් දිරිමත් කිරීමට පියවර ගැනීමට අපෙක්ෂා කරනු ලබන බව ප්‍රකාශ විය.
දත්ත මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමෙහිලා වාසි සහගත තත්ව ගණනාවක් පවතින අතර 2016-2018 කාල සීමවේ දී මෙම අංශයට ආයෝජන ප්‍රවර්ධනයට විවිධ ක්‍රියාමාර්ග ගනු ලැබිණි. දැනට ඉන්දියාව සහ චීනය මෙම අංශය තුළ විශාල දායකත්වයක් දරණ අතර විශේෂයෙන්ම ඉන්දියාවත් සමග සහයෝගයෙන් කටයුතු කිරීමෙන් මෙම අංශය තුළ අවස්ථා උදාකර ගැනීමේ හැකියාව පවතී.
විදේශගත ශ්‍රමිකයන් විසින් කරනු ලබන ප්‍රේෂණ ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ඉපැයීම් සදහා ඉහළ දායකත්වය දක්වනු ලබයි. මෙම පිරිස් ඇගයීමට ලක් කරනු වස් නව නිවාස ණය යෝජනා ක්‍රමයක් සහ දායකත්ව විශ්‍රම වැටුප් ක්‍රමයක් 2026 වසරේ අයවැය මගින් යෝජනා කරනු ලැබිණි. මෙවැනි දිරිදීම්, ඉදිරියේ දී රැකියා සඳහා විදේශගත වීම උනන්දු කිරීමට හේතු වෙතැයි අපේක්ෂා කළ හැකිය. කෙසේ වෙතත් විදේශගත ශ්‍රමිකයන් සඳහා වූ දායකත්ව විශ්‍රම වැටුප් ක්‍රමයක් 2023 දි සකස් කරනු ලැබූ අතර විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය මගින් මෙම නව විශ්‍රම වැටුප් ක්‍රමය “මනුසවි“ නමින් නම් කර ඇත. මෙවර අයවැය මගින් ක්‍රියාත්මක කිරීමට යෝජනා වී ඇත්තේ එම දායකත්ව විශ්‍රම වැටුප් ක්‍රමය විය යුතුය.
ආයෝජන ප්‍රවර්ධනය සඳහා වූ යෝජනා/වැඩසටහන්
ආයෝජන ප්‍රවර්ධනය සඳහා ද 2026 අයවැය තුළ යෝජනා අඩංගුව පවතී. ආයෝජන හිතකාමී පරිසරයක් සකස් කිරීමට අයවැය තුළ යෝජනා කීපයක් ඉදිරිපත් කර ඇත. ඒවා අතර දැනට පවතින ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත සහ කොළඔ වරාය කොමිෂන් සභා පනත සංශෝධනය කිරීමෙන් විදේශ ආයෝජන සඳහා වූ ක්‍රියාවලි විධිමත් කිරීම සහ දිරිගැන්වීමේ ක්‍රමවේදයේ විනිවිදභාවය වැඩි දියුණු කිරීම අපේක්ෂා කරනු ලබන බව ප්‍රකාශ විය. එසේම, රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්වය (PPP) පනතක් ඉදිරිපත් කර රජය සමග ශක්තිමත් හවුල්කාරීත්වයක් යටතේ පෞද්ගලික අංශය ආර්ථීක සහ සමාඡීය සහයටිතල පහසුකම් සංවර්ධනයට දායක කරගැනීමට අදහස් කරනු ලබන බව ප්‍රකාශ විය.
එමෙන්ම, අයෝජකයන්ගේ විශ්වාසය තහවුරු කිරීම සහ ආයෝජන ආරක්ෂා කිරීමට නව “අයෝජන ආරක්ෂණ පනත” 2026 වසර තුළ සම්මත කිරීමට අපේක්ෂා කරනු ලබන බව ප්‍රකාශ විය. එමෙන්ම විදේශ ආයෝජන ප්‍රවර්ධනය සඳහා කර්මාන්ත සහ ආයෝජන කලාප ආශ්‍රිත යටිතල පහසුකම් සංවර්ධනය මෙන්ම ආයෝජකයන් මුහුණ දෙනු ලබන ඉඩම් ගැටලු නිරාකරණය කිරීමට මධ්‍යගත ඉඩම් පිළිබඳ තොරතුරු ඇතුළත් මධ්‍යම ඩිඡිටල් තොරතුරු පද්ධතියක් ඇති කිරීම යෝජනා වී ඇත. එමෙන්ම, ශ්‍රී ලංකා අයෝජන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති සඳහා අනුමැතිය ලබාදීමේ ක්‍රියාවලිය ඩිඡිටල් තාක්ෂණය මත පදනම් වූ තනි කවුළු (Single Window) යාන්ත්‍රණයක් හරහා ක්‍රියාත්මක කිරීමට යෝජනා වී ඇත. එසේම, විදේශ ආයෝජකයන්ට නේවාසික වීසා ක්‍රමයක් හඳුන්වා දීමට ද යෝජනා කර ඇත. එසේම දැනටමත් ඉදිකර ඇති තාක්ෂණික උද්‍යාන දෙකක් සහ තවත් නව තාක්ෂණික උද්‍යාන දෙකක් ඉදි කර එම උද්‍යාන පෞද්ගලික අංශයේ ආයෝජන සඳහා විවෘත කිරීමට අපෙක්ෂා කරනු ලබන බව අයවැය තුළ යෝජනා කරන ලදී.
ආයෝජන ප්‍රවර්ධනය සඳහා ඉහත යෝජනා ඉදිරිපත් වුවද එම යෝජනා මගින් කොතෙක් දුරට වෙනත් කලාපීය රටවල් සමග සැසිදීමේ දී වඩාත් තරගකාරී අයෝජන වටපිටාවක් සකස් කිරීමට සමත් වන්නේ ද යන්න ගැටලු සහගතය. විදේශීය මෙන්ම දේශීය ආයෝජකයා ද තම ආයෝජන ස්ථාන තෝරා ගැනීමේ දී සැලකිලීමත් වන කරුණු රාශියක් වන අතර විශේෂයෙන්ම ජාත්‍යයන්තර වශයෙන් වඩාත් ආකර්ෂණිය වන්නා වූ ස්ථාන තුළ තම ආයෝජන ස්ථානගත කිරීමට නිතරම කටයුතු කරනු ලබයි. කලාපීයව සැලකීමේ දී ඉන්දියාව බංගලාදේශය වැනි රටවල පවා ලංකාවට වඩා ආකර්ෂණීය ආයෝජන වටපිටාවක් පවතින බව ප්‍රසිද්ධ රහසකි.
මැලේසියාව, සිංගප්පූරුව, වියට්නාමය, තායිලන්තය, ඉන්දුනීසියාව වැනි රටවල වඩාත් තරගකාරී අයෝජන වටපිටාවක් ඇති රටවල් වේ. එවන් රටවලට වාර්ෂිකව ඉතා ඉහළ විදේශ ආයෝජන ගලාඑන අතර ඒ මත පදනම්ව ශක්තිමත් අපනයන අංශයක් ගොඩනැංගීමට එම රටවලට හැකියාව ලැබී ඇත. එවන් පසුබිමක් යටතේ ආර්ථික පරිවර්තන පනත මගින් යෝජිත ආර්ථික කොමිෂන් සභාව, ’Zone Sri Lanka, Invest Sri Lanka වැනි ආයතන ව්‍යුහ ඉදිරියට ගෙනගියේ නම් වඩාත් තරගකාරී ආයෝජන පරිසරයක් සකස් කිරීමේ හැකියාව පැවතිණි. එසේම ආර්ථික, වෙළෙඳ සහ ආයෝජන ප්‍රතිපත්ති සම්බන්ධයෙන් වඩාත් නිශ්චිත සහ සංගත බවක් පැවතීම ද එහිලා වැදගත් වේ. මෑතකදී ඇමරිකානු රාජ්‍ය දෙපාර්තුමේන්තුව මගින් ලංකාවේ ආයෝජන පරිසරය පිළිබඳව එළිදක්වනු ලැබූ වාර්තාවක සඳහන් වූයේ රජයේ ප්‍රතිපත්ති පිළිබදව අවිනිශ්චිතතාවක් පවතින බවයි.
ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ඇති ව්‍යාකූලතාව පෙන්වන හොඳම උදාහරණයක් මෙවර අයවැයෙන් ලබාදිය හැකිය. රජය එක් පැත්තකින් පෞද්ගලික අංශය ප්‍රමුඛකරගත් අපනයනාභිමුඛ ආර්ථක වර්ධනයක් පිළිබඳව අවධානය යොමු කරන අතරේ, රාජ්‍ය අනුග්‍රහය මත ආනයන-අදේශන කාර්මීකරණයක් පිළිබඳව ද අවධානය යොමුව ඇති බවක් පෙනෙන්ට පවතී. අයවැය තුළ කර ඇති එක් යෝජනාවක් වනුයේ වර්තමානයේ දී ආනයනය කරන භාණ්ඩ දේශීයවම නිෂ්පාදනය කිරීමට කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ඉලක්කගත සහනාධාර, අවැසි තාක්ෂණය සහ වෙළෙඳපොළ ප්‍රවේශ ලබාදීමට කටයුතු කරනු ලබන බවයි. මෙවන් ප්‍රතිපත්ති පැවතීමෙන් රජයේ ආර්ථික ප්‍රතිපත්තිය කුමක් ද යන්න පිළිබදව ආයෝජකයන්ට අපැහැදිලිතාවක් ඇති වීමට පුළුවන.
නිගමනය
ශ්‍රි ලංකාවේ අනාගත ආර්ථික කාර්යසාධනය මුළුමනින්ම රැඳී ඇත්තේ භාණ්ඩ සහ සේවා අපනයන ඉපැයීම්වල වර්ධනය මත වන අතර එහි සාර්ථකත්වය විදේශ ආයෝජන මත රදාා පවතී. පසුගිය දශක දෙකක කාලය තුළ අපනයන ප්‍රවර්ධනය සඳහා යොමුකළ අවධානය ඉතා පහළ මට්ටමක පැවති අතර වෙළෙඳ අංශය වෙනුවට වෙළෙඳ නොවන (non-tradable) අංශය ප්‍රවර්ධනයට වැඩි අවධානයක් යොමුවිය. තවදුරටත් එවැනි ප්‍රතිපත්ති රාමුවක සිට කටයුතු කිරීම යෝග්‍ය නොවන අතර නැවත වරක් අපනයන සහ ආයෝජන ප්‍රවර්ධනයට ඉහළ ප්‍රමුඛතාවක් ලබාදිය යුතුව ඇත. ඒ සඳහා දේශිය ආර්ථිකය වඩාත් තරගකාරී කළ යුතු අතර ආර්ථිකයේ පලදායීතාව ඉහළනැංවීමට අවධානය යොමු කළ යුතු වේ. එසේ ඵලදායීතාව ඉහළනැංවීමට රාජ්‍ය අංශය සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කළ යුතුව ඇතත් ඒ පිළිබඳව මෙවර අයවැයේ යොමු කර ඇති අවධානය ප්‍රමාණවත් නොවන බව මාගේ හැඟීමයි.
අපනයන සහ ආයෝජන කාර්යසාධනය මැනිය යුත්තේ නිරපේක්ෂව නොව දළ දේශීය නිමවුමට සාපේක්ෂවය. දළ දේශීය නිමවුමට සාපේක්ෂව ලංකවේ අපනයන සහ විදේශ අයෝජන ලැබීම් පවතින්නේ ඉතාමත් පහළ මට්ටමක වේ. අපනයන ප්‍රවර්ධනය සඳහා පවත්නා වෙළෙඳ ගිවිසුම් පුළුල් කිරීම සහ නව වෙළෙඳ ගිවිසුම්වලට එළැඹීමට රජය කර ඇති යෝජනාව ඉතා වැදගත් වේ. ආසියානු රටවල් සමග, විශේෂයෙන්ම චිනය සමග, වෙළෙඳ ගිවිසුම් වලට එළැබීම ඉක්මන් කළ යුතුය. අපනයන වර්ධනයකින් තොරව රජයට ඉහළ අයවැය හිඟයක් පවත්වාගෙන යමින් රාජ්‍ය අයෝජන ඉහළනැංවිය නොහැක. ඒ මන්ද යත් ඉහළ අයවැය හිඟයක් අනිවාර්යයෙන්ම ඉහළ ගෙවුම් ශේෂ හිගයකට තුඩු දෙන බැවිනි. ආර්ථික ඉතිහාසය දෙස අවධානය යොමු කරන විට පෙනීයන කරුණක් වන්නේ අයවැය හිගය සහ ගෙවුම් ශේෂ හිඟය අතර ඉතා කිට්ටු සම්බන්ධතාවක් පවතින බවයි. යම් හෙයකින් රජය විසින් වෙන්කර ඇති ප්‍රාග්ධන වියදම් 2026 වසර තුළම වැය කළහොත් එමගින් ගෙවුම් ශේෂ හිඟය ඉහළනංවනු ඇති අතර ඒ හේතුවෙන් අනෙකුත් සාර්ව ආර්ථික විචල්‍යයන්ට අනිසි බැලපෑමක් වීමට ඇති ඉඩකඩ ඉහළ වේ.
මෙම තත්වය ද්ත්ව-හිඟය (twin-deficit hypothesis) නම් වූ කල්පිකය වන අතර ශ්‍රි ලංකේය ආර්ථිකය නිරන්තරයෙන්ම අඩපණ වූයේ මෙවන් තත්වයක වේ. මේ නිසා ඍජු විදේශ අයෝජන මත පදනම්ව අපනයන අංශය ශක්තිමත් කිරීමට මීට වඩා අවධානයක් යොමු කළ යුතුව ඇත. 2026 අයවැය මගින් භාණ්ඩ සහ සේවා අපනයන සහ සෘඡු විදේශ ආයෝජන ප්‍රවර්ධනයට විවිධ වැඩසටහන් යෝජනා කළ ද ඒවා කොතෙක් දුරට අපනයන සහ ඍජු විදේශ ආයෝජන සාධනීය ලෙස ඉහළනංවාලීමට උපකාරීවේද යන්න සැක සහිතය.
ආර්ථික පරිවර්තන පනත මගින් දැනට අපනයන සහ සෘඡු විදේශ ආයෝජන ප්‍රවර්ධනයට මෙරට ඇති ආයතනික ව්‍යුහය ලෝකයේ සාර්ථකව අපනයන සහ සෘඡු විදේශ ආයෝජන ප්‍රවර්ධනය සිදුකරනු ලබන ආයතනවල අත්දැකීම් පදනම් කර යෝජනා වූවකි. අපනයන සහ සෘඡු විදේශ ආයෝජන ප්‍රවර්ධනයට දැනට ඇති ආයතනික ව්‍යුහය අසාර්ථකව ඇති බව අමුතුවෙන් කිව යුතු නැත. එම ආයතන තවදුරටත් ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාමෙන් ලබාගත හැකි ප්‍රගතියක් නැත. එබැවින්, මෙම තත්වය පිළිබඳව ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ නිසි අවධානය ඉක්මනින් යොමු වෙතැයි අපේක්ෂා කරමු.
2025 නොවැම්බර් මස 17
7
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
855
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2491
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
අයවැය 2026: විදේශ ආයෝජන - අපනයන ප්‍රවර්ධනය කෙබඳුද ?