වෛද්‍යවරුන්ගේ අභිමතය පරිදි මියගිය රෝගීන්ගේ මොළය ඉවත් කිරීමට අවසර දෙන මෙන් ඉල්ලීමක් කැර තිබේ. ස්නායු සම්බන්ධ ප්‍රතිකාර සඳහා පරික්ෂණ පැවැත්වීමට ප්‍රමාණවත් මිනිස් මොළ නොමැති වීම මේ ඉල්ලිමට හේතු වී ඇත.

බ්‍රිතාන්‍යයේ එඩින්බර්ග් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පවසන්නේ මිනිස් අවයව පරිත්‍යාග කිරීමේ අඩුව වෛද්‍ය ප්‍රතිකාර සංවර්ධනයට දැඩි තර්ජනයක් බවයි. මියගිය අයගේ අවයව ලබා ගැනීමේ දී ඥාතීන්ගේ කැමැත්ත ගැනීම සඳහා වෛද්‍යවරුන්ට හා මරණ පරීක්ෂකවරුන්ට වැදගත් කාර්යයක් ඉටුකළ හැකි බව එඩින්බර්ග් විශ්වවිද්‍යාලයේ ෂෝන් හර්මන් හා අයිස්ලින් මැක්මෝහන් වෛද්‍ය විද්‍යා නීති ජර්නලයට ලියා දක්වා ඇත.

ඥාතීන්ගේ තත්ත්වය ද සළකා බලා ක්ෂණිකව මිය යන පුද්ගලයන්ගේ ශරීර අවයව පරිත්‍යාග කිරීමට අනුමැතිය දෙන ලෙස ද වෛද්‍යවරුන්ගෙන් හා මරණ පරීක්ෂකවරුන්ගෙන් ඉල්ලා සිටිය හැකි බව ද ඔවුහු කියති.

1990 දී පමණ තිබූ මතය වූයේ වෙනත් පුද්ගලයකුගේ අවයව දැරිම නින්දිත දෙයක් බවයි. මෙයට හේතු  වී තිබුණේ බ්‍රිස්ටල් රාජකීය ආබාධිත රෝහලේ හා ලිවර්පූල්හි ඇල්ඩර් හේ ළමා රෝහලෙන් මියගිය රෝගීන් දහස් ගණනකගේ ඥාති හිත මිත්‍රාදීන්ගේ අවසරයක් නොමැතිව අවයව බද්ධ කිරීමයි.

එහි ප්‍රතිඵලයක් වූයේ 2004 වර්ෂයේ දී මනුෂ්‍ය බද්ධ කිරිම් පනතෙන් අවයව පරිත්‍යාග කිරීමේ නීතිය දැඩි කිරීමයි. මේ හේතුවෙන් තමන් මුහුණ දී ඇත්තේ අසීරු තත්ත්වයකට බව වෛද්‍ය පර්යේෂකයෝ කියති. රෝග නිශ්චය කිරීමට හා රෝග සම්බන්ධ පරික්ෂණ කිරීමට අවශ්‍ය ස්නායු පටක ලබා ගැනීමේ අපහසුතාවට ඔවුහු මුහුණ දී සිටිති. ප්‍රමාණවත් තරම් රෝගී හා නිරෝගී පටක නොමැතිකමින් පර්යේෂණ කිරීමේ දැඩි අවදානමක් පවතින බව ඔවුහු කියති.

බ්‍රිතාන්‍යයේ පවතින වර්තමානයේ නීතිය අනුව මොළයේ පටක පරිත්‍යාග කිරීමට නම් මිය යාමට පෙර ඒ සඳහා සිය ඥාතීන්ට කැමැත්ත ලබා දී තිබිය යුතුය. හදිසියේ එසේ තීරණයක් ගෙන නොතිබිය දී මරණයට පත්වුවහොත් කිසිදු පරිත්‍යාගයක් සිදුකිරීමට හැකියාවක් නැත.

එඩින්බර්ග් නීති පද්ධතියට අනුව ඥාතියකු මියගිය අයගේ කැමැත්තට ඉඩ නොදී පරිත්‍යාග කිරීම ප්‍රතික්ෂේප කරයිනම් එහිදී ඔවුන් මේ පිළිබඳ වාදයකට එළඹීමට පවා සූදානම්ය. ඒ සම්බන්ධයෙන් එංගලන්තයේ වෛද්‍ය පර්යේෂණ කවුන්සලයේ මහාචාර්ය සෙත්ලව් අනතුරු අඟවන්නේ මෙමගින් දැඩි අවිශ්වාසයක් ගොඩනැගී පටක පරිත්‍යාගය අවම විය හැකි බවයි.