ඉන්දියාව සහ ස්වීඩනය අතර ද්විපාර්ශ්වික සබඳතා 'උපායමාර්ගික හවුල්කාරිත්වයක් දක්වා වර්ධනය කර ගැනීමට අග්‍රාමාත්‍ය මෝදි සමත් විය. ඒ, ස්වීඩන් සංචාරය අතරතුරේදීය.

මෝදි දීර්ඝ විදෙස් සංචාරයක් අතරතුරේ, ස්වීඩනයට ගියේ දෙදින නිල සංචාරයක් සඳහාය. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ස්වීඩන් අග්‍රාමාත්‍ය උල්ෆ් ක්‍රිස්ටර්සන් අතර ද්වී පාර්ශ්වීක සාකච්ඡා පැවැත්විණි. මෙම රාජ්‍ය තාන්ත්‍රික හමුව සිදුවූයේ වෙළෙඳ, තාක්ෂණ, ආරක්ෂක ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර ගණනාවක් මුල් කරගනිමිනි.

මෙම සංචාරයේදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත සුවිශේෂී ඇගයීමක් ද හිමි විය. ඉන්දු-ස්වීඩන් සබඳතා ශක්තිමත් කිරීමට දැක්වූ සුවිශේෂී දායකත්වය සහ ඔහුගේ දූරදර්ශී නායකත්වය අගය කරමින් ස්වීඩනයේ ඉහළම ගෞරව සම්මානයක් වන ‘රෝයල් ඕඩර් ඔෆ් ද පෝලර් ස්ටාර්, ඩිග්‍රී කමාන්ඩර් ග්‍රෑන්ඩ් ක්‍රොස්’ සම්මානයෙන් අගමැති මෝදිව පිදුම් ලැබීය.

දෙරටේ නියෝජිත පිරිස් අතර පැවැති සාකච්ඡාවලදී වෙළෙඳ හා ආයෝජන, හරිත බලශක්ති සංක්‍රමණය, අභ්‍යවකාශ තාක්ෂණය, ආරක්ෂක අංශ, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර මෙන්ම දෙරටේ ජනතාව අතර සබඳතා තවදුරටත් ගැඹුරු කිරීම පිළිබඳව අවධානය යොමු විය. 

ඉකුත් 2025 වසර වන විට දෙරට අතර ද්විපාර්ශ්වික වෙළෙඳාම ඇමෙරිකානු ඩොලර් බිලියන 7.75ක් දක්වා වර්ධනය වී තිබීම විශේෂත්වයකි. මීට අමතරව, ඉන්දු-යුරෝපා සංගම් නිදහස් වෙළෙඳ ගිවිසුම හරහා නව අවස්ථා රැසක් උදාකර ගැනීමට ද නායකයෝ එකඟ වූහ.