අනාවරණ

 

ශ්‍රී ලංකා ඉතිහාසයේ ජල විදුලි බලාගාර වංශ කතාවත්, ලක්ෂපාන ආශ්‍රිත ප්‍රදේශයත් අතර ඇත්තේ නොබිඳුණු සබැඳියාවකි. එයට හේතුව නම් ශ්‍රී ලංකාවේ ජල විදුලියේ නිර්මාතෘවරයා ලෙස සැලකෙන දිවංගත ඩී.ජේ. විමලසුරේන්ද්‍ර ශ්‍රීමතාණන්ගේ ඉංජිනේරු ඥානයෙන් 1950 වර්ෂයේදී කෙසෙල්ගමු ඔය හරස් කර නෝර්ටන්බ්‍රිජ් ප්‍රදේශයේදී කඳු දෙකක් අතර වේල්ලක් බැඳීමෙන් විශාල ජල කඳක් රැස් කිරීමයි. ඒ මහා ජල කඳ අඩි 9400 ක් තරම් දිග උමඟක් තුළින් “ඩබල්කඩින්” නමැති ස්ථානයට ගෙන ගොස් එතැන් සිට විශාල නළ මාර්ග 04 ක් ඔස්සේ තවත් අඩි 5000 ක් පමණ බෑවුමට ගමන් කර මස්කෙළි ඔයේ දකුණු ඉවුරේ පිහිටි ජල විදුලි බලාගාරය ක්‍රියාත්මක වේ. එය ලක්ෂපාන ජල විදුලි ව්‍යාපෘතියේ ප්‍රථම අදියරයි. 


මීට වසර 100 කට පමණ පෙර ශ්‍රී ලාංකීය ජනතාවට සිහිනයක්ව පැවති ජල විදුලි උත්පාදනය ඩී.ජේ. විමලසුරේන්ද්‍රයන් හෙළි පෙහෙළි කරන ලද මඟ ඔස්සේ යමින් ලක්ෂපාන ප්‍රදේශයේ ආසන්නයේ පමණක් ලක්ෂපාන, නව ලක්ෂපාන, විමලසුරේන්ද්‍ර, පොල්පිටිය හා කැනියොන් යන පංච මහා ජලවිදුලි බලාගාර සංකීර්ණය බිහිවීම ආරම්භ වන්නේ එලෙසිනි. අපගේ ලිපියට පසුබිම් වූ ලක්ෂපාන ජල විදුලිබලාගාර සංකීර්ණය යටතේ ඇති ජාතික ජලවිදුලිබල පද්ධතියට අයත් මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ ද්විත්වය ඉදිවෙන්නේ මස්කෙළිය හා හැටන් ප්‍රදේශ ආශ්‍රිතවය. 


මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ දෙක ඉදිකිරීම් ආරම්භ වන්නේ 1963 වර්ෂයේදීය. එම ජලාශවලට ජලය පුරවා අවසන් වන්නේ 1969 වසරේදීය. මාවුස්සාකැලේ ජලාශයේ සමස්ථ ජල ධාරිතාව අක්කර අඩි 94000 ක වපසරියකින් සමන්විත වන අතර කාසල්රී ජලාශයේ සමස්ත ජල ධාරිතාව අඩි ලක්ෂ 19100 ක් ලෙස සඳහන් වේ. එතැන් පටන් මෙම ජලාශ දෙක ජාතික සම්පතක් ලෙස ස්ථාපිත වී ශ්‍රී ලාංකීය ජනතාවගේ විදුලි අවශ්‍යතාවය වෙනුවෙන් ජල සම්පත රැස් කිරීමේ කාර්යයට උර දෙන්නේ ස්වභාවධර්මයේද ආශිර්වාදය ඇතිවය. 


ජාතික සම්පත් වන මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ දෙක මානව ක්‍රියාකරකම් හේතුවෙන් විනාශ වීමට පටන්ගෙන ඇත්තේ වසර කීපයක් තිස්සේය. මෙම ජලාශවල සමස්ත ජල ධාරිතාව වසරින් වසර අඩුවන්නේ රොන්මඩවලින් ජලාශ පිරෙමින් පවතින නිසාය. ජලාශවලට මෙන්ම එහි වෙසෙන ජලජ ජීවීන් ඇතුළු මිරිදිය මත්ස්‍ය සම්පතට හා පරිසරයට මේ වන විට බරපතළ තර්ජනයක් වී ඇත්තේ ප්‍රදේශයේ හා ජලාශ අවට පදිංචි ඇතැම් පුද්ගලයන් විසින් කිසිදු තැකීමක් නොකර දිරා නොයන ඝන අපද්‍රව්‍ය මෙන්ම මළ අපද්‍රව්‍යයද දෛනිකව ජලාශවලට මුදාහැරීම හේතුවෙනි. එසේ එකතුවන දිරා නොයන ඝන අපද්‍රව්‍ය ටොන් ගණනක් ජලාශ පත්ලේ තැන්පත්ව ඇති අයුරු ජලය සිඳී යන කාලවලදී මනාව දැකගත හැකිය. 


මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශවල මිරිදිය මත්ස්‍ය කර්මාන්තයේ 100 කට ආසන්න පිරිසක් නිරතව සිටිති. ජලාශවල තැන්පත්වන දිරා නොයන පොලිතීන් හා ප්ලාස්ටික් ඇතුළු ඝන අපද්‍රව්‍ය නිසා ප්‍රධාන වශයෙන් පීඩාවට පත්ව සිටින්නේ මෙම ජනතාවය. ඔවුන්ගේ දුක්ගැනවිල්ල එහි ගිය අපට මුලින්ම කියා සිටියේ මාවුස්සාකැලේ ජලාශයේ මිරිදිය ධීවර සමිතියේ සභාපති මරදපිල්ලෙයි මනෝහරන් මහතාය. 


 ‘‘මම මාවුස්සාකැලේ ජලාශයේ දැනට අවුරුදු 20 කට ආසන්න කාලයක් මිරිදිය ධීවර කර්මාන්තයේ නිරතව සිටිනවා. මට වෙනත් රැකියාවක් නෑ. දරු පවුල ජීවත් කරන්නේ මේ රැකියාවෙන්. දැන් අපට මේ රැකියාවෙන් සමුගන්න වෙලා තියෙන්නේ ජලාශයේ තැන්පත්වෙලා තියෙන ප්ලාස්ටික් වගේම දිරන්නේ නැති පොලිතීන් නිසයි. මස්කෙළිය නගරයේ හා සාමිමලේ සිට මස්කෙළිය ඔය අවට අය කැළි කසළ දානවා. වර්ෂාව තියෙන වෙලාවට වැසිකිළි බට හරවලා තියෙන්නෙත් ජලාශයට ගලා ගෙන එන්නයි. මේකෙන් විශාල පරිසර හානියක් වෙලා තියෙනවා. 


මේ දිරා නොයන අපද්‍රව්‍ය හේතුවෙන් මාළු මැරෙනවා. උන්ගේ බෝවීම අඩු වෙනවා. ජලාශයේ පාවෙන ඝන අපද්‍රව්‍ය මාළු දැල්වල පැටලීමෙන් අපේ දැල් විනාශ වෙලා. අලුත් දැල් ලබා ගන්න විශාල මුදලක් වැය කරන්න වෙලා තිබෙනවා. පොලිසිය සමග එකතුවෙලා අපි කීප වරක් ශ්‍රමදාන කරලා විශාල කසළ ගොඩක් ජලාශයෙන් අයින් කළා. නමුත් නැවත නැවතත් ජලාශයට කසළ බැහැර කිරීම නවත්තලා නෑ. මේ ගැන වගකිවයුත්තන්ගේ අවධානයට ලක්වෙන්න ඕන.” 


ධීවර සමිතියේ සියලු දෙනාටම පවතින ගැටළු ගැන මීළඟට අප සමග පැවසුවේ, මාවුස්සාකැලේ ධීවර සමිතියේ සාමාජික එන්.එම්. රාජා මහතාය. 


‘‘මම අවුරුදු 25 ක් ධීවර රස්සාව කරනවා. මේක අමාරු රැකියාවක්. වෙන කරන්න දෙයක් නැති නිසයි පුරුදු දේම කරන්නේ. නගරේ මිනිස්සු පොලිතීන් කසළ දානව වගේම වටේට තියෙන සමහර තේ වතුවල ෆැක්ටරිවල අපතේ යවන කළු තෙල් ජලාශයට හරවනවා. එතකොට ජලාශයේ වතුර තනිකර කළු පාට වෙනවා. මාළු මැරෙනවා. උන් ලෙඩ වෙනවා. පරිසරය දූෂණය වෙනවා. ඒ කාලෙට අපිට මාළු අහුවෙන්නේ නැති නිසා අපේ ආර්ථිකයට ඒක බලපානවා. මාළු නැති දාට ගෙදර දරුවොත් එක්ක අපි බඩගින්නේ. අවුරුදු ගාණක් තියෙන මේ ප්‍රශ්නය අපි වගකිවයුත්තන්ට කිව්වත් පැහැදිලි විසඳුමක් මේ වෙන තෙක් ලැබිලා නෑ”. 


මස්කෙළිය හා සාමිමලේ යන නගරවල ගොඩගැසෙන කැළි කසළ ඉවත් කිරීමේ නීත්‍යනුකූල වගකීම ඇත්තේ මස්කෙළිය ප්‍රාදේශීය සභාවටය. ජනතා නියෝජිතයන් ලෙස ප්‍රාදේශීය සභාවට පත්ව සිටින එහි සභාපතිනි ගෝවින්දන් සෙම්බගවල්ලි මහත්මියට මෙම ගැටලුව අප යොමු කරීමෙන් අනතුරුව ඇය මෙසේ කීවාය. 


 ‘‘මස්කෙළිය නගරයේ හා මස්කෙළිය ඔය දෙපස පදිංචි ඇතැම් අය මෙම වැරදි ක්‍රියාව කරන බවට අපිට තොරතුරු ලැබී තිබෙනවා. අඹගමුව ප්‍රාදේශීය සභාව විදිහට අපි කසළ ක්‍රමවත්ව බැහැර කිරීම සම්බන්ධව ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහන් කීපයක් කර තිබෙනවා. ඉදිරියටත් කරනවා. උපදෙස් පිළිනොපදින අයට එරෙහිව අපි නීත්‍යනුකූලව ඉදිරියට තදින් කටයුතු කරනවා. මේ වන විට සභාවේ සෞඛ්‍ය අංශය මගින් නගරවල කසළ, දිරන හා නොදිරන ලෙස වෙන් කර ගැනීමේ වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙනවා. මාවුස්සාකැලේ ජලාශයට කැළි කසළ හා මළ අපද්‍රව්‍ය බැහැර කරන පුද්ගලයන්ට එරෙහිව නීති මගින් කටයුතු කරන්න මම උපදෙස් දෙනවා. ඒ වගේම නීති විරෝධී ලෙස කැළි කසළ හා දිරා නොයන ඝන අපද්‍රව්‍ය අක්‍රමවත්ව බැහැර කරන අය හඳුනා ගැනීම සඳහා සභාව මගින් ඉදිරියේදී සී.සී.ටී.වී. කැමරා කීපයක් ස්ථානගත කිරීමට සැලසුම් කර තිබෙනවා. මාවුස්සාකැලේ ජලාශයේ තැන්පත්ව තිබෙන කැළි කසළ ඉවත් කිරීමේ ශ්‍රමදානයක් පොලීසිය සමග එක්ව පැවැත්වීමට කටයුතු කරනවා.” 


මෙම ජලාශ ද්විත්වයේ භාරකාරත්වය හා ප්‍රධාන වගකීම ඇත්තේ ලංකා විදුලිබල මණ්ඩලයටය. විදුලි බල මණ්ඩලය මගින් ජලාශ ආරක්ෂාව සඳහා ආරක්ෂක අංශයක් පැය 24 පුරා සේවයේ යොදවා ඇත. එමෙන්ම විදුලිබලාගාර ජලාශ ආරක්ෂාව සඳහා යුද හමුදා අනුඛණ්ඩද දිවා රාත්‍රී සේවයේ යොදවා ඇත. ජනතාව ජලාශවලට කැළි කසල බැහැර කිරීම සම්බන්ධව ලක්ෂපාන ජල විදුලිබලාගාර සංකීර්ණයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී සී.ජී.එස්. ගුණසේකර මහතාගෙන් අප කළ විමසුමකදී හෙතෙම සඳහන් කර සිටියේ, මෙම ජලාශවල ඇති කැළි කසළ හේතුවෙන් ජල විදුලිබලාගාරවල විදුලි ජනන යන්ත්‍රවලට දැඩි බලපෑමක් එල්ලවී ඇති බවය. 
ජලාශයේ උමං දොරටු අසල මෙම දිරා නොයන ඝන අපද්‍රව්‍ය තොග වශයෙන් රැඳීම නිසා ජල සැපයුමට බාධා පැමිණ තිබෙනවා. විදුලි බල මණ්ඩලයේ ජලාශ ආරක්ෂාවට යොදවා ඇති ආරක්ෂක අංශ නිලධාරීන් නාවික හමුදා නිලධාරීන්, යුද හමුදා නිලධාරීන්, නල්ලතන්නිය හා මස්කෙළිය පොලීසිවල පරිසර කමිටු නිලධාරීන්, අඹගමුව ප්‍රාදේශීය සභාවේ සෞඛ්‍ය අංශය මෙන්ම ජලාශයේ මිරිදිය කර්මාන්තයේ නිරතව සිටින ප්‍රජාවගේද සහභාගීත්වයෙන් බෝට්ටු හා ඔරු යොදාගෙන මාවුස්සාකැලේ ජලාශයේ තැන්පත්ව ඇති ප්ලාස්ටික් බෝතල් ඇතුළු දිරා නොයන ඝණ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ ශ්‍රමදාන කීපයක් මේ වන විට පවත්වා තිබෙනවා. 
ජාතික සම්පත් වන කාසල්රී හා මාවුස්සාකැලේ ජලාශවලට දිරා නොයන ඝන අපද්‍රව්‍ය බැහැර කරන ජනතාවට එසේ නොකරන ලෙස දැනුම්වත් කිරීමෙි පුළුල් වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතුයි. ආකල්පමය වෙනසක් තුළින් මෙම පරිසර හානි මානව ක්‍රියාවන් අවම කළ හැකි බවත්ය. මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ දෙකට අයත් ඉඩම් හඳුනාගැනීම සම්බන්ධව මේ දිනවල මැනුම් කටයුතු කරන බවත්, කාසල්රී ජලාශයේ ඉඩම් හඳුනාගැනීම මේ වන විට අවසන්කර ඇති බවත් පවසන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගුණසේකර මහතා, ඒ අනුව විදුලිබල මණ්ඩලය සතු ඉඩම්වල අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීම සඳහා නීත්‍යානුකූලව කටයුතු කිරීමට පියවර ගන්නා බවත්ය. කාසල්රී ජලාශයේ, විදුලිබල මණ්ඩලයේ ඉඩම්වල සංචාරක නිවාඩු නිකේතන පවත්වාගෙන යන ඇතැම් පිරිස්ද ජලාශයට කැළි කසළ ඇතුළු අපද්‍රව්‍ය බැහැර කරන බව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගුණසේකර මහතා වැඩිදුරටත් පැවසීය. 


මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශවල ජලය විදුලිය නිෂ්පාදනයෙන් අනතුරුව කැලණි ගඟට මුදාහැරෙන අතර එම ජලය බස්නාහිර පළාතේ ලක්ෂ සංඛ්‍යාත ජල පාරිභෝගිකයින් සඳහා පානීය ජලය ලෙස සැපයීම සිදු කෙරේ. 


දිරා නොයන ඝන අපද්‍රව්‍ය අක්‍රමවත්ව බැහැර කරන ජනතාවට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට පොලීසිවලට මෙන්ම පළාත් පාලන ආයතනවලට බලතල රැසක් පවරා ඇති බව මේ රටේ සියලුම පුරවැසියන් දන්නා දෙයකි. පොලිස් ස්ථානවල පිහිටුවා ඇති පරිසර ඒකක භාර නිලධාරීන් හා පළාත් පාලන ආයතනවල සේවයේ නියුතු පරිසර නිලධාරීන් එම නීති ප්‍රකාරව කටයුතු කර චූදිතයින් වූ අයට අධිකරණ නියෝග මත ලක්ෂ ගණනින් දඩ මුදල් ගෙවීමට සිදු වූවද, අවාසනාවක තරම එම පුද්ගලයින්ම නැවත නැවතත් හිත්පිත් නොමැති පුරවැසියන් ලෙස පෙර වැරදි කිරීම හේතුවෙන් මේ සුන්දර දිවයිනේ වටිනා ස්වභාවික සම්පත් බොහෝමයක් අපට අහිමි වී ඇත. 

 


අපේ රටේ පවතින නීති රීති ප්‍රමාණවත් නොවන බව ඇතැම් අය පවසන්නේ මෙම හිත් පිත් නොමැති පුද්ගලයින්ගේ අධම ක්‍රියාවන් නිසාය. කුමන නීති පැනවුවද ඇති හා නැති පුද්ගලයින්ට ඒවා දෙවිදිහකට ක්‍රියාත්මක කෙරෙන බව මේ රටේ පොදු මතයක් බවට පත්ව තිබේ. අපේ රටේ නීති රීති බොහෝමයක් පුස්තකවලට පමණක් සීමා වී ඇති බව නීති ගරුක පිරිස් පවසති. 


ජාතික ජල විදුලිබල පද්ධතියට අයත් කැනියෝන්, නව ලක්ෂපාන හා පොල්පිටිය යන විදුලිබලාගාර ත්‍රිත්වය මගින් මාවුස්සාකැලේ ජලාශයේ ජලය උපයෝගී කර ගනිමින් මේ වන විට විදුලිය උත්පාදනය කිරීම් සිදු කරනු ලබයි. 


වර්ෂ 1953 දී කැනියෝන් ජලවිදුලි බලාගාරය ආරම්භ කර ඇත. මස්කෙළිය ඔය හරස් කරමින් කැනියෝන් ජලාශයේ වේල්ල බැඳ ඇති අතර මෙගා වෝට් 30 බැගින් වූ ජල රෝද 02 ක් මෙම බලාගාරය සතු වේ. මෙහි ස්ථාපිත විදුලි ධාරිතාව මෙගාවෝට් 60 කි. 


පොල්පිටිය ජල විදුලි බලාගාරය 1969 වර්ෂයේදී ආරම්භ කර ඇත. මස්කෙළිය ඔය හරස් කර ලක්ෂපාන වේල්ල බැඳ තිබේ. එම වේල්ල ලක්ෂපාන පොකුරු ජලාශය නිර්මාණය කරන අතර එහි උපරිම දිග මීටර් 300 ක් වන අතර පළල මීටර් 130 කි. මෙගාවෝට් 37, 50 ක ජල රෝද දෙකකින් යුක්ත වන පොල්පිටිය ජල විදුලිබලාගාරයේ ස්ථාපිත විදුලි ධාරිතාව මෙගාවොට් 75 කි. 


නව ලක්ෂපාන ජලවිදුලි බලාගාරය පිහිටි ජලාශයේ දිග මීටර් 450 කි. මෙහි පළල මීටර් 350 ක් පමණය. මෙහි මෙගාවොට් 50 බැගින් වූ ජල රෝද දෙකකින් මෙගාවෝට් 100 ක ස්ථාපිත විදුලි ධාරිතාවක් උත්පාදනය කෙරේ. 


මාවුස්සාකැලේ ජලාශයේ ජලය ප්‍රයෝජනයට ගනිමින් කැනියෝන්, නව ලක්ෂපාන හා පොල්පිටිය යන ජල විදුලිබලාගාර ත්‍රිත්වයෙන් ජාතික ජල විදුලිබල පද්ධතියට මෙගාවොට් 235 ක විදුලි බලයක් එක්වන බව විදුලිබල මණ්ඩලය පවසයි.

 

 

ඡායාරූප හා සටහන-
මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක