
ප්‍රතිභා සම්පන්න කවියකු, ගීත රචකයකු, ගත් කතුවරයකු වන කලාකීර්ති පණ්ඩිත කිවිපති විමල් අභයසුන්දර පළමු වතාවට ජාත්‍යන්තර කවි සංසදයකට සහභාගි වූයේ 1964 දීය. එම වර්ෂයේ දී ඔහු පොදු රාජ්‍ය මණ්ඩලීය ශිෂ්‍යත්වයක් මත බ්‍රිතාන්‍ය ගුවන්විදුලි සංස්ථාවේ ගුවන්විදුලි හා රූපවාහිනී විද්‍යුත් මාධ්‍ය සම්බන්ධයෙන් සමසක පුහුණුවක් ලබමින් මහා බ්‍රිතාන්‍යයේ ගත කළේය. එම වසරේ වේල්ස් ජනපදයේ අයිස්ටඩ් පඩ් නගරයේ පැවැත්වුණු වේල්ස් ජාතික මහා සාහිත්‍ය සම්මේලනයට සහභාගි වීමේ අවස්ථාව ඔහුට ද ලැබිණි. මෙම සාහිත්‍ය උත්සවය අවුරුදු පතා පැවැත්වෙන්නකි. සතියක් පුරා පැවැත්වෙන මෙම උලෙළ වේල්ස් ජාතිකයන්ගේ සැණකෙළි උලෙළක සිරිය ගනී. ලෝකයේ නොයෙක් රටවල ජීවත්වන වේල්ස් ජාතික කවීන්, ලේඛකයන්, ගත් කතුවරයන්, කලා විශාරදයන් මෙයට සහභාගි වීම සඳහා වෙසෙසින් එහි පැමිණීම සිරිතය.
වේල්ස් සාහිත්‍ය මහෝත්සවයේ දක්නට ලැබෙන විශේෂ ලක්ෂණය නම් එයට සහභාගි වන සියලුම වේල්ස් ජාතිකයන් ඔවුන්ගේ ජන්ම භාෂාව වන වේල්ස් භාෂාවෙන් කතාබස් කිරීමය. සම්මන්ත්‍රණ, සංවාද ආදී සියල්ලක්ම පැවැත්වෙන්නේ වේල්ස් භාෂාවෙනි. සියල්ලන්ම ඉංග්‍රීසි බස මැනැවින් දනිතත් උත්සව භූමිය තුළ කිසි තැනක දී ඉංග්‍රීසි වචනයක් අසන්නට නොලැබේ. වේල්ස් ජාතික කවියන් නිර්මාණය කරන කවි කියවීම ද උසස්ම රචනය කළ කවියාට ත්‍යාග පිරිනැමීම ද මෙහිදී සිදුවන්නේය. තෝරාගනු ලබන විශිෂ්ට කවියා සහ ඔහුගේ කෘතිය සභාවට ඉදිරිපත් කරන්නේ මහත් ගරු සම්භාවනා පෙරදැරි කොටගෙනය. වර්ෂයේ උසස්ම කවියා වශයෙන් ඔහුට ඔටුනු පලඳවනු ලැබේ. මෙය සිදු කරනු ලබන්නේ වේල්ස් ජනපදයේ අග්‍රරාජගුරු ප්‍රසාදීන් වහන්සේ විසිනි.
1964 වර්ෂය ඉංග්‍රීසි මහා කවි විලියම් ශේක්ෂ්පියර්ගේ සිවු සිය වැනි ජන්ම සංවත්සරය යෙදී තිබුණු අවුරුද්දයි. ඒ වෙනුවෙන් සංවිධානය කරන ලද විවිධ උත්සව එංගලන්තය පුරා පැවැත්විණි. අනුස්මරණ රැස්වීම්, සම්මන්ත්‍රණ, සංවාද ආදිය මෙන්ම ශේක්ෂ්පියර්ගේ නාට්‍ය වේදිකාගත කිරීම ද සමරු වැඩසටහන්වලට ඇතුළත් විය. ඔහුගේ කෘති මෙන්ම නව ඇගැයුම් ද මුද්‍රණ මාධ්‍යයෙන් ප්‍රකාශයට පමුණුවා තිබුණේය. නගරවල ප්‍රසිද්ධ ස්ථානයන්හි විලියම් ශේක්ෂ්පියර්ගේ සුවිශාල ඡායාරූප ප්‍රදර්ශනය කෙරුණේය. දැනට කෞතුකාගාරයක් බවට පමුණුවා ඇති ඔහු උපන් නිවෙස සහ ඒ අවට භූමි භාගය ද ලොව සිවු දිගින් පැමිණි වියතුන්, උගතුන්, විද්වතුන්, සාහිත්‍ය විචාරකයන්, නාට්‍ය විචාරකයන්, රසිකයන්, පාඨකයන්, ප්‍රේක්ෂකයන්ගෙන් ගැවැසී පිරී තිබුණේය. විමල් අභයසුන්දර ද ස්ට්‍රෙඩ්පඩ් ඔන් නැවින් නදීබඩ පිහිටි ශේක්ෂ්පියර් මන්දිරයට ගියේ ඉමහත් කුතුහලයකින් හා භක්තියකිනි. විලියම් ශේක්ෂ්පියර් උපන් කාමරයෙහි ඔහු පාවිච්චි කළ ඇඳ ද, අනෙක් කාමරවල ඔහු පරිභෝග කළ විවිධ වස්තු ද තැන්පත් කර ඇත්තේ ඉමහත් පරිස්සමකිනි. ඒ අසලම ගොඩනගා ඇති ශේක්ෂ්පියර් නෘත්‍ය ශාලාවෙහි ඔහුගේ නාට්‍ය රඟ දැක්වීමට විධිවිධාන යොදා තිබුණේය. ඔහුගේ උපන් දිනය වන අප්‍රේල් මස 23 වැනිදා සිට ඊළඟ අවුරුද්දේ අප්‍රේල් 23 දක්වා අනුස්මරණ උත්සව මාලාව පැවැත්වුණේය. ශේක්ෂ්පියර්ගේ නිවෙසින් විමල් අභයසුන්දර බැහැර වූයේ මෙම උලෙළ නිමිත්තෙන් නිකුත් කරන ලද පර්‌යේෂණාත්මක පූර්ණ ෂේක්ස්පියර් කෘති නම් ග්‍රන්ථය ද කිරිගරුඬින් නිමවන ලද ඉංග්‍රිසි මහා කවියාගේ උඩුකය පිළිරුවක් ද වටේට මල් ලියකම් කැටයමින් යුතු, මැද මහ කවි උඩුකය පිළිරුවක් ද සහිත කුඩා සමරු ඵලකයක් ද රැගෙන හැඟුම්බර සිතිනි.
මෙම සියලුම කෞතුක වස්තු විමල් අභයසුන්දරගේ පොත්ගුලේ සුරක්ෂිත ලෙස තැන්පත් කර ඇත්තේ ඔහු විසින් නොයෙක් රටවලින් රැගෙන ආ මා හැඟි කෞතුක භාණ්ඩත් සමඟය.
1981 මැයි මස 11 වැනි දින සිට 18 වැනි දින දක්වා යුගෝස්ලාවියාවේ පැවැත්වුණු කවින්ගේ සම්මේලනයට ශ්‍රී ලංකාව නියෝජනය කළේ විමල් අභයසුන්දරය. උත්සවය පැවැත්වුණේ යුගෝස්ලාවියාවේ අගනුවර වන බෙල්ග්‍රේඩ් නගරයේ සිට මිනිත්තු 35 ක පමණ ගුවන් ගමනකට දුරින් පිහිටි සරයේවෝ නගරයේය. පැරණි ඉතිහාසයකට හිමිකම් කියන මෙම නගරය ක්‍රිස්තියානි, රෙපරමාදු, කතෝලික හා ඉස්ලාමීය බැතිමතුන් ජීවත් වන්නකි.මෙම ජාත්‍යන්තර කවි සම්මේලනයට රටවල් තිස් පහක නියෝජිතයෝ සහභාගි වූහ. එයට අමතරව යුගෝස්ලාවියානු කවීහු 50 දෙනෙක් පමණ ද සහභාගි වූහ. ඒ ඒ කවීන් රචනා ඉදිරිපත් කරමින් පැවැත්වුණු සාකච්ඡා වාර එක් අංශයකට ද, සංචාර වාර එක් අංශයකට ද බෙදන ලද අංශ දෙකකින් සම්මේලනයේ නියමාවලිය සකස් වී තිබිණ. නියෝජිතයන්ගෙන් වැඩි දෙනකු කෙටියෙන් රැස්වීම් ඇමතූ අතර, සියලු දෙනාම තම තමන්ගේ පද්‍ය රචනා සභාව ඉදිරියේ ගැයීමෙන් ඉදිරිපත් කළහ. සම්මේලනයේ සියලුම කටයුතු සිදුවූයේ යුගෝස්ලාවියානු භාෂාවෙනි. පරිවර්තනය සඳහා පරිවර්තකයෝ යොදවා සිටියහ. ඉංග්‍රීසි පරිවර්තකයෝ දෙදෙනෙක් වූහ. කෙළින්ම ඉංග්‍රීසි බසින් රචනා ඉදිරිපත් කරන ලද්දේ අමෙරිකාවෙන් පැමිණ සිටි කවි නියෝජිතවරිය විසිනි.
විමල් අභයසුන්දර විසින් ගායනයෙන් ඉදිරිපත් කරන ලද රචනා ඉංග්‍රීසියට පරිවර්තනය කර යුගෝස්ලාවියානු බසට ද පෙරළා සම්මේලන වාරවලට ඉදිරිපත් කරන ලදී. ඔහුගේ මහත් ප්‍රසාදයටත්, අභිමානයටත් හේතු වූයේ සම්මේලන වාරයෙහි හඳුන්වා දුන් පළමුවැනි රට ශ්‍රී ලංකාව වීමයි. ඔහු විසින් පවත්වන ලද ඉතා කෙටි දේශනයේ දී සිංහල කාව්‍ය සම්ප්‍රදාය අවුරුදු දෙදහස් තුන්සියයකට වඩා පැරැණි බවත්, එය ඔප්පු කිරීමට ඓතිහාසික සාධක මෙන්ම සාහිත්‍යාත්මක සාධක ද සිංහලයන් සතුව ඇති බවත් පැහැදිලි කරන ලදී. ඔහු පළපුරුදු ගායකයකු නොවූවත් ඔහුගේ රචනා ඉදිරිපත් කර ඇත්තේ ළයට තාලයට විරිතට ඡන්දසට අනුරූප වන ගායනාත්මක ශෛලියකිනි. අත්පොළසන් නාදයෙන් ඔහුට ලැබුණු ප්‍රතිචාරය මිනිත්තු කිහිපයක් තුළම සභා ශාලාව ගිගුම් ගැන්වීය. ඔහුගේ රචනා පරිවර්තනයෙන් ඉදිරිපත් කිරීමේ දී ද එය එසේම සිදුවිය. සම්මේලනය ඇමතූ රුසියානු ජාතික කවියා සිය කතාවේ දී ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත් කළ රචනා ගැන විශේෂ සඳහනක් කළේය. එම කතාවේ දී වෙනත් රටක පද්‍ය නිර්මාණ ගැන සඳහන් වුණු එකම අවස්ථාව එය විය. ඒ බව ඔහු එදින පැවැත්වුණු රාත්‍රී භෝජන සංග්‍රහයෙහි දී ද නැවත මතක් කළේය.
විමල් අභයසුන්දර 1985 දී මහජන චීනයේ සංචාරයක යෙදුණේ අගනුවර තරුණ කවි සමාජයේ නියෝජිතයකු වශයෙනි. තෙසතියකට පමණ සීමා වූ මෙම සංචාරයේ දී චීනයේ කවීන් බොහෝ ගණනක් මුණගැසී පිළිසඳරෙහි යෙදී නූතන කවිය පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීමට ඔහුට අවස්ථාව ලැබුණේය. මෙම චීන චාරිකාවේ දී අ.ත.ක.ස. කවි පිරිසට බෙයිජිං නුවර මහජන චීන මන්දිරයේ දී චීනයේ නියෝජ්‍ය සංස්කෘතික ඇමැති යූ ෂී සියාන් තුමා සමඟ සුහද පිළිසඳරකට සහභාගි වීමට අවස්ථාව ලැබුණේය. එහි දී භාෂා පරිවර්තක ලෙස කටයුතු කළේ විමල් අභයසුන්දර කිවිඳුන් ශ්‍රී ලංකාවේ දී දැන හඳුනාගෙන සිටි චීන විදේශීය භාෂා අංශයේ තෙන් ගුරුතුමාය. එහි දී මුණගැසෙන්නට ලැබීම විමල් අභයසුන්දර කිවිඳුන්ගේ මහත් ප්‍රීතියට හේතු විය. තෙන් ගුරුතුමා විසින් විමල් අභයසුන්දරගේ සිංහල කාව්‍ය රචනා කිහිපයක් චීන භාෂාවට පරිවර්තනය කර මුද්‍රණයෙන් ප්‍රකාශයට පමුණුවා ඇත. විමල් අභයසුන්දර කිවිඳුන්ට පළමුවෙන්ම චීන ජාතික කවියකු මුණගැසුණේ යුගෝස්ලාවියාවේ දීය. ඔහු ෂා ඕ ෂෙයාන් ය. චීන සාහිත්‍ය සඟරාවේ සංස්කාරකවරයෙකි. චීන රජයෙන් පරිත්‍යාග වුණු අගනා කෞතුක භාණ්ඩ කිහිපයක් විමල් අභයසුන්දරගේ පොත්ගුලේ දක්නට ලැබේ.
1990 ඔක්තෝබර් මස 26, 27, 28, 29 වැනි දිනවල මැලේසියාවේ ක්වාලාලාම්පූර් නගරයෙහි පැවැත්වුණු ජාත්‍යන්තර කවීන්ගේ සම්මේලනයට ලංකාව වෙනුවෙන් පෙනී සිටියේ විමල් අභයසුන්දර ය. ශ්‍රී ලංකා ආණ්ඩුවට මැලේසියාවේ දේවාන් භාෂා දාන් පුස්තක නම් රාජ්‍ය සංවිධානයේ ආරාධනයක් මත ශ්‍රී ලංකා රජය විසින් මෙරට නියෝජනය කිරීම සඳහා විමල් අභයසුන්දර තෝරාගන්නා ලදී. ඕස්ට්‍රේලියාව, කැනඩාව, චීනය, ප්‍රංශය, ජර්මනිය, ඊජිප්තුව, ඉන්දියාව, එංගලන්තය, ඉන්දුනීසියාව, ජෝර්දානය, පාකිස්තානය, නේපාලය ආදී රටවල් 34ක නියෝජිතයෝ ද මැලේසියානු කවියෝ 84 දෙනෙක් ද, මීට සහභාගි වූහ. මෙම කවි සම්මේලනය නිමිත්තෙන් නිකුත් කරන ලද සමරු ග්‍රන්ථයෙහි විමල් අභයසුන්දර හඳුන්වා ඇත්තේ ඔහුගේ ගැඹුරු කාව්‍යමය චින්තනය ආගමික ගුරුවරයන්ගේ චින්තන ශෛලියට සමාන බවය. මෙම කවි සම්මේලනයට සහභාගි වූ කවීන් රැස්වීම් සඳහා ගිය සැම තැනකදීම ඔවුන් පිළිගන්නා ලද්දේ මැලේසියානු යුවතීන් පෙළක් දෙපස සිට පෙරමඟට මල් ඉසීමෙනි. මෙම සම්මේලන වාරවලදී ඒ ඒ කවීන්ගේ රචනා ඔවුන්ගේ මවු බසින් ද, මැලේසියානු භාෂාවේ පරිවර්තනයකින්ද, ඉංග්‍රීසි පරිවර්තනයකින් ද ඉදිරිපත් කරන ලදී.
නොයෙක් ජාත්‍යන්තර කවි සම්මේලනවලට සහභාගි වීමේදී විවිධ භාෂා කතා කරන විවිධ ජාතික කවීන් සමඟ ඇති කරගත් සුහද මිතුරු දම් මත පිහිටා ජාත්‍යන්තර කවි සම්මේලනයක් ලංකාවේ පැවැත්වීමට විමල් අභයසුන්දර නිහඬවම කටයුතු කරගෙන ගියේය. මෙම අදහස ඔහු මැලේසියාවේ දී නේපාල නියෝජිත තුලසි දිවාසා කවියා සමඟ සාකච්ඡා කළ විට යටත් පිරිසෙයින් සාර්ක් රටවලවත් කවීන්ගේ හමුවක් පැවැත්වීමට කටයුතු කරන මෙන් කියා සිටියේය. මෙම සංකල්පය මෙතෙක් ක්‍රියාත්මක නොවූව ද අත්හැර නැත. ඒ සමඟම විමල් අභයසුන්දර විසින් ජාත්‍යන්තර කවීන්ගෙන් ලබාගෙන ඇති පද්‍ය රචනා ඒ ඒ භාෂාවලින් ද ඉංග්‍රීසි පරිවර්තනයෙන් ද සිංහල පරිවර්තනයෙන් ද සිංහල කවීන්ගේ රචනා ගණනාවකුත් පෙළගස්වා මුද්‍රණයෙන් ප්‍රකාශයට පැමිණවීමට ඔහු අදහස් කර සිටියේය.
අසෙනිය කුසුම්
පංකජ පංකයෙහි දිනු දිය උඩින් සිට
අසෙනිය කුසුම් වන මෙන් පිපි විටින් විට
ලොව සැරිසරන මුත් ලොව්තුරු දසුන් පිට
කවියා පූජනීයම වෙයි රටින් රට
විමල් අභයසුන්දර
පුළුල් කරනු වස් දින ගුරු පාර
කොවුල් හඬ නඟන ගෙනෙමින් මධු මීර
විමල් අභයසුන්දර සුන්දර ආර
තෙකල් බැඳී පවතියි පා කවි වාර
අසෙනිය කුසුම් විමල් අභයසුන්දර අභිනන්දන ග්‍රන්ථයෙන් ගෙන ඉදිරිපත් කරනුයේ
අරුමාදුර කුලේශ් භාගේශ්වර
(ජූනි 12 දාාට යෙදෙන පණ්ඩිත් විමල් අභයසුන්දර මහතාගේ 18 වැනි ගුණ සමරුව නිමිත්තෙනි.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd