
සිංගප්පූර් යනු සිංහපුරයි. ඉංග්‍රීසියෙන් එය ලයන් සිටි නම් වෙයි. 14 වැනි සියවසේදී සුමාත්‍රාවේ කුමාරයකු මෙම දූපතේ දඩයමේ යද්දී රාජකීය ලීලාවෙන් යුතු අද්භූත සිංහයකු දැක ඇත. එය ඉතා සුභ ලකුණක් බව ඔහුට හැඟී ගියේය. ඒ නිසා වෙනත් නමකින් එතෙක් හැඳින්වුණු මේ දිවයිනට කුමාරයා විසින් සිංහපූර් (සිංහ පුර) යන නාමය තබන ලදී. එය සංස්කෘත භාෂාවෙන් බිඳී ආවකි.
මේ කලාපයේ සිංහයෝ වාසය නොකරති. කුමාරයා දැක ඇත්තේ සිංහයකු නොව කොටියකු බව විශ්වාස කෙරේ. කෙසේ වෙතත් මැලේසියානු ජනප්‍රවාද අනුව සිංගපූර් නම් ලද්දේ එලෙසිනි.
අද සිංගප්පූරුව සැලකෙන්නේ සංවර්ධනය වූ මුල් පෙළේ රටක් වශයෙනි. ඉහළ ආදායම් ලබන ආර්ථිකයක් ඇති ඉතා ඉහළ ජීවන මට්ටමක් ඇති සිංගප්පූරුව අන්තර් ජාතික ආර්ථික දර්ශක අතරද මුල් පෙළේ සිටියි.
අද සිංගප්පූරු ඩොලරයක් ශ්‍රී ලංකා රුපියල් දෙසිය විසි ගණනක් වෙයි. ඒ නිසා බොහෝ දෙනා ව්‍යාපාරික මට්ටමෙන් සාප්පු සවාරියේ යෙදෙන්නට එතරම් උනන්දුවක් නොදක්වති. එහෙත් ඉලෙක්ට්‍රොනික උපකරණ ගැනීමටත් බොහෝ දෙනා තවමත් සිංගප්පූරුව බලා යති. එවැනි භාණ්ඩ ලාබයට ඇතැයි බොහෝ දෙනා සිතන බැවිනි.
පාසල් නිවාඩු කාලවලදී අතමිට යහමින් ඇති ශ්‍රී ලාංකිකයෝද සිංගප්පූරුවේ සැරසරති. ඒ තම දූ දරුවන් සමගම, සන්තොසා දූපතේ සුවිසල් මින් මැදුර නැරඹීමටත් එහි විනෝද උයන්හි කාලය ගත කිරීමටත්ය. ඒ සමග ඔවුහු සාප්පු සවාරි සඳහාද කාලය වැය කරති.
ශ්‍රී ලාංකික සංචාරකයන් වඩාත්ම ගැවසෙන්නේ සිංගප්පූරුවේ “ලිට්ල් ඉන්ඩියා” නොහොත් “පුංචි ඉන්දියා” ප්‍රදේශයේය.
සිංගප්පූරුවේ අනෙකුත් ප්‍රදේශවලද සුඛෝපභෝගී අවන්හල්, කඩ සාප්පු පිරී ගියත් ඒවායේ භාණ්ඩ මිල අධිකය. උදාහරණ ලෙස ඕචාඩ් රෝඩ් සහ මරීනා බේ ප්‍රදේශ දැක්විය හැකිය. එහෙත් ශ්‍රී ලාංකික සංස්කෘතියට ගැළපෙන පරිදි ගෙදරකට අවශ්‍ය බොහෝ භාණ්ඩ අඩු මිලට “ලිට්ල් ඉන්ඩියා” සාප්පුවලින් ලබාගත හැකිය. ඇතැම් විට සිංහලෙන් කතා කරන ශ්‍රී ලාංකික පිරිස්ද එහි වෙසෙති.
ශ්‍රී ලාංකිකයන් පමණක් නොව ඉන්දීය, බංග්ලාදේශ ආදී බොහෝ ආසියාතික පිරිස් දිව එන්නේද “ලිට්ල් ඉන්ඩියා” හි පිහිටි මුස්තාෆා සාප්පු සංකීර්ණය වෙතය.
මීට වසර 20කට පමණ පෙර සාමාන්‍ය ගොඩනැගිල්ලක පිහිටා තිබූ මුස්තාෆා සාප්පු සංකීර්ණය අද තට්ටු ගණනකින් යුතුව වීදිවල අනෙක් පැතිවලටත් පැතිර ගොස් ඇත. මුස්තාෆා සාප්පු සංකීර්ණය පැය 24 ම විවෘතව ඇත.
ඇඳුම් පැලඳුම්, ක්‍රීඩා භාණ්ඩ, ගේදොර උපකරණ, ඔරලෝසු, විදුලි භාණ්ඩ, ආභරණ ආදී මෙකී නොකී හැම දෙයකින්ම පිරීගිය මුස්තාෆා සාප්පු සංකීර්ණය මේ නිසාම හැමවිටම පාරිභෝගිකයන්ගෙන් පිරී යාමද අරුමයක් නොවේ.

මුස්තාෆා සාප්පු සංකීර්ණයේ ඇවිදිමින් මුළු දවසක්ම වුවත් ගත කළ හැකිය. සාප්පු සංකීර්ණයෙන්ම ආහාරපාන ලබා ගැනීමට හැකිවීම සාප්පු සවාරියට විශාල පහසුකමකි. මුස්තාෆා සාප්පු සංකීර්ණයේ පසෙක ඇති අවන්හල්වල අරපිරිමැස්මෙන් යුතුව ආහාර ලබා ගැනීමට හැකිය.
බොහෝ විට අප විදේශ ගමනකදී ඇමෙරිකානු ඩොලර් රැගෙන යන නමුදු ශ්‍රී ලංකා මුදල් පමණක් නොව වෙනත් රටවල මුදල් පවා සිංගප්පූර් ඩොලර්වලට මාරු කර ගැනීමට මුස්තාෆා හි අවස්ථාව ඇති නිසා මුදල් කරදරයක්ද නැත. වෙනත් රටවල්වලට ගමන් කිරීමේදී සිංගප්පූරුවේ චන්ගි ගුවන්තොට එක් ප්‍රධාන නැවතුම් පොළක් (Transit) නිසා බොහෝ විදේශිකයෝද ඉඩක් ලද සැණින් මුස්තාෆා බලා එති.
එහෙත් අඩුවෙන් විවිධ භාණ්ඩ ලබා ගත හැකි කඩ සාප්පු අවට ඕනෑ තරම් තිබේ. මුස්තාෆා හි ඉදිරිපස දොරටුව අසලම පිහිටා ඇති පැරණි ගොඩනැගිල්ලේ එවැනි කුඩා සාප්පු ගණනාවක් පිහිටා ඇත. ඒවායේද බොහෝ විට ඇත්තේ ඇඳුම් පැලඳුම්, විසිතුරු බඩු, සුවඳ විලවුන් ආදියයි.
එම සාප්පුවල භාණ්ඩ ආදිය බෙහෙවින් ලාභදායකය. කොහොමටත් ශ්‍රී ලංකා මිලට වඩා බොහෝ අඩුය. එහෙත් පරිස්සමෙන් තෝරා ගත යුතුය. ප්‍රමිතියෙන් අඩු භාණ්ඩද ඒවායේ තිබිය හැකි බැවිනි. ටීෂර්ට්, කමිස, කලිසම්, කාන්තා ඇඳුම්, සුවඳ විලවුන් ආදිය එහි ප්‍රදර්ශනය කර ඇත. විශේෂයෙන්ම ඩෙනිම් කලිසම් ආදිය එහි ලාභයට ලබාගත හැක.
පදිකවේදිකාව දිගේ ඉදිරියට ඇදී යන විට අපට ටෙකා මාර්කට් නමැති සුප්‍රකට සාප්පු සංකීර්ණය පාරෙන් අනෙක් පැත්තේ දැකිය හැකිවෙයි. ඇඳුම් ආයිත්තම්, විසිතුරු භාණ්ඩ ආදී විවිධ දෑ ටෙකා මාර්කට් නොහොත් ටෙකා සාප්පු සංකිර්ණයේදී මිලදී ගත හැකිය.
මෙහිදී එළවළු, මුහුදු මාළු, මස් ආදියද ලබාගත හැකිවීම විශේෂයකි. ඉන්දීය කෑමවලින් පිරුණු අවන්හල් පහළ ඇත. ටෙකා වෙළෙඳ මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ බෆලෝ පාරේය. මේ ප්‍රදේශයේ එකල මී ගව පාලනය තිබූ තර ඒවා 1920 වසර දක්වා සක්‍රීයව පැවතිණ. බෆලෝ රෝඩ් නම තවමත් ඇත. ටෙකා යන්න බිඳී ඇත්තේ කුඩා උණ පඳුරු පාමුල යන අර්ථයෙනි. එකල මෙහි ඇති රොචෝර් ඇළෙහි ඉවුරුවල කුඩා උණ පඳුරු වැවී තිබූ බව කියැවේ.
ටෙකා පසාර් යන මැලේ නමින්ද මෙය ප්‍රසිද්ධව ඇත. මැලේ භාෂාවෙන් පසාර් යන වෙළෙඳාම් කෙරෙන ප්‍රදේශ ලෙස අර්ථ දැක්විය හැකිය.
ටෙකා මුල්ම වෙළෙඳ සංකීර්ණය ඉදිව ඇත්තේ 1915 දීය. ටෙකා වෙළෙඳ මධ්‍යස්ථානය යනුවෙන් මෙය යළි නම් කරන ලද්දේ 2000 දීය.

ලිට්ල් ඉන්ඩියා සාප්පු
ටෙකා මාර්කට් හි සාප්පු පවත්වාගෙන යන බොහෝ චීන ජාතිකයෝ දමිළ බස කතා කිරීම විශේෂයකි. ඇඳුම් පැලඳුම් මිලදී ගත් පසු යළි සිරුරට සරිලන සේ ඒවා සකස් කර ගැනීමට අවශ්‍ය නම් ඇඳුම් මසන්නෝද මහන මැෂින් තබාගෙන සිටිනු දැකිය හැකිය.
“ලිට්ල් ඉන්ඩියා” එම්.ආර්.ටී. දුම්රියපොළ පිහිටා ඇත්තේද ටෙකා මධ්‍යස්ථානය කිට්ටුවය.
සිංගප්පූරුවේ බොහෝ අවන්හල්වල ඉස්සන්, පොකිරිස්සන් …. ප්‍රියජනක ආහාරයකි. එමෙන්ම මාළු ඔළු පිසින ලද විශාල දීසි ජනප්‍රියතම කෑමකි. එය හැඳින්වෙන්නේ “ෆිෂ් හෙඩ්” නමිනි. ඉස්සන්, කකුළුවන්, පොකිරිස්සන් බොහෝ විට ආනයනය කරනු ලබන්නේ ශ්‍රී ලංකාවෙනි.
අප සමඟ මිත්‍රව සිටි ටේ නමැති සිංගප්පූරු ජාතිකයා බොහෝවිටක කියන්නේ “අද ඔයගොල්ලන්ව ශ්‍රී ලංකාවෙ කකුළුවො, ඉස්සො ඇති රෙස්ටොරන්ට් එකකට රාත්‍රි ආහාරය සඳහා කඳවාගෙන යන බවය”. ඒ සමඟ ඔහු අපට පොඩි සමච්චලයක්ද කරයි.
“ශ්‍රී ලංකාවෙ මිනිස්සුන්ට ශ්‍රී ලංකාවෙ කකුළුවො, ඉස්සො කන්න සල්ලි නෑ. ඒවා සේරම මෙහෙ එනවා” කියාය.
සිංගප්පූරුවේ “පුංචි ඉන්දියාවේ” පිහිටා ඇති මේ වෙළෙඳසල් අතර ශ්‍රී ලංකාවේ සහල්, මිරිස්, තුනපහ, පමණක් නොව විස්කෝතු වර්ගද, අලෙවි කරන ස්ථානයක්ද වෙයි. එකල මෙවැනි වෙළෙඳසල් කිහිපයක්ම තිබුණද ඒවා බොහොමයක් දැන් වැසී ගොස්ය.
මේ හැම වෙළෙඳසලක්ම පිහිටා ඇත්තේ “ලිට්ල් ඉන්ඩියා” හිය.
සිංගප්පූරුවේ විශේෂත්වය වන්නේ පාන්දර අලුයම වනතුරු වුවත් සාප්පු සවාරියේ යා හැකි වීමය. බොහෝ රෑ වූ විට කුලී රථ හෝ බස් රථ සොයා ගැනීම අපහසුය. එහෙත් තම නවාතැන පිහිටා ඇත්තේ “ලිට්ල් ඉන්ඩියා” තුළ නම් පා ගමනින් රාත්‍රිය පුරාම ඇවිදින්නට තරම් ආරක්‍ෂාව සහතික කළ හැකිය. මේ නිසා බොහෝ කාන්තාවෝ සාප්පුවෙන් සාප්පුවට යමින් පාන්දර වනතුරු අවශ්‍ය භාණ්ඩ එකතු කර ගනිති.
සාමාන්‍යයෙන් “ලිට්ල් ඉන්ඩියා” ප්‍රදේශයේ නවාතැන්ද ඔචාඩ්, මරිතා බේ ආදී ප්‍රදේශවලට වඩා බොහෝ ලාභදායීය.
“ලිට්ල් ඉන්ඩියා” ප්‍රදේශය කලින් නම්කරන ලද්දේ සෙරන්ගුන් හෝ කැම්පත් කාබයු නමිනි. කැම්පත් කාබයු නමෙහි තේරුම මී ගවයන් පිරුණු නගරය (බෆලෝ සිටි) යන්නයි. එකල මේ ප්‍රදේශයේ බොහෝ විට කෙරුණේ මී ගව පාලනයකි. කිරි ආහාර නිපදවීම එහි ප්‍රධාන ජීවනෝපාය විය. ඒ හැරුණු විට ගඩොල් කර්මාන්තය මේ ප්‍රදේශයේ සිදුවිය. මුලින්ම මී ගව පාලනය යුරෝපීයන්ගේ මූලිකත්වයෙන් සිදුවිය. සෙරන්ගුන් නදිය අවට මේ කර්මාන්ත සිදු කෙරිණ. පසුව රැකියා සොයාගෙන ඉන්දියානුවෝ මෙහි ආහ.

“ලිට්ල් ඉන්ඩියා” ලෙස මේ ප්‍රදේශය නිල වශයෙන් නම් කරන ලද්දේ 1989 ජූලි 7 වැනිදාය.
“ලිට්ල් ඉන්ඩියා” හි ජීවත්වන්නේ ඉන්දියානුවන් පමණක් නොවේ. චීන ජාතිකයෝද විවිධ ව්‍යාපෘති කරමින් ජීවත් වෙති. “ලිට්ල් ඉන්ඩියා” කොතරම් ජනප්‍රියද යත් ඒ නමින් “එම්.ආර්.ටී. දුම්රිය ස්ථානය පිහිටුවීමෙන්ම පෙනී යයි.
එම්.ආර්.ටී. යන්නෙහි තේරුම මාස් රැපිඩ් ට්‍රාන්සිට් යන්නයි. නගරයන් තුළ විශාල මගීන් පිරිසක් රැගෙන උමං මාර්ගවල හෝ කණු මත වේගයෙන් දිවයන දුම්රිය මෙනමින් හැඳින්වෙයි. මෙය ඉන්දියාවේ හඳුන්වන්නේ “මෙට්රෝ” දුම්රිය යනුවෙනි.
එම්.ආර්.ටී. දුම්රිය ස්ථාන නිමවා ඇත්තේ පොළොව යට තනන ලද උමංවලය. ඒ නිසා ප්‍රවේශපත්‍ර ලබා ගැනීමටත්, නැවත පිට වීටමත් තට්ටු කීපයක් ඇතැම් විට ඉහළට පහළට යා යුතුය. වායු සමීකරණය කරන ලද මෙම දුම්රිය බොහෝ ලාභදායීය. ජනප්‍රිය චන්ගි ගුවන් තොටුපොළේ සිට “ලිට්ල් ඉන්ඩියා” එන්නේ නම් දුම්රියෙන් පැමිණීම පහසුය.
සිත්ගන්නාසුලු ප්‍රමිතියෙන් මෙන්ම ලාභයටත් විවිධ දෑ ලබාගත හැකි අනෙක් ස්ථානය “බුගී වීදියයි”. බුගී මාර්කට් කී විට එය බොහෝ අය හඳුනති.
“ලිට්ල් ඉන්ඩියා” සිට බුගී මාර්කට් කරා පා ගමනින්ද යා හැකිය. ඒ සඳහා විනාඩි 15 ක් පමණ ගත වෙයි. අවශ්‍ය නම් මෙට්රෝ දුම්රියෙන් එහි ළඟා විය හැකිය. සිංගප්පූරුවේ පොදු බස් රථ හා දුම්රියෙන් ගමන් යෑමට වඩා ප්‍රිය කරන්නේ ටැක්සි ගමනටය. එහෙත් එය වියදම් අධිකය. බොහෝ ටැක්සි නැවතුම් ස්ථානවල සෙනඟ පිරී ඇත්තේ එබැවිනි.
බුගී වීදියද බොහෝ කඩ සාප්පුවලින් පිරී ඇත. “ලිට්ල් ඉන්ඩියා” සාප්පුවලට වඩා ප්‍රමිතියෙන් යුතු ආකර්ෂණීය විවිධ භාණ්ඩ බුගී සාප්පුවලින් තෝරා ගත හැකිය. ඇඳුම් පැලඳුම් ආදිය නව විලාසිතාවලින් යුක්තය. ලිට්ල් ඉන්ඩියා කඩවල බොහෝ විට ඇත්තේ ඉන්දියානු මෝස්තරය. බුගී වීදිය හැඳින්වෙන්නේ සිංගප්පූරුවේ විශාලතම වීදි වෙළෙඳපොළ ලෙසය.
සිහිවටන, රූපලාවන්‍ය ද්‍රව්‍ය, සුවඳ විලවුන්, රෙදිපිළි පමණක් නොව විවිධ කෑම වර්ගද බුගී වෙළෙඳ පොළේ දැකිය හැකිය.
අලුත් වරකා මදුළු මෙන්ම දූරියන් මදුළු පැකට්වල අසුරා විකිණීම බොහෝ ප්‍රචලිත වෙෙළඳාමකි.
1950 දී සිට 1980 දක්වා බුගී ස්ට්‍රීට් ප්‍රචලිතව තිබුණේ එළිමහනේ ආහාර ගැනීම හා සංක්‍රාන්ති ලිංගිකයන්ගේ තිප්පොළක් ලෙසය. එමෙන්ම විනෝදකාමීන්ගේ පාරාදීසයක් ලෙසය. වර්තමානයේ මිල අඩු කරමින් භාණ්ඩ ලබා ගත හැකි සුවිසල් වෙළෙඳ පොළකි.

බුගීස් වීදියේ පාරිභෝගිකයෝ
බුගී යනු යාත්‍රික කටයුතු යෙදුණු ජන වර්ගයකි. ඔවුහු ඉන්දුනීසියාවේ දකුණු සුලාවෙසි ප්‍රදේශයේ සිට සිංගප්පූරුවට යාත්‍රා කළහ. බුගී වෙළෙන්දෝ සිංගප්පූරුවට පැමිණි මුල්ම පිරිසට අයත් වූහ. 1819 දී බ්‍රිතාන්‍යයන් සිංගප්පූරුවේ වෙළෙඳ කටයුතුවල නිරත වීමට පැමිණි අතර බුගී වෙළෙන්දෝ ද ඒ සමඟම සිංගප්පූරුවේ නාවික කටයුතුවල නිරත වෙමින් එහිම පදිංචි වූහ.
දෙවැනි ලෝක යුද්ධයෙන් පසු බුගී වීදිය ආහාර හා විවිධ භාණ්ඩ විකිණීමට සඳහා යොදා ගැනිණි. බුගී වීදිය කොතරම් ප්‍රසිද්ධ වීද යත් 1979 දී ඇමෙරිකානු චිත්‍රපට අධ්‍යක්‍ෂවරයෙකු වූ පීටර් බොග්ඩනොවිච්, බුගී වීදිය සහ සිංගප්පූරුව අලළා “සේන්ට් ජැක්” නමින් චිත්‍රපටයක් නිර්මාණය කරන ලදී. එය මුලින්ම සිංගප්පූරුවේ තිරගත කිරීම තහනම් විය. එයින් කියැවුණේ මුදලට ලිංගික ශ්‍රමිකයන් සපයන අතරමැදියකුගේ කතාවකි.
චීන ජාතික අධ්‍යක්‍ෂවරයකු වූ යොන්ෆන් විසින්ද “බුගී ස්ට්‍රීට්” නමින්ම චිත්‍රපටයක් නිරමාණය කරන ලදී.
බුගී ස්ට්‍රීට් යුරෝපීයන් අතර කොතරම් ජනප්‍රියද කිවහොත් ඉංග්‍රීසි ගීත පවා ඒ වෙනුවෙන් ලියැවී ඇත.
වර්තමානයේ පාරිභෝගිකයන්ගෙන් පිරී ඉතිරී ගිය “බුගී මාර්කට්” සිංගප්පූරු සංචාරයකදී එක්වරක් හෝ දැක ගැනීමට යන්නේ නම් එය අපූරු අත්දැකීමක් වනු නොඅනුමානය. මුස්තාෆා සෙන්ටර් පැය 24 ම විවෘත වුවත් බුගී මාර්කට් නම් රාත්‍රි 10.00ට වසනු ලබන බව සඳහන් වෙයි.
ශ්‍රී ලාංකිකයන් සඳහා සිංගප්පූරුවට ඇතුළුවීමට “ඔන් අරයිවල්” නැතහොත් චන්ගි ගුවන් තොටුපොළේදී වීසා ලබාගත හැකි වුවත් සංචාරකයා පිළිබඳව කිසියම් සැකයන් ඇති වුවහොත් බලධාරීහු එහිදී මගියාගෙන් ප්‍රශ්න කරති. විශේෂයෙන්ම ඔවුන් සිංගප්පූරුවේ ගත කරන දින ගණන අසන අතර නැවතීම සඳහා වෙන් කරන ලද හෝටලයේ බිල්පත් පෙන්විය යුතුය. මීට වසර විසිපහකට පමණ පෙර අන්තර්ජාල පහසුකම් අඩු කාලයේ කිසියම් සිංගප්පූරු හෝටලයක නම ගොඩ බහින පෝරමයේ කියූ විට සිංගප්පූරුවට ඇතුළු වීමට ඉඩ ලැබුණද වර්තමානයේ මාර්ගගත ක්‍රමයට වෙන් කරන ලද හෝටලයක බිල්පත් පරීක්ෂා කෙරෙයි.
සිංගප්පූරුවෙන් අඩු මිලට විවිධ දෑ ගත හැකි ස්ථාන ලෙස “ලිට්ල් ඉන්ඩියා” හා “බුගී මාර්කට්” ආසියාතිකයන් අතර කොතරම් ජනප්‍රිය වූවද මගේ සිංගප්පූරු මිතුරකු කීවේ “අපි නම් බඩු ගන්න “ලිට්ල් ඉන්ඩියා” එන්නෙ නෑ. ඒවායේ සාප්පුවල තියෙන්නේ බ්‍රෑන්ඩඩ් ඒවා නෙමෙයි” කියාය.
එහෙත් සති අන්තයේ විශේෂයෙන් ඉරිදා දිනවලට “ලිට්ල් ඉන්ඩියා” ජනයාගෙන් පිරී යයි. එයට හේතුව සිංගප්පූරුවේ සේවය කරන ඉන්දියා, බංග්ලාදේශ, ශ්‍රී ලංකාව ආදී රටවලින් පැමිණි පිරිස් එදිනට “ලිට්ල් ඉන්ඩියා” කරා පැමිණීමයි. ඒ ඔවුන්ගේ නිවාඩු දවසය.
එදිනට තමන්ගේ හිතවතුන්, හිතවතියන් හමුවීමටත් ඔවුන් හා පැය කීපයක් විනෝදයෙන් ගත කිරීමටත් නව මිතුරුදම් ඇතිකර ගැනීමටත් ඉරිදා දිනය ඔවුහු යොදා ගනිති.
වසර ගණනාවක සිට සිංගප්පූරුවේ ජීවත් වන ශ්‍රී ලාංකික මිතුරකු පවසන්නේ “ඉරිදාට ලිට්ල් ඉන්ඩියා පැත්තට ආවොත් කසාදයක් කරගෙන වුණත් යන්න වුණත් බැරි නෑ” කියාය.
බංගලාදේශ්, ඉන්දියන්, ශ්‍රී ලංකා පිරිස වැඩි වශයෙන් “ලිට්ල් ඉන්ඩියා” හි ගැවසුණද සිංගප්පූරුවේ සේවය කරන පිලිපීන ජාතිකයන් වැඩිපුරම යන්නේ “ඔචාඩ්” ආදී මිල අධික සුඛෝපභෝගී අවන්හල් හා සාප්පු ඇති ප්‍රදේශවලට බව ඔහු වැඩිදුරටත් පැවසීය.
රොඩ්නි විදාන පතිරණ

මුස්තාෆා වෙළෙඳ මධ්‍යස්ථානය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd